පසු ගිය දිනක ඕක්ලන්ඩ්, නෝත්ෂෝහි ‘පම්ප් හවුස්’ ප්‍රේක්ෂකාගාරයේ නවසීලන්ත ශ්‍රී ලංකා කලාකවය විසින් සංවිධානය කරන ලද කෙටි නාට්‍ය හතරක් සහ අනර්ග නර්තනයක් ඇතුළත් ප්‍රසංගය අවසානයේ සතුටින් විසිර ගිය ප්‍රේක්ෂකයින් අතර මමද එක් අයෙක් වීමි.
මෙම සියලුම ප්‍රසංග ඉදිරිපත් කළ ඕක්ලන්ඩ් හා හැමිල්ටන් නළු නිළියන් සහ නිර්මාණකරුවන් නව නාට්‍ය උත්පාදනය කිරීමට තම තමාට හිමි කාලය යොදාගනිමින් කරන ලද මෙහෙයට අප ස්තුතිවන්ත විය යුතුය.
මෙම ප්‍රසංගයේ මදුජිත් සිල්වා සහ චින්තක තිසේරා විසින් රචිත සහ අධ්‍යක්ෂණය කළ ‘මංKing’ කෙටි නාට්‍ය ඇතැම් ප්‍රේක්ෂකයින් අතර විවාදයකට ලක්ව ඇති නිසා ඒ පිළිබද යමක් ලිවිය යුතු යැයි ම අදහස් කළෙමි.
මෙම කෙටි නාට්‍ය විනාඩි විස්සකට පමණ සීමාවිය. එම කාලය තුළ ගැඹුරින් ස්පර්ශ කරමික් මානුෂිය ගැටළු කීපයක්ම හාස්‍ය මුසු කොට ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කිරීමට එහි රචකයන් උත්සාහ ගෙන තිබුණි.
පොදු ජනතාවගේ ගැටළු වඳුරු වර්ගයාගේ හැසිරීම් තුළින් නිරුපණය කිරීමට ගෙන තිබු උත්සාහය හෝමෝසේපියන් සේපියන් ද පරිණාමයේ අදියරක් ලෙස පෙන්වීමට උත්සාහ කර තිබු බවක් මට හැඟිනි. ඩාවින්ගේ පරිණාමවාදය මට පට්ටපල් බොරුවක් උවත්, පරිණාමය වූ මිනිසුන් තුළ ද වඳුරන්ට ආදේශක ලෙස පවතින ගති පුරුදු රංගනය කිරීම අගය කළ යුත්තකි.
‘පොඩ්ඩක් හිතන්න
ඔයත් වඳුරෙක්,
මෙයත් වඳුරෙක්
මමත් වඳුරෙක්
අපි ඔක්කොම වඳුරෝ.’
‘ඉතින් ඇයි අපි කුලල් කා ගන්නේ?’
මෙවැනි යෙදීම් තුළින් සමස්ත සමාජයට ආමන්ත්‍රණය කිරීමට රචකයන් උත්සාහ කර ඇති බවක් පෙනේ.
නාට්‍යය ආරම්භය, වේදිකාවට පිවිසීම ඉතා අනර්ග ලෙස ප්‍රේක්ෂකයින් තුළ කුතුහලයක් ඇතිවන අයුරින් සිදුකර තිබිණි.
එමෙන්ම වේදිකාවේ මැද පසු පසට වෙන්නට එල්ලා තිබුනු කෙසෙල් කැනක් වෙතට සිව්දෙසින් පැමිණි වඳුරු වර්ගයා එය උන්ව කොටු කිරීමට යෙදු බහු ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව නොදැන එය වටා රොක්වීම හා නායක වඳුරාගේ ආධිපත්‍ය තුළ එය නායකයා සතු කර ගැනීම තුළින් හා ඉන් කුඩා කොටසක් පමණක් සෙස්සන්ට පරිභෝජනයට දී ඉතිරි සියල්ල තම මල්ලට දමා ගැනීම තුළින් ද නායකයාගේ මෙම සොරකම පසුබිමින් වාදනය වූ වේගරිද්ම ගීතය හමුවේ සියලු වඳුරන්ට අමතකව නැටුමකට යොමු කිරිමෙන්ද අද සමස්ත සමාජය තුළ සිදුවන මන්ද බුද්ධික හැසිරීම ඉතාම කෙටි නිමේෂයකින් නිරුපණය කිරීමට ගෙන තිබු උත්සාහය ඉතා ප්‍රශංසනීයයි.
ශ්‍රවණ ඉන්ද්‍රියට තාක්ෂණික මෙවලම් ඇතුළත් කරගෙන, ජංගම දුරකතනවලට තදබල ලෙස ඇබ්බැහිවීම තුළින් සිදුවී ඇති මානසික වසංගතය නිසා කෑමත් බිමත් සංගීතයත් තම ලෞකික දේත් තිබුණොත් තවත් කිසිවක් අනවශ්‍ය බවක් නිරුපණය කරමින් තමා කොටුවී ඇති බවක් හෝ කිසියම පිරිසකගේ වුවමනාවට සිරකර ඇතිබවක් සිතීමටවත් නොහැකි තත්ත්වයකට පත්ව ඇති වර්තමාන සමාජ ස්තරය පිළිබද ප්‍රේක්ෂකයාට දෙන පණිවිඩය ඉතා සියුම්ව රචනය තුළ අන්තර්ගතව තිබීම අගය කළ යුත්තකි.
නිදසුනක් ලෙස නායකයට කෙසෙල් දී රැගෙන යන වඳුරා (පරීක්ෂණයක් සඳහා) සිය කැමැත්තෙන්ම තම ගෙලට තොන්ඩුව දමාගෙන සතුටින් නට නටා වේදිකාවෙන් නික්ම යාම ඇතැම් ප්‍රේක්ෂකයින් හාස්‍යය මුසුව ග්‍රහණය කරගෙන තිබුණි
එමෙන්ම පවතින තත්ත්වය තේරුම් ගත් වඳුරන් සිටියත් ඔවුන් කියනදේට සවන් දීමට බහුතරයක් අකමැති බවත් ඔවුන්ට කොටුවෙන් ගැලවී යාමට ඉඩ නොදී වල්ගයෙන් අල්ලා නැවත කොටුවටම ඇද ගැනීම තුළින් මනාව නිරුපනය කර තිබුණි.
ඇතැම් අය කෙලින්ම සම්බන්ධ නොවී අන් අයලවා සමාජය තුළ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, ගැටළු නිර්මාණය කරන බවද මෙම කෙටි නාට්‍යය තුළින් පෙන්වා දී ඇත.
‘අඩෝ ඒ වුණාට අපි හැලි-අපි තමයි වැඩියෙන් ඉන්නේ
ඌහු ඌහු ඌහු ඌහු ම් …’
එමෙන්ම සමාජය තුළ ප්‍රශ්න ඇතිකර පාලනය කිරීමට නායක වර්ගයාගේ ගැටුම් කළමනාකරණ නියාය ගෙන හැර පෑමට නායක වඳුරාට ආවතේව කරන ඔවුන්ගෙන් යැපෙන වඳුරෙකු යොදාගෙන තිබුණි.
‘මල්ලි දැන් මොකෝ තත්ත්වේ?’
සමාජය තුළ බහුලව සිදුවන මෙම කරුණු නිරුපණය කිරීමට යොදාගත් දෙබස් කාණ්ඩයන් ප්‍රේක්ෂකයන් කොතෙක් දුරට ග්‍රහණය කළාදැයි සැකයක් මතුවිය.
විදේශීයව හා ස්වදේශීයව කොටුවී සිටින පොදු ජනයා නොදැනීම හෝ දැන දැන කළ හැකි දෙයක් නැතිකම මත හෝ ‘කතන්දර’ ‘කතා’ තුළ ජිවත් වීමට හුරුකර ඇති බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සූදානම් බවත් ‘කිඹුලගේ කතාවෙන්’ පසු තවත් කතන්දරයක් කියන්නද? අසනවිට එයට රොක්වීම තුළින් නිරුපණය කර තිබුණි. ස්වභාවයෙන්ම විඥානයට ආහාර ගැනීමට පෘතග්ජනයන් දක්වන දැඩි කැමැත්ත එයින් මනාව පැහැදිලි වේ.
වර්තමාන සන්නිවේදන මාධ්‍ය තුළින් නයි පෙන්විමෙන් බෝසතුනුන් බිහිකිරීමෙන් ඉතිහාසය කතා පෙන්වීමෙන් ටෙලි නාට්‍ය එක දිගට දිග හැරීමෙන් වැනි සන්නිවේදන උගුලට හසුවී සිටින මහජනයා කොටුව තුළ තව තවත් නිරන්තර කොටු කිරිමකට ලක් කරන බව පෙන්වීමට ගෙන තිබු උත්සාහය ඉතාම ප්‍රශංසනියයි.
සමස්තයම කොටුවී ඇති බවත් කොටු කරන්නන් සුළුතරය වුවත් ඔවුන් ඉතාම උපක්‍රමශිලිව ජනගහනය තමාට අවශ්‍ය ආකාරයට පාලනය කරන බව ගැඹුරින් නිරීක්ෂණ කරන විට තේරුම් ගැනීමට ඕනෑ තරම් මෙම කෙටි නාට්‍ය තුළ ඉඟි පළකර තිබුණි.
කෙටි නාට්‍යකින් මෙවැනි පණිවිඩ ගණනාවක් ප්‍රේක්ෂයන් වෙත යොමු කිරීම, අගය කළ හැකි වුවද, එය ග්‍රහණය කරගැනීමට හැකි උසස් රස වින්දනයක් ඇති ප්‍රේක්ෂකයින් සුලබ නොවීම නම් බැහැර කළ නොහැක්කකි.
මතුපිටින් ස්පර්ශ කිරීමට සැදී පැහැදී සිටින පිරිසක් ගැඹුරින් ස්පර්ශ කිරීමට දක්වන ඈලි මෑලිකම වර්තමාන සමාජය තුළ පවතින ව්‍යවසනයකි. එබැවින් රචකයා විසින් පවතින සමාජ සන්දර්භය තුළ ඇති ගැටළු මැනවින් අවබෝධ කරගත්තත් ඒවා නාට්‍ය ස්වරුපයෙන් එළිදක්වන්නේ කාටද යන්න තේරුම් ගත යුතුය.
විශාල පොදියක් එකවර ලිහාදැමිම සුදුසුද? නුසුදුසුද? තම තේමාවට ප්‍රමාණවත් කාල පරාසයක් කෙටි නාට්‍යයක් තුළ ඒ සඳහා ඉඩකඩ සැකසී තිබේද යන්නත් දෙවරක් සිතිය යුතුමය.
සමස්තයක් වශයෙන් උසස් රස ජනනයක් උසස් වින්දිත නිස්පත්තියක් (නිපැවුමක්) ඇතිකිරීමට ‘මංKing’ නාට්‍යය රචකයන් හා නළු නිළියන් ද අනෙකුත් පසුතල ශිල්පීන්ද ගෙන තිබු ප්‍රයත්නය සාර්ථක වූ බවක් හොදටම පෙනෙන්නට තිබුණි. කෙටි නාට්‍යයකින් කළ හැකි දේ කර තිබුණි. එය සතුටට කරුණකි.
රංගන කුසලතා ඇති නළු නිළියන් අප සතු වීමද සතුටට හේතුවකි. අනාගතයට දොරටු විවර වී ඇති බව පෙනේ.
වේදිකා පසුතල නිර්මාණය පිටපතට අදාළව නිර්මාණය වී තිබුණි. අංග රචනය හා වේශ නිරුපණය ඉතා ප්‍රශංසනීයව තිබුණි. කිසිඳු ආධුනික බවක් එහි නොවිය. නැවුම් ආලෝකකරණ උපක්‍රම දක්නා ලද නමුත්, නාට්‍යයේ ඒ ඒ අවස්ථාවට උචිත ලෙස ආලෝකකරණයක් යොදා තිබුණි. සංගීතය ද පිටපතට අදාළව යොදා තිබුණි. රංගන උපක්‍රම ශාලාවට හා වේදිකාවට සරිලන අයුරින් අවස්ථානුකුලව යොදා ගැනීම නිර්මාණකරුවන්ගේ ප්‍රතිභාවය නිරුපණය කිරීමකි. අනාගතය යහපත් බව පෙරමග ලකුණුවලින් පෙනේ.
‘කිසියම් නිර්මාණයක් වින්දනය කිරීමේ ක්‍රියාවලියේදී නිර්මාණකරුවාගේ හදවත් වින්දිතයාගේ හදවත් සමාන විය යුතුය,’ යන මතය තරමක් පුළුල් තලයකට ගෙන ගියොත් මෙසේ සඳහන් කළ හැක. ‘ රසිකයාගේ අත්දැකීම් ක්ෂේත්‍රය සසල කරවීමට නිර්මාණ කරුවාගේ තේමාව කෙතෙක් දුරට සමත්වේද යන තර්කය මත නිර්මාණය කෙතෙක්දුරට රසිකයා වැළඳ ගන්නේද, යන්න තීරණය වන බව’ කිව හැකිය.
සත්‍යවශයෙන්ම තත්කාලීන සමාජ දේශපාලන ප්‍රවාහයේ කතිකාවට ‘මංKing’ නාට්‍ය සාධාරණයක් ඉටුකර තිබුණි. පුරානොප්ති නිර්මාණයක් හෝ පරිවර්තන කෘතියක් නොකර ස්වතන්ත්‍ර නිර්මාණයක් මෙතරම් අලංකාරව ඉදිරිපත් කිරීමට රචකයන් හා නළු නිළියන් සහ අනෙකුත් ශිල්පින් ගත් උත්සාහය සාර්ථක වූ බවක් මම දකිමි.
එබැවින් නවසීලන්තයේ ශ්‍රී ලාංකික වේදිකා නාට්‍යයේ අනාගතය උදෙසා චින්තක තිසේරා මදුජිත් සිල්වා ඇතුළු රංගන ශිල්පීන්ට සිදුකළ හැකි බොහෝ දේ ඇතිබව ඔවුන් ඔප්පු කර ඇත. ඒ අනාගතය දෙස සහෘද ප්‍රේක්ෂකයෝද අපේක්ෂා සහගතව බලා සිටිති.
අශෝක සෙනවිරත්න – ඕක්ලන්ඩ්