ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දරයන් රචනා කළ බෝ මළුවේ මල් සුවඳක පැටලී ගීතය පෙරළිකාර ගීතයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ගීතයත් රචකයාවත් සංගීතඥයාවත් ගායකයාවත් මතක හිටින ගීත තියෙන්නෙ බොහොම අඩුවෙන්. මේ ගීතයෙ ඒ සියල්ලම රසියන්ට මතකයි. ඒකට හේතුව මෙම ගීතය ගිහි පැවිදි සැමටම එක ලෙස මතකයේ රැඳෙන ගීතයක්.
මේ ගීතයේ රචනයට පාදක වූ අත්දැකීම බොහෝ අය අසා තිබෙනවා. ඒත් අලුත් පරම්පරාවේ කෙනෙක් ඒක දැනගන්න කැමති ඇති. ඒ සිදුවීම ප්‍රියානන්ද මහත්මයා මෙසේ මතකය අවදි කළා.
සනත් නන්දසිරි මහතා සමග…
කොබෙයිගනේ සංගීත ප්‍රසන්ගයක් අවසන් වී මහා පාන්දර ගෙදර එනකොට මගදි දැක්කා හුළු අත්තක් දල්වාගෙන හරි ඉක්මනින් වඩින ස්වාමින් වහන්සේනමක්. ඉතින්, අපේ ප්‍රවීණ ගායක සනත් නන්දසිරි මහතා ඇහුවා කොහේටද අපේ හාමුදුරුවනේ මේ වෙලාවේ වඩින්නේ කියලා. මතක විදියට 1989/1990 වගේ භීෂණ යුගයක් ඒ කාලෙ පැවතුන නිසා පොඩි හාමුදුරුවන් ටිකක් තැති ගැන්වීමකින් තමයි උත්තර දුන්නේ. අම්මා බලන්න යන ගමන් කියලා පොඩි හාමුදුරුවො උත්තර දුන්නා.
ඉතින් අපි කිව්වා මේ වාහනයේම ගිහින් ඇරලන්න පුළුවන් කියලා. සනත් නන්නද සිරි මහත්මයාව වත් පොඩි හාමුදුරුවෝ ඇඳිනුවේ නැහැ. ඒ නිසා වාහනයට ගොඩ වුණේ නැහැ. අපි ඇහුවා ,ඇයි මේතරම් රෑ වෙනකන් හිටියේ අම්මව බලන්න යන්න?’ ලොකු හාමුදුරුවො පිරිතකට වැඩම කරලා. ඒ නිසා අවසර අරගෙන එද්දි ප්‍රමාද වුණ බව තමයි අපට දැනුනෙ.
මේ සිදුවීමෙන් පස්සේ වාහනය ඇතුලේ ටිකක් වෙලා යනකම් අපි කවුරුත් කතා කළේ නැතුව නිශ්ශබ්දව හිටියා. නිහඬතාවයකින් පසුව සනත් කිව්වා ‘බලන්නකෝ ඉතින් පැවිදි කෙනෙක් වුණත් අම්මව අමතක කරන්න බැහැ නේද?’ යි කියලා.
ඒ සිදුවීම මගේ හිතේ තදින්ම සටහන් වුණා.
සංඛ පද්ම හා ඉන් පසු…
ඉන් පසුව අනූව දශකයේ මුල් කාලයේ වගේ රූපවාහිනී වැඩසටහනක් තිබුණා සංඛපද්ම කියලා. මේ වැඩසටහනට සනත් අයියා මට ආරාධනාවක් කරා ගීතයක් රචනා කරන්න. ඒ වගේ වැඩසටහනකට මොන වගේ ගීතයක් ද ගැළපෙන්නේ කියමින් මම හිත හිතා උන්නා. ඒ දවස්වල මම ඉගැන්නුවේ හොරණ විද්‍යාරත්නයේ. ඒ පාසලට අල්ලපු වැටේ තියෙන්නෙ විද්‍යාරත්නයේ පිරිවෙන. පුංචි සාමණේරයන් වහන්සේලාව මට නිතරම දකින්න අවස්ථාව ලැබුණා. විවේක කාලවල දි ඒ අයගේ හැසිරීම මගේ ඇස ගැටෙනවා. සමහර වෙලාවට කඩදාසි බෝලවලින් ක්‍රිකට් ගහනවා.
තව දෙයක් තමයි පිරිවෙන් භූමිය තුළ මම දකිනවා පොඩි හාමුදුරුවන්ගේ පවුලේ අම්මා නංගිලා පැමිණෙනවා. මම දැකලා තියනවා සිවුර අස්සේ හංගගෙන දානයට හම්බෙන රස කැවිලි, දත්බුරුසු, දත්බෙහෙත් මේවා නංගිලාට දෙනවා ළමා හිත් නිසා. ඒ සහෝදර සහෝදරියන්ට අමතක වෙලා පොඩි හාමුදුරුවන්ව සිප වැළඳ ගන්න අවස්ථාවන් පවා මම දැකලා තියෙනවා. අම්මාට වුණත් දරුවාව වැළඳගන්න, සිපගන්න බැහැ.
යන්න ලෑස්තිවෙලා අම්මා දණ ගහලා වදිනවා. ඉතින් මේවා දකිද්දි හිතෙනවා ශාසනයට ඇතුළු වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමේ. පවුලේ සාමාජිකයන්, යාළුවො දාලා ඇවිල්ලා කහ සිවුරක් දරාගෙන, සම වයසේ අනිත් අය විවිධ විලාසිතාවලින් ඇඳුම් අඳින විට පුංචි හාමුදුරුවෝ විතරක් කහපාට සිවුරක් දාගෙන පේළියට සන්සුන් ගමනින් වඩිනවා. දුවන්න, හයියෙන් හිනා වෙන්න බැහැ. නොයෙක් සිතුවිලි ගොඩක් මගේ ඔලුවෙ තිබුණා.
මම ඒ කාලෙ සති අන්තයට පන්ති කරන නිසා සිකුරාදට ඉස්කෝලෙ නතර වෙනවා. මට උදේට එනවා පන්සලේ බෝ මළුවේ එන මල් සුවඳ , හඳුන්කූරු සුවඳ. ඒවා දැනුත් මට මතකයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි කාලයේ අපිව තුරුලු කරගන්න කොට අම්මගෙ සුවඳ . පසු කාලයක අපිට අම්මාගෙන් එන්නෙ උයමින් ඉන්නකොට දුම් වැදිලා තුනපහ මිශ්‍ර වූ කිරි සුවඳක්.
අම්මා නම් ඔයක්…
ඔය සිද්ධීන් දාමයත් එක්ක තවත් දෙයක් වුණා. රූ ගත කිරීමක් සදහා දුරබැහැර ගිය වෙලාවක ලස්සන ඔයක් දකින්නට ලැබුණා. ඉතින් ගමේ කෙනෙක්ගෙන් අපි ඇහුවා ඒ ඔයේ නම මොකක්ද කියලා. පුදුමය කියන්නෙ අපිට උත්තරේ ලැබුනේ අම්මා කියලා. මම ඇහුවා ඇයි මේකට අම්මා කියන්නෙ කියලා. ඔහු කීවේ මහත්තයෝ බලන්න ඔය වටේ තියන වෙල්, හේන් ගොවිපලවල් සතා සිවුපාව ඔය හැම දෙයටම වතුර දෙන්නෙ මේ අම්මා කියලා. ඒ පුද්ගලයා අම්මා කියලා සලකන්න එයාගේ අම්මා විතරක් නෙමෙයි. මහපොළව, වතුර ඒ හැම එකටම සළකන්නෙ අම්ම වගේ. මේ අම්මා කියන අකුරු තුනේ ගැඹුර හිතාගන්න බැහැ
ඔන්න ඔය හැඟීම තමයි ගීතය රචනා කරන්න මගේ හිතට ආපු මූලික අදහස.
ගීතය පටිගත කිරීමේ දේ වුණත් යම් යම් වෙනස්වීම් සිදුවුණා. ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී විජේරත්න රණතුංග තමයි තබ්ලා වාදනය කළේ. එයා ඇහුවා අපි මේ ගීතයට හේවිසිය ඇතුළත් කරමුද කියලා. ඒ වගේ සංගීත ශිල්පීන්ට පවා මේ ගීතයේ ගොඩක් හිතට දැනුනා.
මේ ගීතය ගැන ටිකක් ගැඹුරින් බැලුවොත් පන්සලේ මල් සුවඳ එක්ක ඉන්නවද අම්මගේ කිරි සුවඳ ළඟට යනවද? පොඩි හාමුදුරුනමකට පුංචි හිත්වල තියෙන්න පුළුවන් දෙගිඩියාවක් , පටලැවිල්ලක් මේක.
ගමේ පන්සලක පොඩි දරුවන් සෙල්ලම් කරන පිට්ටනි පොඩි හාමුදුරුවොන්ට පේනව අනිත අය සෙල්ලම් කරනවා. හාමුදුරුනමට බැහැ එතැනට යන්න, සෙල්ලම් කරන්න. එතැනට ගියත් අනිත් අය ඇවිල්ලා දණ ගහලා වඳිනවා.
අපි කියනවානෙ පවුලේ දරුවෙන් සාසනයට බාර දුන්නායින් පසුව ඒ පවුලේ හතර වරිගයම නිවන් දකින පින්කමක් කියලා. හතර වරිගය කියන්නෙ අම්මාගෙ පැත්තෙනුයි තාත්තාගෙ පැත්තෙනුයි ඒ වරිග හතරක් නිවන් දකින පින්කමක්.
හතර වරිගයම නිවන්…
ඉතින් පොඩි හාමුදුරුවො හිතනවා දවසක මම මගේ යුතුකම කරලා හතර වරිගයම නිවන් දක්වල අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා අම්ම ළඟට එනවා නැවත කියලා. නමුත් ඒ එනකොට ඒ කියන්න හතර වරිගයම නිවන් දකිනකොට ඉස්සෙල්ලාම නිවන් දකින්නෙ අම්මා. ඒ නිසා ආයිත් කිසිම දවසක අම්මා කියන කෙනා ළඟට යන්න ලැබෙන්නෙ නැහැ. නියම විදියට ඒ ස්වාමින් වහන්සේ සසුන ආරක්ෂා කරගෙන හිටියා නම් සංසාරේ කවදාවත් නැවත අම්මා මුණ ගැසෙන්නේ නැහැ.
එතකොට මතක් වෙනවා. ,
‘කොහොමද අම්මේ එහෙම කරන්නෙ අම්මත් සසරින් එතෙර වෙලා’…
සාකච්ඡාව සහ ලිපිය – අචලා නෙළුනිකා, ඕක්ලන්ඩ්