පසුගිය දින,‘ ශ්‍රී ලන්කන්ස් ’ ෆේස්බුක් පිටුවෙහි, ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ ගීත පහක් පළකර මෙවර පුවත් පතෙහි සාකච්ඡාවට අදාළ කරගන්නේ කවර ගීයක්දැයි විමසන ලදි. එහිදී වැඩිම මනාපයක් හිමිවූයේ ‘බිඳුණු කලක…’ ගීතයටයි. ගායන ශිල්පී පුන්සිරි සොයිසාට රචනා කළ, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු සංගීතය මුසු කළ මෙම ගීතය ගැන ප්‍රියානන්ද මහත්මයා මෙසේ හඬ අවදි කළා.
කැසට් පට ඉතාම ප්‍රසිද්ධ 1980 වගේ යුගයක පුන්සිරි සොයිසාගෙ කැසට් පටයකට තමයි මේ ගීතය ලියවුනේ. ගීතයේ තේමාව පරාජිත පෙම්වතෙක් ගැන වුනත් පුන්සිරි සොයිසාගේ හඬෙහි අනන්‍යතාවයට සහ හඬ පරාසයට අනුව මෙම ගීතය වෙනස් විදියකට රචනා කළා මම. උච්ච පරාසයකට සරිලන ලෙස විරහ ගීතයක් ලියන්න මම හිතුවා.
තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ, මෙම ගීතයේ මුල් පද දෙකක් මම හිතන්නේ මට උරුම වුණේ මගේ සීයාගේ පෞරුෂත්වයත් සමග, ඒ කියන්නෙ මගේ තාත්තගෙ තාත්තා. ඔහුගේ ඇසුරෙන් ‘බලු නකුටේ උණ පුරුකේ දාලා තිබුනත් බැහැ ඇද අරින්න,’ වැනි හොඳ උපහරණත් ජීවිතයටම අමතක නොවන ගුණාංගත් ඉගෙන ගත්තා. ඔහු භෞතික දේවල් ඒ තරම් ගණන් ගන්නා කෙනෙක් නෙමෙයි. ගෙදර පිඟන්, වීදුරු බඩු කැඩිල බිඳිල ගියාම ගෙදර කාටවත් බනින්නේ නැහැ. ඒව පාවිච්චි කරනකොට තමයි කැඩිලා යන්නේ. අල්මාරිවල දාලා තියෙන දේවල් කැඩෙන්නේ බිඳෙන්නෙ නැහැ කියලා හිත හදාගන්නවා. ගෙදර අනිත් අයටත් එහෙම කියනවා. සීයා පරිස්සම් කළේ බුදු පහනයි දුම් කබලයි විතරයි.
බිඳුනු කලක අමතක කළ
නොහැකි නම් සිතින්…
බිඳෙන බඳුන් කුමකට
සුරකිම්ද ආදරෙන්…
මේ ගීයෙ අනිත් පද පේලි ගැන අවදානය යොමු කරොත් තේරෙනවා අපිට පෙමක් පරාජය වුනායින් පසුව අපි ඇත්තටම අපිව හැර ගිය කෙනාට සුබ පතන්නෙ නෑ කියලා හිතට අවංකව.
මදහස පෑ දෑස හිත හඬවා
යන්න යාවි නම්…
මදහස පෑ දෑස හිත හඬවා
යන්න යාවි නම්…
කඳුලේ රිදුමෙන්
සොයමි රස හැගුම්…
කුමට සුබ පැතුම්
අපිට ඇහිලා තියෙනවා මාව නැති වුනාට ඔයා හොදින් ඉන්න, ඔයාට සුබ පතනවා වගේ දේවල්. ඒත් මම නම් හිතන්නෙ යතාර්තය එහෙම නෙමෙයි. අපි ඇත්තටම හිතින් සුබ පතන්න බැහැ. අවංක සුබ ප්‍රාර්ථනා කියන්නේ බොරුවක්.
වැටහෙන්නේ නෑ වින්ද දුක රුදුරූ
නිමාවී නැතී…
වැටහෙන්නේ නෑ වින්ද දුක රුදුරූ
නිමාවී නැතී…
ගිලිහී ගියදෙන්
පෙමට දුන් බිදුම්…
බිඳුණු පෙම් පැතුම්
ගීයේ පද ගැන හොඳින් අවධානය යොමු කරන්නෙකුට වැටහෙනවා විරහ ගීයක් වුනත් බොහෝමයක් විරහ ගීත වල වාගේ මේ ගී පද වල ඉර, හඳ, මීදුම, සමනල්ලු, මල්, තරු වැනි කිසිම ස්වභාව සුන්දරතාවයක් නැහැ. කිසිම පද පේලියක පරිසරය ගැන කියවෙන්නෙ නැහැ.
ඇත්තම කතාව තමයි විරහා වේදනාවෙන් පෙළෙන කෙනෙක්ට පරිසරයේ ලස්සන දකින්න බැහැ. පරිසරයේ ලස්සනක් මනසට අවධානය යොමුවෙන්නේ නැහැ. ස්වභාව සෞන්දර්ය දෙස බලලා තෘප්තිමත් වෙන්නට බැහැ. ඒ නිසයි ඔවුන් සිය දිවි නසා ගැනීමකට පවා යොමු වන්නේ.
බොහෝ එළිමහන් සංගීත ප්‍රසංගවල පුන්සිරි සොයිසා මේ ගීතයෙන් තමයි වේදිකාවට අවතීර්ණ වෙන්නේ. අද වෙනකල්ම ජනප්‍රියතාවයෙන් නොඅඩු ගීතයක් මෙය. වෙනත් ගායන ශිල්පීන පවා මෑත cover songs කරනවා අපි දකිනවා.
මේ ගීයෙ සංගීතය මුසුකළ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු ගැන කතා කළ යුතුමයි. ඔහු ඉතා දක්ෂ වයලින් වාදකයෙක්. සංගීත අධ්‍යක්ෂවරයෙක්. සාමාන්‍යයෙන් රචනා කළ ගීතයකට තනුවක් මුසු කරද්දී වචනයක් දෙකක් බොහෝවිට වෙනස් කරනවා තනුවට ගැළපෙන ආකාරයට. ඒ වුනාට මේ ගීතයේ එක අකුරක්වත් වෙනස් කළේ නෑ ඔහු.
සාකච්ඡාව සහ ලිපිය – අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්