නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වාසය කරන ලේඛිකාවක් හා ගේය පද රචිකාවියක් වන රමණි රුක්ලාන්ති මහත්මියගේ අළුත්ම නවකථාව ‘ප්‍රතිමාවී’ නමින් පසුගිය මැයි මස 01 වන දින Ellerslie war memorial ශාලාවේ දී ඉතාමත් උත්සවාකාරයෙන් ජනගත කෙරුණේ නවසීලන්ත වාසී ශ්‍රී ලාංකික කලාකාමී පිරිසකගේ සහාභාගීත්වයෙනි. මෙහි මුල් පිටපත ඇය පිළිගැන්වූයේ ඇගේ සෙනෙහෙබර සැමියා වන ඇන්ටන් පෙරේරා මහතා වෙතටයි.
ඊට සමගාමීව රමණි රුක්ලාන්ති මහත්මිය විසින් මින් පෙර රචනා කරන ලද “සිරිල් තාත්තාට දියණියක්ව” කෘතිය හා “සන්ධ්‍යාවේ අරුණෝදය” නම් කාව්‍ය සංග්‍රහය ද මෙදින පාඨකයා අතට පත් වූ අතර එතුමිය විසින් 2013 වසරේ දී රචනා කරන ලද ‘ප්‍රේමාන්විතය’ නම් ගී සංකල්පනා 60ක එකතුව සමගින් නිකුත් කළ සංයුක්ත තැටියේ අඩංගු ගීත අතරින් කිහිපයක් ද එදින රැස්ව සිටි පිරිසගේ වින්දනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමත් එම සන්ධ්‍යාවේ වර්ණවත් බව ඉහළ නැංවීමට ඉවහල් විය. අර්ථවත් අපූරු පදවලට මුසු වූ සංගීතය ද අසන්නාට රසවත් වූවාසේම මනරම් නර්තනයෙන් උත්සව සභාව තවතවත් ආලෝකමත් විය.
මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර, ලේඛක නිරංජන් හේරත් හා ආචාර්ය ඈන් පෙරේරා යන මහත්ම මහත්මීන් දේශන පැවැත්වූහ. පැරණි කලාව මෙන්ම නූතන කලාව ගැනද ප්‍රියානන්ද විජේසුන්දර මහතා දේශනයක් පැවැත්වීය. ඇත්තෙන්ම එය නූතන පරම්පරාවට වැදගත් දේශනයකි. අනාගත පරම්පරාව කලාව හුදකලාවක් කර නොගත යුතු බව එතුමාගේ දේශනයෙන් පැහැදිලිව කියාපායි.
රමණි රුක්ලාන්ති මහත්මියගේ උතුම් අදහසකට අනුව නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට පෙර සඳහන් කළ ග්රන්ථ ත්‍රිත්වයම උපහාර වශයෙන් පිරිනැමීම අතිශය ගෞරවණීය කටයුත්තක් බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. උත්සව සභාව අවසානයේ දී පැමිණ සිටි සියල්ලන්හටම එකී පොත් ත්‍රිත්වය නොමිලේම ලබා දෙන ලදී.

මලිත් චතුරංග සමරසිංහ – Auckland