fbpx
9.4 C
New Zealand
Tuesday, May 24, 2022
spot_img

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද | කුමාරි කහතුඩුව – වෙලින්ටන්

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නගරයෙන් ඈත පිටිසර ගමක උපත ලද මාහට කොළඹ නගරයේ වාසය කිරීමට සිදු  වූයේ තාත්තාගේ රැකියාව නිසාය. අප වාසය කළ ප්‍රදේශයේ සිංහල පවුල් සිටියේ  එක් අතක ඇඟිලිවලින් ගණන් කිරීමටවත්  ප්‍රමාණවත් නොවන ගණනකි. එනමුත් කුඩා කළ පටන්ම සිංහල සිරිත් විරිත් කියාදීමට දෙමව්පියන් ගත් උත්සාහය අසාර්ථක එකක් වූයේ නැත. එයිනුත්  සිංහල අලුත් අවුරුද්දට ලැබුණේ ප්‍රධාන තැනකි. අදටත් නවසීලන්තයේ වෙලින්ටන් නගරයේ දී අපි උපරිම අයුරින් සිංහල අලුත් අවුරුද්ද  සමරන්නෙමු.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට  මේෂ රාශියට ගමන්  කරන දිනයයි. මෙය සාමාන්‍යයෙන්  අප්‍රේල් මාසයේ 12 -14  දිනයන්හි යෙදේ. ලංකාවේ  නක්ෂත්‍රවේදීන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පැවැත්වීම සඳහා පිළියෙල  කර මුද්‍රණය කළ නැකැත් ආදිය සටහන් පත්‍රිකාවට,         ලිත ට අවුරුදු කාලයේ හිමිවන්නේ වැදගත් තැනකි.   මෙම කාලයේ කරන සෑම  ක්‍රියාවක් ම සුබ නැකතකින් සිදු කිරීමෙන් සියලු වැඩ කටයුතු සාර්ථක වේ යැයි විශ්වාස කෙරේ.

සිංහල අවුරුද්ද වෙනුවෙන් අම්මා සූදානම් වන්නේ අප්‍රේල්   මාසය  ඇරඹීමටත් පෙර සිටය. ගෙවල් පිරිසිදු කිරීම,   පින්තාරු කිරීම,  අවුරුද්දට කැවිලි පිළියෙල කිරීමට අවශ්‍ය දේවල් සූදානම් කිරීම, ඇඳුම්, තිරරෙදි, පුටු කවර ආදිය පිළියෙල කිරීම ආදී නොයෙකුත් කාර්යයන්ගෙන් ඇයගේ දින චර්යාව ඉතා කලබලකාරී එකක් බවට පත් වේ.  මෙම කටයුතු සඳහා  ගෙදර හැමෝගේම සහාය ලබා  ගන්නේ අපටත්   නොදැනුවත්වමය. අප්‍රේල් මස  ආරම්භයේ දීම උදාවන පාසල් නිවාඩුව මේ සඳහා පිටිවහලක්  වෙයි. ගෙදර සියලු දෙනාම එක්ව කටයුතු කිරීම නිසා කාලයත් , ශ්‍රමයත් ඉතිරි වන අතර පවුලේ සමගිය ද වර්ධනය වේ.

අපගේ  අසල්වැසියන් වැඩි දෙනෙක් අන්‍ය ජාතිකයන් වීම නිසා ඒ සියලු දෙනා වෙනුවෙන් කැවිලි ආදිය පිළියෙල කිරීමට අපට සිදුවේ. එබැවින් බොහෝ අවස්ථාවල අම්මාගේ සහායට ගමෙන්  අයකු පැමිණෙයි. සියලු දෙනාම එක්වී තමන්ට හැකි පමණින් සහයෝගයෙන් කැවිලි ආදිය පිළියෙල කරනු ලැබේ. පරණ අවුරුද්දේ දී නෑදෑයන් බැලීමට ගොස් ඔවුන්ට බුලත් අතක් දී වැඳ ,  කිසියම් වරදක් සිදු වී ඇත්නම් ඊට සමාව ලබා ගැනීම පැරණි සිරිතයි.  නෑදෑයින් ගෙන් ඈත්ව කොළඹ නගරයේ විසූ අපට ඒ සඳහා අවස්ථාවක්  නොලැබුණත් දෙමව්පියන්ට   හා වැඩිහිටි සහෝදර සහෝදරියන්ට වැඳ එම අඩුව අපි පිරිමසා ගනිමු.

සිංහල අවුරුද්දේ පළමු නැකැත යෙදී ඇත්තේ පරණ අවුරුද්ද සඳහා සඳ බැලීමටත්  ස්නානය කිරීමත් සඳහාය. නියමිත දිනයේ අපි සියලු දෙනාම හිසතෙල් ගා ස්නානය  කරන්නෙමු. අවුරුදු  උදා වූ බව දැනගන්නේ සඳ බැලීමෙනි. අවුරුදු උදාවට පෙර ඇති සඳ  බැලීමේ නැකැත් දිනයේ අපි අවසඳ බලන්නෙමු.

නොනගතය යනු  කිසිම නැකැතක් නොමැති කාලයයි.  පරණ අවුරුද්දේ අවසානයත් අලුත් අවුරුද්දේ ආරම්භයත් යෙදෙන්නේ මෙම කාලය තුළදී ය.  නොනගතය ආරම්භ වීමට පෙර ගෙදර වැඩ කටයුතු අවසන් කිරීමට අප සියලු දෙනාම අම්මාට සහය වන්නෙමු.  ගෙදර කෑම ආදිය පිළියෙල කර භාජන සෝදා,  ලිප ගිනි නිවා අතුපතු ගා අපි නොනගතයට සූදානම් වෙන්නෙමු. නොනගතය උදා වූ බව දැන්වීම්ට හතරවටින් රතිඤ්ඤා  නාද වෙයි. අයියත් මල්ලිලාත් රතිඤ්ඤා පත්තු කරනු අක්කාත් මමත් බලා සිටින්නෙමු.

නොනගතේ උදාවත් සමඟ අප සූදානම් වන්නේ පන්සල් යාමටයි. පවුලේ සියලු දෙනාම එක්ව අපිට කිට්ටුවෙන්ම ඇති  පන්සලට පයින්  ගොස් බුදුන් වැඳ  පුදා ගෙන පැමිණෙන්නෙමු.   ඊළඟට ඇත්තේ අප කුඩාවුන් ඉතා ආශාවෙන් බලා සිටින  කාර්යයයි. නොනගතයේ දී කෑම බීම ආදිය ගැනීමෙන් වැළකී සිටිය යුතු නිසා එම කාලය අපි විනෝදයෙන් ගත කිරීම පිණිස කෙළි සෙල්ලම්වල නිරත වන්නෙමු. පංච දැමීම , ඔලිඳ කෙළිය මින් ප්‍රධාන තැනක් ගනී. දෙපිලකට බෙදී කරන පංච දැමීම ඉතා ප්‍රිය උපදවන  ක්‍රිඩාවකි.

අලුත් අවුරුදු උදාවන නැකතට නැවතත් රතිඤ්ඤා පත්තු කරනු ලැබේ.  ලිප ගිනි මෙලවීමේ නැකත උදා වෙන්නේ මින් අනතුරුවයි. අම්මා නැකතට ලිප ගිනි මෙලවීම ට පෙර ඊට අවශ්‍ය සියලුම දේවල් සූදානම් කරගෙන නැකත උදාවන තුරු බලා සිටියි. නැකතට අම්මා ලිප ගිනි මොළවා කිරිබත් පිළියෙල   කරන තෙක් තාත්තාත්  අක්කාත් මමත් එක්ව කෑම  මේසය පිළියෙල කරන්නෝය.  කලින්ම පිළියෙල කරන ලද කොණ්ඩ කැවුම්, අතිරහ,  මුං කැවුම්,  කොකිස්, අලුවා ,තලගුලි , කේක් ආදියත් ගමෙන් එවන ලද උඳුවැල් ,ආස්මී ,නාරං කැවුම් හා කෙසෙල් ගෙඩිවලින් හැඩවැඩ කරන ලද කෑම මේසය මගුල් මේසෙකට දෙවැනි වන්නේ නැත. මෙයට අම්මා විසින් පිළියෙළ කරන ලද ලුණුමිරිසක් හා  කජු, කොස් ඇට, අලුකෙසෙල්, වම්බටු, වැල් අල, තම්පලා හා හාල්මැස්සන් දමා පිළියෙල කරන ලද  හත්මාලුවක ද එක්වේ.

තාත්තා  මේසය මත   පහනක් දල්වා අප සැමට වැඩ ඇල්ලීම සඳහා පොත්පත් ආදිය ගෙනෙන ලෙස දන්වයි.   අපි සියලු දෙනාම ඇඟ සෝදා පිරිසිදු වි අවුරුදු වර්ණයන්ගෙන් යුත් අලුත් ඇඳුමින් සැරසෙන්නමු.

වැඩ ඇල්ලීමේ නැකතට අපි පොත්පත් කියවීම, ලිවීම,  මැසීම වැනි වැදගත්  ක්‍රියාවක් සිදු කර නව වසර සඳහා වැඩ ආරම්භ කරන්නෙමු.

ඉන්පසු අම්මා,තාත්තා සමග මුදල් ගනුදෙනු කර ගන්නා අතර අපි  දෙමව්පියන්ට බුලත් දී වදි. එවිට අපිටත් කාසිය බැගින් ලැබේ. අලුත් අවුරුද්දේ දී ලැබෙන මෙම කාසි අප ආරක්ෂිතව තබා ගන්නේ ආශාවෙනි. සියලු කෑම වර්ගවලින් පුරවන ලද කැවිලි අසල්වැසි නිවෙස්වලට ගෙනගොස් දීම  අක්කාගේත් මගෙත් රාජකාරියයි.  මෙමගින් අසල්වැසි සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමටත් අලුත්වැඩියා වීමත් සිදුවේ. අප නිවසට පැමිණෙන අයට ද අලුත් අවුරුදු කෑම මේසේ දවස පුරා විවෘතව පවතී.

මෙම  කටයුතුවලින් පසු අප සූදානම් වන්නේ ගමේ යාමටයි. කේක්, බිස්කට්, ඇපල්, මිදි ආදී නගරයට  ආවේණික වූ විශේෂ කෑම වර්ග ඇඳුම් හා නොයෙකුත් තෑගි බෝගත් තාත්තා,  අයියා හා මල්ලිලා පිළිවෙලට කාරයේ අසුරයි. අපි පිටත්වන මොහොත ළඟා වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. අත්තා සහ අත්තම්මා වෙසෙන කෑගල්ලේ පිහිටි නිවස පිහිටියේ නිල්වන් වෙල් යායකින් වට වූ කුඩා කඳු ගැටයක ය. එහි දී අපි ඥාති සොයුරු සොයුරියන් හා කෙළිදෙළෙන් ගත කිරීමටත් නෑදෑයන්ගේ ආදර සංග්‍රහ විඳීමටත් අපට අවස්ථාව ලැබේ. අප නෑදෑ හිත  මිතුරන්ගේ නිවෙස්වලට ගොස් බුලත් හුරුලු දී වැඳ  පසුගිය වසර තුළ සිදු වූ වැරදිවලට සමාව ලබා ගන්නා මේ අවස්ථාවේ අපටත් නොයෙකුත් තෑගි බෝග ලැබෙන අතර අප ගෙනා තෑගි බෝග කෑම බීම් ආදිය  ද නෑදෑයන්ට බෙදා දෙන්නෙමු.

ගමේ පවත්වන අවුරුදු උත්සවවලට ද  සහභාගි වීමේ අවස්ථාව මෙහි දී අපට උදාවේ. අලුත් අවුරුදු ක්‍රිඩා අතර කොට්ටපොර , ලිස්සනගසේ නැගීම, ගම හරහා දිවීම, රබන් ගැසීම හා පොරපොල් ගැසීම ප්‍රධාන තැනක් ගනී. ජාතික ක්‍රිඩාවලින් සියළු දෙනා අතර එකමුතුකම හා අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය වේ.

මින් පසු උදාවන හිසතෙල් ගෑමේ නැකැත් දිනය අපට ඉතා විනෝදජනක දිනයකි. අත්තලගේ ගෙදර දි සිදුකරන මෙම උත්සවය කිසි දිනෙක  අමතක නොවේ. සුදු පාටින් උඩුවියන් බැඳ සකස් කරන ලද ස්ථානයක හිසට උඩින් කොළ වර්ගයක් එල්ලා ඇති අතර පය තබන ස්ථානයේ තවත් කොළ වර්ගයක් තබා ඇත. එතන කුඩා මේසයක් මත දල්වන ලද පහනක් රිදී කාසි පිරවූ වතුර බන්දේසියක් ද තෙල් හා නානු පුරවන ලද භාජන දෙකකි. කලින්ම බුදුන් වැඳ සුදු පිරුවට ඇද අත්තා සූදානම් වන්නේ හිසතෙල් ගෑමටයි. එදින අප නිවසට  අසල්වැසියෝ සැළකිය යුතු පිරිසක් ද  පැමිණේති. නැකතට අත්තා වයස් පිළිවෙලට අප සියළු දෙනාගේ හිස්වල තෙල් හා නානු ගා වතුර ස්වල්පයක් ද ගාන තුරු අප රිදී කාසි පිර වු වතුර බන්දේසිය දෙස බලා සිටිය යුතුය. “සබ්බ රෝගෝ විනස්සතු” ගාථාව මුමුනමින් අත්තා සියලු දෙනාගේ හිස්වල හිසතෙල් ගාන විට රතිඤ්ඤා හඬින් මුළු ගමම දෝංකාර දෙයි.

දින කිහිපයක්ම ගමේ නෑදෑයන් සමඟ  අවුරුදු සමරන අප කොළඹ බලා පිටත් වන්නේ හැඬූ කඳුළිනි. අලුත් අවුරුද්ද සඳහා රැකියා බලා පිටත් වීම හා නව සඳ බැලීමේ නැකැත්වලින් අවුරුදු චාරිත්‍ර අවසන් වේ.

අප සැම  එදිනෙදා කරන සාමාන්‍ය කටයුතුවලට වටා  ගොඩනැඟී ඇති සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල ප්‍රධාන තේමාවක් වී ඇත්තේ පවුල, ගම, සාමය හා  සමගියයි.

එමගින් එක්මුතුකම වැඩිහිටියන්ට ගරු කිරීම, කළ වරදට සමාව ලබා ගැනීම, අසල්වැසි නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීම ආදී හොඳ සිරිත් සමග විනෝදය ද අපහට නොඅඩුව ලැබේ.

ආගමානුකූල ක්‍රියාවන්හි නිරත වෙමින් සුබ නැකැත්වලින් සියලු කටයුතු ආරම්භ කිරීම මගින් නව වසරට ආශිර්වාදයක් ද ලැබේ.  එබැවින් අපි සියලු දෙනාත් අප උපන් රටින් ඈත දුරක සිටියත් හැකි උපරිම අයුරින් අවුරුදු සිරිත් පවත්වන්නට උත්සාහ කරමු. ඒවා වැසෙන්නට නොදී රැක ගැනීම අප සැම දෙනාගේම යුතුකමකි .

කුමාරි කහතුඩුව.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.