ශ්‍රී ලාංකේය පොත් පරිත්‍යාගයක්. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය හා සමුද්‍ර පොත් ප්‍රකාශකයන්ගෙන් පාර්මස්ටන්නෝර්ත් පුස්තකාලයට

සිනැග් ශ්‍රී ලංකා පදනම විසින් පාර්මර්ස්ටන් නෝර්ත් හි මධ්‍යම පුස්තකාලය වෙත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පළවූ ශ්‍රී ලාංකේය පොත් පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකෙරිණි.
බහුවාර්ගික ජනතාවක් වෙසෙන පාර්මර්ස්ටන් නෝර්ත් නගරයේ නගරසභා පුස්තකාලයේ ප්‍රජා භාෂා අංශයෙහි (Community Languages Section) විවිධ භාෂා කථා කරන නගර වාසීන් වෙනුවෙන් භාෂා 25 කට ආසන්න කෘති එකතුවක් පවත්වාගෙන යන අතර, එහි මෙතෙක් පැවතුණේ සිංහල භාෂාවෙන් පොත් 30ක් ද දෙමළ භාෂාවෙන් පොත් 25ක් ද පමණි. විශේෂයෙන් දරුවන්ට කියවීමට ප්‍රමාණවත් පොත්පත් නොමැති බැවින් සිනැග් ශ්‍රී ලංකා පදනම පළමු අදියරේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට අයත් ග්‍රන්ථ 76 ක් මෙසේ පිරිනැමීමට කටයුතු කළේය.
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල් දූව, අපේ ගම, තෝරාගත් කෙටිකථා, ගම්පෙරළිය, කළියුගය, යුගාන්තය යන ග්‍රන්ථයන් හි සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත් ද, සාහිත්‍යශූරී ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහයන්ගේ ජනප්‍රිය පරිවර්තන වන ස්වාමි සහ යහළුවෝ, යුද්ධය හා ප්‍රේමය යන නවකතාවන්ද 1,2,3,4,5, ශ්‍රේණි වල දරුවන්ට සිංහල භාෂා ඉගෙනීමට ආධාර වන පොත් කට්ටලයක් හා ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ජාතක කථා පොත් එකතුවක්ද, සමුද්‍රිකා ද සිල්වා මහත්මිය විසින් රචිත පුංචිම පුංචි අයට කතන්දර, පුංචි අයට කතන්දර ඇතුළු ළමා කථා රැසක් ද කොරෝනා වසංගත තත්වය තුල වෛද්‍ය ආසිරි මුණසිංහ මහතා අතින් ලියවුනු ‘කොරෝනා කාලේ ආලේ’ කෘතියද ඇතුළු ජනප්‍රිය ලාංකේය කෘතීන් රැසක්ද ඊට ඇතුළත්ව තිබිණි.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය හා සමුද්‍ර පොත් ප්‍රකාශකයින් මෙම පොත් පරිත්‍යාගය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය හා කැන්බරාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයද මෙම කටයුත්තට සුවිශේෂී දායකත්වයක් දැක්වීය.
තම මව්රටින් බැහැරව ජීවත්වන දරුවන්ට මව්බසින් කියවීමේ හුරුවත් තමන්ගේ රට හා සංස්කෘතිය පිළිබඳව මතකය රඳවාගැනීමටත් හේතුකාරක වන මෙම ග්‍රන්ථයන් පරිශීලනයට මේ වන විට අවස්ථාව උදා වී ඇත.
පාර්මස්ටන් නෝර්ත් මධ්‍යම පුස්ථකාල වෙබ් අඩවියට පිවිස Pressreader මගින් ශ්‍රී ලංකාවේ පලවන දිනපතා ලංකාදීප, ඩේලි මිරර්, ඉරිදා ලංකාදීප, සන්ඩේ ටයිම්ස් පුවත්පත් මෙන්ම ශ්‍රී LankaNZ පුවත්පත ද සම්පූර්ණයෙන්ම කියවීමට හැකියාව පවතී.
පාර්මස්ටන් නෝර්ත් නගරාධිපති ග්‍රාන්ට් ස්මිත් මහතා හා පුස්ථකාල කළමණාකාරිනී ලින්ඩා මුවර් මහත්මිය වෙත එම පොත් පරිත්‍යාග කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ටිෂාන් සම්පත් දිසානායක
පාර්මස්ටන් නෝර්ත්.