සමස්ත විශ්වයම නිරන්තර භ්‍රමණයක පවතින බව සියලු දෙනාම අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි. මෙම භ්‍රමණය නිසා විශ්වයේ පවතින සියල්ල කාලයත් සමඟ වෙනස් විය යුතුය. බාහිර රූපය, තම රූපය සහ තම රූපය විසින් බාහිර ලෝකය ස්පර්ශකර ලබාගත් තොරතුරු විශ්ලේෂණය කර නිර්ණය කරන්නා යන සියල්ලම අනිත්‍යය වේ. එසේ නම් අනිත්‍යයභාවය නිසා දුක ඇතිවන්නේ යයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ නම් සත්‍යය වශයෙන්ම දුකෙන් මිදීම සඳහා වන යම් යාන්ත්‍රණයක් වේද එම යාන්ත්‍රණය මගින් කාලයෙන් ස්වායත්ත වීමේ හැකියාවක් තිබිය යුතුය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ‘අකාලික’ විය යුත්තේ, එනම් කාලයෙන් ස්වායත්ත විය යුත්තේ මේ හේතුවෙනි.
ඇස, කණ. නාසය, දිව සහ ශරීරය යනු එකිනෙකට වෙනස් පරාසයන්ට සංවේදී වන ඉන්ද්‍රියන් පහකි. එනම් කිසිම ඉන්ද්‍රියකට වෙනත් ඉන්ද්‍රියක පරාසය සංවේදී නොවේ. ඇසෙන් ශබ්ද දැකිය හෝ ඇසිය නොහැක. මෙම පංචේන්ද්‍රියන් මගින් බාහිර ලෝකය ස්පර්ශකර ලබාගන්නා තොරතුරු, විශ්ලේෂණය කරන්නේ මනස මගිනි. මනස සහ පංචේන්ද්‍රියන් (රූපය) අතර සෘජු සම්බන්ධතාවයක් නොමැත. රූපය සහ මනස අතර ඇති හිස් අවකාශය ආකාශ ධාතුව වේ. ඇස සහ පංචේන්ද්‍රියන් සහ බාහිර රූපය අතර පවතින්නේ ද මෙම ආකාශ ධාතුමව වේ. මෙම යාන්ත්‍රණයට අනුව
- බාහිර රූපය
- ඇසේ සිට මොළය දක්වා තම රූපය – පංච ඉන්ද්‍රියන්
- මනස ලෙස අර්ථ දැක්වේ.
පංචේන්ද්‍රියන් මගින් ලබාගන්නා තොරතුරු සංඥා මාර්ගයෙන් (මොළයෙන් විය හැක) නිකුත් කරන විට එම සංඥා මනසට සංවේදී වේ. මනස ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. රූපයෙන් ලැබෙන සංඥාවන්ට සංවේදී වන කොටස ‘සංඥාව’ ලෙසත් එසේ ලබා ගන්නා තොරතුරු එක්රැස් කර ගබඩාකර තබා ගන්නා කොටස ‘විඤ්ඤාණය’ ලෙසත් හඳුන්වයි. රූපයෙන් ලැබෙන සංඥා විඤ්ඤාණයේ තැන්පත්ව ඇති දත්ත හෝ තොරතුරු සමග සංසන්දනය කර මනසට ලැබුන සංඥාව හඳුනා ගැනීම ‘චේතනාව’ වන තුන්වන කොටස වේ. චේතනාව විසින් හඳුනාගෙන සංස්කරණය කරන ලද දත්ත නැවත ගබඩාකර තබා ගන්නේ ද විඤ්ඤාණයේමයි.
ඇසෙන් දකින රූපය විඤ්ඤාණයෙන් හඳුනාගත්තේ නම් ඇස සහ රූපය නිසා චක්ඛුවිඤ්ඤාණය හටගනී. මේ ආකාරයටම පිළිවෙලින් කණ, නාසය, දිව සහ ශරීරය නිසා සෝතවිඤ්ඤාණය, ඝාණ-විඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය හටගනී. ඇස, රූපය සහ චක්ඛුවිඤ්ඤාණය යන තුනේ එකතුව ‘චක්ඛුසම්පස්සය’ (ස්පර්ශය) ලෙස හඳුන්වයි.
එහෙත් චේතනාවට සංඥාව හඳුනාගැනීමට නම් ඒ හා ආසන්න වශයෙන් හෝ සමාන සංඥාවක් විඤ්ඤාණයේ තැන්පත්ව තිබිය යුතුය. එවැනි අතීත සංඥාවක් විඤ්ඤාණයේ පවතින්නේ ද එම සංඥාව ‘නාමරූප’ ලෙස හඳුන්වයි. මෙම නාමරූප සංඥාව තුළ අතීත ස්පර්ශයක් මගින් හඳුනාගත් බාහිර රූපයක් ගැන තොරතුරු මෙන්ම එම රූපය නිසා වින්ඳා වූ වේදනාව ඇතුළු වෙනත් තොරතුරු අන්තර්ගත වේ. නාමරූප සකස්වන්නේ විඤ්ඤාණය නිසාම වන අතර නාමරූප නොමැති නම් විඤ්ඤාණයක් හට නොගනී. විඤ්ඤාණය නාමරූප දෙකෙන් ඔබ්බට නොයයි. සංස්කාරවලින් කරනුයේ නාමරූපවල ඇති තොරතුරු විඤ්ඤාණය සමග සංසන්දනය කිරීමයි. සංඥා දෙකක් සැසඳීමයි. මෙම ක්‍රියාවලිය සමීකරණයක් ආධාරයෙන් නිරූපණය කළ හැක.
වර්තමාන රූප සංඥාව නාමරූප සමඟ සංසන්දනය කිරීම නම් වූ සංස්කාරය මගින් රූපය හඳුනා ගනී. එසේ රූපය හඳුනාගන්නවාත් සමඟම නාමරූපවල ඇති නාමකාය සම්පූර්ණයෙන්ම වර්තමාන ස්පර්ශයේ රූපයට ආරෝපනය කරයි. මේ හේතුව නිසා වර්තමාන ස්පර්ශ වූ රූපයෙන් බලාපොරොත්තු වන්නේ නාමරූපවල අන්තර්ගත අතීත ස්පර්ශයක් නිසා විඳි වේදනාවමයි. ජරාවට පත්වන රූපයක් ඇති සත්වයාට අතීත ස්පර්ශයක් මගින් විඳි වේදනාවක් නැවත කිසිදා විඳිය නොහැක.
ළදරුවෙක් ලෝකය හඳුනාගන්නේ වෙනත් පුද්ගලයෙකුගේ ආධාරයෙනි. එලෙස විඤ්ඤාණය හටගනී. එම ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාවට තණ්හාව ඇතිවේ. මෙම තණ්හාව නිසා වේදනාවත් වේදනාව ලබාදුන්නා වූ රූපයත් එම ක්‍රියාවලියත් දැඩිව ග්‍රහණය කර ගනී. මෙය උපාදානය යයි. ළදරුවා මව්කිරිවලින් ආරම්භව ලෝකයේ විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශයන් හඳුනාගනී. මෙලෙස විඤ්ඤාණය ඇතිවන අතර ඒ හේතුවෙන් නාමරූප දිනෙන් දින වර්ධනය වේ. මෙලෙස රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ යන ‘පංච උපාදානස්කන්ධය’ සකස් වේ. ස්කන්ධය යන වචනයේ අර්ථය වන්නේ බොහෝ ප්‍රමාණයක් යන්නයි. එනම් රූප උපාදානස්කන්ධය යනු බොහෝ රූප සංඛ්‍යාවක් උපාදාන කරගෙන ඇත යන්න වේ. මෙසේ උපාදාන කරගන්නා තොරතුරු නිත්‍යව පවතින්නේ යයි වරදවා වටහාගනී. ‘සක්කාය’ ලෙස හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධය වන අතර නිත්‍යයව පවතිනවා යයි වරදවා අවබෝධ (පරාමාස) කරගත්, එම උපාදානවලට සාපේක්ෂව ලෝකය දැකීම ‘සක්කාය දෘෂ්ටිය’ වේ. නාමරූප ලෙස භාවිතා කරන්නේ මෙම පංච උපාදානස්කන්ධයේ ඇති තොරතුරුවලින් වර්තමානයේ සැසඳීමට ගනුලබන සංඥාවට අදාළ සංඥාවයි. කෑම පිඟානක් සංසන්දනය කරන්නේ කෑම පිඟානක් සමග විනා වාහනයක් සමග නොවේ.
මෙම යාන්ත්‍රණයට අනුව නිරීක්ෂකයාවනුයේ තමා (මොළය ද ඇතුලුව පංච ඉන්ද්‍රියන්) වන අතර තොරතුරු විශ්ලේෂණය කර නිර්ණය කරනු ලබන්නේ මනස විසිනි. බාහිර රූපය ද කාලය සමග වෙනස් වේ. පංචේන්ද්‍රියන්ද වෙනස් වේ. විඤ්ඤාණයද වෙනස් වේ. එම නිසා ස්පර්ශය ද වෙනස් වේ. මෙම යාන්ත්‍රණයට අනුව විශ්වයේ භ්‍රමණයත් සමග සියල්ල වෙනස් වන බව අනිත්‍යය වන බව සැළකිල්ලට ගනුලබයි. මේ හේතුව නිසා ස්පර්ශය නිසා ඇතිවන වේදනාව ද වෙනස් වේ.
ජී. එස්. ගුණරත්න, ඕක්ලන්ඩ්