fbpx
13.5 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මවුරි ජන ජීවිතය හා සංස්කෘතිය – කෙටි සටහනක් | ආචාර්‍යය ඩබ්ලිව්.ඒ. අබේසිංහ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

” මේය ආචාර්‍යය ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා විසින් ලියන ලද මවුරි ජන කත පොතෙහි පෙර වදනයි. ජන කතා ඊළඟ කලාපයේ සිට පළකරනු ලැබේ. “

ඉතිහාසය

නවසීලන්තය යනු, දක්ෂිණ අක්ෂාංශ 34 ත් 47 ත් අතර ද දේශාංශ 167ත් 180ත් අතරද පිහිටා ඇති, දක්ෂිණ අර්ධ ගෝලයට අයත්, දූපත් දෙකකින් සැදි රාජ්‍යයකි. එය ඕස්ට්‍රේලියාවෙන් කිලෝමීටර 2000ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත්තේය. ජාත්‍යන්තර දින රේඛාව (International Date Line) දිවෙන්නේ, නවසීලන්තයේ උතුරු දිවයිනේ නැගෙනහිර අන්තය කපාගෙනය. එසේ හෙයින් එකී දින රේඛාව නවසීලන්ත බිම මගහැර දිවෙන ජාත්‍යන්තර සම්මතයක් ඇත්තේය. දේශාංශ 180 වන එම රේඛාවෙන්, නැගෙනහිර පැත්තට ඉරිදා වන විට, බටහිර පැත්තට සඳුදාය. 

එහි වෙසෙන ඉංග්‍රීසි බස කතා කරන ප්‍රධානම ජනතාව වන නවසීලන්තවාසීන් හඳුන්වනු ලබන්නේ කිවි යන පොදු නමිනි. ඉංග්‍රීසි ජාතීන් මෙම භූමියට පැමිණීමට පෙර එහි විසූ ස්වදේශිකයින් හඳුන්වන පොදු නාමය වනුයේ, මවුරිය. මවුරි ජනතාව ද මෙම නව දේශයට සංක්‍රමණය වී ඇත්තේ ඊට පහළින් පිහිටා ඇති පොලිනීසියානු සම්භවයකින් යුතු පැසිෆික් දූපත් සමූහයකිනි. 

අද වනාහි ලක්ෂ තුනක් හතරක් පමණ වන සංඛ්‍යාවක මවුරි ජනතාවක් නවසීලන්තයෙහි වෙසෙති.  ඔවුන්ගෙන් බහුතරය ජීවත් වන්නේ නවසීලන්තයේ උතුරු දූපතෙහිය. 

නවසීලන්තයට මවුරි ජාතිකයින්ගේ මුතුන්මිත්තන් සංක්‍රමණය වී ඇත්තේ මීට අවුරුදු දහසකට පමණ පෙරය. මුල්වරට මෙම දේශය සොයාගන්නා ලද්දේ පොලිනීසියානු යාත්‍රිකයන් විසිනි. මෙම යාත්‍රිකයින් හවායිකි දූපතේ සිට දකුණු දිගට යාත්‍රා කරමින් පැමිණ ඇත්තේ නවසීලන්තය නමැති දූපත් ද්වය වෙතය. මෙම ගවේෂකයන්ගේ නායකයාව සිටි කූපේ නමැත්තා ඉදිරියේ නව භූමිය දර්ශනය වූ විට ඔහුට එය පෙනී ගොස් ඇත්තේ සුවිශාල ධවල වලාකුළක් හැටියටය. එසේ හෙයින්  එම දේශය  ‘දිග සුදු වළාකුලේ භූමිය’ යන අරුතින්, ඔහු විසින් ආටෙරෝහා (Aotearoa) යන නමින් හඳුන්වන්නට යෙදිණි. සැබැවින්ම, ආටෙරෝහා යනු නවසීලන්තයේ පැරණිතම නාමයයි. 

ඊට අවුරුදු සිය ගණනාවකට ඉක්බිතිව බොහෝ යාත්‍රිකයෝ කූපේ ගත් මාර්ගය අනුව යමින් හවායිකි දිවයිනේ සිට මෙම දේශයට පැමිණ ඇත්තාහ. ඔවුන් එසේ සංක්‍රමණය වන්ට ඇත්තේ ස්වකීය නිජභූමිය තුළ පැවති ආහාර හිඟයත් අධික ජනගහනයත් නිසා වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. එසේ පැමිණි පිරිස එහි ජීවත් වූ මුල්කාලීන පදිංචිකරුවන් සමඟ මිශ්‍ර වන්නට ඇත. නොවේ නම්, ඔවුන් පළවා හරින්නට ඇත. මවුරි ජාතිකයෝ අතිදක්ෂ රණශූරයින් වූහ. ඔවුන් අයත්ව සිටි එකිනෙක ගෝත්‍රිකයන් අතර හටගත් යුද්ධ සංඛ්‍යාව බොහෝ වෙයි. මෙම සටන්වල දී පැරදුණු පිරිස වහලුන් වශයෙන් තබාගන්නා ලද අතර ඇතැම් පිරිසක් ජයග්‍රාහකයින් විසින් භක්ෂණය කරන ලද්දේ ද විය. පරාජිත සතුරාගේ ශරීර මාංශය අනුභවයට ගැනීමෙන් ඒ සතුරන් සතුව තිබූ බලය තමන්ට ලබාගත හැකි විණැයි මුල්කාලීන මවුරි ගෝත්‍රිකයෝ විශ්වාස කළහ.

මෙසේ ආඕටෙආරෝහා හෙවත් නවසීලන්තය ස්වකීය පදිංචිය සඳහා තෝරාගත් මවුරි ජාතිකයින්ට මුලින්ම මුණගැසෙන යුරෝපීය ජාතිකයින් වනුයේ 1642 වසරේ දී ඒබල් ටැස්මන් නමැති ඕලන්ද ජාතික දේශ ගවේෂකයාගේ නායකත්වයෙන් පැමිණි පිරිසය. මෙම ගවේෂකයින් වෙරළින් එපිට නැංගුරම් දමා සිටි අතරවාරයේ දී ඔවුන්ගෙන් පිරිසක් මරණයට පත්කොට ඔවුන්ගේ මස් බුදින්ට මවුරි ජාතිකයන් සමත් වූ අවස්ථාවේ දී ඒබල් ටැස්මන් කළේ හැකි විගස ආපසු පලා යාමය. ඕලන්දයේ ඇති සීලන්ඩ් (Zealand) නමැති පළාත හේතුකොට ගෙන, තමා පැමිණි මෙම අලුත් දේශය නියව්සීලන්ඩ් (New Zealand) යනුවෙන් නම් කරන්ට, ටැස්මන් තීරණය කෙළේය. ඊළඟ විදේශ නෞකාව සම්ප්‍රාප්තව ඇත්තේ 1769 වසරේ දීය. එවර පැමිණියේ බ්‍රිතාන්‍ය නෞකාවකි. එය මෙහෙයවන ලද්දේ කැප්ටන් කුක් විසිනි. කපිතාන් කුක් පැමිණෙන අවදිය වන විට, නවසීලන්තයේ මවුරි ජන සංඛ්‍යාව ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර වූහයි සැලකේ. මෙම සුවිශාල දූපත තමන්ගේ යටත් විජිතයක් බවට පත් කරගැනීමේ තීරණයට බ්‍රිතාන්‍ය ජාතිකයින් පැමිණියේ කැප්ටන් කුක්ගේ එකී චාරිකාවෙන් පසුවය. 

නොබෝ කලෙකින් ඉංග්‍රීසි ජාතිකයින්ගේ බසත් සිරිත් විරිත් ආදියත් ඉගෙනීමටත් අනුකරණයටත් සමත් වූ මවුරි ජාතිකයෝ කෙසේවතුදු ස්වකීය දේශය ඉංග්‍රීසි ජාතිකයින්ගේ ජනාවාසයක් බවට පත් වීම නොඉවසූහ. එසේ හෙයින් ස්වජාතික මවුරිවරුන් ද විදේශික ඉංග්‍රීසි ජාතිකයින් ද අතර සටන් වැලක් පැවැත්තේය. මෙකී සටන් මාලාව අවසානයකට පැමිණියේ දෙපස අතර 1840 වසරේදී අත්සන් කරන්ට යෙදුණු වයිටන්ගි ගිවිසුම (Treaty of Waitangi) හේතුවෙනි. නවසීලන්තය මහා බ්‍රිතාන්‍යයේ වෙනමම කොලනියක් හෙවත් යටත් විජිතයක් බවට පත් වුණේ, 1841 වසරේදීය. මෙකී ගිවිසුමෙන් බ්‍රිතාන්‍ය  රැජින විසින් තමන් පාලනය කරනු ලැබීමටත් ආරක්ෂා කරනු ලැබීමටත් කැමැත්ත පළ කළ මවුරි ජාතිකයින්ට සිය දේශයෙහි භූමිය තමන් සන්තකයේ තබාගැනීමට අවසර ලැබුණි. එතෙකුදු වුවත් අලුත් පදිංචිකරුවෝ මවුරි ජාතිකයින්ගේ භූමිය තමන් සතු කරගැනීමට බලපෑම් කරන්නට වුහ. ස්වදේශිකයෝ එයට එකහෙළාම සිය විරෝධය පළ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් යළිත් වරක් දෙපස අතර සටන් මාලාවක්ම ඇවිළ ගියේය. 1860 වසරේ සිට 1870 වසර දක්වාම මෙම සටන් උච්චස්ථානයක පැවති වගද සැලකුවමනාය. ආයුධ ශක්තියෙන් වඩාත් බලසම්පන්නව සිටි ඉංග්‍රීසි ජාතිකයෝ එකී සටන්වල දී ජයග්‍රහණය කළාහුය. ඒ අනුව තමන්ට ලැබෙන්නට තිබුණු ඉඩම් ඉංග්‍රීසි ජාතිකයින්ට පවරා දීමට මවුරි ජාතික ස්වදේශිකයිනට සිදු විය. ඉනික්බිතිව අවුරුදු විස්සකින් පමණ මවුරි ජාතිකයන්ට ස්වකීය සංස්කෘතිය මෙන්ම මෙතෙක් මහත් ආදරයෙන් රැකබලාගත් පාරම්පරික භූමිය ද අහිමිව ගියේය.  

ඉංග්‍රීසි ජාතිකයින් සමඟ කරන ලද සටන්වලින් මවුරි ජාතිකයින්ට අතිවිශාල පරාජයක් අත් විය. නව පදිංචිකාරයින්ගේ බලය වැඩෙත්ම, දරිද්‍රතාවට පත්ව සිටි මවුරි ජාතිකයන් අතර ලෙඩ රෝග බෝවන්නට ද ගණිකා වෘත්තිය පැතිර යන්ට ද වූයේය. සිරුරෙන් කපා වෙන් කරන ලද හිස් සඳහා විශාල ඉල්ලුමක් බටහිරදිගුන් අතර පැතිරෙන්ට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මවුරි ජාතික නායකයෝ තමන් යටතේ සිටි වහලුන්ගේ හිස් ගසා ඒ හිස් යුරෝපීයන්ට විකුණන්ට වූහ. එමතු නොවෙයි මේ යුරෝපීය ජාතිකයෝ නවසීලන්ත බිමට තුවක්කු ද ගෙන ආහ. ඒ තුවක්කු මිලට ගත් මවුරි ජාතිකයෝ එකිනෙකාට විරුද්ධව ඒවා පාවිච්චි කරන්ට වන්හ. ඒ අනුව ඔවුන්ට අහිමි වූයේ ස්වකීය භූමිය පමණක් නොවේ. එතෙක් තමන් විසින් රැකගන්නා ලද භාෂාවත් සංස්කෘතියත් ඔවුන්ට අහිමි විය. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් නොබෝ කලෙකින්ම මවුරි ජනගහනය 42000 දක්වා අඩු විය. 

1840 වසරේ අත්සන් කරන ලද වයිටන්ගි ගිවිසුම අදටත් නවසීලන්තයේ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේය. මෙම ගිවිසුම මගින් තම ජනතාව වංචාවට හසු කරන ලදැයි ද එමගින් නීත්‍යනුකූලව තමන් සතුව පැවති ඉඩම් සම්භාරය ඉංග්‍රීසි ජාතිකයින් විසින් අත්පත් කරගන්නා ලදැයි ද ඔවුහු චෝදනා කරති. 1970 වසරේ සිට තමන් සතුව පැවති ගම්බිම්වලින් කොටසක්වත් නැවත ලබාගැනීම සඳහා මවුරි ජාතිකයෝ යළිත් වරක් දේශපාලන අරගලයක් ආරම්භ කළහ. එහිලා ඔවුන්ගේ විශේෂ අවධානය වඩාත් යොමු වූයේ තමන්ගේ භූමිය පමණටම සංස්කෘතිය ද පුනරුත්ථාපනය කිරීමය. කෙසේවතුදු, 1871 වසරේ දී දෙපස අතර සාමය ස්ථාවර කරන්ට යෙදුණි. ඉනික්බිතිව 1852 දී පිහිටුවන්ට යෙදුණු නවසීලන්ත පාර්ලිමේන්තුව තුළ මවුරි ජාතිකයන්ට ද නියෝජනයක් හිමි විය. 

මේ වන විට මවුරි ජාතිකයන්ගේ භාෂාවත් ආගමත් සිරිත් විරිත් සම්භාරයත් සපුරාම විනාශ මුඛයට පත්ව ඇතැයි කිවයුතු තරම්ය. ඊට අවුරුදු 180 කට පමණ පෙර තමන්ට අහිමි වූ ඒ සියල්ල යළි දිනාගැනීම සඳහා ඔවුන් කිසියම් ආකාරයක දේශපාලන අරගලයක නිරතව සිටිනු දැනුදු දක්නට ලැබෙයි.

ආගම

මුතුන්මිත්තන් වන්දනාව සාම්ප්‍රදායික මවුරි සමාජය තුළ  විශේෂ තැනක් ගනියි. ඔවුන්ගේ ආගම සංකීර්ණ එකකි. අහස, මුහුද, කඳුවැටි, සංග්‍රාම යන මේ සියල්ල නියෝජනය කරන දෙවිවරු ඔවුන්ට සිටිති. මවුරි ආගමෙහි ඉතා වැදගත් අංශයක් වනුයේ ඔවුන් විසින් මවුරි නමින් හඳුන්වනු ලබන ජීව ශක්තිය සහ වයිරුවා යන නමින් හඳුන්වනු ලබන ආත්මීය ශක්තියයි. මේ ශක්ති ද්වයම සියලුම මිනිසුන් කෙරෙහි පවතින බැව් මේ ජනතාවගේ විශ්වාසයයි. 

කෙසේවතුදු ඓතිහාසික සාධක මත ඉකුත් අවුරුදු දෙසියයක පමණ කාලය තුළ මවුරි ජනතාව කෙරෙහි වඩාත්ම බලපා ඇත්තේ ක්‍රිස්තු ධර්මයයි. 1840 වසර වන විට මුළු මවුරි ජනතාවම වාගේ ක්‍රිස්තු ධර්මය වැළඳගත් බැව් පෙනී යයි. 

වඩාත් ශක්තිසම්පන්න මවුරි පිරිමින් හිසේ සිට පාදන්තය දක්වාම පච්ච කොටා ඇති බැව් දැකගත හැකිය. මෙම පච්ච ඔවුන්ගේ මුහුණු මත මෙන්ම තට්ටම් මත ද කොටා තිබෙනු දැකිය හැකිය. ඒ අතර ගැහැනුන්ගේ සිරුරුවල පච්ච කොටනු ලබන්නේ මුහුණ, දෙවුර සහ උදරය යන ප්‍රදේශයන්හිය. මෙසමය වන විට මෙම සිරිත ක්‍රමයෙන් මැකී යනු දැකිය  හැකි වුවද මුහුණු මත පච්ච කෙටීමේ චාරිත්‍රය නැවත පැමිණ ඇති වගක් පෙනී යයි. ඒ වූකලී මවුරි ජාතිකයන් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව සහ අභිමානය ප්‍රකාශ කිරීමට ගත් වෑයමක් සේද සැලකෙයි. 

සමාජය, ආර්ථිකය සහ දේශපාලනය

මවුරි ජන සමාජය සාම්ප්‍රදායික වශයෙන් ගෝත්‍රවලට බෙදී ඇත්තේය. ඉවි (Iwi)නමින් යුතු එකී ගෝත්‍ර හඳුන්වනු ලබන්නේ, ඔවුන් මුලින්ම නවසීලන්තයට සංක්‍රමණය කිරීම සඳහා යොදාගත් වකා (waka) නමැති අඟුලුවලට දී තිබුණු නම් අනුවය. ඒ අනුව, නවසීලන්තයෙහි වර්තමාන මවුරි ජනගහනය ගෝත්‍ර පනහකින් පමණ යුක්ත වෙයි. එකී හැම ගෝත්‍රයක්ම හපු (Hapu) නමින් හැඳින්වෙන ජනඛණ්ඩ රැසකින් සැදුන එකකි. ඇත්ත වශයෙන්ම මවුරි යන නාමයෙන් මෙම ගෝත්‍රිකයන් හැඳින්වීමට පටන්ගෙන ඇත්තේ යුරෝපීයන් විසිනි. මවුරි යන වදනෙහි තේරුම සාමාන්‍ය යන්නයි. මවුරිවරුන් විසින් යුරෝපීය ජනකාය හඳුන්වනු ලැබ ඇත්තේ, පකේහා (Pakeha) යන වදනිනි.  මෙවදන් දෙකම වර්තමාන නවසීලන්ත ව්‍යවහාරයෙහි බහුලව යෙදෙයි. 

උපතින්ම මවුරිවරුන් රණශූරයන් වුවද ඔවුහු කෘෂිකර්මයෙහි ද බෙහෙවින් නිරත වූවාහු වෙති. ඒ අතර ඇතැමෙක් දඩයමට ද යොමු වූහ. භූමිය අයත් වූයේ මුළු ගෝත්‍රයටම මිස පෞද්ගලිකව නොවෙයි. හැම ගෝත්‍රයක්ම හෝ උප ගෝත්‍රයක්ම හෝ සතුව, ව්හරෙනුයි යන නමින් හඳුන්වන වරිග නිවසක් ඇත්තේය. තම වරිගයෙහි මුතුන් මිත්තන්ගේ ආත්මයන් ඒ නිවස තුළ ජීවත් වෙතැයි, මවුරි ජාතිකයෝ විශ්වාස කරති. 

මුල් කාලයේදී මවුරි ජන සමාජය රදල, පූජක සහ වහල් යනු විසින් බෙදීම්වලට භාජන වී තිබුණ ද අද වනාහි, මවුරි ජාතිකයෝ සමානාත්මතාවයෙන් යුතුව නවසීලන්ත සමාජයෙහි ජීවත් වෙති. 

සංස්කෘතිය

මවුරි භාෂාව හවායියන් සහ සමෝවා භාෂාවලට සමීප නෑකමක් දක්වයි. විසිවැනි සියවස තෙක්ම මවුරි ජාතිකයන් අතර භාවිත වී ඇත්තේ ඔවුන්ගේම වූ එකී ගෝත්‍රික භාෂාවයි. එතෙකුදු වුවත් අද වනාහි ඔවුන්ගේ පොදු බස බවට පත්ව ඇත්තේ ඉංගිරිසි යයි. මවුරි බස පවත්නේ සංස්කෘතික උරුමයක් සහ ආම්පන්නයක් වශයෙන් පමණි. මවුරි බසින් එකී ගෝත්‍රිකයන් අතර සන්නිවේදනයක්  සිදු වන්නේ, ඉතා මඳ වශයෙනි. එය ද වැඩිහිටි පරපුර අතරය. එතෙකුදු වුවත් හැම ජාතික කර්තව්‍යයක්ම මුලින්ම මවුරි බසින් කියන වැකි කිහිපයකින් ඇරඹීම වර්තමානයෙහි සිරිතක්ව පවතියි. එසේම ඉංගිරිසි බසින් ඔවුනොවුන් අතර කෙරෙන කතාබහේදී මවුරි වදන් සුලබව යොදනු ද දැකිය හැක. 

මවුරි සමාජයට ඇත්තේ, සාම්ප්‍රදායික කථන උරුමයකි. ඒ අනුව ගායනා සහ කතාන්තර පිළිබඳ වූ දීර්ඝ සම්ප්‍රදායක් ඔවුන් සතුව ඇත. මෙකී සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඇවිත් මෙසමයෙහි ද මවුරි සංස්කෘතිය අලංකරණය කරනු දැකිය හැකිය. ගීත ගායනා ද නැටුම් ද යාතිකා ද ඔවුන්ගේ සංස්කෘතියෙහි පොදු ලක්ෂණයන්ය. ඒ අතර, සංගීතයත් අභිනයත් මගින් ප්‍රකාශයට පත් වන කවිය ඔවුන්ගේ උරුමයෙහි කොටසකි. ඉකුත් විසිවැනි සියවස තුළ මවුරි ජන සංස්කෘතිය තුළ ‘අභිනය ගීත’ නමැති ගීත සම්ප්‍රදාය බෙහෙවින් දියුණුවට පත්ව ඇත්තේය. මෙකී ගීත ගායනයෙහිදී වේගවත් ලෙස අත් පා චලනය කරනු ද දැකිය හැකිය. 

මවුරි ජනකාය විසින් අතීත යුගයන්හි දී බල්ලන්ගේ ලොම් ද සතුන්ගේ පිහාටු ද යොදාගෙන තමන්ගේ වස්ත්‍ර සකස් කරගත් බැව් පෙනී යයි. විශේෂයෙන්ම එබඳු උණුසුම් ඇඳුම් නවසීලන්තයේ සීතල අධික දකුණු දූපතෙහි දී වඩාත් භාවිතයට ගැනුණි. 

විවිධ කාර්යයන්හි දී මවුරි ජාතිකයින්ගේ කලා රුචිය  මොනවට ප්‍රකාශව ඇත්තේය. යුරෝපීයයන්ගේ සංක්‍රමණවලට පෙර කාලයෙහි ලී කැටයම් කලාව මවුරි ජාතිකයන් අතර සියවස් ගණනාවක් තුළම භාවිතයෙහි පැවත ඇත්තේය. ඒ අතර ඔවුහු ඔරු සහ අඟුල් නිර්මාණයෙහි ද ශූරයින්ව සිටියාහ. ඊට ද අමතරව පච්ච වර්ණ ගල්වලින් නිම කරන ලද විවිධ ආභරණද, සංග්‍රාම යෂ්ටි, ඔරු, අඟුල් ආදිය ද ඔවුන්ගේ සංස්කෘතික නිර්මාණ අතර විශේෂයෙන් කැපී පෙනෙයි. දැවයෙන් ලැටිස් ජනේල කැපීම මෙන්ම රෙදි වියමන තුළින් ද ඔවුහු ස්වකීය ශිල්පීය නිපුණතාව පළ කළහ. ඔවුනතර ජනප්‍රිය වර්ණයන් වූයේ, රතු, කලු සහ සුදු ය. 

ෆරෙයි හුයි හුයි (Whare huihui) හෝ මරායෙ (marae)  නමින් හැඳින්වෙන සන්ථාගාරය හෙවත් සංගම් ශාලාව ඔවුන්ගේ සමාජ සංස්කෘතික ජීවිතයේ විශේෂාංගයක්ව පැවැත්තේය. විවිධ ලී කැටයම්වලින් ද  සිතුවම්වලින් ද විභූෂිත මෙම සංගම් ශාලා පද්ධතිය, මවුරි ගෝත්‍රිකයන්ගේ සමාජ ජීවිතයෙහි විශේෂ අංගයකි. දැනුදු නවසීලන්තයේ නොයෙක් නගරවල ඇති කෞතුකාගාරයන්හි මෙකී සංගම් ශාලාවල ආදර්ශ ආකෘති දැකගත හැක්කේය. හැම ව්හාරෙනුයි නිවසක්ම ඔවුන්ගේ ගෝත්‍රයක් නියෝජනය කරන්නේ වෙයි. මවුරි ජාතිකයින්ගේ පිළිගැනීම වනුයේ මෙම ශාලාවල වහල සිය ගෝත්‍රයේ ආදීම මුතුන් මිත්තන්ගේ කොඳු ඇටය බවය. එසේම බිත්ති වටා  නිමවා ඇති ලී කැටයම්වලින් නිරූපණය වන්නේ එම මුතුන් මිත්තන්ගේ කොඳු ඇට පෙළ බැව් ඔවුන්ගේ අදහසය. 

මවුරි ගෝත්‍රිකයෝ ස්වකීයයන් මුණගැහුණු විට අතට අත දීම හෝ සිරුර නමා හිස පහත් කිරීම හෝ නොකරති. ඒ වෙනුවට ඔවුන් කරන්නේ, මෘදු ලෙස එකිනෙකාගේ නාස් තුඩු එකට ස්පර්ශ කිරීමය.

By Dr. W.A. Abeysinghe

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.