ශ්‍රී ලාංකීය තේ දල්ලේ රසය වන ‘සිලෝන් ටී’ ලොවට හදුන්වා දුන් ප්‍රථම වාණිජ තේ වගාව මහනුවර දෙල්තොට ලූල්කදුර තේ වත්තෙන් 1867 දී ජේම්ස් ටේලර් විසින් ආරම්භ කරන ලදි.
එක්දහස් අටසිය තිස්පහේ මාර්තු විසිනව වන දින ස්කොට්ලන්තයේ දි උපන් ජේම්ස් ටේලර් වයස අවුරුදු දාහතක් තරම් ගැටවර වියේදි එනම් එක්දහස් අටසිය පනස්දෙකේ දි ලංකාවට පැමිණ මහනුවර සිට කිලොමිටර් හතලිස් දෙකක් තරම් දුර වූ නුවරඑළිය දිස්ත්‍රික් මායිමේ ඇති ලූල්කදුර වත්තේ පදිංචි වේ.
මෙම කාලයේ කෝපි වගාව ලංකාවේ තිබූ අතර කෝපි කොළවලට සෑදුනු හෙමීලියා වෙස්ටර්ට්‍රික්ස් (Hemileia Vastatrix) නම් දිලීර රෝගයක් නිසා කෝපි වගාව විනාශ වී ගොස් ඇත. එබැවින් මෙම පරිසරයේ තේ වගාව ආරම්භ කළ හැකි ද යන්න පිළිබද අත්හදා බැලීම් කිරීම මොහු විසින් ආරම්භ කොට ඇත.
මීට පෙර 1824 දි ලංකාවේ ප්‍රථම තේ පැලය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිටුවා ඇත. මෙය ඇසෑම් වර්ගයට අයත් වන අතර හොදින් වැඩුනු තේ ගස අදටත් එම උද්‍යානයේ දැකිය හැකිය.
පසුව නොයෙක් අධ්‍යයනයන් හා පර්යේෂණ කිරීමෙන් පසු ප්‍රථම තේ වගාව අක්කර දහනවයක් භූමියක් පුරා වගා කිරීම එක්දහස් නවසිය හැට දෙකේ දි ආරම්භ කරන මොහු ටිකෙන් ටික තේ වගාව දියුණු කොට ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය ලෙස තේ පෙරට ගෙන ඒමට මහත් ප්‍රයත්නයක් දරනු ලබයි.
ලූල්කදුර වත්තේ මුලින්ම සිටුවූ තේ ගස අදටත් විශාලව වැඩී පවතිනු ද දැකිය හැකිය.
මුහුදු මට්ටමේ සිට උස අඩි හාරදහස් එක සියයක උසින් යුතු ලූල්කදුර තේ වගාව පසුව කොටස් පහක් දක්වා ව්‍යාප්ත වේ. එනම් අපර්ගෝනාව, ලෝවර්ගෝනාව, ලූල්කදුර, නාරන්හේන හා වල්ඔය යන කොටස් පහ වේ.
එවකට අඩි තුන්සිය විසි පහක් තරම් දිග වූ ලංකාවේ දිගම තේ කර්මාන්ත ශාලාව ලූල්කදුර වත්තේ ඉදිවූ අතර වර්තමානයේ වෙනත් ප්‍රදේශවල ඊට වඩා විශාල කර්මාන්ත ශාලා ඉදිවිය.
ලූල්කදුර තේ වත්තට මහනුවර සිට තලාතුඔය ගලහ මාර්ගය ඔස්සේ හා මහනුවර සිට පේරාදෙණිය දෙල්තොට මාර්ගයෙන් ළගා විය හැකිය. දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා සුළු ස්ථායක් වන මෙම පරිසරයේ පිහිටි කොණ්ඩගල ගල් තලාව මතට නැගි විටි සුන්දර දසුන් නැරඹිය හැකිවේ.
අවට පවතින සුන්දර දිය පහර වලින් ගතේ විඩාව නිවාගත හැකිය. බොහෝ විදේශකයින් මෙම ගල මතින් පැන පැරෂුට් මත ගමන් කිරීම සඳහාම මෙම තේ වත්තට පැමිණෙනු දැකිය හැකි වේ. නුවරඑළිය ප්‍රදේශයට ආවේණික දේශගුණයක් පවතින මෙම ප්‍රදේශයේ රාත්‍රි කාලයේ කූඩාරම් ගසා විනෝද වීමට ද බොහෝ පිරිස් පැමිණේ.
සම්පූර්ණයෙන් අතින් නිමවූ තේ කුඩු රාත්තලක් එවකට ලාංකීය වෙළඳ පොළේ එක්යි ශත පනහක් විය.
තේ දල්ලට ආදරය කළ ජේම්ස් ටේලර් එක්දහස් අටසිය අනූ දෙකේ මැයි මස දෙවැනි දින අවුරුදු පනස් හතක් ආයු වළදා මියගිය අතර ඔහුගේ දේහය මහනුවර මහයියාව සුසාන භූමියේ තැන්පත් කළ අතර අදටත් එම සොහොන් කොත දැකිය හැකිවේ. වතු කම්කරුවන්ගේ කරමතින් ඔහුගේ දේහය ලූල්කදුරේ සිට මහයියාවට ගෙන ඒම සඳහා පැය අට හමාරක් ගත වී ඇත.
අවුරදු හතලිහක් වූ ඔහුගේ සේවා කාලය තුළ ඔහු නිවාඩු ලබාගෙන ඇත්තේ එක් දිනක් පමණි. මෙය ඔහුගෙන් අපට ගත හැකි තවත් ආදර්ශයක් වේ.
By Asela Wickramarachchi – Kandy
(aselawi@gmail.com)