fbpx
9.9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත රජයේ හා ප්‍රජාවගේ ගරුබුහුමනට පාත්‍ර වූ අපේ සිවිල් ඉංජිනේරුවා – චන්ද්‍රා පෙරේරා | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අපේ ජීවිතවල සනිටුහන් වූ අමතක නොවන සංසිද්ධීන් පිටුපස විවිධ පුද්ගලයෝ සිටිති. ඔව්හු අපේ ජීවිතවල අත්දැකීම් මෙන්ම විටක අපේ පූර්වාදර්ශ ද වූහ. නවසීලන්තයේ දී මා නොයෙකුත් තරාතිරම්වල පුද්ගලයින්ගේ ඇසුර ලබන්නට වාසනාවන්ත වූ අතර ඔවුන්ගෙන් ලැබුණු අවවාද මගේ ජීවිතය පෝෂණය කළ බව කිව යුතුය. එලෙස මට නවසීලන්තයේ දී ඇසුරු කරන්නට ලැබුණු ඔහු සොඳුරු මිනිසෙකු මෙන්ම අපූර්ව චරිතයක් ද විය.  

වෘත්තියෙන් ඉතා ඉහළ තනතුරක වැජඹුණු ඔහු අත්දැකීම් බහුල විද්වතෙක් විය.  සිය වෘත්තියෙන් බැහැරව සාමාන්‍ය ජීවිතයේ දී කලාකාමී, සංගීතයට ලැදි, විනෝදකාමී, කාටත් නොමසුරුව උදව් පදව් කළ, සිය පවුලට අතිශයින් ආදරය කළ, නිහතමානී, සරල පුද්ගලයෙකු ලෙස ඔහු අප අතර ජීවත් විය. 

ඔහු නමින් චන්ද්‍රා පෙරේරා වුවද “චකා” යන අන්වර්ථ නාමයෙන් හැඳින් වුණ අපේ සදාදරණීය හිතවතා විය.  ඔහු සිටි තැනක පාළුවක් නම් නොවුණි.  ඔහුටම ගැළපෙන සහකාරිය වූ ඉන්ද්‍රාණි ඔහු මෙන්ම අප සියලු දෙනාටම අපේම සොහොයුරියක් වූවාය.  

චන්ද්‍රා සිය වගකීම් බහුල අවිවේකී වෘත්තියෙන් ඉඩ ලැබුණු හැම විටකම නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය කිරීමට ඇප කැප වී සිටියේය. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඕක්ලන්ඩ් නුවර ශාඛාවේ දෙවතාවක්ම සභාපතිධූරය හෙබ වූ ඔහුගෙන් සිදු වූයේ සුළුපටු සේවයක් නොවේ. ඔහුගේ විධායක කමිටුවේ සේවය කරන්නට අවස්ථාව ලද මම ඒ වකවානුවේ දී මේ අත්දැකීම් පිරි මිනිසාගෙන් අපමණ දේ උගත්තෙමි. මා ඉටු කළ කවර වැඩක දී වුවද ඉතා ඉහළින් එය අගය කොට මා එහි රඳවා ගන්නට මෙන්ම අනිකුත් කමිටු සාමාජිකයන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටු කරවා ගන්නට ද ඔහු සමත් වූයේ ඔහුටම ආවේණික වූ යහගුණ හා මනුස්සකම නිසාමය.  

චන්ද්‍රා පෙරේරා කොළඹ තර්ස්ටන් විදුහලෙන් සිය මුලික අධ්‍යාපනය ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ද ලබා ගත්තේය. පුරා අවුරුදු 45 කට ආසන්න කාලයක් සිවිල් ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ ඔහු විවිධ තානාන්තර දරමින් සිය වෘත්තීය ජීවිතය තුළ ඉහළ කඩඉම් පසුකර යාමට සමත් වූයේ ඔහුගේ දක්ෂතාවය හා කැපවීම නිසාය.  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් ඔහු සහකාර ඉංජිනේරුවෙකු ලෙස 1971 දී වාරිමාර්ග දෙපාර්තමේතුවට සිය මුල් පත්වීම ලැබුවේය. ලෝක බැංකුවේ හා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ දියත් වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉංජිනේරුවෙකු ලෙස රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශයට එක් වු ඔහු 1972 සිට 1976 දක්වා එහි සේවය කළේය. 

ඉන් අනතුරුව 1977 සිට 1983 දක්වා නයිජීරියාවේ ඔන්ඩෝ රාජ්‍ය ජල සංස්ථාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කළ ඔහු පෙරලා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව 1983 සිට 1987 දක්වා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර දැරූ අතර, 1987 සිට 1989 දක්වා වෝකර් සමාගමේ කළමනාකරුවෙකු ලෙස ද කටයුතු කළේය.

යලිත් විදේශීය රටවල ඉංජිනේරු ව්‍යාපෘති හා සම්බන්ධ වූ ඔහු සිම්බාබ්වේ ජල සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සැලසුම් ඉංජිනේරුවරයා  වශයෙන් ද තාක්ෂණික උපදේශකවරයෙකු හා ප්‍රතිසම්පාදන විශේෂඥයෙකු ලෙස මොසැම්බික් රාජ්‍යයේත් සේවය කිරීමට අවස්ථාව උදා කර ගත්තේය.  

2000 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසටත්, 2002 සිට 2004 දක්වා ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන යටතේ නිවාස හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් දියත් කළ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු හා ආයෝජන උපදේශකවරයෙකු ලෙසටත් කටයුතු කළේය.  

නැවත විදේශ ගත වූ ඔහු 2006 සිට 2007 දක්වා කෙන්යාවේ ජල සේවා මණඩලයේ යටිතල සංවර්ධන  හා ප්‍රසම්පදාන කළමනාකරණ උපදේශකයෙකු ලෙස සේවය කොට 2008 දී නවසීලන්තයේ ස්ථිර පදිංචියට පැමිණියේය.  

2008 සිට 2018 ඔක්තෝබර් දක්වා නවසීලන්තයේ ප්‍රවාහන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු ලෙස විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කළේය.  ඔහු දක්ෂිණ කොරිඩෝව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඕක්ලන්ඩ් සිට දකුණේ පැපකුරා දක්වා මනුකව්හි SH20/SH1 අධිවේගි මාර්ග ආවරණය කරන ව්‍යාපෘතිය තුළින් දිශා දෙකේම මංතීරු වැඩි දියුණු කිරීමේ භාරදූර ක්‍රියාවලියේ මුලිකත්වය ගෙන කටයුතු කළේය. මෙම ව්‍යපෘතියේ ටකනිනි අන්තර් හුවමාරුවේ දිගින් කිලෝමීටර් 4.5ක් වු මංතීරුවල පදිකයින්ට, පාපැදිකරුවන්ට, ඇවිදින්නන්ට වෙන්ව ඇති අතර එය මනුකව් වරායේ සිට පෙනෙන මනරම් දසුනකි.  

වසර 11 ක්වූ ඔහුගේ ධුරකාලය තුළ නවසීලන්තයේ මහාමාර්ග ජාලයේ වගකිව යුතු නිලයක් දැරූ ඔහු එතෙක් මෙතෙක් නවසීලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවන් අතරේ සිය නාමය ද ඉහළින්ම සටහන් කරන්නට සමත් විය. 

 මෙම යෝධ මහාමාර්ග ව්‍යාපෘතියේ අවසන් අදියර අවසන් කිරීමට ආසන්නයේ මෙම ව්‍යාපෘතියට මහත් සේ ආදරය කළ ඔහු හදිසියේ ජීවිතයෙන් සමු ගත්ත ද ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඔහුගෙන් ලද මහඟු දායකත්වය මහත් සේ අගය කළ නවසීලන්ත රජය ඔහුගේ නමින් ස්මාරකයක් පිහිටු වීය.  

මෙම ලිපියේ ජායාරූපයේ දිස්වෙන එම ස්මාරකයේ මවුරි බසින් ලියා ඇති කොටසේ ඉංග්‍රීසි අර්ථය වූයේ “The Leader at the front workers behind the Leader” යන්නයි. එම කියමන ඔහු වෙනුවෙන් මහාමාර්ග අධිකාරිය තෝරා ගෙන ඇත්තේ එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේලා ඔහු දැක්වූ නායකත්වයේ තිබූ වැදගත්කම හුවා දැක්වීමටය.   ශ්‍රී ලංකා මාතාවගේ සුජාත පුත්‍රයෙකු වූ ඔහු සිය උපන් රටට මෙන්ම ජීවත් වූ රටට ද හැකි උපරිමයෙන් සිය දැනුම හා අත්දැකීම් බෙදා දුන් උදාර පුද්ගලයෙකු විය. 

සිය බිරිඳට, දරු මුණුපුරන්ට මෙන්ම මිතුරන්ට ද දැඩි සේ ආදරය කළ මේ ආදරණීය මිනිසා අද අප අතර නැතත් නවසීලන්ත රජය ඔහු වෙනුවෙන් ස්මාරකයක් ගොඩනංවාලීමෙන් කළ ඒ උපහාරය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම දැක්වූ මහත් ගෞරවයක් සේ සැලකේ.  

ඔහුගේ අවමඟුලට සහභාගි වූ මහා මාර් ග  ව්‍යාපෘතියේ ඔහු හා සේවය කළ මිතුරෙකු වූ නවසීලන්ත ජාතික ඇන්ඩෲ ස්පිටල්  ” චන්ද්‍රාගේ ගෞරවණීය, විශ්වාසවන්ත, සැලකිළිමත්, සාධාරණ සහ දැඩි පක්ෂපාතිත්වය අප සියලු දෙනාම ඔහුව සිහිපත් කරන ගුණාංග වේ,” යනුවෙන් සඳහන් කිරීම තුළින්ම ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක් ද යන්න කාහටත් පසක් කර ගත හැකි වේ.     

චන්ද්‍රා, අද ඔබ අප අතර නැතත් ඔබ නිසාම ලැබූ ඒ ගෞරවය ඔබේ සදාදරණීය බිරිඳ ඉන්ද්‍රානිටත්, දරු මුණුබුරන්ටත් අප සියලු දෙනාටත් මහත් අභිමානයකි. 

ඔබේ ද දායකත්වයෙන් ඉදි කළ එම මාර්ගයේ කොණක ඔබ වෙනුවෙන් ඉදි කෙරූ ස්මාරකය පසු කර යන අප දෙස බලා ඔබ සතුටු වෙන බව මම ඉඳුරා දනිමි.  ඔබේ ජීවිතයේ ඔබ ලද සියලු ජයග්‍රහණයන් සාඩම්බරයෙන් භුක්ති විඳින්නට ඔබේ ළබැඳියන්ට සලස්වා වෙන් වී ගියත් මව්බිමේත් නවසීලන්තයේත් ඔබ ඉතුරු කොට ගිය ගුණසුවඳ සදා රැඳෙනු ඇත.   

By Indra Dayamani Colombage – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.