වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංස්කෘතිය ලක්දිව ඇති වූයේ මිහිඳු හිමියන්ගේ ලංකාගමනයෙන් පසුවයි. එදා රජ දවස ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්වයේ සංකේතය වැව වූ අතර, වැව හෑරීමේ දී එහි පතුලෙන් කැපුණු පසින් තැනූ ගඩොල් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකිකයෝ වැව් ඉස්මත්තේ ආධ්‍යාත්මික මාර්ගයේ සංකේතය වූ දාගැබ තැනූහ. මෙසේ මිනිසුන් විසින් තනාගත් වැවත් දාගැබත් අසලින්ම ගම පිහිටා තිබුණි. ඒ ගමේ මුදුන් මල්කඩ වූයේ පන්සලයි.
සෑම ගමකටම වැවක් නොතිබුණත් ශ්‍රී ලංකාවේ දාගැබයි පන්සලයි ගමයි එක පොකුරක පිහිටා තිබීම ඉතාමත් සුලභ දර්ශනයකි.
මෙසේ පන්සල ආශ්‍රිතව හැදෙන වැඩෙන ශ්‍රී ලාංකිකයා ලෝකයේ කොයි ඉසව්වකට ගියත් පන්සලක් සොයා යාම ද සාමාන්‍ය සිද්ධියකි. තමන් යන රටේ පන්සලක් නැත්නම් පන්සලක් තනාගෙන හෝ එහි ඇසුරේ ඉන්නට ශ්‍රී ලාංකිකයෝ කැමැත්තක් දක්වති.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටි ශ්‍රී ලංකාරාමය එවැනි පන්සලකි.
නවසීලන්තයටම කියා එකදු ශ්‍රී ලාංකික විහාර ස්ථානයක්වත් නොතිබුණ එම යුගයේ ඉතාමත් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අංක 146 A Church street, Otahuhu යන ලිපිනයේ කුලී පදනමට ගත් කුඩා නිවසක 1999 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාරාමය ආරම්භ විය. මීට සමගාමීව විහාරස්ථානයේ පරිපාලනමය කටයුතු කරගෙන යාමට නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකරත්වය ද ආරම්භ කෙරුණි.
වර්තමාන විහාරාධිපති පදවිය දරණ අතිපූජ්‍ය වල්ගම ශ්‍රී මුනින්දවංස නාහිමියන්ගේ කළ්‍යාණ මිත්‍රයෙකු වන පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන්වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම අභිනව විහාරස්ථානයට මුනින්දවංස නාහිමියෝ ද ඉන් මසකට පමණ පසු සම්බන්ධ වූහ.
මුල් අවධියේ විහාර ස්ථානය පවත්වාගෙන යාම ඉතා අපහසු කාර්‍යයක් වූයේ ඕක්ලන්ඩ් නුවර සිටින බෞද්ධ ජනතාව සංඛ්‍යාත්මකව ඉතා සුළු පිරිසක් වීමත් එයිනුත් ඇතැම් පිරිස් ශ්‍රී ලාංකික විහාරස්ථානයක් ඇති කිරීමට වඩා ලෝකයේ සියළුම ථෙරවාද බුදුදහම පවතින රටවල බෞද්ධයින් වෙනුවෙන් එක් පොදු විහාරස්ථානයක් පමණක් තිබිය යුතුය යන මතය දැරීමත් නිසාය.
කෙසේ වුවත් එවකට විහාරස්ථානයේ වැඩ විසූ අනුරුද්ධ හිමි සහ මුනින්දවංස හිමි දුෂ්කරතා පසෙක ලා ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ කොටස කරන්නට වූහ.
විහාරස්ථානය පැවතුනු භූමියේ සහ ගොඩනැගිල්ලේ ඉඩකඩ මදි වුණත් කෙසේ හෝ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ශ්‍රී ලාංකික සංස්කෘතිය, සිංහල භාෂාව සහ බුද්ධ ධර්මය කිසියම් ප්‍රමාණයකට හෝ ඉගැන්වීම මේ ස්වාමීන්වහන්සේලාගේ අරමුණ වූ නිසාම 1999 වසරේ ජූලි මාසයේදී ඒ අසල පිහිටි වියට්නාම් පන්සලේ ශ්‍රී මිහිඳු දහම් පාසැල ආරම්භ කෙරුණි.
ශ්‍රී ලාංකික බෞද්ධයින්ට තවත් වැදගත් වන සිදුවිමක් එම වසරේදීම ශ්‍රී ලංකාරාමයේ සිදු කෙරුණි. ඒ නවසීලන්තයේ දී ශ්‍රී ලාංකික භික්ෂුවක් ප්‍රථම වතාවට වස් සමාදන් වීමයි. එම වස් තුන් මාසය අවසානයේ ඉතා චාම් කඨින මහා පුණ්‍යෝත්සවයක් ද ඉහත කී වියට්නාම් පන්සල් භූමියේ ඇති විශාල නුග රුක් සෙවනේ පවත්වන්නට යෙදුණි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ එවකට විසූ ධර්මකථික භික්ෂූන්වහන්සේලා කිහිප නමක්ම නවසීලන්තයට වැඩම කරවා විශාල ආගමික පුනරුදයක් ඇති කරන්නට මේ ස්වාමීන් වහන්සේලා දෙනම කටයුතු කළහ.
2002 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාරාම විහාරස්ථානය දැනට පවතින භූමියේ අංක 11, Pukeora Road, Otahuhu යන ස්ථානයට ගෙන යන ලදී. මෙය දායකභවතුන්ගේ දායකත්වයෙන් විහාරස්ථානය වෙනුවෙන්ම මිල දී ගත් ප්‍රථම භූමි භාගය වන අතර ඉන් විශාල ප්‍රබෝදයක් නවසීලන්තවාසී ශ්‍රී ලාංකික බෞද්ධයන් තුළ ඇති විය.
කෙසේ වෙතත් 2002 වසර ශ්‍රී ලංකාරාම විහාර ස්ථානයට එතරම්ම සුබ වසරක් නොවීය. විහාරස්ථානය ආරම්භ කරන්නට මූලිකත්වය ගත් මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන්වහන්සේගේ සේවය ඉතා අවාසනාවන්ත ලෙස මෙරට වෙසෙන බෞද්ධ ජනතාවට අහිමි විය.
මෙවැනි අභාග්‍යසම්පන්න සිදුවීමක් හේතු කොටගෙන ඕනෑම ස්ථානයක් විශාල කඩා වැටීමකට ලක් විය හැකි නමුත් එවකට සිටි බෞද්ධ භාරකාරත්වයේත් මුනින්දවංස නාහිමියන්ගේත් කැපවීම මත විහාරස්ථානය නැවතත් පෙර තිබූ තත්ත්වයටම ගෙන එන්නට හැකි විය.
අනතුරුව විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ආරම්භ වූ අතර, 2004 වසරේ සිට විහාරස්ථානය සීඝ්‍රයෙන් දියුණු වන්නට විය.
ඒ අනුව, වර්තමාන විහාරාධිපති මුනින්දවංස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාර ස්ථානයට යාබද ඉඩම සහිත ගොඩනැගිල්ල ද මිල දී ගෙන විහාර ස්ථානයකට අත්‍යාවශ්‍ය අංගයන් වන බුදුමැදුර, ධර්මශාලාව, චෛත්‍යය, බෝධිය සහ සංඝාවාසය මෙන්ම පුස්තකාලයක් ද එක් කරන්නට මෙරට වෙසෙන බෞද්ධයෝ සමත් වූහ.
ඉන් අනතුරුව, අංග සම්පූර්ණ විහාර සංකීර්ණයක් වන ශ්‍රී ලංකාරාම විහාරස්ථානය 2012 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වුනු කඨින මහා පිංකමේ දී දායකදායිකාවන් විසින් සඟසතු කර පූජා කරන ලදී.
පසුගිය කාලය පුරා ශ්‍රි ලංකාරාම විහාරස්ථානය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, ඒ සඳහා වර්තමාන විහාරාධිපති වල්ගම ශ්‍රී මුනින්දවංස නාහිමියන්ට අමතරව මුගුණුවෙල අනුරුද්ධ හිමි, කොට්ටුකච්චියේ පඤ්ඤාසිරි හිමි, උඩගලදෙනියේ යසස්සී හිමි, කාගම චන්දවිමල හිමි, හැඟව රාහුල හිමි සහ වල්ගම රේවත හිමි යන ස්වාමීන්වහන්සේලාත් ඊට අමතරව දායක දායිකාවන්ගේ ආරාධනය පරිදි භාවනා, අභිධර්මය හා විවිධ ආගමික වැඩසටහන් සඳහා වැඩමවා වදාරන වෙලිංටන් ධම්මගවේසි භාවනා මධ්‍යස්ථානයේ වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ හා වරින්වර ශ්‍රී ලංකාවෙන් වැඩම කර නේවාසිකව විසූ අනෙකුත් ස්වාමින්වහන්සේලාත් දැක්වූ කැපවීම ඉතා විශාලය.
විහාරස්ථානය ආරම්භ කිරීමේ දී සම්බන්ධ වූ ඉතාමත් සුළු ගිහි පිරිස තුළ වූ අප්‍රතිහත ධෛර්යය මුල් අවධියේ දී ඇති වූ සුළු පසුබෑමේ දී ඊට මුහුණදුන් පිරිසේ තිබූ සාසන ලැදි බව, එමෙන්ම ශ්‍රී ලංකාරාමය අද වෙන විට ලබා ඇති දියුණුවට එදා සිට අද දක්වා තම ධනයෙන් ශ්‍රමයෙන් සහ කාලයෙන් දායක වූ පිරිසද කළ කාර්‍යභාරය කිසිසේත් අමතක කළ නොහැක.
මේ වන විට මෙම විහාරස්ථානය තුළින් සේවාවන් ලබාගන්නා ප්‍රමාණය ඉතා විශාලය. අද වන විට සතියේ දින හත පුරාම උදෑසන සිට දවස නිමාවන තුරුම වැල නොකැඩී විහාරස්ථානයට එන පිංවත්තු ඊට සාක්ෂි දරති.
මේ නිසාම මෙම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබා දීමේ අරමුණින් විහාරස්ථානයට උතුරෙන් සහ දකුණෙන් පිහිටා ඇති ඉඩම් කොටස් දෙකක්ද නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වයේ මූලිකත්වයෙන් සහ විහාරස්ථානයේ දායක පිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මිළ දී ගෙන විහාරස්ථනයට පූජා කර ඇති අතර, ඉදිරියේ දී ඒවා විහාරස්ථානයට සුදුසු වන පරිදි සංවර්ධනය කරන බව විහාරාධිපති හිමියෝ පවසති.
අද වන විට ශ්‍රී ලාංකික බෞද්ධ පිංවතුන් වෙනුවෙන් දිනපතා, සතිපතා සහ මාස්පතා ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර දෛනික බුද්ධ පූජා, සතිපතා පැවැත්වෙන සූත්‍ර සජ්ජායනා, මාසිකව සිදු කෙරෙන ධර්ම දේශනා, සිල් සහ භාවනා වැඩසටහන්, තරුණ පිරිස් වෙනුවෙන් මාසිකව කෙරෙනා ධර්ම සාකච්ඡා වැඩසටහන් ඒ අතර වේ.
මෙවැනි විශාල ශාසනික සේවාවක් සිදු කෙරෙන මහාවිහාරයක් නවසීලන්තයේ පිහිටුවන්නට මුල් වූ පිංවතුන්ටත් එය පවත්වාගෙන යන්නට එදා සිට අද දක්වාත්, ඒ වගේම ඉදිරියටත් සහාය වෙන දායකදායිකාවන්ටත් මේසා විශාල ආගමික කටයුත්තකට කැප වී සිටින ගෞරවණීය සංඝරත්නයටත් ඔවුන් පතනා බෝධියකින් නිවන සාක්ෂාත් කරගන්නට මෙපිංබලයත් හේතු වේවා යනු හැම දෙනාගේම ප්‍රාර්ථනාවයි.
By Niranjan Herath – Auckland