යම් දරුවෙක් වෙහෙසී ඉතා ධාර්මිකව උපයා සපයා ගත් දෙයින් තමන්ගේ මව්පියන්හට සත්කාර කරයි නම් ගරු බුහුමන් කරයි නම් පුදයි නම් එසේ පිදුම් ලබන දෙමාපියෝ දරුවන්ට මහත් වූ සෙනෙහසින් ආශිර්වාද කරති. ඒ ආශිර්වාද ලබන දරුවන් කිසි කලෙකත් පිරිහී නොයන බව ‘ලිච්ඡවී කුමාර සූත්‍රයේ’ දි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භික්ෂූන් වහන්සේලා පවා තමන් ධාර්මිකව ලබන සිව්පසයෙන් තම දෙමාපියන්ට උපස්ථාන කරන කල්හි ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් සාදු සාදු කියා අනුමත කළහ. ‘සිගාලෝවාද සූත්‍රයේ’ දි නැගෙනහිර දිශාව ලෙස උන්වහන්සේ පෙන්වා දුන්නේ මව්පියන්වයි. එහි දී දරුවන් විසින් දෙමාපියන්ට පස් කරුණකින් උපස්ථාන කළ යුතු බව පෙන්වා දෙමින් මෙසේ වදාළ සේක.
01. තම දෙමාපියන් මහළු වූ කළ ඔවුන්ව රැකබලා ගැනීම.
02. දෙමාපියන්ට කළ යුතු දෙයක් ඇති කල්හි උදව් උපකාර කිරීම.
03. දෙමාපියන්ගෙන්ලත් දායාද යහපත් අයුරින් පරිහරණය කිරීම.
04. ඔවුන්ගේ කුල පරපුර ඒ අයුරින් රැක ගැනීම.
05. ආදරණීය මව්පියන් මියගිය පසු දන්පැන් පූජාකොට ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කිරීම.
දෙමාපියන් දරුවන්ට කොයිතරම් උපකාර කළා ද කිවහොත් එම උපකාරවලට ප්‍රතිඋපකාර කරන්න යැයි සිතා සියක් අවුරුදු පුරාවට එක් උරයක අම්මා ද අනෙක් උරයෙහි තාත්තා ද තබාගෙන කවා, පොවා, නහවා, මළමුත්‍රා ඉවත් කර උරහිසේ ම තබාගෙන සියලු කටයුතු කළ ද ඔහු මව්පියන්ට ප්‍රතිඋපකාර කොට අවසන් කළා වෙන්නේ නැහැ කියා භාග්‍යවතුන් වහන්සේ ‘දුප්පතිකාර සූත්‍රයේ’ දි වදාළා. එය එසේ නම් අද දරුවන් කරන උපස්ථාන ගැන කවර කථා ද?
සේඛ බලයන්.
එනමුත් අපගේ වාසනාවට මහා කාරුණිකයාණන් වහන්සේ එම සූත්‍රයේදී ම මෙසේ වදාළ සේක. “යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති මවුපියන්ව ශ්‍රද්ධාවෙහි පිහිටුවනවා නම් දුස්සීල දෙමාපියන්ව සීල සම්පත්තියේ පිහිටුවනවා නම් මසුරු මව්පියන්ව පරිත්‍යාගයෙහි සමාදන් කරවනවා නම් ප්‍රඥාව නැති මව්පියන්ව ප්‍රඥාවෙහි සමාදන් කරවනවා නම්, (එත්තාවතා ඛෝ භික්ඛවේ මාතාපිතුන්නං කතඤ්ව හෝති. පතිකතඤ්ච හෝති, අතිකතඤ්චාති) මහණෙනි, මෙපමණකින්ම මව්පියන්ට සැලකුවා වෙනවා. කළගුණ සැලකුවා වෙනවා. අතිශයින්ම සැලකුවා වෙනවා.” එසේ නම් මව්පියන්ට උපකාර කොට අවසන් කළ හැකි එකම ක්‍රමය, උතුම්ම ක්‍රමය ඔවුන්ව සේඛ බලයන්හි සමාදන් කරවීමයි. මින් අදහස් වන්නේ ඇප උපස්ථානවලින් මග හැරීම නොව ඒ සියලු උපස්ථාන කරන අතරතුර සේඛ බලයන්හි පිහිටුවීම යි.
මෙකී කරුණු සියල්ල සේම මෙය ද අනිවාර්යයෙන් සිත්හි දරාගත යුතුය. එනම් එවන් අසීමිත ගුණස්කන්ධයක් ඇති මව්පියන් කෙරෙහි වැරදි විදියට කටයුතු කළොත් අනිවාර්යයෙන්ම දුගතියේ ඉපදී බොහෝ කල් දුක් විඳින්නට සිදුවන බව යි. එසේම යමෙක් මව හෝ පියා ඝාතනය කළහොත් ඔහු හෝ ඇය ඒකාන්තයෙන් ම ඊළඟ ජීවිතයේ දී අනන්ත අප්‍රමාණ දුක් ඇති අවීචි මහා නරකාදියේ කල්පයක් විඳවන්නට සිදුවන ආනන්තරීය පාපකර්මයක උරුමකරුවෙක් වෙයි. තම මවට ‘සැඩොලි’ කී පමණින් සොඳුරු රුවැති අශෝකමාලා සැඩොල් කුලේ ඉපදුනා නම් අද සිටිනා ඇතැම් අයට කෙසේ සිදු වේවි දෝ….?
ණයෙන් නිදහස් වීම.
ඉතින් සියල්ල තේරුම් ගෙන ආදරණීය අම්මාත් තාත්තාත් අහිමිව ගිය පසු ඔවුන් වෙනුවෙන් ශෝක කරමින් සිටිනවාට වඩා සුජීවත්ව සිටින ඔවුන්ට මනාකොට ඇප උපස්ථාන කොට පින් රැස් කරගන්න. ඔවුන්ව සේඛ බල ධර්මයන්හි පිහිටුවා, සමාදන් කරවා ඔවුන්ට ඇති ණයෙන් සදහටම නිදහස් වන්න. සුගති සැප ද නිර්වාණ සම්පත්තිය ද උදාකර ගන්න.
බ්‍රහ්මාති මාතාපිතරෝ
පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්‍යා ච පුත්තානං
පජාය අනුකම්පකා
මව්පියවරු වනාහී බ්‍රහ්මයෝ ය. පූර්ව ආචාර්යවරු කියල කියන්නේ ඔවුන්ටයි. දූ දරුවන්ට අනුකම්පා දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිට නමුත් ආහාරපාන රැගෙනවිත් උපස්ථාන ලැබීමට සුදුසුයි.
තස්මා හි නේ නමස්සෙය්‍ය
සක්කරෙය්‍යාථ පණ්ඩිතෝ
අන්නේන අථ පානේන
වත්ථේන සයනේන ච
උච්ඡාදනේන නහාපනේන
පාදානං ධෝවනේන ච
එනිසා නුවණැති පුද්ගලයා ඒ දෙමාපියන්ව නමදිනවා. ආහාරපාන ආදියෙන්, ඇඳුම් පැළඳුම්වලින්, ඇඳපුටු ආදියෙන් උපස්ථාන කරන අතරේ ඇඟපත පිරිමැද පිරිසිදු කිරීම්, නැහැවීම්, පා දෝවනය කිරීම් ආදියත් කරනවා.
තාය නං පාරිචරියාය
මාතාපිතුසු පණ්ඩිතා
ඉධචේව නං පසංසන්ති
පෙච්ච සග්ගේ ච මෝදති
මව්පියන් උදෙසා එවැනි ඇප උපස්ථානවල යෙදෙන දරුවා පිළිබඳව නුවණැත්තෝ මෙලොවදීම ප්‍රශංසා කරනවා. ඒ දරුවන් මරණින් පසු පරලොවදී සුගතියෙහි ඉපිද සතුටු වෙනවා. (සබ්‍රහ්මක සූත්‍රය – අං.නි. තික නිපාතය)
රත්නපුරේ ආනන්දවිමල ස්වාමින් වහන්සේ – ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව