1815 දි අත්සන් කළ උඩරට ගිවිසුමෙන් පසු ලංකාවේ මධ්‍යම ආංඩුවකට යටත් එක රටක් බිහි වීය. එතැන් පටන් 1948 දක්වා ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය බාධක වලින් තොර වූ කාලයක් නොවීය. ගිවිසුම අත්සන් කරන තෙක් සිංහ කොඩිය ඔසවා තැබිය යුතුයැයි කියමින් වාරියපොල සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රිසි කොඩිය බිමට ඇද දැමූහ. 1818 ඌවේ කැරැල්ල, 1848 මාතලේ කැරැල්ල, ජාතික ව්‍යාපාරවල උද්ඝෝෂණ, මුස්ලිම් කෝලහලය, 1934-35 අතර තුර දී 125,000 ට නොඅඩු සංඛ්‍යාවක් මියගිය නියඟය, මැලේරියාව හා ගංවතුර ඉන් කිහිපයකි.
එහෙත් මුලු රටම ඒකාබද්ධ කරමින් බිහි වූ දුම්රිය හා අනෙක් මාර්ග පද්ධතිය, කෝපි, තේ හා රබර් වගාව, ඒ ආශ්‍රිතව බිහි වූ වාණිජ, ප්‍රවාහණ, තැපැල් හා අනෙකුත් සේවා, වැඩවසම් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම, අධිකරණ පද්ධතිය ක්‍රමවත් කිරීම, මිෂනාරි පාසල් මගින් ඉංග්‍රිසි උගත් වෘත්තීය හා මධ්‍යම පංතිය බිහිවීම රටෙහි අනාගතය වෙනුවෙන් ලැබුණු ධනාත්මක සාධකයන්ය.
මෙම මධ්‍යම පංතිය දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා කළ උද්ඝෝෂණ නිසා 1947 වර්ෂය වනවිට ලංකාවට සීමිත ස්වයං පාලනයක් දීම සලකා බැලෙමින් තිබුණේය. මේ අතර, ජපන් ආක්‍රමණයන් ඇමෙරිකාව හා ඉංග්‍රිසි අධිරාජ්‍යයන්ගේ යටත් විජිත හා කොළනි පාලනයේ පැවත්මට අභියෝගයක් වීය. 1942 සිංගප්පූරුව ජපානයට නතු වීමත් සමග ඉංග්‍රිසි කිරීටයෙහි ප්‍රභාශ්වරය බොඳවන්නට පටන් ගත්තේය. ලංකාව රඳවා ගැනීම තම පැවැත්ම සඳහා අවශ්‍යම වූවත් කොළඹ වරායට වැටුණු ජපන් බෝම්බත් සමග බ්‍රිතාන්‍යයට මෙම ව්‍යායාමයේ සාර්ථකත්වය ගැන සැක ඇති වීය.
මෙවැනි දේශීය හා විදේශීය සිදුවීමවල පීඩනය මැද ලංකාවට නිදහස ලබා දී රටෙන් පිටවීම හැර වෙනත් විකල්පයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සතු නොවීය. 1948 පෙබරවාරි මස හතරවැනිදා අප සමරන්නේ එසේ ලබා ගත් නිදහසය.
1840 අත්සන් කළ වයිටැන්ගි ගිවිසුමෙන් එතෙක් පැවති විවිධ මවුරි ජන කොට්ටාශවල පාලනය නිම වී එක් මධ්‍යම ආණ්ඩුවකට යටත් නවසීලන්තය බිහි වීය. සෑම වසරකම පෙබරවාරි හයවෙනිදා නවසීලන්තය ජාතික දිනය සමරන්නේ ඒ වෙනුවෙනි. මින් පසු ඇරඹි පාලන සමය, නවසීලන්තයේ මධ්‍යම ආංඩුවටද කිසිසේත්ම බාධකවලින් තොර වූවක් නොවීය.
ඡන්ද බලය හිමි වූයේ ඉඩම් හිමිකම් මත බැවින් කිසිම මවුරි ජාතිකයෙකුට 1854 දී ඇරඹි පර්ලිමේන්තු නියෝජනයකට අවස්ථාක් නොලැබුණි. ඔවුන් සම්ප්‍රදායිකව බුක්ති විඳි ඉඩකඩම් සංක්‍රමණයිකන්ගේ සත්ත්ව පාලනය හා කෘෂි ව්‍යාපාර වෙනුවෙන් අත්පත් කර ගැනීමේ යාන්ත්‍රණයන් බිහි වීය. සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජමය වශයෙන් ඔව්හු කොන් කරනු ලැබූහ. මීට ප්‍රතිචාර ලෙස රට පුරා අරගල සිදුවිණ. 1844 අවසානයෙන් පටන් ගෙන තෙවතාවක්ම කොරොරරෙකාවලදී, හොනෙ හකෙගේ මූලිකත්වයෙන් ඉංග්‍රිසි කොඩිය කපා බිම හෙලනු ලැබීය.
1858, පළමු ‘මවුරි රාජ්‍ය ව්‍යාපාරය’ ආරම්භ වීය. 1860 ආරම්භ වූ මවුරි යුධ ගැටුම, 1870 දක්වා පැවතුණි. ටෙ කුටි වැනි මවුරි ගෝත්‍ර නායකයෝ විභාග නොකර සිරගත කර තබනු ලැබූහ. 1877 දී අග්‍ර විනිශ්චයකාර ජේම්ස් ප්‍රෙන්ඩර්ගාස්ට්, ‘නූගත් ගෝත්‍රිකයන් හා අත්සන් කළ වයිටැන්ගි ගිවිසුම නෛතික පදනම් නැති හිස් ලියවිල්ලක්,’ යැයි තීන්දු කළේය. එකදාස් නවසිය තිස් ගණන්වල වූ ආර්ථික අවපාතයට මුලු රටම දරුණු ලෙස ගොදුරු වීය. සත්ත්ව පාලන කර්මාන්තය, අපනයනය, ආනයනය සහ රැකියා නියුක්තිය අන්තයටම කඩා වැටුණි.
අනෙක් අතට, ස්වදේශිය මවුරි ජාතිකයන්ට ද භුක්ති විඳිය හැකි පරිදි රට පුරා ක්‍රමවත් දුම්රිය හා අනෙකුත් මාර්ග පද්ධතියක් බිහි වීය. ලිඛිත භාෂාවක් භාවිතා වීය. අධ්‍යාපනය, සෞඛ්‍යය, අධිකරණය හා නීති පද්ධතිය ස්ථාපිත වීය. ප්‍රාග්ධනය ආයෝජනය කරන ධනහිමි හා මධ්‍යම පන්තීන් බිහි වීය. වෘතීයවේදීහු පහළ වූහ. සත්ත්ව පාලනය, කැණීම්, කෘෂි හා වන කර්මාන්තය පටන් ගත් අතර ඒ ආශ්‍රිතව ආනයන හා අපනයන වාණිජ්‍යය දියුණු වීය. රැකියා හා ව්‍යාපාර ඉඩකඩ උත්පාදනය වීය. ජාති, ආගම්, කුලමල හා පංති අරගල නොඉවසන, සාමයට ලැදි මිනිසුන් සිටින සමාජ ක්‍රමයක් බිහි වීය.
මෙසේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ලා නවසීලන්තය සිටින්නේ එදා ලංකාව 1815 සිටි තත්ත්වයේය. නමුත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය, ජාතික ආදායම හා ආර්ථික කළමණාකරණය, අධ්‍යාපනය, සාක්ෂරතාවය, සෞඛ්‍යය, මානව හිමිකම් ගරු කිරීම, සාමය, අනෙකා ඉවසිම් වැනි කවරම නිර්ණායකයකින් බැලුව ද නවසීලන්තය ලෝකයේ පළවැනි පංතියේ රටකි.
භෞගෝලීය පිහිටීම, සදාහරිත වෘක්ෂලතා, ඇලදොළ, ගංගා, මානව හා ඛණිජ සම්පත්, දේශගුණය, ස්වභාව ධර්මයාගේ අගනා භූ විෂමතා-නිර්මාණ, අන්‍යයන් ඉවසන ආගමික ලබ්දීන් වැනි දෙවියෙකුට ලබා දියහැකි අගනාම සම්පත්වලින් පරිපූර්ණ ශ්‍රී ලංකාව මේ සියලු නිර්ණායකයන් හමුවේ සිටින්නේ එදා 1815 සිටි තත්ත්වයට ඉස්සරහින් නොවේ. ඒ වෙනුවට ජාති, අන්තවාදි ආගම්, කුල හා උඩරට පහත රට භේදය, පංති හා පුද්ගලිකත්වය මත පදනම් වූ දේශපාලනය වැනි, මිනිසුන් භේදව බිඳී සිටිය හැකි සෑම හේතුවක්ම ග්‍රහණය කරගෙන සිටීන්නේය. එකම ‘ශ්‍රී ලාංකීය ජාතියක නිදහස් දිනය සැමරිය හැකිවන්නේ මේ ව්‍යවසනකාරී සාධකයන් ගෙන් මිදෙනතාක් දුරට ය.
එක එකා හා අරගල කරමින් කැඩි ගිය කුඩා ජන කොටස් ලෙස තැන තැන ජීවත් වූ මවුරි ජනකණ්ඩායම්වලට නවසීලන්තය ජාතියක් වශයෙන් යන ප්‍රගමණයේදී කරන්නට සිදු වී ඇති පරිත්‍යාගයන් අපමණය. යම් යම් පසුබෑම්, නොසලකා හැරීම්, කොන්කිරීම් තිබුණා වුණත් ජාතියක් වශයෙන් ඔව්හු නවසීලන්ත වැසියෝය. ජාතික නිදහස් දිනයක් සැමරීමට නම් ශ්‍රී ලාංකිකයනට ඔවුන්ගෙන් ලබා ගත හැකි ආදර්ශය සුළුවෙන් සැලකිය යුතු නොවේ.