ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් වසරක් පමා වී ආරම්භ කරන ලද තිස්දෙවෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 8 වන දින ජපානයේ දී නිමාවට පත් විය. රටවල් දෙසිය පහක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එකොළොස්දහස් තුන්සිය විසිහයක් ඉසව් තුන්සිය තිස්නවයක් සඳහා තරග වැදුණෝය. නවසීලන්තය රන් පදක්කම් හතක් ලබා ගනිමින් පදක්කම් සටහනේ 13වෙනි ස්ථානය හිමි කර ගත් අතර මෙවර පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව වේගවත්ම මිනිසා බවට පත්වූයේ ඉතාලි ජාතික එල්. ජේකොබ්ස් ය.
වර්තමානයේ දී ලෝකයේ වැඩි අවධානය යොමු වී ඇත්තේ දේශගුණික විපර්යාස, කාබන් ශූන්‍ය කිරීම, පරිසර හිතකාමීත්වය යන දේවලට ය. එම නිසාවෙන්ම ජපන් ඔලිම්පික් කමිටුව ද මෙවර ඔලිම්පික් උළෙල පරිසර හිතකාමීව පැවැත්වීමට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කර තිබේ. ඒ අතරින් ලෝකයාගේ වැඩි අවධානයක් යොමු වූයේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පදක්කම් සකස් කර ඇති ආකාරය පිළිබඳවයි. ජපානය විසින් ප්‍රථමවරට පරිසර හිතකාමී ලෙස මෙම පදක්කම් නිෂ්පාදනය කර ඇත. ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලිය මගින් පදක්කම් නිෂ්පාදනයට අවශ්‍ය රත්රන්, රිදී සහ ලෝකඩ සපයා ගෙන ඇත. ඒ සඳහා ඉවත දමන ලද ජංගම දුරකථන මිලියන 6.2ක් භාවිතා කර ඇත.
2011දී ජපානයේ සිදු වු භූමිකම්පාව සහ සුනාමි ව්‍යසනයෙන් පසුව ඉදිකරන ලද තාවකාලික නිවාස සඳහා යොදාගත් ඇලුමිනියම් භාවිතා කරමින් ඔලිම්පික් විදුලි පන්දම නිපදවා ඇති අතර පදක්කම් ප්‍රදානය කිරීම සඳහා සකස් කර ඇති වේදිකාවන් ප්‍රතිචක්‍රිකරණය කරන ලද ගෘහස්ථ සහ සාගර ප්ලාස්ටික් උපයෝගී කරගනිමින් සකස් කිරීම ද විශේෂ කරුණක් වෙයි.
එපමණක්ද නොව මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදුන් ඇඳන් පරිසර හිතකාමීව සකස් කර ඇත. ඇඳන් නිෂ්පාදනයට යොදා ගෙන ඇත්තේ කාඩ්බෝඩ්ය. එමෙන්ම මෙම ඇඳන් සඳහා ලබාදෙන මෙට්ට ද භාවිතයෙන් පසුව සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇත. ක්‍රීඩා උත්සවය සඳහා භාවිතා කෙරෙන විදුලිය ලබා ගෙන ඇත්තේ සූර්ය බලය, ජෛව ස්කන්ධ සහ ජලවිදුලිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙනි. එමෙන්ම ඔලිම්පික් ගම්මානයේ ගොඩනැගිලි සකස් කර ඇත්තේ ජපානය පුරා සිටින ප්‍රාදේශීය නිලධාරීන් විසින් පරිත්‍යාග කරන ලද දැවවලිනි. එම දැව ක්‍රීඩා උළෙලේ නිමාවෙන් පසුව පොදු බංකු හෝ පොදු ගොඩනැගිලි සකස් කිරීමට උපයෝගී කර ගන්නා බව ජපන් ඔලිම්පික් කමිටුව සඳහන් කර තිබේ.
මේ ආකාරයට විවිධ වූ පරිසර හිතකාමී ක්‍රමවේදයන් මෙම තරගාවලිය පුරාවටම අනුගමනය කර ඇති ආකාරයක් දක්නට ලැබුණේය. ඔලිම්පික් උළෙල යනු ලොව පවතින උත්සවවලින් විශාලතම එකක් බැවින් දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය පිළිබඳ ගැටළු විසඳීම සඳහා පණිවිඩයක් ඔලිම්පික් හරහා මහජනතාවට ලබාදීමට හැකිවනු ඇත. ජපන් ඔලිම්පික් කමිටුවේ අපේක්ෂාව වන්නේ මෙම උත්සවය මගින් කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 2.93කට වඩා නිකුත් නොකිරීමයි.
මේ කරුණු හැරුණු විට දක්නට ලැබුණු තවත් විශේෂ දෙයක් වූයේ ප්‍රථමවරට ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවක් තරග කිරීමයි. සාමාන්‍ය පිරිමි පුද්ගලයකු සතු ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණයට වඩා අඩු ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණයක් සහිත සන්ක්‍රාන්තික කාන්තාවකට කාන්තා ඉසව් සඳහා ඉදිරිපත් විය හැකිය යන නව නීතිය යටතේ ලොරන්ස් හර්බට් නම් නවසීලන්ත ජාතික ක්‍රීඩිකාවට ඔලිම්පික් වරම් හිමි විය.
ශ්‍රී ලංකාවට ද මෙවර ඔලිම්පික් උළෙල විශේෂිත වේ. ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රරථවරට විනිසුරුවරියක් ඔලිම්පික් නියෝජනය කිරීම හේතුවෙනි. පොලිස් පරීක්ෂකවරියක් වන ඇය නමින් නෙල්කා ශිරෝමාලා මහත්මියයි. ඇය 2017 වර්ෂයේ දී ආසියාවේ හොඳම බොක්සිං විනිසුරුවරිය බවට තේරී පත් වූවාය.
එමෙන්ම තවත් සුවිශේෂී සිදුවීමක් ද මේ අතර සිදුවිය. එනම් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් කොළඹ දී විවෘත වීම ය.
ස්වභාවධර්මය කෝවිඩ් වසංගතය හරහා මනුෂ්‍ය වර්ගයාට විවිධ වූ පාඩම් තවමත් උගන්වමින් සිටි. මේ නිසාම මෙවර ඔලිම්පික් උත්සවයේ තේමාව බවට පත්වූයේ කෝවිඩ් වසංගත තත්ත්වයෙන් අත්මිදීම යන්න අරමුණු කරගත් “පෙරට යමු” යන සංකල්පයයි. මනුෂ්‍යයන් වන අප පෙරට යා යුත්තේ සොබාදහමට ආදරය කරන සංවේදී සත්ත්වයන් ලෙසිනි.