මේ වර්ෂයේ තෙවැනි කාර්තුව වන විට කෝවිඩ් එන්නත්කරණය ප්‍රචලිත වීමෙන් දියුණු රටවල ආර්ථිකයන් ප්‍රකෘතිමත් විය හැකි බව ලෝක බැංකුව සඳහන් කරයි. දැනටමත් චීනය හා එක්සත් ජනපදය හොඳ වර්ධනයක සංඛ්‍යා පෙන්නුම් කරයි. එහෙත් දියුණුවෙමින් පවතින රටවල් තවදුරටත් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ලෝකයේ ඇති-නැති පරතරය තවත් වැඩිවන ලකුණු විද්‍යමාන වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව මේ වනවිට ප්‍රකාශිත කෝවිඩ් මරණ සංඛ්‍යාව තිස් අට ලක්ෂයකට සමීපය. එය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හා වෙලිංටන් ඇතුලු මුළු උතුරු දිවයිනෙහිම ජනගහණයට වඩා තුන්ලක්ෂයකින් වැඩිය. ලෝකයේ වාර්තා නොවන මරණ සංඛ්‍යාවද මෙයට එක් වූ විට ලොවට අහිමි වූ මිනිස් ජීවිත ගණන බෙහෙවින් ඉහළ විය හැක. අනාථ වූ දරු දැරියන් හා දරුවන් සමග තනි වූ කාන්තාවන් ගැන පමණක් සැලකුවද එය පවා රටකට විශාල සමාජ ප්‍රශ්නයකි.
නිෂ්පාදනය, බෙදාහැරීම සහ පාරිභෝජනය ඇතුළත් සෑම ආර්ථික ක්‍රියාවලියක්ම කඩා වැටුණ අතර ලබන වර්ෂයේ ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය මේ වර්ෂයට වඩා 4.5 % කින් අඩු වෙතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුනක් වන මෙය ප්‍රංශ ආර්ථිකයේ වටිනාකමට සමාන ය.
නිෂ්පාදන හා සේවා අඩාල වීම නිසා ලබන වසරේදී ලෝකයේ විරැකියාව දස ලක්ෂ දෙසීයක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. (https://news.un.org/en/story/2021/06/1093182). මෙසේ ලංකාවේ ජනගහණය මෙන් දස ගුණයකට ආසන්නව ආදයමක් නැතිව ජීවත් වන්නන් ලොව පුරා සිටීමට ඉඩ ඇත.
අඩු ආදායම්ලාභී රටවල්…
ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල ජීවන තත්ත්වය වඩා අවාසනාවන්ත විය හැකි අතර සාපරාධී ක්‍රියා, මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී ව්‍යාපාර වැඩ වී මෙම කලාපීය රටවල් සමාජමය වශයෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇත.
ජෝන් හොප්කින්ස් සරසවිය කොරෝනා මරණ සංඛ්‍යාවන් ගැන සැසඳීම් විශ්ලේෂණයක යෙදෙයි. මුළු ආසාදිත වූවන් ගෙන් මරණයට පත් වූවන්ගේ ප්‍රතිශතය බොහෝ බලගතු රටවල 3% ට අඩුය. එහෙත් යේමනයේ එය 19.5%, මෙක්සිකෝව සහ පේරු 9.4% බැගිනි. ඉහළ අනුපාතය එම රටවල දුර්වල සෞඛ්‍ය සේවා තත්වයන් පෙන්නුම් කරන බව සරසවිය සඳහන් කරයි. එන්නත් කරනයට අදාළ සම්පත් සාධාරණව බෙදී නොයාම හේතුවෙන් මෙම රටවල වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම ප්‍රමාද විය හැකි වන අතර ඒ නිසා තව වසර කිහිපයක් දරුණු ආර්ථික හා සමාජ පීඩනයෙන් මිරිකී ජීවත්වීමට ඔවුනට සිදු වනු ඇත. මෙය ලෝක ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදනයට අයහපත් අන්දමින් තවත් වසර ගණනාවක් තවත් වසර ගණනාවක් බලපානු ඇත.
තරුණ පරම්පරාවල අධ්‍යාපනය හා ආවාහ විවාහ වැනි ජීවිත සැලසුම් වලට සිතිය නොහැකි තරම් හිරිහැර බාධක පැමිණ ඇත.
ඉතිහාසයේ මානව සංහතිය ගිලගත් සාස් (SARS), ඉබෝලා, H1N1, Equine Flu සහ කෝවිඩ් වැනි වසංගත වල ඍජු ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්, දරුවන් හා වැඩිහිටියන් ගේ මානසික සංකූලතා ඇතිවීම, වසංගත නිවාරණය සඳහා වන සේවාවල යෙදුණු සෑම කෙනෙකුම හුදෙකලා බව, පවුලේ අයගෙන් වෙන්ව සිටීම, පවුලේ අයට රෝගය ඇති වීමේ තර්ජනය වැනි කාරණා නිසා දැඩි මානසික ආතතියට පත්වන බව මනෝ විද්‍යාඥයෝ පවසති.
මෙසේ කිසිවකුට සිදුවී ඇති විනාශය තවමත් තක්සේරු කළ නොහැක. ‘අතිශයෝක්තියක් අවශ්‍ය නැත. සත්‍යය එපමණම බියකරුය,’ යන කියමන නැවත සනාථ වී ඇත.
ආර්ථිකමය සැලසුම්.
මෙවන් පසුබිමක සිට, වසර අග දී වසංගතය මෙල්ල වී තිබිය හැකියයි උපකල්පනය කරමින්, මේ වනවිට ලොව සෑම රටක්ම තම ආර්ථික ප්‍රතිපත්තීන් සකස් කරමින් සිටියි. නොබෝදා ඉදිරිපත් කළ අය වැය මගින් නවසීලන්ත රජය මෙම ගැටළුවට සෘජුවම ආමන්ත්‍රණය කර ඇත.
‘මෙය, කිසිවකු ඉවත නොදමා රට යළි ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන සැලසුම් තුනක පළමු වැන්නයැ,’යි අයවැය ගැන නවසීලන්ත කම්කරු පක්ෂ මහ ලේකම් රොබ් සලමන්ඩ් මහතා ප්‍රකාශ කළේය.
මෙයින්, ‘තිස්තුන් දාහක දරුවන් දුප්පත්කමින් මුදවා ගැනීමටත් අලුත් රැකියා අවස්ථා දෙලක්ෂ විසිඑක්දාහක් ඇති කිරීමටත් බලාපොරොත්තු වන බව,’ නවසීලන්ත අග්‍රාමාත්‍ය ගරු ජසින්ඩා ඒඩ්‍රියන් මහත්මිය පැවසුවාය. ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය හා පාරිභෝජනය වැඩි කිරීම මගින් භාණ්ඩ හා සේවා වෙළඳපලේ සපල ඉල්ලුමක් (Effective Demand) ඇති පරිසරයක් බිහිකිරීමටත්, ඒ මගින් ආයෝජන දිරි ගැන්වීමටත් රැකියා අවස්ථා බහුල කිරීමටත් රජය මෙසේ තම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සකස් කර ඇත.
ශ්‍රී ලංකාව.
වසංගතයෙන් දැඩි හිංසනයට පත් ශ්‍රී ලංකාව දේශීය හා විදේශීය ආයෝජන ඇදගැනීම සහ දිරිගැන්වීම මුල්කරගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වමින් සිටින්නීය.
2018/19 ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1% ක ඉතා දුර්වල තත්ත්වයක වීය. හදිසියේ ඇති වූ කෝවිඩ් වසංගතය නිසා නිර්යාත දිරි ගැන්වීම, ආයාත සීමා කිරීම, විදේශීය ආයෝජන ආකර්ශණය කර ගැණීම, දේශීය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම වැනි සැලසුම් වලට දැඩි සේ බලපෑම් එල්ල වී තත්ත්වය තවත් නරක වීය.
වැටුප් වේතන ලබන සහ ස්වයං රැකියා වල යුක්ත වූවන්ගේ ආදායම් වලට දැඩි බලපෑම් එල්ල වූ අතර නිෂ්පාදන හා සේවා සැපයුම්වල විශාල පිරිහීමක් ඇති විය. ආර්ථික සැලසුම් අත්හිටවනු ලැබූ අතර විශාල රාජ්‍ය ණය ප්‍රමාණයකින් අමතර සෞඛ්‍ය සේවා සැපීයීමට සහ ආදායම් අහිමි වූ ජනතාවට මූල්‍යාධාර සැපයීමට රජයට සිදුවිය.
වඩාත්ම අසතුටුදායක බලපෑම් සිදුවූයේ කෘෂිකාර්මික අංශයට වඩා කාර්මික නිෂ්පාදනයයන්ට ය. මේ නිසා නාගරික රැකියා වියුක්තිය වැඩි වූ අතර, ලෝක බැංකු නිර්ණායකයන් අනුව, දරිද්‍රතා මට්ටම වන දිනකට ඇමරිකානු ඩොලර් 3.20 ක අවම ආදායම් ලබන ප්‍රමාණය ජනගහනයෙන් සියයට 9.2 සිට 11.7 දක්වා වැඩි විය. රටවැසියන් විසිහය ලක්ෂයකට වඩා, කෙනෙකු දිනකට ඩොලර් 3.20 වඩා අඩු ආදායම් ලැබීම විශාල සමාජමය ප්‍රශ්නයකි.
භාණ්ඩ හා සේවා සඳහා සමස්ත ඉල්ලුම පහත වැටුණු අතර ආර්ථිකය දිරිමත් කිරීමට මහ බැංකුව අඩු පොලී අනුපාතයක් පවත්වා ගෙන යෑමට කටයුතු කළේය. එහෙත් පවතින අධි-අවදානම් තත්ත්වය නිසා ආයෝජන හෝ ව්‍යාපාර සඳහා ණය අත්තිකාරම් ඉල්ලීම වැඩි නොවුයෙන් ආර්ථික-සංකෝචනය තවත් වැඩි විය.
වසංගත සමයේ විදේශ සේවා නියුක්ත වූවන් ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩි වූවත් එසේ වූයේ විදේශ සේවානියුක්ත වූවන් සිය රටට ආපසු පැමිණීමට ගත් උත්සාහය නිසාය. කෘෂිකාර්මික සහ ඇඟලුම් කර්මාන්ත නිෂ්පාදනය හා නිර්යාතය සීමා වූ අතර එය ගෙවුම් ශේෂයට අයහපත්ව බලපෑවේය. මේ නිසා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වූ අතර අභිනවයෙන් ආරම්භ කළ පෝට්සිටි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීය. .
මේ අතර රටේ Moody’s Rating තවත් පහතට වැටුණු බැවින් විදේශ ආයෝජන පිළිබඳ ව පැවති බලාපොරොත්තු අඩු කර ගැනීමට රජයට සිදු විය.
කෙසේ වෙතත් වසංගතයට ගොදුරු වූ සැම දියුණුවෙමින් පවතින රටක්ම මෙම තත්ත්වයනට මුහුණ පා ඇතැයිද, පෞද්ගලික ව්‍යවසාය හා විදේශ ආයෝජන උනන්දු කරවීම සහ නිර්යාත වැඩිකර කරගැනීම සඳහා දැනට ශ්‍රී ලංකාව කරගෙන යන වැඩපිළි වෙල අගය කරන ලෝක බැංකු කලාපීය අධ්‍යක්ෂක Faris H. Hadad-Zervos, මහතා මේ වන විට රට තුළ ධනාත්මක ප්‍රතිඵල දක්නට ඇතැයිද සඳහන් කරයි.
සෑම ශ්‍රි ලාංකිකයෙකුටම ගමනේ ඉතිරි කොටස අතිශය කටුක අත්දැකීමක් වනු ඇත. දියුණු හා දියුණුවන රටවල් යන නිර්ණායක දෙකකට සම්බන්ධව සිටින නවසීලන්ත ශ්‍රී ලාංකිකයන්ට මව්රටේ දෙමාපියන්, ඥාතීන් හා හිතවතුන්ට මුහුණ දීමට සිදුව ඇති පසුබිම මෙසේ සංවේදීව සිහිපත් කරන්නට සිදුව ඇත.