ට්‍රම්ප්ගේ දෙවැනි පාලන යුගයේ ගෝලීය බලපෑම් කෙසේ වේදැයි තවම අවිනිශ්චිතය. ‘2024 ජනාධිපතිවරණ පොරොන්දු සියයක් පමණ අප සොයාගත් අතර රුසියානු හා යුක්රේන යුද්ධය වැනි සමහරක් ඒවා ඔහුගේ පාලනයෙන් පිටස්තරය. තවත් ඒවා ඔහුටම අමතක වී ඇත.’ යි වරක් සී.එන්.එන්. ලිපියක සඳහන් වීය.
2017 ඔහු ඉදිරිපත් කළ බදු ක්රමයම අලුත් කෙරෙතොත් ට්‍රම්ප් හිතෛශීන් පැතූ බදු අඩු ඇමෙරිකාව සිහිනයක් වනු ඇත. චීන භාණ්ඩ මත විශාල තීරු බද්දක් පැනවෙතොත් ආසියානු කලාපීය වෙළඳපල අස්ථාවර වනු ඇත. සංක්‍රමණියන් විශාල ලෙස පිටමං කළහොත් ඇමෙරිකානු කර්මාන්ත අංශවල විශාල ශ්‍රම හිඟයක් ඇති විය හැක. නේටෝ අනාගතය, රුසියානු යුක්රේන යුද්ධය හා මැද පෙරදිග ගැටුම් ගැන ඇත්තේ අවිනිශ්චිතතාවයකි.
ඔහුගේ පත්කිරීම් ගැනද විවිධ අදහස් පළවේ. අධිකරණයේ චූදිතයෙකු වන ට්‍රම්ප් වෙනුවෙන් දේශපාලන වේදිකාවට නැගි, මැට් ගේට්ස්, ඇටර්නි ජෙනරාල් බවට පත් කිරීම එකකි. 2021 කැපිටල් හිල් අරගලයට පක්ෂව කතා කරන ඔහු, ට්‍රම්ප්ට විරුද්ධව පනවා ඇත්තේ බොරු චෝදනා යැයි කියා සිටියේය. පවතින ආයතන දූෂිත බව කියන ට්‍රම්ප්වාදී බ්‍රෝ ඡන්දදාකයෝ (Bro Voters) මෙම පත්වීමට එකඟ වෙති. එන්නත්කරණය නිෂ්ඵල ක්‍රියාවක් බව පැවසූ රොබට් එෆ්. කෙනඩි (Jr) සෞඛ්‍ය අංශයට තෝරා ගැනීම, බුද්ධි අංශයක සේවය කර අත්දැකීමක් නැති ‘දේශද්‍රෝහී රුසියානු ගිරවියක්’ යැයි පැවසෙන ටුල්සි ගැබාර්ඩ්ගේ පත්කිරීම, පලස්තීනය කියා දෙයක් නැතැයි පැවසූ පැරණී අස්කන්සාස් ආණ්ඩුකාර, දැඩි ඊශ්‍රායෙල් හිතවාදී මයික් හකබී ඊශ්‍රායෙල් තානාපති ලෙස තෝරා ගැනීම, තම ගොල්ෆ් ක්‍රිඩක සගයකු වන ස්ටීවන් විට්කොෆ් මැදපෙරදිග නියෝජිතයා ලෙස පත් කිරීම තවත් කිහිපයකි. මේ අතර අළුතින් පිහිටුවන ‘රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවට එලෝන් මස්ක් හා විවේක් කුමාරස්වාමි තෝරා ගැනීම විශේෂත්වයකි.
යෝජිත ආනයන සීමා හා 10%-20% අතර ප්රතිශතයකතීරු බදු පැනවීමක් ඇමෙරිකාව ක්‍රියාත්මක කළහොත් දැනටම විරැකියාව 4.8 % වේගයෙන් වැඩෙමින් පවතින නවසීලන්තයේ ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද ඇමෙරිකා භාණ්ඩ මත තීරු බදු පැනවුවහොතේ කලාපීය වෙළඳාම ඉතා අයහපත් වනු ඇත. ඉන්දියාව සමග ආරක්ෂාව, තාක්ෂණය හා වෙළඳාම මුල්කරගත් හොඳ ‘නමස්තෙ ජි’ සම්බන්ධතාවයක් පවතිනු ඇතැයි ‘ඇමෙරිකාව අද’ (USA Today) ප්රකාශනයක් සදහන් කරයි. කලින් මෙන්ම දැනුදු තම රට වෙනුවෙන් ඇල්මැරුණූ සම්බන්ධතාවය ඉදිරියටත් පවතිනු ඇතැයි පකිස්තානු මාධ්‍ය පවසයි. ඇමෙරිකාවේ ආනයන අපනයන ප්රතිපත්තන් තම රටට ද තදින් බලපෑ හැකි බව බංගලාදේශය කියයි. පෙර පරිදිම තම රටවල් පාලනය කිරීමේ ප්‍රතිපත්තිය එලෙසම පැවතිය හැකි බව නේපාලයේ ‘කත්මන්ඩු’ කතුවැකියක් පවසයි.
ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයයෙන් ජාතික ජන බලවේගය ආසන 159 ක් සහිතව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කරගත් අතර උතුර, මධ්‍යම කඳුකරය සහ නැගෙනහිර බලය ද ඊට හිමිවීම විශේෂත්වයකි. එමෙන්ම මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් විසි එකකම බලය එම පක්ෂයට හිමි විය. මෙවර මැතිවරණයේදී වැඩි කාන්තා නියෝජනයක් හා එක් ආබාධිත ජන නියෝජනයක් ද පාර්ලිමේන්තුවට තේරි පත්විය.
කලාපය ගොදුරු වන ආර්ථීක හා දේශපාලන කැලඹීම්වලට ලංකාවද ගොදුරු වියහැකි බව පවසන ‘ද අයිලන්ඩ්’, 2022 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා 2021 ඇමෙරිකාවේ කැපිටල් හිල් අදාළව වූ සිදුවීම්වල සමානත්වයක් ඇතැයි කියමින්, තම 2024 නොවැ 8 දා සටහනකට හාස්‍යයක් ද එක්කරයි.
-ශ්‍රී ලංකන්ස්-