මෙම වසර අවසන් වීමට පෙර නවසීලන්තයට ඉතා වැදගත් මොහොතක් ළඟා වනු ඇත. එනම් 2026 පාර්ලිමේන්තු මැතිවරණයයි. සියලුම දර්ශකවලට අනුව මෙම මැතිවරණය ඉතා දැඩි තරගයක් වන බව නිසැකය. ඊට ප්‍රධාන හේතු විය හැක්කේ, ජනතාව ප්‍රධාන පක්ෂ දෙක වන National සහ Labour පිළිබඳ විශ්වාසය අහිමි කරගැනීමත් කුඩා පක්ෂවල වර්ධනයත්ය.
කලකිරුණු ඡන්ද දායකයින්
2023දී බලයට පැමිණි National පක්ෂය රටේ ආර්ථිකය සුරක්ෂිත කරන බවට පොරොන්දු වුවද උද්දමනය, විරැකියාව, දරිද්‍රතාවය, විශේෂයෙන් ළමා දරිද්‍රතාවය ඉහළ ගොස් ඇත. රජයේ වියදම් අඩු කරමින්, ආදායම් වැඩි කිරීම පිළිබඳව දුන් පොරොන්දු හිස් බව, ඇමතිවරුන් කැනේඩියානු නිල සංචාරවලදී ලිමෝසීන් රථවල සවාරි යාම හා දුම්කොළ සමාගම්වලට පවා දුන් බදු සහන හේතුවෙන් පෙනී යන්නට විය. ඡන්ද දායකයන් වැඩි සැලකිල්ලක් නොදැක්වුවද Labour රජය ආරම්භ කළ පරිසර සංරක්ෂණ සහ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති බොහොමයක් National රජය විසින් ආපසු හැරවීය. මෙනයින් නවසීලන්ත ජනතාව තවදුරටත්, “තව පොඩ්ඩක් ඉවසමු” යන අදහසට සූදානම්ද යන්න සැක සහිතය. මීට අමතරව නවසීලන්තයේ ආර්ථික අර්බුදය ආරම්භ වූයේද පෙර පැවති Labour රජය සමයේ නිසා ජනතාව තවමත් සිටින්නේ එම අත්දැකීමෙන්ද ලද කම්පනයෙනි.
මේ හේතූන් නිසා ප්‍රධාන පක්ෂ දෙකම පිළිබඳව ජනතාව කනස්සල්ලෙන් සිටින බව පැහැදිලිය. යමෙකුට මෙසේද සිතිය හැක. මෙම අර්බුදවලට හේතුව හුදෙක් පක්ෂ දෝෂයක් ද නැතිනම් රටේ සමස්ත ප්රතිපත්තිවල දෝෂයක්ද? උදාරණයක් ලෙස නවසීලන්තයේ වෙළඳ අවස්ථා සීමිත බවත්, ඒවා ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති මත රඳා පවතින බවත් පැහැදිලිය. සරලවම කිවහොත් ඇමරිකාව යම් රටකට වෙළඳ සම්බාදකයක් පැනවුවහොත් නවසීලන්තයද ස්වයංක්‍රීයව එම ප්රතිපත්තියම අනුගමනය කරයි. පවතින භූ දේශපාලන තත්වයන් යටතේ මෙවැනි ක්‍රියා කොපමණ දුරට රටකට වාසිදායක වන්නේද යන්න ඕනෑම රජයක් සිතා බැලිය යුතුය.
දේශපාලන අල්ලස්
පෙර සඳහන් කළ පරිදි මැතිවරණ සමීක්ෂණ පෙන්වන්නේ කුඩා පක්ෂ නැගී සිටිනා බවයි. Green, ACT, New Zealand First සහ Opportunity Party වැනි පක්ෂ දැඩි කතාබහට ලක් වී ඇත. Green පක්ෂය සැමවිටම Lobbying හෙවත් ආධාර මුවාවෙන් විවිධ පක්ෂ ලබා ගන්නා දේශපාලන අල්ලස් පිළිබඳව දැඩි විවේචනයෙන් සිටි පක්ෂයකි. ඇමති ශේන් ජෝන්ස් ධීවර සමාගම්වලින් මෙවැනි ප්රතිලාභ ලබාගත් බවත්, සමස්ත National පක්ෂයම දේපළ සමාගම් සමඟ එවැනි සම්බන්ධතා පවත්වන බවත්, ඔවුන් නිතරම නගන චෝදනාය. මෙම ගැටළුව විසඳීමට ඔවුන් Lobbying නියාමන පනතක් මෑතකදී ඉදිරිපත් කළ අතර මේ ඔවුන්ගේ පළමු උත්සාහයද නොවේ. මීට පෙර 2013 දීද ඔවුන් එවැනි පනතක් ඉදිරිපත් කළ නමුත් පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් විසින් එය නිෂ්ප්රභා කරළීය. මෙවරද පනත සාකච්ඡාවට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. මේ වනවිට, National සහ ACT හැර අන් සියලුම පක්ෂ පාහේ තම තමන්ගෙ Lobbying නියාමන ප්‍රතිපත්ති, පක්ෂ ප්‍රතිපත්ති ලෙස පැහැදිලිව ප්‍රකාශයට පත් කොට ඇත.
ජාතිවාදී ඡන්ද ව්‍යාපාර
ACT සහ New Zealand First පක්ෂ, ජාතිවාදී ප්‍රකාශන මත තම ඡන්ද සටන දියත් කරන බවක් පෙනේ. ACT පක්ෂය මීට පෙර නවසීලන්ත රාජ්‍යයේ ප්‍රධාන ලේඛනය වන Waitangi ගිවිසුම අහෝසි කරන පනතක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළහ. ඔවුන් අදත් එම ප්‍රතිපත්තියේම දැඩි ස්ථාවරයකින් සිටින අතර New Zealand First පක්ෂය, ගිවිසුමේ ගැටළු සහගත කොටස් නිරාකරණය කිරීමට ස්ථාපිත කළ Waitangi Tribunal නම් අධිකරණ මණ්ඩලය අහෝසි කරන බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ඊට අමතරව ඔවුන් ආසියානු ප්‍රජාවන්ට එරෙහිව ඉතා නිර්ලජ්ජී ප්‍රකාශ පවා නිකුත් කර ඇත. උදාහරණ ලෙස ශේන් ජෝන්ස් ඉන්දියානු ප්‍රජාවට නිග්‍රහ කරමින්, මෑතකදී අත්සන් කළ ඉන්දු-නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම “බටර් චිකන් සුනාමියක්” ලෙස හැඳින්වූ අතර පක්ෂ නායක සහ විදේශ ඇමති වින්ස්ටන් පීටර්ස්, චීන සම්භවයක් ඇති Green පක්ෂ මන්ත්‍රීවරයෙකුට “ඔබේ රටට ආපසු යන්න (Go back to your country)” ලෙස පාර්ලිමේන්තුව තුළදීම තර්ජනය කොට ඇත. මෙහි පරස්පරය නම් ලක්සන් අග්‍රාමාත්‍යතුමා සියළුම ආසියානු සංස්කෘතික උළෙලවල්වලට සහභාගී වෙමින් ආසියානු ප්‍රජාවන් ප්‍රශංසාවට ලක් කරන අතර ඔහුගේම වත්මන් හා බොහෝ විට අනාගත සභාග රජයේ සමාජිකයින් ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමයි.
රජුන් තනන්නා
Opportunity පක්ෂය, මෙම මැතිවරණයේ විශාලම පෙරළිකාර පක්ෂය බවට පත්විය හැක. කිසිදා පාර්ලිමේන්තු අසුනක් නොදිනූ මොවුන්, සමීක්ෂණවලට අනුව දැවැන්ත වර්ධනයක් පෙන්වයි. සමහර විශ්ලේෂකයන් පවසන්නේ ඔවුන් ඊළඟ රජුන් තනන්නාද විය හැකි බවයි. කෙසේ වුවත් මාඕරි පක්ෂය තුළ ඇති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් ඔවුන්ට ඡන්ද අහිමි විය හැකි බවක්ද පෙන්නුම් කරයි.
බොහෝ ශ්‍රි ලාංකිකයන් සිතන පරිදි නවසීලන්තය යනු හුදෙක් සාමකාමී දේශපාලන පරිසරයක් ඇති රටක්ම නොවේ. මෙහි දේශපාලනයත් උණුසුම් වන අතර අනපේක්ෂිත භාවයන්ගෙන් පිරී පවතී. ඉදිරි මැතිවරණය එයට සෘජු සාක්ෂියක් වන බව නිසැකය.
Photo credit: Sulthan Auliya & geralt






