fbpx
11.7 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අලුත් අවුරුදු, මටරකි හා අපේ අපේක්ෂා…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඩෙන්මාර්ක වැසියෝ දෙසැම්බර් 31 දා, වර්ෂය පුරා පාවිච්චි නොකර ඉතිරි කරගත් පිඟන් කෝප්ප වලින් අසල් වැසියාගේ දොරකඩට ගසා දමති. මැදියම් රැයට ඇඳන් මතට නැග දොළොස් කණිසම වදිද්දී අලුත් අවුරුද්දට බිමට පනිති. ඊක්වදෝර් ජාතිකයෝ පැරණි රෙදි හා කඩමාළු, කඩදාසි පුරවා සැදූ දේශපාලකයන්, රූපවාහිනී තරු හා ජනප්‍රිය පුද්ගලයන්ගේ පඹයන් උත්සව කාලයේ ප්‍රදර්ශනය කර මෙදිනට ගිනි තබති. ඇතැමෙක් මැදියම් රෑ දොළහේ කණිසම වදිද්දී මාස දොළහ සිහි කරමින් මිදි ගෙඩි දොළහක් අනුභව කරති. කොළොම්බියා හා මෙක්සිකෝ ජාතිකයෝ තම එළඹෙන වර්ෂයේ සරු සංචාර-සවාරි ලැබේයැයි විශ්වාශයෙන්  විශාල  සූට්කේස රැගෙන තම නිවෙස් තුළ හෝ ගොඩැනගිලි වටා රවුම් ගසති. චිලී වැසියෝ මේ වෙලාවට හැඳි පුරවා රතු පරිප්පු හොඳින් අනුභව කරමින් එළැඹෙන වර්ෂ්යේ සශ්‍රීකත්වය අපේක්ෂා කරති. බොහෝ රටවල මෙන්ම රියෝ දි ජෙනරෝ වැසියෝ ද මියුරු සංගීතය පිරුණු වීදි හා මුහුදු වෙරළ පුරා කා බී නටා ප්‍රීතියෙන් උද්දාම වී අලුත් අවුරුද්ද පිළි ගනිති. අප්‍රිකානු-ඇමෙරිකන් වැසියෝ යෙමන්ජා සමුදුරු දෙව්දුව වෙනුවෙන් මුහුදු වැල්ලේ ඉටිපන්දම් දල්වා ආලෝක කරති. තවත් ඇතැමෙක් සතුන්ට කතා කරති. මියගිය ඥාතීන් වෙනුවෙන් සොහොන් වල නිදති.

තවත් කෙනෙක්  මුහුදට සත්වරක් පැන, රළ සතක් පරයා පිහිනා, අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රාර්ථනා සතක් කරති. පිලිප්පීන ජාතිකයෝ රවුම් සලකුණු සහිත ඇඳුම් පැළදුම් ඇඳ පැළඳ, රවුම් කාසි සාක්කු වල පුරවා ගෙන, රවුමට රැස් වී, රවුම් රසකැවිලි කමින් ප්‍රීති වෙති. අයර්ලන්තයේ විවාහපේක්ෂිතයෝ එදින රාත්‍රියට විශේෂ පැලෑටි කැබැල්ලක් කොට්ටය යට තබා තම ජීවිතයේ සුන්දරම සිහිනය අලුත් අවුරුද්දේ ඉටුවේවායි ප්‍රාර්ථනය කරමින් නින්දට යති. ඇතැම් දකුණු අප්‍රිකානුවෝ එදින රාත්‍රියට තම පැරණි ලී බඩු, සීතකරණ වැනි උපකරණ උඩුමහල් වල සිට බිමට හෙළමින් පරණ අවුරුද්දේ සාපයන් දුරුවේවායි  ප්‍රාර්ථනය  කරති. ස්විස් ජාතිකයෝ ගෙබිම පුරා අයිස්ක්‍රීම් අතහැර දමා නව අවුරුද්දේ  සශ්‍රීකත්වය    ප්‍රාර්ථනය   කරති.

අඩි දොළහක පරිමාවක් ඇති, රාත්තල් එකොලොස් දාස් අටසිය හැත්තැපහක් බර, තිස් දෙදාහකට වැඩි ලෙඩ් (LED) බල්බ් වලින් අලංකාර වූ දාසය මිලියනයක් වර්ණයෙන් වර්ණිත වූ, බිලියනයක් අලංකාර මෝස්තර විදහා දක්වන, සංකේතාත්මක ගෝලාකාර වස්තුව බිමට පතිතවන දර්ශනය නැරඹීමට, මිලියනයකට අධික නිව්යෝක් වැසියෝ ටයිම්ස් චතුරශ්‍රයයට රැස්වෙති. වර්ෂය පුරා සූදානම් කළ තම අගනා කලානිර්මාණ රැගත් ලක්ෂ සංඛ්‍යාත නිර්මාණකරුවෝ තම නිර්මාණයන්  ප්‍රදර්ශනය සඳහා මෙදින ලංඩන් තේම්ස් නදිය වටා රැස්වෙති.

ශ්‍රී ලංකාවේ අපි පරණ අවුරුද්දට ආයුබෝවන් කියා, ගේ දොර පිරිසිදු කර ආගම දහම සිහි කර, දෙමාපිය-වැඩිහිටියන්ට ගරු කරමින් අලුත් අවුරුද්ද පටන් ගනිමු. ළිඳ සමග ගනු දෙනු කර, කිරි ගසක් කපා, අලුත් ඇඳුම් ඇඳ පැළඳ, මනාප අමනාප කම් සංසිඳවා, කැවුම් කිරිබත් කා අලුත් අවුරුද්ද පටන් ගනිමු. නවසීලන්තයේ මවුරි ජාතිකයෝ තම සම්ප්‍රදායික සිරිත් විරිත් අනුව ‘මටරකි’ ග්‍රහ වළල්ල නරඹා නිරීක්ෂණය කර තම මටරකි උත්සවයේ ඉදිරි කටයුතු තීරණය කර පිළිපදිති. මියගිය අය සිහි කර පුද පූජා පවත්වා, යහපත් ඊළඟ ජීවිතයකට  ප්‍රාර්ථනය   කිරීම, ග්‍රහයන්ට ආහාර පූජා, වතාවත් කර අලුත් අවුරුද්ද ගැන අපේක්ෂා ඇති කර ගැණීම සිදු කෙරේ

කෙසේ නමුත් බොහෝ විට ලෝකයේ විවිධ ජාතීන් හා ආගම් ලබ්දීන් තම අලුත් අවුරුද්ද සමරන්නේ ජනවාරි-දෙසම්බර කැලැන්ඩරයේ එකම කාලයට නොවේ.

ඇතැමෙක් මෙම උත්සව කාලය දෙසැම්බර් අග හා ජනවාරි මුලට යොදා ගනිති. චීන ජාතිකයෝ තම චන්ද්‍ර වර්ෂ ක්ලැන්ඩර අනුව එක් එක් අවුරුද්දේ වෙනස් වෙනස්  දින තෝරා ගනිති. ඉතියෝපියානු ජාතිකයෝ තම එන්කුටාටාස් ජාතික දිනය සැප්තම්බර එකොළොස් වන දිනට යොදා ගනිති. මහම්මද් තුමා මදිනා සිට මක්කමට ගිය ගමන  සිහි කරන ෂියා හා සුන්නි මුස්ලිම් ජාතිකයෝ  වෙනස් වෙනස් දින වකවානු යොදා ගනිති. විවිධ ජාති, ආගම් හා උප සංස්කෘතීන් රාශියක් ඇති  ඉන්දියානු ජාතිකයන්ගේ අලුත් අවුරුදු උත්සව වර්ෂය පුරාම විසිරී ඇත. අස්සිරියන් මෙනෙවියන් මල් කළඹ ගෙන මේ වෙනුවෙන් තම නිවෙස් වල උඩු මහලට වන්නේ අප්‍රේල් පළවැනිදාය. කාම්බෝජ ජාතිකයන් අප්‍රේල් 13-14 තෝරා ගෙන ඇත. දකුණු කොරියන් ජාතිකයෝ පෙබරවාරි මාසයට දිනය යොදා ගනිති. ඕස්ට්‍රේලියාවේ නව පදිංචි කරුවන් දෙසැම්බර අග හා ජනවාරි මුල තෝරා ගත්තත් විවිධ ආදි වාසීන්ගේ  සම්ප්‍රදායික අලුත් අවුරුදු දින ඊට වෙනස් ය. ලාංකිකයන් මේ  සඳහා අප්‍රේල් 13-14 දින යොදා ගන්නා අතර, නවසීලන්ත මවුරි ජාතිකයන්ගේ මටරකි උත්සවය ජූනි අවසානයේ සිට අප්‍රේල් මුල කාල සීමාව අතර යෙදේ.

නූතන ඩිජිටල් යුගයේ  විවිධ ජාතීන් තම සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර තවදුරටත්  පවත්වාගෙන යන්නේ ඉන් ලැබෙන ද්‍රව්‍යාත්මක ප්‍රතිඵල ගැන විශ්වාශයෙන් නොව තම  සම්ප්‍රදායික  අනන්‍යතාවයන්ගේ මෙකී සංස්කෘතිකාංග පවත්වා ගෙන යාමෙන් ලබන ආත්ම තෘප්තිය, තම හා දරුවන්ගේ විනෝදය, සමාජයීය එකමුතුව හා සුහද බව  වැනි දේ නිසාය. කෙසේ වෙතත් එකිනෙක සිරිත් විරිත් වටා බැඳුණු මිථ්‍යා ප්‍රබන්ධ හා විශ්වාස බැහැර කළ පසු මුළු මිනිස් සංහතියම මෙයින් එක් දෙයක් විශ්වාස කරන බව පෙනේ. එනම්  ගෙවුණ වසරේ ජීවිතය ආවර්ජනය කරන්නටත්, අලුත් බලා පොරොත්තු ඇති කර ගන්නටත් තම තමාට වෙන් වූ, තම සහෝදර ප්‍රජාව එකසේ පිළිගන්නා, දෛනික කටයුතුවලින් දිනකට දෙකකට හෝ මිදුණ, මෙවැනි සම්ප්‍රදායික දින වකවානුවක් ලොව කවර ජන කොටසකට වුව තිබිය යුතු බවය.

ශ්‍රී ලන්කන්ස් ප්‍රජා පුවත් පතෙහි අපිදු, දෙවැනි වසර ගෙවා තෙවැනි වසරට පියවර තබමු. ආ-මග අත්දැකීම් වලින් ඉදිරි වසරේ වඩාත් යහපත් සේවයක් පාඨක ප්‍රජාවට ඉදිරිපත් කරන්නටත්, ලෝකය පුරා විසුරුණු, පැය විසි හතර පුරාම නොවැසෙන සංස්කාරක කාමරයක සිට ඔබ වෙනුවෙන් නිමවෙන වඩාත් සපිරුණු ඊළඟ කලාපයක්  ප්‍රධානය කරන්නටත් අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.