Mountain Moved. Now Tough Road Ahead.
2024 මැයි මස වනවිට ලෝකයේ රාජ්‍ය ණය ප්‍රමණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 315 ක් වෙතැයි ගණනය කර ඇත. මෙයින් ඒ ඒ රටවල ඇති ආදායම් මට්ටම අනුව රාජ්‍ය ණය ප්‍රමාණය ආර්ථිකයට කරන අයහපත් බපෑලම අඩුවැඩි කරයි. පහළ හා පහළ මධ්‍යම ආදායම් ඇති අප්‍රිකානු හා ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු රටවල ජාතික ආදායම් තත්ත්වය අඩුය. විදේශ රටවලට කෙරෙන සේවා හා භාණ්ඩ අලෙවියෙන් ලබන ආදායමට වඩා ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට වැය වන වියදම වැඩිය. මේ නිසා අනෙක් රටවල් හා පවතින ඔවුන්ගේ වෙළද පරතරය නිතරම අවාසි සහගත (සෘණාත්මක) වේ. අයවැය පියවා ගැනීමට හා ප්‍රාග්ධන වියදම් සදහා තවත් ණය ගන්නා මේ රටවල් අවාසි සහගත වෙළද ශේෂය ද ඒ මතට වැටෙන අලුත් ණය ද හේතුවෙන් කිසිදා ගිලිහී යා නොහැකි ‘විෂම ණය චක්‍රයකට’ ගොදුරු වේ.
මේ විෂම ණය චක්‍රයෙන් ගොඩ ඒමට විදේශ වෙළදාමේ ඇති අවාසිය අඩුකර ගතයුතුය. අපනයනය මුල්කරගත් ව්‍යාපාර හා කම්හල් පටන්ගෙන නිර්යාතය වර්ධනය කර ගත යුතුය. විදේශ ආයෝජන ලබා ගත යුතුය. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය ලැබෙන මාර්ග ප්‍රවර්ධනය කර ගත යුතුය. රටකට බාහිර ලෝකය හා ඇති සම්බන්ධතාවය මෙසේ වැඩි කර ගැනීමට නම්, රට තුළ හොඳ යටිතල පහසු කම් තිබිය යුතුය. දේශපාලන ස්ථාවරත්වයක් හා ආණ්ඩු වෙනස් වුවද විදේශ ආයෝජන සදහා වන අඛණ්ඩ පොදු රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. විදේශ ආයෝජනවලට හිතකර පුද්ගලික ව්‍යවසාය ඉවසන සමාජ පරිසරයක් පැවතිය යුතුය.
නිදහසින් පසු ඉතා කෙටි කාලයකට හැරුණු විට ශ්‍රී ලංකාව ‘සෘණ වෙළද ශේෂය සහිත විෂම චක්‍රයට’ ගොදුරු වී සිටියි. තිස්වසරක යුද්ධය නිසා දේශීය විදේශ වත්කම් සහිත විශාල ජාතික ධනයක් වැය වුණි. යුද්ධය නිමා වූ පසු සංවර්ධන කාර්යයට අත ගසන්නට ශ්‍රී ලංකාවට සිදුවී ය. ඒත් රට කාර්මීකරණය හා කෘෂිකර්මාන්තය අතින් සම්ප්‍රදායික තත්ත්වයක වීය. මාර්ග, විදුලිය, ප්‍රවාහණය, සන්නිවේදනය හා තාක්ෂණය යන ක්ෂේත්‍රවල පසුතල ප්‍රමාණවත් මට්ටමක නොවීය.
මේ නිසා අධිවේගී මාර්ග පද්ධතිය, දෙවැනි වරායක්, දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපලක්, විදුලි බල ජනනය, සන්නිවේදනය ආදියේ ක්ෂණික ආයෝජන කිරීමේ අවශ්‍යතාවය මතු වීය. අධි අපේකෂා ද සහිතව දකුණු අධිවේගය, මත්තල ගුවන් තොටුපල, මාගම වරාය හා පෝට් සිටිය, සූර්ය බලය, ජලය හා සුළං බලය යොදා ගනිමින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති ආදියෙහි කඩිනම් ආයෝජන ඇති කෙරුණි. මේ ව්‍යාපෘතීන් රට ණය ගැති බවට පත් කළ දූෂණ පිරි යෝජනා බවට අද විවේචනය වේ. මෙම ව්‍යාපෘති සඳහා වැඩිමනත් ණය සපයා ගත්තේ රටට අවාසිදායක විදේශ ණය හා International Sovereign Bonds නිකුත් කිරීම මගිනි. එයින් රටේ ණය බර වැඩි කළේය. එහෙත්, මෙවැනි මූලික පහසුකම් හෝ නොමැතිව කාර්මීකරණයකයට යොමු වීමටත් විදේශ ආයෝජන සදහා මැලේසියාව හා වියට්නාමය වැනි රටවල් සමග තරග කිරීමටත් රටකට හැකියාවක් නැත.
මීට අමතරව, දේශපාලන අස්ථාවරත්වය, දේශපාලන හා නිලධාරි මට්ටවේම් දූෂණ, ව්‍යාපෘතීන් ගැන පොදු ජාතික ප්‍රතිපත්තියක් නැතිකම, උද්ඝෝෂණ, අනම්‍ය වෘත්තීය සමිති ව්‍යාපාර, තවමත් පුද්ගලික ආයෝජන සදහා පවතින විරෝධතාවය, වැනි කරුණු ද විදේශ ආයෝජන සදහා වන තරගයේ දී ශ්‍රී ලංකාව අසමත් කරවන සාධකයන්ය. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ 2021 වන විට ගෙවාගත නොහැකි වූ රාජ්‍ය ණය බරක් ගොඩ ගැසීමය. ආදායමින් වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවල් සැපයීමට වඩා ජාතික ණය ගෙවීමට වැය කළ යුතු වීය. කෝවිඩ් වසංගතයත් සමගම, රට තුළ නිෂ්පාදනය අඩාල වීය. විදේශ ප්‍රේෂණ, අපනයනය හා සංචාරක කර්මාන්තයේ ආදායම අහිමි වී ගියේය. රටෙහි අරාජිකත්වයක් ඇති වූ අතර ජන ජීවිතය අඩාල වීය. ණය ගෙවීමේ විශාල ගැටළුව මැද තමාම බංකොලොත් බව ප්‍රකාශ කරවා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවීය. බංකොලොත් රාජ්‍යයකට තව දුරටත් ණය ගත නොහැකි වීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා, ගෙවිමේ ‘තිරසාර ණය’ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට ශ්‍රි ලංකාවට සිදු වීය. මෙහිදී එම වැඩපිළිවෙලට දේශීය ණය ද ඇතුළත් වියයුතු බව විදේශීය ණයකරුවන්ගේ ඉල්ලීම වීය.
2023 ජූලි වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කර ගැනීම සම්බන්ධයෙන් විදේශ ණයකරුවන් සෑහීමකට පත්වන පරිදි ශ්‍රී ලංකාව සාර්ථක වැඩ පිළිවෙලකට එළඹුණි. එහෙත් විදේශ ණය ගැටළුව නොවිසඳී තිබුණි. ‘හැමිල්ටන් රිසව් බැංකුව’ ණය පැහැර හැරීම හේතුවෙන් ලංකාවට විරුද්ධව ඇමෙරිකාවේ නඩු පැවරුවේය. විවිධ විරෝධතා හා කේවෙල් කිරීම් මැද විදේශ ණය ප්‍රතිව්‍යුහ කරණයට විවිධ රටවල සිටි ණයකරුවන් එකඟ කරවා ගැනීම අසීරු වීය. 2024 පළවැනි කාර්තුවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇ. ඩො.මිලියන 100,184ක වීය. මින් 37% ක් (බිලියන 37ක්) විදේශීය ණය වීය. රටෙහි වරෙක 70% ප්‍රමාණයේ වූ උද්ධමනය මේ වනවිට 0.9% සීමාවේ තිබූ අතර, දේශීය දළ ජාතික නිෂ්පාදනයේ 3% ක වර්ධනයක් පෙන්නුම් කළේය. විදේශ සංචිත ඇ.ඩො.බිලියන 5.5 දක්වා ඉතිරි වී තිබුණි.
විවිධ පාර්ශවයන් හා කතිකා කරගෙන ණය ප්‍රතිව්‍යුහ කර ගැනීමේ ඉදිරි පියවර ගත් ශ්‍රී ලංකාව 2024 ජූනි 26 දින පැරිස් සමුළුවේ දී ද්විපාර්ශවීය විදේශ ණය හා චීන එක්සිම් බැංකුවට තිබූ ඇ.ඩො. බිලියන දහයක් වූ ණය, සහන දායක පොළියක් සහිතව හා යම් ප්‍රතිශතයක් කපා හැරීමේ එකඟතාවය සහිතව 2048 වසර දක්වා කල්දමා ගත් ප්‍රතිව්‍යුහකරණ සම්මුතියකට එළඹි බව රොයිටර් වාර්තා කළේය. මින් පසු ශ්‍රී ලංකාව ජා.මූ අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් බිලියන 2.5 ක මුදල ලැබෙනු ඇත. අරඹා නතර කර තිබූ අධිවේගී මාර්ග, ගුවන් තොටුපල සංවර්ධනය, සැහැල්ලු දුම්රිය වැනි සංවර්ධන ව්‍යාපෘතීන් යළි පටන් ගන්නටත් විදේශ ආයෝජන කෙරේ බලා පොරොත්තු තබන්නටත් ශ්‍රී ලංකාවට දැන් ඉඩ කඩ ලැබී ඇත.
නිර්යාත හා සෘජු විදේශ ආයෝජනවලට පහසු වාතාවරණයක් ඇති කිරීම, ශ්‍රම හමුදාවේ කුසලතා දියුණු කිරිම හා කාන්තා සහභාගිත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසායවල කාර්යක්ෂමතාවය හා පාරදෘශ්‍ය භාවය වැඩිකිරීම, පුද්ගලික අංශයේ දිරිමත් කිරීම ජා.මූ. අරමුදලෙහි ප්‍රමුඛතාවයන්ය. මහ බැංකුවේ ස්වාධීනත්වය හා ක්‍රමවත් බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ආදිය ගැනද කොන්දේසි පැනවී ඇත. මෙසේ පුද්ගලික අංශය උනන්දු කරවීම, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකරණය, විදේශ ආයෝජන දිරිමත් කිරීමට එම ව්‍යාපෘතීන් ගොඩනගන භූමිය පවරා දීම හා අලුත් බදු පැනවීම වැනි ජනප්‍රිය නොවන පියවරයන් ගැනීමට වගේම ඇ. ඩො. බිලියන 12.5 ක් වන International Sovereign Bonds පිළිබඳ ප්‍රශ්නය විසදීමට ද පවතින රජයකට පැවරේ.
තව මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට යයි. අමාරුම බාධක කිහිපයක් පසුකර පැමිණ ඇති තැන සිට, තව දුරටත් දුෂ්කර වූ මාර්ගයක ඉදිරියට යාමට මැතිවරණයෙන් පසු ශ්‍රී ලාංකිකයනට සිදුවනු ඇත.
-ශ්‍රී ලන්කන්ස්