නවතම යාවත්කාලීන කිරීම් අනුව ටොන්ගා ආණ්ඩුව මරණ තුනක් තහවුරු කර ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ එරට වැසියන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය කාන්තාවකි. අපේක්ෂා
නොකළ මට්ටමේ උදම් රළ නිසා එරට ගොඩනැගිලි, නිවාස බොහොමයක් විනාශ වී ඇති අතර දූපත් කිහිපයක් ද අතුරුදහන් වී ඇත.
පසුගිය සෙනසුරාදා දින පිපිරී ගිය “Hunga Tonga” ගිනිකන්ද හේතුවෙන් දැනටත් ටොන්ගා රටෙහි සන්නිවේදන ජාල අඩපණව තිබේ. සුනාමි තත්ත්වය නිසා සන්නිවේදන රැහැන්
විනාශ වී ඇති නිසා එම රැහැන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට සති දෙක තුනක කාලයක් ගතවනු ඇත. දැනට එරට අගනුවර වන Nuku’alofa නගරයෙහි විදේශ තානාපති
කාර්යාල සතුව ඇති චන්ද්‍රිකා දුරකතන කිහිපයක් හරහා සන්නිවේදන කටයුතු ක්‍රියාත්මක කරයි.

යුරෝපා සංගමයේ ටොන්ගා කොන්සල් කාර්යාලය විසින් නිකුත් කරන ලද නව ඡායාරූප අනුව Nuku’alofa අගනුවර මෝටර් රථ, මාර්ග සහ ගොඩනැගිලි ඝන අළු තට්ටුවකින්
වැසී ඇත. මෙම දූවිලි තට්ටු නිසා සහන ගුවන්යානා ගොඩබැසීමට සහ අත්‍යවශ්‍ය ආහාර සහ පානීය ජලය සැපයීමට බාධා එල්ල වී තිබේ. ගලවාගැනීමේ කණ්ඩායම්
සහ ස්වෙච්ඡා සේවකයින්ගේ පරිශ්‍රමයෙන් ටොන්ගා හී ප්‍රධාන ගුවන් තොටුපළ ධාවන පථයේ ඝන අළු තට්ටුව මේ වන විට ඉවත් කර ඇත. නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රථමාධාර රැගත් නෞකාවන් එළඹෙන සිකුරාදා දින ටොංගා දූපත් කලාපය වෙත ළඟා වීමට නියමිතය. නවසීලන්ත ආරක්ෂක අමාත්‍ය Peeni Henare ප්‍රකාශ කර සිටියේ මෙම නැව් මගින් පානීය ජලය සහ ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය උපකරණ රැගෙන යන බවයි. ටොන්ගා රජය ද ප්‍රකාශ කර සිටින්නේ දැනට පවතින හදිසි අවශ්‍යතාවය නම් පානීය ජල අවශ්‍යතාව යයි. ගිනි කන්ද පුපුරා යාමත් සමග ඇති වූ දුමාරය නිසා ටොන්ගා හි සියලු ජල මූලාශ්‍ර අපිරිසිදු වී ඇත. ගිනිකඳු පිපිරීම සහ සුනාමි තත්ත්වය නිසා අපේක්ෂිත මට්ටමට වඩා වැඩි හානියක් ටොන්ගා දූපත්වලට සිදු වී ඇත. අඩි කිහිපයක සුනාමි තත්ත්වයක් අපේක්ෂා කළ ද මීටර් 15ක පමණ සුනාමි තත්ත්වයක් එම දූපත් කලාපයන්ට බලපා ඇත.
ටොන්ගා දූපත් කලාපයේ දූපත් 170ක් පමණ ඇති අතර සුනාමි තත්ත්වයෙන් පසු සැලකිය යුතු දූපත් ප්‍රමාණයක් අතුරුදහන්ව ඇත.
