ඇෆ්ගනිස්ථානය යනු, විවිධ ජන කොටස්වලින් සමන්විත, සම්පූර්ණ ජනගහණයෙන් 99%ක් පමණ ඉස්ලාම් ආගම අදහන ජනතාවක් සිටින මධ්‍යම ආසියාවෙ පිහිටි රටකි. මෙම ජන කණ්ඩායම් අතරින් විශාලම කොටස පස්තුන්වරුන් වන අතර ඉන්පසු වැඩි කොටස වන්නේ තජික්වරුන්ය. මීට අමතරව හසරාවරු, උස්බෙක්වරු වැනි තවත් ජාතීහු දහයක් පමණ ඇෆ්ගනිස්තානයේ සිටිති. සියලුදෙනාම ඉස්ලාම් ආගම අදහන නමුත් ඉස්ලාම් ආගමේ ඇති බෙදීම්ද ඇෆ්ගනිස්තානය තුළ දක්නට ලැබේ. ඒ අනුව ඇෆ්ගනිස්තානය යනු ජාතිකත්ව වගේම ආගමික වශයෙන්ද බෙදුණු ජාතියක් සිටිනා රටකි.
පාකිස්තානය, ඉරානය, තක්මෙනිස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය සහ චීනය යන රටවලින් වටවුණු රටක් වන ඇෆ්ගනිස්තානය ආසියාව සහ යුරෝපය යා කරන සේද මාවතේ පිහිටා ඇති හෙයින් මේ රටේ බලය පවතින්නේ කා සතුවද යන්න අතීතයේ සිටම ඉතා වැදගත් විය.
ඇෆ්ගනිස්තානයේ ඉතිහාසය 18 වෙනි සියවස දක්වා දිවෙන අතර එම ඉතිහාසය තුළ මේ භූමියේ පිහිටීමේ ඇති උපායමාර්ගික වැදගත්කම නිසාම තුර්කිය, ඉන්දියාව, ග්‍රීසිය, රුසියාව, රෝමය, මොන්ගෝලියාව, මහා බ්‍රිතාන්‍යය, සෝවියට් සංගමය සහ ඇමරිකාව වැනි රටවල ආක්‍රමණවලට ගොදුරු වන්නට ඇෆ්ගනිස්තානයට සිදුවීය.
කෙසේ වෙතත් තාවකාලිකව ස්වෛරීත්වය අහිමි වුණත් නැවත තම රට නිදහස් කරගන්නට ඇෆ්ගන්වරුන් දක්වන සමත්කම නිසාම ඇෆ්ගනිස්තානයහඳුන්වනු ලබන්නේ ‘අධිරාජ්‍යයන්ගේ සොහොන් බිම’ ලෙස ය.
වරින්වර ආක්‍රමණ පැවතුනත්, වසර 1973 වනතුරුම ඇෆ්ගනිස්තානයේ පැවැතුනේ රාජාණ්ඩු පාලනයන් හෙයින් ආසියාවේ වෙනත් රටවල් අත්පත් කරගෙන ඇති දියුණුව ඇෆ්ගනිස්තානය තුළ දක්නට නොලැබිණි.
වසර 1973 දී රාජාණ්ඩු ක්‍රමය බිඳවැටී ජනාධිපතිවරයෙකුගේ පාලනයට යටත් වන ඇෆ්ගනිස්තානය 1978 වසරේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාලනයට යටත් විය. මොවුන් විසින් ඇතිකරන ලද සමාජ ප්‍රතිසංස්කරණවලට විශාල වශයෙන් රට තුළින්ම විරෝධයක් ඇති වූ අතර මෙම විරෝධතාවලට පකිස්තානය සහ ඇමෙරිකාව සහයෝගය දුන් අතර පාලක පක්ෂයට සෝවියට් රුසියාව උදව් කරන්නට විය.
අවසානයේ 1979 වසරේදී සෝවියට් හමුදා විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර ඔවුන්ගේ රූකඩ පාලනයක් පිහිටුවන ලදී. සෝවියට් ගැති පාලනය බිඳ දැමීමේ වුවමනාවෙන්ම මෙහිදී ඇමෙරිකාව, චීනය සහ පකිස්තානය මෙම පාලනයට විරුද්ධව සටන් කරන කණ්ඩායම්වලට සහයෝගය දුන්හ. 1990 දී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමඟම සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී යන අතර ඉන් වසර දෙකකට පමණ පසු ඇෆ්ගනිස්තානයේ බලය එවකට පැවැති සෝවියට් ගැති ආණ්ඩුවෙන් ගිලිහී යන්නට විය.
මෙම ඇතිවන අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ඇමෙරිකාව සහ පකිස්තානය තලේබාන් සංවිධානය පිහිටුවන්නට උදව් උපකාර කරන අතර අවසානයේ තලේබාන්වරු 1996 දී ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කරගත්තෝය. මෙයින් මහත් සතුටට පත්වන ඇමරිකාව චීනයට සහ රුසියාවට එරෙහිව තලේබාන්වරු යොදා ගැනීමේ අරමුණෙන් දිගින් දිගටම ඔවුනට ආධාර කරන්නට විය.
2001 වසරේ අල්කයිඩා සංවිධානය විසින් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීමත් සමගම ඇමෙරිකාවට තලේබාන්වරු සමග පැවැත්වුනු සම්බන්ධකම්වල බැරෑරුම් බව අවබෝධ වන්නට විය. මෙම පහර දීමට සම්බන්ධ අල්කයිඩා සංවිධානයට උදවු උපකාර දීම සහ එහි නායකයා වන ඔසාමා බින් ලාඩන් සඟවාගෙන සිටීම යන කාරණා මුල්කරගෙන ඇමරිකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව 2001 වසරේ යුධ ප්‍රකාශ කළේය.
බින් ලාඩන් මරා දැමුවත්, මෙහෙයුම් අවසන් නොකර ඇෆ්ගනිස්තානයේ තමන්ට පක්ෂපාතී පාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ඇමෙරිකාව තව දුරටත් රැඳී සිටියත් අවසානයේ ඇමෙරිකාවට තම හමුදා ඉවත් කර ගන්නට සිදු විය.
ඇෆ්ගන්වරුන් නොදකින සත්‍ය වන්නේ අතීතයේ සිටම ඔවුන් ලෝක බලවතුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කටයුතු කර ඇති බවයි. සෝවියට් සංගමය බලවත් රාජ්‍යයක්ව තිබුණු සමයේ, මායිම්ව පැවති ඇෆ්ගනිස්තානයට ආරක්ෂාව සඳහා හමුදා යවන්නට කටයුතු කළේය. ඉන් පසු ඇෆ්ගනිස්තානයට මායිම් වී තිබෙන අදවන විට ලෝක බලවතෙක් වී සිටින චීනයට විරුද්ධව කටයුතු කරන්න ඇමෙරිකන් හමුදාවන් පැමිණියේය.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේද තම බලය තහවුරු කර ගනිමින් සිටින තලේබාන්වරුන්ගේ පාලනය කෙසේ වේදැයි නිසැකවම කිව නොහැකි වුණත්, විවිධ ආගමික සන්නද්ධ කණ්ඩායම් අතරේ ගැටුම් ඇති වීමේ අවධානමක් ඇති වී තිබේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ අතීතයේ සිදුවූ ආකාරයටම මේ තත්ත්වය ලෝක බලවතුන් විසින් ප්‍රයෝජනයට ගත හැකි වීමයි.
විශේෂයෙන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇතිවී ඇති තත්ත්වය පකිස්තානය, චීනය සහ රුසියාව බොහෝ විට ප්‍රයෝජනයට ගන්නට ඉඩ තිබේ. ඒ සඳහා ඇෆ්ගනිස්තානය තුළ තිබෙන ආගමික බෙදීම් අනුව බිහිවූ කණ්ඩායම් ඔවුනට භාවිතා කළ හැක.ලෝක දේශපාලනය පැත්තෙන් ගෙන බැලුවොත් තලේබාන්වරුන්ගේ ජයග්‍රහණයෙන් උද්දාම වී අනෙකුත් ආගමික සන්නද්ධ කණ්ඩායම්ද ඒ ඒ රටවල බලය අත්පත් කර ගැනීමට උත්සාහ දරන දැරිමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකිය.
ඊට අමතරව මෙම මූලධර්මවාදීන්ගේ ජයග්‍රහණය මෙවැනි ආයුධ සන්නද්ධ නොවූවත්, ජාතිකත්වය සහ ආගම ප්‍රයෝජනයට ගනිමින් ඡන්දයෙන් බලයට එන්නට උත්සාහ දරන දේශපාලන ප්‍රවාහයන්ට උත්තේජනයක්ද විය හැකිය.
කෙසේ වෙතත් පැහැදිලි දේශපාලන සහ ආර්ථික දැක්මකින් තොරව ආගම්ප්‍රේමී සහ දේශප්‍රේමී වූ පමණින්ම තලේබාන්වරුනට ඇෆ්ගනිස්තානය නිවැරදි මාවතට ගන්නට හැකි වේ යයි විශ්වාස කළ නොහැකි වන අතර තවත් ලෝක බලවතකුගේ රූකඩයක් වීමට නම් බොහෝ ඉඩ කඩ ඇති බව නම් විශ්වාසය.