fbpx
9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අවුරුදු දෙසිය තිස්තුනකට පෙර සිදු වුණු ප‍්‍රංස මහා විප්ලවය | ආචාර්ය ඩබ්ලිව් ඒ.අබේසිංහ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අවුරුදු දෙසිය තිස්තුනකට පෙර ජූලි 14 වැනි දිනෙක සිදු වුණු ප‍්‍රංස මහා විප්ලවය පිළිබඳ මෙම කෙටි සටහන…මේ මොහොතටද අදාළ වන බැවින්, අපේ පාඨකයින්ගේ ප‍්‍රසාද සංවේගය සඳහා මෙපරිදි ඉදිරිපත් කරනු ලැබෙයි.

බැස්ටීලය බිඳ වැටෙයි……..

”එය හොදම කාලය විය. එය නරකම කාලය විය. එය බුද්ධියේ යුගය විය. එය මුග්ධභාවයේ යුගය විය. එය විශ්වාසයේ යුගය විය. එය ආලෝකයේ ඍතුව විය. එය බලාපොරොත්තුවේ වසන්තය විය. එය බලාපොරොත්තු සුන්වීමේ ශීත කාලය විය. අප ඉදිරියේ සියලූ දෙයම තිබිණි.

අප  ඉදිරියේ කිසිවක්ම නොතිබුණි.

අපි සියලූදෙනාම ස්වර්ගය වෙත යමින් සිටියෙමු.

අපි සියලූදෙනාම ඊට ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් සිටියෙමු….”

එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ මේ ප‍්‍රකාශ පන්තිය උපුටා ගන්නා ලද්දේ උන්මත්තකයකුගේ දින පොතකින් නොව, සම්භාව්‍ය ඉංග‍්‍රීසි ලේඛකයකු වන චාර්ල්ස් ඩිකන්ස්ගේ ”නගරද්වයේ කතාන්තරය” A Tale Of Two Cities) නමැති සුප‍්‍රකට නවකතාවෙනි. එම නවකතාවේ ආරම්භක පාඨයද එය විය.

මීට දෙසිය තිස්තුන් වසරකට පෙර මානව ඉතිහාසය මහත් සේ කළඹමින් පැන නැගුණු ප‍්‍රංස මහා විප්ලවයට තුඩු දුන් සමාජ ආර්ථික හා දේශපාලන පරිසරය තියුණු ලෙස විවරණය කරන සම්භාව්‍ය නවකතාව, චාර්ල්ස් ඩිකන්ස් විසින් අරඹන ලද්දේ එපරිද්දෙනි. ඩිකන්ස්ගේ එම විස්තරය, දේශපාලන න්‍යායාචාර්යවරයකුගේ ශබ්දකෝෂය අනුව නම්, හැදින්විය යුතු වන්නේ බරපතළ ”ප‍්‍රතිවිරෝධතා පද්ධතියක්” හැටියටය. කවර යෙදුමකින් හැදින්වුවද, මීට අවුරුදු දෙසිය තිස්තුනකට පෙර, ප‍්‍රංසයේ පාලකයන් හා පාලිතයන් අතර පැවති පරතරය – දුරස්ථභාවය – ඇදහිය නොහැකි තරම් විශාල වූවකි.

 

මානව ඉතිහාසයේ ආස්වාදකර මොහොතක්,

යුක්තියත් සාධාරණයත් උදෙසා, මානව වර්ගයා විසින් වරින් වර කරන ලද අරගල සංඛ්‍යාව අතිවිශාලය. මේ නැගී සිටීම් අතර, ප‍්‍රංස විප්ලවය තරම් ආස්වාදකර සිද්ධියක් ඒ වන තෙක් උද්ගත නොවීය. සැබැවින්ම, ප‍්‍රංස විප්ලවය වූකලී, මානව ඉතිහාසයේ  නව පරිච්ඡේදයක නියත ආරම්භයක් විය. ඒ ගැන මේ අවධියේ වාද කරන කෙනකු නැති තරම්ය.

ඉතිහාසඥයින්, සමාජ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින්, දේශපාලන විශාරදයින් ඇතුළු ලොවේ බුද්ධිමතුන් විසින් ප‍්‍රංස මහා විප්ලවය අරබයා කරන ලද අර්ථකථාවන් සංඛ්‍යාවද අතිවිශාලය.  1917 රුසියානු බෝල්ෂේවික්  විප්ලවය හැරුණු විට, මේ තරම් අර්ථ විවරණවලට ලක් වූ දේශපාලන සිද්ධියක් නැත්තේය. මේ අර්ථකථන සියල්ල එක් තැන් කොට ගත් විට, පෙනී යන මූලික කාරණයක් ඇත. එනම්, යුරෝපයේ රාජාණ්ඩු ක‍්‍රමයේ පරිහානිය, ප‍්‍රංස විප්ලවයේ ප‍්‍රධානතම පූර්ව සාධකය වූ බවය.

දහඅටවැනි සියවසේ මැද භාගය වන විට,  ප‍්‍රංසය යුද්ධවලින් හෙම්බත්ව සිටියේය. දාහතරවැනි ලූවී රජු විසින් යුද්ධ සඳහා කරන ලද අතිවිශාල මුදල් නාස්තිය හේතුකොටගෙන, ප‍්‍රංස ජන සමාජය, මහත් ආර්ථික පරිහානියකට මුහුණ දුන්නේය. එහි ප‍්‍රතිඵල වශයෙන් ජනතාව මත තව තවත් බදු බර පැටවුණේය. මේ බදු බර පැටවුණේ, ඒ වන විට, අන්ත දුක්ඛිත තත්වයට වැටී සිටි ගැමි ගොවි ජනතාවත්, නාගරික කම්කරු පන්තියත් මතය. ගොවියන්ගේ  ආදායමෙන් සියයට අසූවක් (80% ක්ම රජතුමාගේත්, වංශාධිපති රදලයන්ගේත්, පූජක පැලැන්තියේත් බදු උදෙසා ගෙවන්නට සිදු වූ බව, ඉතිහාසඥයෝ හෙළි කරති. එකල්හි ප‍්‍රංසය තුළ පැවැත්තේ මධ්‍යකාලීන සමාජ ආර්ථික රටාවකි. ඒ යටතේ රජතුමා හැරුණු කොට, වංශාධිපති රදලයින්ටද බදු ගෙවීමට ජනතාවට සිදු විය. ඊටද අමතරව, පූජකයින්ට ගෙවිය යුතු වූ ‘පින් බද්දද ජනතාව මතම පැටවුණේය.

මේ අවධියේ ප‍්‍රංසයේ පාර්ලිමේන්තුවක් හා සමාන ‘ස්ටේට්ස් ජෙනරාල්’ (Estate General)  නමැති ආයතනයක් පැවතියේය. එහි බලය, වංශාධිපති රදලයන් හා පූජක පන්තිය අතේ රැඳවෙන ඡන්ද ක‍්‍රමයක් විය. මෙම මන්ත‍්‍රණ සභාව සම්පූර්ණයෙන්ම අකී‍්‍රය ආයතනයක්ව පැවැත්තේය. නමට පමණක් පැවති ‘ස්ටේට්ස් ජෙනරාල්’ සභාව, අවුරුදු 175 කින් නොකැඳවන ලද්දේය. එහෙත් 1789දී එය යළිත් කැඳවීමට 16 වැනි ලූවී රජුට සිදු වූයේ, අන් කිසිදු හේතුවක් නිසා නොව, රාජ්‍යය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසාය.

නාස්තිකාර අත්තනෝමතික රාජ්‍ය පාලනය, අන්ත දූෂිත වංශාධිපති හා පූජක පැලැන්තිය, ජාතික ආර්ථිකයේ උග‍්‍ර පරිහානිය, ජනතා මර්දනය ආදී කරුණු රැසක් හේතුකොටගෙන, ප‍්‍රංස ජනතාව තුළ කෙමෙන් පැවති විරෝධය උච්ච ස්ථානයකට පත් වෙමින් තිබිණි.

 

විප්ලවයට තුඩු දුන් දේශපාලන හේතු දෙකක්

මේ අවධිය වන විට වඩාත් සාධාරණ හා යුක්ති සම්පන්න පාලන ක‍්‍රමයක අවශ්‍යතාව පිළිබඳ බුද්ධිමය ප‍්‍රබෝධයක්ද ප‍්‍රංස ජන සමාජය තුළ දක්නා ලද්දේය. ප‍්‍රධාන දේශපාලන හේතු දෙකක් එයට බලපෑවේය. එකක්, එවකට ව්‍යවස්ථාදායක රාජාණ්ඩු ක‍්‍රමයක් බි‍්‍රතාන්‍යයෙහි ස්ථාපිත වෙමින් පැවතීමය. අනෙක, ජෝර්ජ් වොෂින්ටන් යටතේ ඇමෙරිකාවට බි‍්‍රතාන්‍ය පාලනයෙන් ජයග‍්‍රාහි ලෙස මිදෙන්නට හැකිවීමය.

මේ පසුබිම මත රූසෝ, වෝල්ටෙයාර්, මොන්ටෙස්කියු ආදී අග‍්‍රගණ්‍ය ප‍්‍රංස ලේඛකයින් විසින් පළ කරන ලද ග‍්‍රන්ථද, රාජාණ්ඩු ක‍්‍රමයට විරුද්ධව ජනතාව නැගී සිටුවන කාහල නාදයක් විය. රූසෝ විසින් පොදුවේ මුළු මහත් සමාජ ක‍්‍රමයම විවේචනයට ලක් කරන ලද්දේය. ඔහුගේ සුප‍්‍රකට ‘සෝසියල් කොන්ට‍්‍රෑක්ට්’ නමැති ග‍්‍රන්ථය ආරම්භ වූයේ, ”මිනිහා නිවහල්ව උපන්නේය. එහෙත් හෙතෙම යදමින් බඳිනු ලැබ සිටියි” යන සුපතළ වැකියෙනි. වෝල්ටෙයාර්ගේ දැඩි විවේචනයට ලක් වූයේ පූජක පන්තියේ දූෂිත ජීවන රටාව හා අගතිගාමී පිළිවෙත්ය. මොන්ටෙස්කියු රාජාණ්ඩු ක‍්‍රමයේ නීතිමය පදනමට අභියෝග කෙරෙමින් පොතපත ලියුවේය. සැඟවී තිබුණු විප්ලවීය ගිනි පුපුර මොළොවන ලද්දේ, මෙම පුරෝගාමී ලේඛකයින්ගේ කෘතීන් විසිනි.

ඒ ඉරණම් එක්දහස්හත්සිය අසූනවයේදී, අවුරුදු 175 ක් තුළ අකී‍්‍රයව පැවති මන්ත‍්‍රණ සභාව කැඳවීමට 16 වැනි ලූවී රජු කළ තීරණය, විප්ලවවාදී ජනතාව හොඳ අවස්ථාවක් කරගත්හ. ජනතාවට අවශ්‍යව තිබුණේ, රජුගේ ඒකාධිපති අත්තනෝමතික බලතල සීමා කොට, බි‍්‍රතාන්‍යයේ වැනි ව්‍යවස්ථාදායක රාජාණ්ඩු ක‍්‍රමයක් පිහිටුවාගැනීමය. මෙම බලවේගයේ නායකත්වය ගත්තේ වංශාධිපතියකු වූ මිරාබෝය. ඔහු කියා සිටියේ ”ස්ටේට්ස් ජෙනරාල්” මන්ත‍්‍රණ සභාව වෙනුවට, ජාතික පාර්ලිමේන්තුවක් පිිහිටුවා, එතෙක් පැවති සමාජ පන්ති ක‍්‍රමය අනුව නොව, සභිකයින්ගේ සංඛ්‍යාව අනුව, ඡුන්ද බලය හිමි වන ජාතික පාර්ලිමේන්තුවක් පිිහිටුවන ලෙසය. ඒ අතර රාජාණ්ඩු ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර දමා ඒ වෙනුවට ජනරජයක් පිිහිටු වියයුතු යැයිද කී විප්ලවවාදීහු, ඒ මගෙහි මහ ජනතාව මෙහෙයවන්නට වූහ. මේ පිරිස සුළු කොටසක් වුවද, අනතුරුව හටගත් සිද්ධීන් නිසා, මාර්ගය පෑදුණේ ඔවුන්ටය.

ලූවී අධිරාජ්‍යා තෝරා ගත් මුග්ධ මාර්ගය

කෙසේ වුවද, ලූවී රජු තෝරාගත්තේ මුග්ධ මාර්ගයයි. මන්ත‍්‍රණ සභාවේ දොර වසා දමන්ට කටයුතු කළ හෙතෙම, සභිකයන්ට එහි ඇතුළුවීම තහනම් කෙළේය. ඉන් කුපිත වූ පැරිසියේ ජනතාව, නව ව්‍යවස්ථාවක් දෙන තුරු විසිර නොයන්ට තීරණය කොට, කොලහල කරන්නට වූහ. අනතුරුව රජු මන්ත‍්‍රණ සභාවේ රැස්වීමට ඉඩ දී, ඒ වටා හමුදා බලඇණි රැස් කෙළේය. ජනතාව වඩාත්ම කුපිත වූයේ, මේ අවස්ථාවේදීය. රාජකීය බලකොටුව වූ බැස්ටීලයට පහර දුන් ජනතාව, එය අල්ලාගත්හ.

බැස්ටීලයේ වැටීම, රාජාණ්ඩුවේ වැටීම ලෙස සංකේතවත් විය. මෙය සිදු වූයේ, මෙයට දෙසිය තිස්තුන් වසරකට පෙර, තවත් ජූලි මාසයක අනුස්මරණීය දිනයක් වූ 1789 ජූලි 14 වැනිදාය.

බැස්ටීලය වැටීමත් සමඟ පැතිරී ගිය කැරලිකාර තත්වය අතිශයින්ම බිහිසුණු විය. පැරිස් නුවර එකිනෙක ගොඩනැඟිලි අල්ලාගත් ජනතාව, අන්තිමේදී රජ මැ`දුර වූ ‘වර්සේල්ස් මාළිගාව’ද (Versaille Palace) තමන් සතු කරගත්හ. රජ පවුල සිරභාරයට ගන්නා ලදුව, ඔවුහු නගර මධ්‍යයට ගෙන එනු ලැබූහ.

ප‍්‍රංස විප්ලවයේ පුරෝගාමීන්ගේ මූලික සටන් පාඨ තුනක් විය. එනම් නිදහස (Liberty-Liberate) සමානාත්මතාව (Equality-Egalite) සහ සහෝදරත්වයයි. (Fratenity-Fraternite).

‘මිනිසාගේ අයිතිවාසිකම් ප‍්‍රකාශනය”

රජ පවුල සිරභාරයට ගත් විප්ලවවාදීහු ‘ස්ටේට්ස් ජෙනරල්’ සභාව, ජාතික මන්ත‍්‍රණ සභාවක් බවට පත් කළහ. වංශාධිපතියන්ගේ වරප‍්‍රසාද අහෝසි කර දැමුණි. දාසයෝ නිදහස් වූහ. රදලයින් සහ පූජකයින් සතුව පැවති විශාල ඉඩම් ගොවීන් අතර බෙදා දෙනු ලැබීය. ‘මිනිසාගේ අයිතිවාසිකම් ප‍්‍රකාශනය’ (Declaration Of The Rights Of Man) නමැති ඓතිහාසික ප‍්‍රකාශනයක් නිකුත් කරනු ලැබීය. එහි මෙසේ සඳහන් විය.

”මිනිසුන් නිදහස්ව හා සමාන අයිතිවාසිකම් සහිතව උපත ලබා ඇත. තමාගේ නිදහසට හා වස්තුවටද, පීඩනයෙන් තොරව ජීවත්වීමේ අයිතියටද, ඔවුහු උරුමක්කාරයෝ වන්නාහ. හැම පුරවැසියකුටම තමා හෝ තමාගේ නියෝජිතයන් මගින් හෝ නීති සම්පාදනයට සහභාගි වීමේ අයිතිය ඇත. විභාගයකින් තොරව, ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ සිරභාරයට පත් කිරීමට හෝ බැරිය.”

අන්තිමේදී 1791 දී සීමිත බලතල ඇති රාජාණ්ඩු ක‍්‍රමයක් බිහි විය. ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවක් පිහිටැවිණි. එමගින්  පනවනු ලබන නීති අත්හිටුවීමට, රජතුමාට බලයක් නොවීය.

ප‍්‍රංස විප්ලවයේ මුල් අදියර ආරම්භ වූයේ ඒ පරිද්දෙනි.

එතෙකුදු වුවත්, ඒ සිද්ධි දාමයට එතැනින් නැවතී සිටීමට නොහැකි විය.

ප‍්‍රංසයේ මෙම දේශපාලන පෙළගැස්ම අසල්වැසි රටවල රාජාණ්ඩුවල හද ගැස්මද වැඩි කෙළේය. තමන්ගේ රටවල ජනතාවද නැ`ගී සිටිතැයි මේ රටවල රජවරු බිය පත් වූහ. මේ අතර විප්ලවයට සහය දුන් ඇතැම් රදලයෝ අසල්වැසි රටවලට පැන ගොස්, ඒ රටවල ජනතාවද නැගී සිටුවන්ට වෑයම් කළහ. වඩාත්ම බියට පත් වූයේ, ප‍්‍රසියාවේ සහ  ඕස්ත‍්‍රියාවේ රජවරුය. 16 ලූවී රජුගේ සහායට පැමිණීමට තීරණය කළ ඔවුහු, රජ පවුලට තවත් හිරිහැර කළහොත්, පැරිස් නුවර ගිනිබත් කරන බවට තර්ජනය කළහ.

ඩැන්ටන්, මරාත්, රොබස්පියර්

ප‍්‍රසියාවේ සහ ඔස්ත‍්‍රියාවේ රජවරුන්ගෙන් ආ මෙම තර්ජනය,  ප‍්‍රංස ජනතාව තව තවත් එක්සත් කොට ශක්ති සම්පන්න කරන කාහල නාදයක් බවට පත් විය. මැදහත් මිනිස්සු පවා මෙම විදේශීය තර්ජනයට විරුද්ධව නැඟී සිට, විප්ලවවාදීන්ගේ පැත්ත ගත්හ. මෙම තත්වය මඟ පෑදුවේ, දේශපාලන බලය විප්ලවයේ අන්තවාදීන් පිරිස අතට පත්වීමටය. ජැකොබින්වරු සහ පැරිසියේ කලහකාරී ජනතාව බලය අල්ලාගත්හ. මෙම ජනතා රැල්ලේ නායකත්වයෙහි වූයේ ඩැන්ටන්, මරාත් සහ රොබස්පියර්ය. විදේශ හමුදා ප‍්‍රංසයට ඇතුළු වනවාත් සමඟම, විප්ලවවාදීන් විසින් ප‍්‍රංස වංශාධිපතීන් ඝාතනය කිරීම ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, වැල්මේහිදී විදේශ හමුදා පරාජය කොට පළවා හරින්ට සමත් වූ විප්ලවවාදීන්ගේ ධෛර්ය මහිමය නිසා, ඩැන්ටන්, මරාත් සහ රොබස්පියර් යන දේශපාලන ති‍්‍රත්වයේ බලය තවත් තහවුරු විය.

ප‍්‍රංස විප්ලවයේ අවජාතක දරුවකු හැටියට ඉතිහාසඥයින් විසින් සලකනු ලබන, ”භීෂණයේ යුගය” (Reign Of Terror)ආරම්භ වූයේ එතැන් සිටය. නඩු විභාග කොට, ජනතාවගේ සතුරන් හැටියට තීරණය කරනු ලැබූ රජ පවුල, ගිලටීනය මගින් හිස් ගසා මරා දමනු ලැබූහ. වංශාධිපතීන් ඇතුළු ජනතාවගේ සතුරන් වශයෙන් නම නියම කරන ලද අතිවිශාල පිරිසක්, බිහිසුණු ඝාතනයන්ට ලක් වූහ.

1792 සැප්තැම්බර 22 වැනිදා ප‍්‍රංසය, ජනරජයක් බවට පත් වූවාය.

 

ඉතිහාසයට වැට බඳින්ට බැරිය.

ලෝකයේ හටගත් දේශපාලන හා සමාජ විප්ලව ගැන අර්ථකථන බෙහෙවි. ඇතැම් ඉතිහාසඥයකු කියන්නේ, රජ පවුලේ බෙලි කැපූ ගිලටීනයෙන්ම, ප‍්‍රංස විප්ලවයද ගෙල සි`ඩදගත් බවය! ප‍්‍රංස විප්ලවයට අවුරුදු දාහතරකට පෙර ජූලි මාසයේම තුන්වැනිදාවක හටගත් ඇමරිකානු විප්ලවය මෙන්ම, එක්දහස් නමසියදාහතේ ඔක්තෝබරයේදී රුසියාවේ හටගත් බෝල්ෂේවික් විප්ලවයද, අභිපේ‍්‍රත මාර්ගයන්හි ගමන් නොකළ බැව් ඓතිහාසික සත්‍යයන්ය.

ඒ එසේ වුවද, විප්ලව – ජනතා නැගිටීම් – ජන අරගල –  හටගැනෙයි. සමාජ, ආර්ථික, දේශපාලන සාධක ඇති නම්, විප්ලව හටගැනෙනු වළක්වනු නොහෙයි. කොතරම් බලවන්ත මිනිසුන්ට වුණත්, ඉතිහාසයට වැට බදිනු බැරිය. ඉතිහාසය නැවත නැවත සිදුවීම වළක්වනුද බැරිය.

ඒ අතින් බලන විට, අන් හැම විප්ලවයක් වගේම, ප‍්‍රංස විප්ලවයද අනාගත වාක්‍යයකි.

 

ආචාර්ය ඩබ්ලිව් ඒ.අබේසිංහ…

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.