සෑම වසරකම පෙබරවාරි හතර වැනිදා මහත් අභිමානයෙන් සමරනු ලබන දිනයක් ලක්වාසීන්ට ඇත. ඒ සියවසකට අධික කාලයක් ඉංග්‍රීසි පාලනය යටතේ තිබූ ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමය.
ඉංග්‍රීසින්ගේ නොයෙක් අඩත්තේට්ටම්වලට ලක් වූ ජනතාව, ඔවුන් රටින් පලවා හැරීම සඳහා රට අභ්‍යන්තරය පුරා නොයෙකුත් සටන් සහ කැරලි සංවිධානය කළෝය. නිදහස්, ස්වාධීන රාජ්‍යයක් උරුමකර දීමට අපගේ ආදිතමයෝ දිවිහිමියෙන් සටන් කළෝය. ඔවුන්ගේ උදාරතර කැපකිරීම් සහ ජීවිත පරිත්‍යාගයන් මතින් ලැබූ නිදහසයි සෑම වසරකම අප සමරනු ලබන්නේ.
ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයෙන් මිදී 2023 වර්ෂයට හැත්තෑපස් වසරකි. එම කාලය පුරාවට දේශීය පාලකයින් රටේ අභිවෘද්ධිය සඳහා ඉටුකළ සේවයේ මහර්ථයන් අද වන විට ලක්වාසීන් අත්විඳිමින් සිටී. පාලකයින් තමන්ගේ බලය රැක ගැනීම සඳහා කළ කූට ක්‍රියාවන් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මෙන්ම සාමාජීය, අධ්‍යාපනික, දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන් ද අර්බුදයකට ලක්ව ඇත. උසුලාගත නොහැකි ණය බරින් වකුටු වී සිටිති. ණය පහසුකම් ලබාදෙන මුවාවෙන් රටේ භූමිය ද අත්පත් කරගැනීමට බලවත් රටවල් මාන බලමින් සිටි.
වර්තමානයේ දී ලක්වැසි සැමට එකට එක් වී කළ යුතු කාර්යභාරයක් සහ වගකීමක් ඇත. ඒ යටත්වැසියෙක් නොවි පුරවැසියෙකු වීමේ වගකීමයි. දේශපාලනයේ ඉත්තෙකු නොවී පුරවැසියෙකු ලෙසින් සෘජු වී බුද්ධිමත්ව මෙන්ම වගකීමෙන් කටයුතු කළ යුතු යුගයයි දැන්. අද වන විට ශ්‍රී ලාංකිකයන්ට සිදුවී ඇත්තේ තම මනාපයෙන් තෝරා පත්කෙරු වංචනික සහ දූෂිත දේශපාලකයින් ගේ රට නිදහස් කර ගැනීමේ කර්තව්‍යය යයි. රටම ‘System change’ එකක් ඉල්ලන යුගයක තමුන් ද වෙනස් වෙමින් රටේ තීන්දු තීරණ ගන්නා තැන්වලට නිවැරදි නායකයින් පත් කර යැවිය යුතුමය. පුරවැසියන් නිවැරදිව කටයුතු කරයි නම් පාලකයින්ට ද වැරදි මාර්ගයේ ගමන් කළ නොහැක. අනාගතයේ දී ශ්‍රී ලංකාව ද සංවර්ධිත රටක් වේවායැයි ප්‍රාර්ථනා නොකර ඒ සඳහා එකාවන්ව වැඩ කරමු. එවිට පාලකයන්ගේ නිදහස් උළෙලක් වෙනුවට ජනතාවගේ නිදහස් දිනයක් වනු ඇත.
දිමුතු විජේසූරිය