fbpx
14 C
New Zealand
Sunday, May 18, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

සමනල බබා (ළමා කතා සංග්‍රහය ගැන වැඩිහිටියෙකුගෙන්) | ශ්‍රී ලංකන්ස්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කතෘ- සුමිත්‍රා විජේසේකර

ප්‍රකාශනය- සන්ධ්‍යා විජේසුන්දර

‘ලංකාවේ රත්නපුර පළාතේ ශ්‍රී පාද කන්ද අසල ජීවත් වන සමනල මාමා හා සමනල නැන්දා, ආරක්ෂාවට තම කුඩා සමනල බබා රූං මහතාගේ නිවසේ නවතා ශ්‍රී පාදය වඳින්නට ගියෝය. ඒ අතර සමනල බබාත් කාටත් හොරෙන් සිරිපා වඳින්නට ගියේය. ගමන යා ගත නොහැකිව අතර මං වූ ඔහුට ආපසු එන්නට, මී පැණි වලින් ගාස්තුව ගෙවන පොරොන්දුව පිට නපුරු මකර කුරුල්ලා උදව් කළේය’.

සුමිත්‍රා විජේසේකර මහත්මියගේ ‘සමනල බබා’ කුඩා ළමා කතා පෙතෙහි පළමුවැනි කතාව වූ ‘සමනල බබා තනි වුණේ නෑ’ ළමා කතාවේ සාරාංශය එසේය.

නිර්මාණ කතාවක් බිහිවිමට යම් ක්ෂණික සිදුවීමක් අවශ්‍යය. ඉන් පසුව කතාවට අනුව ප්‍රධාන චරිතය හැසිරෙයි. ඔහුට/ඇයට බාධා ඇති වේ. බාධා වැඩි වන තරමට කියවන්නා හා ප්‍රධාන චරිතයේ බැඳීම වැඩි වේ. දැන් ප්‍රධාන චරිතයට උදව් කරන්නෙක් (Mother God ) ඉදිරිපත් වේ. ඒ උදව්වෙන් ප්‍රධාන චරිතය බාධක ජය ගනී. කතාව අවසන බලාපොරොත්තු නොවූ සිදුවීමක්ද සිදුවන අතර, ඉන්පසු සියල්ලෝම සතුටින් ජීවත් වෙති. දරුවන් වෙනුවෙන් ගෙතුන ‘සින්ඩරෙල්ලා’ වැනි සුරංගනා කතා සම්ප්‍රදාය එසේය.

සුමිත්‍රා විජේසේකර මහත්මියද මෙම සම්ප්‍රදායික කථා රටාව ඉතා දක්ෂව යොදා ගණිමින් දරුවන් සදහා වන ‘සමනල බබා තනි වුණේ නෑ’  කථාව ලියා ඇත. සමනල බබා, හිතුවට, මා-පියන් පසුපස සිරිපා යාම ක්ෂණික සිදුවීමය. සිරිපා ගමන යාගන්නට බැරිවීම බාධකය වන අතර  ඔහුගේ ඊළග වුවමනාව ආපසු ගෙදර ඒමය. පළඟැටි මාමාගේ ඉල්ලීම මත ගාස්තුව මී පැණි වලින් ගෙවන පොරොන්දුව පිට මකර කුරුල්ලා ඔහුව ආපසු නිවසට ගෙනත් ඇරලුවේය. කතුවරිය   ‘සමනල බබා’ සරල ළමා කතාන්දරය, සම්ප්‍රදායික සුරංගනා ළමා කතා සම්ප්‍රදායට ගලපා ඇත්තේ එසේය.  කතාව කියවන කුඩා දරුවෙක් ප්‍රධාන චරිතය වන සමනල බබා සමග  සිතින් එක් වී සිරිපා යයි. යන මග සීත සුළං-අනෝරා වැස්සට ගොදුරු වේ. මකර කුරුල්ලාගේ උදව්වෙන් ආපසු පැමණේ. මකර කුරුල්ලා ගාස්තුවට කියා මී  පැණි අය කරන්නේ කැලයේ රෝගාතුර වන සතුනට ප්‍රථමාධාර ලෙස දීමටය. නපුරු යයි ආරංචි වන  මකර කුරුල්ලාට එවැනි වටිනා ගුණයක් ඇත. ළමා සිත එහෙ මෙහෙ දුවන්නේ ඒ ආකාරයටය.

කතාව ගොඩනගා ගෙන ඉදිරියට යාමට සමනල මාමා නැන්දා, රූං කුරුල්ලා, පළගැටි මාමා හා මකර කුරුල්ලා යන චරිත සුමිත්‍රා විජේසේකර මහත්මිය මනාව සම්බන්ධ කර ගෙන ඇත.  මෙම සතුන් සියල්ලම ළමයින්ගේ මනෝ ලෝකය අල්ලාගත්  අහිංසක චරිතයන්ය. කොටියෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු වුව ළමා කතා රචනය කරන්නෙකු නපුරෙකු ලෙසම ඉස්මතු නොකරන අතර නපුරුයැයි කියන  ‘මකර කුරුල්ලා’ ඉතා කාරුණික චරිතයක් බව ද මෙම කතාවේ කියැවේ.

එමෙන්ම කතුවරිය යොදා ගත් පරිසර විස්තරය වැඩිහිටියෙකුගේ  වුව සිත් ගනී.

‘කඳුවළලු නිල්ම නිල් පාටයි.
උසම උසයි. හරිම ලස්සණයි. සුන්දරයි.
තේ වතු නිසා තවත් ලස්සනයි.
මල් පිපිලා සුවඳ දසත පැතිරෙනවා.’

ගිලී මලේදී  බසයෙන් බැස පලාබද්දල හරහා සිරිපා යන දරුවකුට පෙණෙන්නේ ඉදිරියේ ඇති දිග පඩි පෙළ හෝ රූස්ස  වනය නොව මේ ලස්සණ දසුන්ය. කතුවරිය ළමා මනස පරිසරයට එසේ එක්කරයි.

‘පලතුරු ගස්වල පලතුරු ඉදිල සුවඳ හමනවා,’යි වරෙක සදහන් කරමින් ඇය පරිසරය  ළමා මනසට යොමු කරයි. ශ්‍රී පලාබද්දල පසුකර කෙමෙන් වනගත පරිසරයට ඇතුල්වන සිරිපා වන්දනා කරුවෙකු ඔබ මොබ පනින ලේනකු, දඬු ලේනකු වදුරකු නොදැක සිටින්නේ නැත. ඉදී පලබර වුණ ඇඹුල්පේර, වෙරළු, පේරතඹල, දං හිඹුටු  පඳුරු එක දෙකක් හෝ දකිනවා ඇත. එමෙන්ම, ‘ලේන්නු ගස් වටේ දුවනවා.’ වැනි යෙදුම් වලින් පේන්නේ  කතාව ගොඩ නගාගෙන යාමට භාවිතා කර ඇති බසෙහි සරල බවය. ළමා මනසට සමීප වන තරමට සරල යෙදුම් බහුල බසක් බවය.

‘අහිංසකත්වය’ සින්ඩ්‍රෙල්ලා සුරංගනා ළමා කතාවේ බොහෝ අනුවාදවල අඩංගු වන තේමාවය. එමෙන්ම  ‘සමනල බබා තනි වුණේ නෑ’ ළමා කතාවේ තේමාව එක වැකියකින් කතුවරිය මෙසේ මතු කර දන්වයි.

‘අනේ අපේ දරු ගින්දර නිව්වාට මෙන්න මී පැනි මුට්ටියක්ම.’ මකර කුරුල්ලාගේ ගාස්තුව ගෙවන සමනල නැන්දා කියයි. මවක් එසේය. නොදන්නා දරුවෙකුගේ සෙල්ලංකාර කමකට තරවටු නොකරයි. උදව් කළ අයෙකුට පිං දෙයි. දරුවෙකුගේ අහිංසකත්වය මැද මවකගේ ආදරය මේ කතාවේ අප තේරුම් ගත් තේමාවය.

දඩයම, වඩු කුරුල්ලාගේ නිවස, කුරුළු යාළුවෝ, නරිමාමාගේ දුව ‘සමනල බබා’ ළමා කතා පොතෙහි එන අනෙක් කතා හතරය.

දඩයම කතාවේ කියැවෙන පරිදි, නිමලව කැලෑවේ සැරිසරන ‘කන්දා’ නම් දැවැන්ත ඇතා බිම හෙලා දළ කපා ගන්නට, සතෙක් දඩයම් කර දඩ මස් සපයා ගන්නට  කල්පනා කරන  දකුණේ මාගම්පුර පළාතේ ගැමියෙකු වූ  අප්පුහාමිගේ තුවක්කුව නැති වී ඇත. වනයට සතා සීපාවට ආදරය කරන ඔහුගේ පුත් අන්දිරියස් මේ කාරණය ගැන කතා කරන්නේ නැත. කතාව අවසන අන්දිරියස් දකින්නේ තම මව පියාට බණ කතාවක් කියා දෙන ආකාරයය. අප්පුහාමිගේ චරිතය අන්දිරියස්ට අවශ්‍ය පැත්තට යොමු වී ඇති බවය. තුවක්කුව නැති වීමේ රහස කතුවරිය  කියවන්නාගෙන් සඟ වන අතර, මේ ගැන කුතුහලයෙන් කතාව කියවන දරුවාට එය තේරුම් ගන්නට තරම්  ඉඟි වරින් වර ඇය ඉදිරිපත් කරයි.

‘වනයට සතා සීපාවුන්ට පවතින්නට ඉඩදියයුතුය,’ යන තේමාව මේ කතාවෙන් ඉදිරිපත් කෙරේ. ‘පුරසඳ පායා වනාන්තරය සිසාරාද අසපුව තූළට ද එම සද කිරණ ගලා එමින් පවතී.’ වැනි යෙදුම් කතාව කියවන දරුවෙකුගේ සිතෙහි සඳ පෑවූ රාත්‍රියක් ගැන වූ  චිත්ත රූප ඇති කරවයි. මෙසේ ‘සමනල බබා තනි වුණේ නෑ’  කථාව මෙන්ම ‘දඩයම’ ද ළමා මනසට සමීප වන තවත් සරල කතාවකි.

ඊ ළග කතාව වන ‘වඩු කුරුල්ලාගේ නිවස’ කතාව පටන්ගන්නේ  නාමල්ලන්ද ගමේ රෝසා දරුවාට තිබුණ ලොකුම ප්‍රශ්නයක් ගැන කියමිනි. හතරවටේ දුවෑදිමින් කැලෑ රොදේ සිටින වඩුකුරුළු මාමා කරන කලබලය රෝසාට ලොකු ප්‍රශ්නයක් වීය.  වඩුමාමා ගස් කපා දමමින් ගහකොළ, කැරුළු කූඩු, ලේන්මාමලා හා  පලතුරු සියල්ල වනසා දමයි. කැලයට ගිය රෝසා ආපසු ගෙදරට දුවයන්නේ මේ නඩුව අප්පච්චීට කීමටය. ඊට හේතුවක් ඇත. සීයා ගස් කැපීමට තදින්ම විරුද්ධය. ඒ නිසා අප්පච්චීත් ඒ වගේම විය හැක. තේමාව වශයෙන් මෙම කතාවද දඩයම කතාවට සමීපය. ආදරය කරන කැලෑවට, සතුන්ට හා ගහකොළට  හානියක් වනවා දකින දරුවකුගේ සිතෙහ් ඇති වන චංචල බව මින් කියා පායි.

ගිරවා, සැළලිහිණියා හා පෙන්ග්වින් මිතුරු මිතුරියන් එක්වී පිටින් ආ රාජාලියෙක් ගෙන් මුහුදු වෙරළේ ගලක් උඩ සිටින කිවි පැංචා බේරා ගත් හැටි ‘කුරුළු යාළුවෝ’ කතාවෙන් කියයි. නවසීලන්තයේ ජාතික කුරුල්ලා වන ‘කිවි’ ඉතා අහිංසකයෙකු බව විස්වාශයයි. මෙම කතාවෙන් හදිසියේ මතු වූ හතුරෙක්ගෙන් අහිංසක මිතුරෙකු බේරා ගත් ආකාරයක් ගැන දරුවෙකු සිතාගන්නවා ඇත. සංකේත සහිත වෙනත් ආරක තේමාවක් මැදිකරගත් කතාවක්ද ඇතැයි ද වැඩිහිටියෙකුට සිතනු ඇත.

නරිමාමාගේ දුව නාරිලතා සහ නරි හූව  නම් කතාවේ කියන ආකාරයට  නරි මාමාගේ දුව වන නාරිලතාගේ උපන්දිනේදී  තම ජාතික භාෂාව භාවිතා කරන්නට රෙදි නැන්දා කියන අස්සේ නාරිලතා තම මිතුරියන් වන සඳසාවී හා මාල ගිරවී සමග එක්වී තමතමන්ගේ භාෂාවන් වලින් ගී සින්දු කියමින් නටන්නට පටන් ගත්තාය.

වැඩිහිටියන් මෙන් දරුවන්ට කෙනෙකුගේ පුද්ගලිකත්වය අවශ්‍ය නැත. සියල්ලන්ම එකය. ඔවුහු  මිශ්‍ර බසින් කතා කරති. අනෙකාගේ ගී සිංදු කියා එක වගේ සතුටු වෙති. අලුත් දරු පරපුරේ (Alpha Generation ) මේ වෙනස් කම්  සම්ප්‍රදායිකත්වය සිතන (Baby Boomers) පරපුරට නොතේරෙයි. පරණ පරම්පරාවේ රෙදි  නැන්දා ඒ ළමයින් නට නටා කියන සිංදු නොතේරෙන  අපබ්‍රංස ලෙස සලකයි. පරම්පරා දෙකක ඇති මේ වෙනස ළමා මනස ව්‍යාකූල නොකරන පරිදි ඉදිරිපත් කර ඇති ආකාරය පොත ගැන ශ්‍රී ලන්ක්න්ස් වල ළමා කතා තීරුවට නිතරම ලියන ලේඛිඛා දියමන්ති ගල්පොත්තගේ කියන්නේ මේ කතා  ‘පරම්පරා දෙකක අදහස් වෙනස් වූවත් ගලපාගෙන ඉදිරියට යායුතු බව ළමයින්ට ලස්සනට වටහා දෙන්න ගත් හොඳ ප්‍රයත්නයක්,’ බවය.

මෙසේ,  ඒ ඒ කතා ශරීරයන් ගොඩ නැගීම හා විකාශණය කිරීම, පරිසරය යොදා ඇති ආකාරය, බස හසුරුවා ඇති දක්ෂතාවය හා  තේමාව  ගොඩනගා ඇති ආකාරය වැනි කවර මිම්මකින් වුව කතුවරිය සාර්ථක පළමු පියවරක්  තබා ඇත. පොත පත කිහිපයක් ලියා පළකර ඇති රමණී රුක්ලාන්ති  මහත්මිය පෙරවදන ලියමින්  සුමිත්‍රා විජේසේකර මහත්මිය කතා ශරීරය හා පරිසරය යොදා ගැණීම  ගැන මෙසේ දක්වයි. ‘ලංකාවේ විවිධ පළාත් පවල කැලේ කොලේ පීරා ඖෂධ පැලෑටි සොයා යන පියාණන් සමීපයේ සිටින ඇය වනාන්තරවල සැරිසරන විට විවිධ ගහකොළ, සතා සීපාවා, ස්වාභාවිකත්වය, සිය ළමා මනසින් රස විදින්නේ ඒ අයුරින්. මෙසේ නිර්මාණ පරිකල්පනය සදහා ඇගේ චිත්ත අභ්‍යන්තරය තකුළ සටහන් වන්නේ සතුන්ගේ හැසිරීමය. කුරුල්ලන්ගේ විචිත්‍රත්වයය.’

පොතට හැඳින්වීමක් ලියන ග්‍රන්ථ කතූවර චම්මින්ද වෙලගෙදර මහතා, ‘ඈ සතුව තවත් බොහෝ නිර්මාණ ඇති බව ඇගේ නිර්මාණ කියවද්දී හැගෙනවා,’ යි  සදහන් කරන්නේ  කතුවරිය තවත් බොහෝ නිර්මාණ බිහිකිරීමට කුශලතාවයක් පෙන්වා ඇති බව ය. දූදරුවනට තවත් මෙවැනි නිර්මාණ කර  දීමට ඇයට හැකි බවය. පොතට පසු වදනක් ලියන ප්‍රවීන ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර පමහතා , ‘සුමිත්‍රා විජේසේකර මේ සටහනක් තබා ඇත්තතේ තමා ලද අත්දැකීම් අනාගත පරපුරට උරුම කර දෙන්නටය,’ යි පවසන්නේ ද එය තහවුරු කරමිනි.

ළමා කතා වලට ගැලපෙන ආරට ඇතුළත චිත්‍ර නිරෝෂන් කරුණාතිලක, පිටකවරයේ චිත්‍ර ප්‍රේම් දිසානායක යන දෙපල විසින් සකස් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකන්ස්හි අපි සුමිත්‍රා විජේසේකර මහත්මියට සුබ පතමු.

-ශ්‍රී ලංකන්ස්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.