fbpx
11.8 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දිරිය නායිකාව – කොළඹ හිටපු ප්‍රාදේශීය ලේකම්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දිරිය නායිකාවක ලෙස ස්ථාන මාරුවී ගිය කොළඹ හිටපු ප්‍රාදේශීය ලේකම්, කාංචනා ගුණවර්ධන මැතිනියගේ සේවය අගය කිරීම.

සුන්දර මහනුවර නගරයේ මහමායා බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක සහ පේරාදේණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කෘෂිකර්මය පිළිබද විශේෂ උපාධිධාරිනියක ලෙසත් එම විශ්ව විද්‍යාලයේම ආයතන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක ලෙසත් ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇය පිවිසෙන විට ඇගේ වයස අවුරුදු 27 ක් විය. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසියේ 2009 වර්ෂයේ පැවැති විවෘත තරඟ විභාගයෙනි. පරිපාලන සේවයේ අගනාම තරු කිහිපය ලියුම්කරුට හමු වූයේ මෙම කණ්ඩායමෙනි. කෙසේවෙතත්, මෙම තාරුණ්‍යෙය් ජවයෙන් පිවිසි ඇය පරිපාලන සේවයේ පළමු වැනි ශ්‍රේණියට පිවිසි විගසම එම සේවයේ ජ්‍යෙෂඨ සාමාජිකාවක ලෙස ඇය පත්වීම් ලැබුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් තනතුරය.

 කොළඹ ප්‍රාදේශීය ලේකම් තනතුර සම්බන්ධයෙන් සාමාන්‍ය මතය වන්නේ  ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කාර්යයනුත්  කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාර්යයනුත් සමාන වන බවකි. මන්ද යත්, කොළඹ යනු, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනු ලබන සක්‍රීය නගරයක් මෙන්ම, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු පරිපාලනමය වශයෙන් කොළඹ ජනතාවට පරිපාලනමය වශයෙන් විශාල මෙහෙවරක් සිදු කරන කාර්යාලයක් වන බැවිනි. කුඩා භූමිභාගයක් වුවද විශාල ජනඝණත්වයක් සහිත මෙම කොට්ඨාශය වනාහි ලංකාවේ අනෙකුත් පරිපාලන කොට්ඨාශ හා සැසදීමේදී ජනඝනත්වය අතින් විශාලම පරිපාලන කොට්ඨාශය වේ. 

මෙම කොට්ඨාශයට අයත්  ප්‍රෙදේශය තුළ නෙළුම් කුළුණ, ඉදිවෙමින් පවතින වරාය නගරය, කොළඹ වරාය සහ මහබැංකුව, ජනාධිපති කාර්යාලයේ සිට ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනයන් මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන පිහිටා ඇත. කොළඹ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අධික ජනඝනත්වය සහිතවූ වපසරියක් සහිත මෙහි සම්පූර්ණ ජනගහණය ලක්ෂ 4 කට අධිකය. එමෙන්ම සියලුම ආගම් සහ ජාතීන් වලට අයත් ජනතාවක් මෙහි ජීවත් වේ. මෙහි සම්පූර්ණ  ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය 35 ක් වේ. මහල් නිවාස ඒකක ගණන 19,000 කට අධික වද, නාගරික වතු ආශ්‍රිත නිවාස ඒකක 22,000 කට අධිකව ද මෙහි  පිහිටා ඇත. ඊට අමතරව සාමාන්‍ය මැදි ආදායම් නිවාස ද සැලකිය යුතු මට්ටමක පවතී. එහි විවිධ වූ සමාජ -ආර්ථික ස්ථරවලට අයත් පිරිස ජීවත්වේ. 

එමෙන්ම, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනු, දෛනිකව විශාල පිරිසකට සේවා සපයන රාජ්‍ය ආයතනයකි. මෙහි දිනපතා සේවය ලබාගැනීමට පැමිණෙ සේවා ලාභීන් පිරිස 1000 සීමාවට ආසන්න වේ. ග්‍රාම නිලධාරී වාර්තා සහ ලේඛන ලබාගැනීම, හැදුනුම්පත් කටයුතු, උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීම, ව්‍යාපාරික ලියාපදිංචිය, සමාජසේවා ප්‍රතිලාභ ලබාගැනීම, ඉඩම් රාජකාරී සිදුකරන ගැනීම , විශ්‍රාම වැටුප් කටයුතු මෙන්ම වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු අවශ්‍යතා රාශියක් වෙනුවෙන් ඇති කොළඹ 1,2 සහ 10,11,12,13,14,15 යන ප්‍රෙද්ශවලට අයත් ජනයා මෙහි පැමිණේ. එමෙන්ම කොට්ඨාශය තුළ පවතින සංවර්ධන ව්‍යාපෘති වලට අදාළ කටයුතු,  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  අංශය මගින් සිදු කරනු ලබන සේවාවක් ලෙස කල් ගිය උපත් ලියාපදිංචිය ඇතුළු කටයුතු ද සිදු කර ගැනීමට විශාල ජනගහණයක් පැමිණේ. ඒ අතර අඩු ආදයම්ලාභීන් ලෙස සමෘදධි ලාභීන් 5000 කට අධික වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින හෙයින් එම කටයුතු සිදු කරනු ලබන්නේ ද මෙම කාර්යාල පරිශ්‍රය තුළිනි. 

මෙම සාමාන්‍ය වැඩ රාජකාරී සිදු කරමින් පවතින විට ඒ වන විට  නව තනතුරේ මාස 4ක කාලයක් සේවය කර සිටි කාංචනා ගුණවර්ධන මැතිනිය වෙත පැමිණියේ නව අභියෝගයකි. එනම් කොවිඩ් 19 වසංගත තත්ත්වයයි. එය එතෙක් එදා මෙදා තුර කොළඹ පරිපාලන බල ප්‍රෙදේශය තුල සිටි කිසිදු ප්‍රාදේශීය ලේකම්වරයෙකු මුහුණ නොදුන් නවමු අත්දැකීමක් මෙන්ම, ඇයගේ පරිපාලනමය දක්ෂතාවය උරගාබැලෙන අභියෝගාත්මක තත්ත්වයක් විය. 

මෙම අභියෝගාත්මක අවස්ථාව දිරිය නියමුවරියක, දිරිය නායිකාවක ලෙස ඇය තම සුරතට ගත්තේ කොළඹ ජනතාවගේ යහපත වෙනුවෙන්  ඇය දැක්වූ ලෙංගතුකම නිසාමය. ඒ වන විට වසර පහක් ඇය කොළඹ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස ලත් පරිචය ඇයගේ ශත්තිය බවට ඕ පත්කර ගත්තීය. විශාල වසංගතයක අඳුරු වලා දසත පැතිරෙන විට බොහෝ ජනයා වෙළද සැල්වලින් ආහාර බඩු පුරෝගෙන නිවාස වෙත කොටු වෙත්දි, එම වසංගතය හමුවේ පරිපාලනමය වශයෙන් කොළඹ කොට්ඨාශය අඩපණ නොකොට, ලංකාවේ විශාලම කොවිඩ් වසංගත තත්වයට ඇයගේ පරිපාලනමය දක්ෂතාවය මුහුණ දුන් ආකාරය විශ්මය ජනකය. එය ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කයන් සියලුම පරිපාලන බලප්‍රදේශවලටද පූර්වාදර්ශක් සපයයි. එබැවින් පරිපාලන නිලධාරිනියක ලෙස කාංචනා ගුණවර්ධන මහත්මියගේ අති දක්ෂ පරිපාලනය විදහා දැක්වෙන එම අවස්ථාව පාඨක ඔබ වෙත මෙසේ අනාවරණය කරනු ලබන්නේ, මෙවැනි අනගි කාර්යයන් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සිදුවන බව හෝ  මෙවැනි කැපකිරීම් සිදු කරන නිලධාරිනියන් සිටීද යන්න සම්බන්ධයෙන් සමාජයේ  බොහෝ පිරිස නොදන්නා බැවිනි. 

  2020 කොවිඩ් 19 වසංගත තත්ත්වයේ පළමු රැල්ල හමුවේ ලංකාවේ විශාලතම බලපෑමට ලක්වූයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි. 2020.03.18 දින සිට දිවයින පුරා ඇදිරිනීතිය පනවා තිබු හෙයින් ජීවනොපාය අහිමි ජනතාවට රුපියල් 5000/- දීමනාව ගෙවීමට අවශ්‍ය නාම ලේඛන සකස් කිරීම සහ එම මුදල රුපියල් 5000/- දීමනාව පවුල් 70,000 කට පමණ ලබාදීම සිදුවිණි. එමෙන්ම අනෙකුත් සියලුම මාසික දීමනා එම ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීම සිදුකරන ලදී. පැය 24 පුරාම තම ජංගම දුරකතනය සහ කාර්යාලීය දුරකතනය මහජනයා වෙත විවෘත කිරීම හේතුවෙන් මහජනයා වෙත පහසු සේවයක් ඇය සලස්වන්නට කටයුතු සිදු කරන ලදී. ඉන්පසුව කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වූ  2020.10.07 දින සිට ම අවස්ථවේදී කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයම හුදකලා කරන ලදී. පෙර පරිදිම පවුල් 70,000 කට රුපියල් 5000 දීමනාව ගෙවීමත් පවුල් 180,000 කට වියලි ආහාර මලු ලබාදීමත් සිදු කරනලදී.   

මා පෙර ද ලියුපරිදි මෙම කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු, වෙළද නගරයකි. තොග වෙලදාම මෙහි ප්‍රමුඛය. එම තොග වෙලදාම් කටයුතු වල නිරත මෙම කොට්ඨාශයේ වෙළඳ සැල් තුළ සේවය කරමින් සිටින බහුතරය ලංකාවේ විවිධ පළාත් වලින් සංක්‍රමණික වැසියන් විය. එම අවස්ථාවේදී දිස්ත්‍රික්කයෙන් පිටවීම සහ ඇතුළුවීම සිදු කරනු ලැබුවේ අත්‍යාවශ්‍ය සේවාවන්වන්හි නිරතවුවන් පමණි. මේ නිසා තම බෝඩිම් හෙවත් තාවකාලික නවාතැන්පලවල්වල නැවතී සිටි පිරිස විශාල විය. මොවුන්ට රජයේ අවසරය ලැබෙන තුරු තම ගම්මාන කරා යාමට නොහැකිව සිටියහ. එම පිරිස වෙත වියලි ආහාර සැපයීම පවා මෙහිදී සිදුවිය. ඊට අමතරව ජංගම වෙළඳ රථ 1700 කට පමණ අවසර පත්‍ර ලබාදීම මගින් අනෙකුත් මහජනයාගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අවශ්‍යතාවයන් සලස්වන ලදී. ඒ අතරතුර ගුණසිංහ පුර බස්නැවතුමේ නිවාස අහිමි යාචකයින් බොහෝ පිරිසක් රාජ්‍ය මැදිහත්වීම සිදුකර නිරෝධායන මධ්‍යස්ථානවලට යෑමට අවශ්‍ය කටයුතු ද සිදු කරන ලදී. 

කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශයක සංකීර්ණ ජනතාවක් සිටිනවා පමණක් නොව විද්‍යුත් මාධ්‍ය ආයතන පිහිටා ඇත්තේ මෙම පරිපාලන කොට්ඨාශයට ඉතා ආසන්නවමය. එම නිසාම මෙම කොට්ඨාශය තුළ යම් කිසි සිදුවීමක් හෝ අකටයුත්තක් වූවහොත් එම මාධ්‍ය ආයතන ඇසිල්ලකින් තම මාධ්‍ය නාලිකා ඔස්සේ ප්‍රචාරය කිරීමට යුහුසුළු වෙයි. නමුත් එකළ කිසිදු ගැටුමක් හෝ උද්ඝෝෂණයක් මාධ්‍ය වෙත ද වාර්තා නොවීය. පැමිණි එකම ගැටළුව මහල් නිවාස වලට කොටුවී හිදි ජනයා විසින් තම වූයේ හුදකලා කරන ලද කාලසීමාව අඩු කරන ලෙස රජයට සිදු කරන ලද බලපෑම්ය. එම අවස්ථාවේදී ද කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාංචනා ගුණවර්ධන විසින් එම ගැටලු සමථකරනය කරන ලදී. 

මෙම අනගි සේවය සිදුකරන්නට දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු දෙපළ වන ආශා වීරසිංහ මිය සහ අරුණෝද බෝපගමගේ මහතා ඇයට විශාල ශක්තියක් සහ සෙවණැල්ලක් විය. එමෙන්ම, සියලුම මාණ්ඩලික නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයද ඇයට මනා පිටුවහලක්විය. එක්දරු මවකලෙසත්, බිරිදක ලෙසත් තම යුතුකම් සහ වගකීම් ගොන්නක් මැද ඇය මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියක නියමුවරිය බවට පත්වීමත් ආශ්චර්යක් වන තරමට ඇය  සිය රාජකාරියට ඇප කැප වීම විශේෂත්වයකි. බෞද්ධ දර්ශනය තම ජීවන පැවැත්ම කොටගත් ඕ සියල්ල උපෙක්ෂාවෙන් දරාගන්නට මනා පුහුණුවක් ලත් අත්දැකීමෙන් පිරිපුන් තැනැත්තියක විය.

 කෙසේ වෙතත්, ඉතා කෙටි කාලසීමාවක් තුළ එතෙක් මෙතෙක් ලංකාවේ සංකීර්ණතම පරිපාලන බල ප්‍රදේශයේ නියමු වරිය, දිරිය නායිකාව 2021. පෙබරවාරි මස 22 දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක ලෙස සේවා ස්ථාන මාරුවී ගියේ, ඇයට නව ශක්තියක් වෙමින් කොළඹ අභිනව ප්‍රාදේශීය ලේකම් වශයෙන් පත්වී පැමිණි නාලක රත්නායක මහතා වෙත  සිය අභියෝග සියල්ල භාර කරමිනි. 

 ලිපිය සකස්කිරීම:  – රොෂානි ගාල්ලගේ

(ස්තූතිය, සම්බන්ධීකරණයෙන් සහය වූ  කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දමින්දි යශෝමාලි මෙනවියට)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.