හතර වසරේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක දී ගැල් කවියක් කියන්න කැමති කවුද ඇහුවහම ඔයා නේද ඒ දුවගෙන ගියේ? මගේ යාලුවෙක් මෙහෙම අහද්දි මම ගත් කටටම ඔව් කියලා කිව්වා.
මට හරියටම ඒ මොහොත මතක නැහැ. හැබැයි ඒක එහෙම වෙන්නම ඕනි. මොකද මට තියනවා පොඩි ආසාවක්. පොඩි පිස්සුවක්. ඒ තමයි ස්ටේජ් එක උඩ මයික් එක අතට අරන් කතා කරන එක. මයික් එකත් මගෙත් අතර තියෙන බැඳීම අමුතු ආදරණීය එකක්. ඒකම වෙන්න ඇති මම කථිකයෙක් වෙන්න ඇත්තේ. සමහරවිට Part time event host කෙනෙක් වෙන්න ඇත්තෙ.
මට වේදිකාවක් කියන්නෙ සතුටු තැනක්. මොකක් හරි හේතුවකට වේදිකාව උඩ මයික් එක තියං ඉන්නකොට හරි, කතා කරනකොට හරි, මට තියෙනවා පුදුම ශක්තියක්. මගේ පුහුණූ කරුවෙක් එක පාරක් කියනවා බයගුළු මීයෙක් වගේ ඉඳලා ස්ටේජ් එක උඩට නැග්ගහම සිංහයෙක් වගේ වෙනව නේද කියලා. ඔව් ඒක ඇත්ත. ඒක තමයි ආසාවේ බලය. ආසාව උවමනාවෙන් තියෙනවනම් ඔයාට ඒ එන හයිය. මතකයි හුඟක්ම අමාරු තරගවල දී පවා ස්ටේජ් එක දැක්කහම මට දැනෙන ඒ ගෙදර මතක් වෙනව. මගේ යාළුව ප්‍රවීන් මට කියනවා මෙච්චර තද තරගයකදී ඔයා කොහොමද ඔහොම ස්ටේජ් එක උඩ සන්සුන්ව ඉන්නේ කියලා. එහෙම සන්සුන්ව කතා කරන්නේ කොහොමද. මේක මට ලැබුණු ප්‍රශ්නයක්.
කතා කරන්න මට තිබ්බ ආසාවෙන් පුංචි කාලෙම ඉඳලා තිබුණත් හරි අඩිතාලමක් හදාගන්න ලැබුණු හොඳම අවස්ථාව Toastmasters කියලා මම හිතනවා. එතනදි මම ඉගෙන ගත්ත දෙයක් තමයි හැම කෙනෙක්ටම පළවෙනි දවසක් තියෙනවා කියන එක. මොකද ඉස්කෝලෙ දි කැම්පස් එකේදී මම දක්ෂ කතිකාවියක් වුණත් මෙතැනදී මට මුලදිම තේරුනේ මගේ ‘මහජනයා ඇමතීම’ කියන ගමනට තව ගොඩක් දුර යන්න තියෙනවා කියන එක.
ආසාවක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනි දේ තමයි ඒ ආසාවෙන් ටිකක් අදාළ හැකියාව හොයාගන්න එක. පස්සේ තමයි අපිට පුළුවන් ඒ හැකියාව ඔප් නංවා ගන්න වේදිකාවක් හොයාගන්න. කතා කරන්න ආස කෙනෙක්ට මට දෙන්න පුළුවන් හොඳම උපදෙස තමයි, කතා කරන්න කියන එක. ගොඩක් අය කතා කරන එක නවත්තන්නෙ කුසලතාවයක් නැහැ කියලා හිතලා. ඒක හදාගන්න නම් පළවෙනිම දේ තමයි පුහුණු වන එක.
අපිට පුළුවන් මේක පුංචි පුංචි තැන්වලින් අරඹන්නට. අපිට පුළුවන් කවුරු හරි අපිට පුංචිම හරි දෙයක් කතා කරන්න කිව්වොත් අත උස්සලා ඉදිරිපත් වෙන්න. හිතලා බලන්න දවස ගානෙ අපිට කොයිතරම් නම් මෙහෙම අවස්ථා ලැබෙනවද? මම වැඩ කරන ක්ෂුද්‍ර මෘදුකාංග ක්ෂේත්‍රයේ නම් මේ වගේ අවස්ථා බොහෝමයක් තියෙනවා. යාළුවොත් එක්ක පුංචි පිළිසඳරක දී වුණත් අපිට පුළුවන් අපේ මේ ස්කිල් එක ඔප් නංවා ගන්න.
තව දෙයක් තමයි අපිට පුළුවන් වැරදෙන්න වැරදෙන්න තව තවත් උත්සාහ කරන්න. මට ගොඩක් වෙලාවට ඇහිලා තියෙන දෙයක් තමයි හැමදේම දැනගෙනම පටන් ගන්නවා කියන දේවල්. හැබැයි මම හිතන්නේ ගමනේ දී තමයි අපිට ගොඩක්ම දේවල් ඉගෙන ගන්න පුළුවන්. පුංචිම හරි බයක් තියෙනවානම් ඉදිරිපත් කිරීම් වලට, එහෙමත් නැත්තං ස්පිටස්වලට හොඳම දේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල කතා කරන එක. ඊට පස්සේ මම අර කලින් කිව්ව වගේ අවස්ථා ගන්න එක කරන්න පුළුවන්. තමන්ට පුළුවන් කියලා හිතන වාරයක් ගානේ අපි අපේ අරමුණට යනවා. බැහැ කියලා පටන් ගන්නෙ නැතුව කියන තැනින් පටන් අරගෙන ඉහළම තැනකට යනවා කියලා ඔයාගේ මනසට කියන්න.
‘මහජන ඇමතුම’ කියන්නෙ ලස්සන දෙයක්. කතා කරන්න ආස ඔයාට, ඔයාගේ අදහස්, ඔයාගේ යෝජනා ලෝකයට ලස්සනට කියන්න පුළුවන් අවස්ථාවක්. එදිනෙදා ජීවිතයේදී අපේ හැඟීම් දැනීම් මිනිස්සුන්ට කියන්නෙ ‘මහජන ඇමතුම’ ඕනි වෙන්නෙ නැති වුණත් පණිවිඩ හුවමාරුවේ දක්ෂතා අවශ්‍ය වෙනවා. ඒකත් මේ වගේ දේවල්වලින් හදාගන්න පුළුවන්. ලෝකයේ කිසිම කෙනෙක්ට තනිවෙලා තනියම ඉන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා මිනිස්සුත් එක්ක කතා කරන්න ලැබෙන අවස්ථා, ඔයාගේ අදහස් කියන්න ලැබෙන අවස්ථා, ඔයාගේ කටහඬ අවදි කරන්න පුළුවන් අවස්ථා මගහැර ගන්න එපා.
ඉතින් මම හිතන්නේ අපි හැමෝටම තියෙනවා හිතට ගතට හයියක් එන මූණට ලස්සනම ලස්සන හිනාවක් දෙන ආසාවක්. කරන්න තියෙන්නේ ඒක හොයා ගන්න එකම තමයි. කෙනෙක් මට කියාවි ඔයා ඉතින් පොඩි කාලෙම ඕක හොයා ගත්තනෙ කියලා. ඒකටත් මට කියන්න තියෙන්නේ උත්සහ කරලා බලන්න ඔයා කැමති හැම දෙයක්ම. එක දෙයකදී අනිවාර්යෙන්ම ඔයාට දැනෙයි මේ තමයි මට ‘හෝම් ෆීලින්’ එකක් දැනෙන දේ. කරගෙන යනකොට ඔයාට ජීවිතයට අරමුණක්, සතුටක් සහ සැනසීමක් ලැබේවි. හොයාගන්න ඔයාගේ හිත නලියන ඒ ලස්සන හීනෙ.
හරියට මම දැන් හිනා වෙවී ආසාවෙන් මං ආසම කරන දේ ගැන ලියනවා වගේ.
උම් රා මුසාෆර් – ශ්‍රී ලංකා