සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා සමාජය හොඳ දේවල් පිළිබඳ වැරදි අර්ථකථන දැක්වීමට කැමති බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. බොහෝ හොඳ දේවල්වලට ආරම්භයේදි දැඩිව විරෝධය පළ කිරිමේ ජන්ම ගතියක් සහ පුරුද්දක් ශ්‍රී ලාංකිකයා වන අප තුළ පැවතිම අපේ ජාතික උරුමයක් වෙලා.
දැන් බලන්නකෝ රටක පූරුවේ වාසනාවට රටකට කලාතුරකින් බිහි වන මොල හතක්කම ඇති බව කියන අපේ මුදල් ඇමතිතුමා ඇතුළු ඒ පාලකයින් අපගේ මව්බිමට පෙමින් සිදු කරන විදුලිය කැපිමේ සත් කාර්යය පවා ඉදිරි දැක්මක් නැති අපේ සමාජය වටහා ගෙන ඇත්තේ නුහුරට බව දේශප්‍රේමියෙකු වශයෙන් ඇතුගල් රාළට නම් නොකියාම බෑ. අපේ දරුවන් මේ සංකිර්ණ තාක්‍ෂණික ක්‍රමයේ සිරකාරයන් බවට පත්වෙලා. ඔවුන් තුළ පරිසරය සතා සිව්පිවා ගැන, සඳ-තරු ගැන, වවුලන්, කණාමැදිරියන් වගේ සෞන්දර්යාත්මක දේ ගැන රෑ අන්ධකාරයේ ඇති ප්‍රේමණීය සුන්දරත්වය ගැන කිසිම සංවේදි බවක් නෑ. ඔවුන් ජංගම දුරකථනය, රූපවාහිනිය වගේ මෙවලම්වලට හුරු වෙලා ඒකාකාරි යන්ත්‍ර බවට පත්වෙලා. ඔවුන්ගේ මුහුණේ කණාමැදිරියේ වැහුවත් පියාඹා යන වවුලෙක් ඔලුවේ හැපුනත් ඇහැක් ඇරලා බලන්නේ නෑ. නිශාචර බකමූණෙකුගේ බස්සෙකුගේ හඩක් ඔවුන් අඳුණන්නේ නෑ.
ඉතිං බලන්න අපි ගමන් කරමින් ඉන්නේ කොයිතරම් පරිසර විරෝධි අන්තයක් වෙතද? මේ ගැන පැය ගණන් බණ කීවත් කිසිම පලක් නැති බව අපේ මුදල් ඇමතිතුමා තේරුම් ගත්තා. ඒ කියන්නේ එතුමා අවුරුදු සීයක් ඉදිරිය දැක්කා කීවොත් නිවැරදියි. නමුත් මේවා ඒ විදිහට කියලා ජංගම දුරකථන නවත්වලා, ෆේස් බුක්, යූ ටියුබ් තහනම් කරලා අපේ තරුණ පරපුර හරිමඟට ගන්න ගියා නම් මෙතන මහා ගිනි විජ්ජුම්බරයක් වෙන එක වළක්වා ගන්න බෑ. මාධ්‍ය නිදහස නැති කළා, ප්‍රජාතන්ත්‍රවාදය කාබාසිනියා කළා කියලා යකා නටන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාට තමයි අපේ ඇමතිතුමා මොල හතෙන්ම කල්පනා කරලා රටේ අනාගත දරු පරපුරේ යහපත තකා මේ ලයිට් කැපිල්ල පටන් ගත්තේ. අන්න බලන්න එතුමා ඒ වෙලාවේ සම්‍යප්‍රයෝග කියන බෞද්ධ සංකල්පය හරිම නිර්මාණශිලි ලෙස යොදා ගත්තා. මහා භාණ්ඩාගාරය පිරෙන්න ඩොලර් තිබුණත් එතුමා මතයක් සමාජගත කළා අපට ඩොලර් නෑ කියලා. ඒ නිසා ඉන්ධන ගේන්න විදිහක් නෑ කිව්වා. ඉන්ධන නැති නිසා විදුලිය නිෂ්පාදනය කරන්න විදිහක් නෑ කියලා එතුමා ඉංග්‍රිසි හෝඩියේ අකුරු ඔක්කෝම ටික අරන් විදුලිය විසන්ධි කරන්න වැඩපිළිවෙලකුත් හැදුවා. එතනදි එතුමා ඊට අමතරව ඉතාම උපක්‍රමශිලි ලෙස ජනතාවට නොදැනීම ඉංග්‍රිසි හෝඩිය ඉගැන්වීමත් කළා.
දැන් බලන්න අපේ මුදල් ඇමතිතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු එ බලධාරීන් අද ජංගම දුරකථනයෙන්, වැඩකට නැති රූපවාහිනී නාලිකාවලින් දරුවන් වගේම අම්මලාත් බේරා ගැනිම ආරම්භ කළානේ. මුදල් ඇමතිතුමා කොයිතරම් උපක්‍රමශිලි විදහට ඒක කළාද? එතුමා දවල් කාලයේ පැය පහක් විතර ලයිට් කපන්න කටයුතු කරලා දරුවන්ගේ ජංගම දුරකථන චාජ් කරන එක නතර කළේ ඔවුන්ට හිතා ගන්නවත් බැරි විදිහට. ඔන්න ඉතිං දැන් දරුවෝ අර කසි කබල් ටෙලි නාට්‍ය, මෝඩ ෆේස් බුක් නතර කරලා රෑ අහසේ තරු රටා බලන්න, කණා මැදිරියන්ගේ සුන්දරත්වය දකින්න යොමු වෙලා. අම්මලා තාත්තලා එක්ක අල්ලාප සල්ලාපයේ යෙදෙන්න යොමු වෙලා. ආච්චිලාගෙන් සීයලාගෙන් කතන්දර අහන්න යොමු වෙලා. ඒ සුන්දර අඳුර නිසාම අද පවුල්වල සමගිය වැඩිවෙලා. අනික ඈත අතීතයේ අපේ ප්‍රෞඩත්වය විදහා දක්වමින් අයස්කාන්ත දර ලිපක මෘදු ආලෝකය දැන් නැවතත් හැම ගෙදරකින්ම වගේ පෙනේනට පටන් අරන්.
අද බලන්න අපි පුංචි කාලේ හදපු සෙල්ලම් ගෙය තමන්ගේ දරුවන්ට හදන්න ඇමෙරිකන්කාරයා කටයුතු කරනවා. මේ තාක්‍ෂණයෙන් තරගකාරිත්වයෙන් හෙම්බත් වෙන ඔවුනුත් තවත් දශක දෙක තුනකින් අපි අද කරන මේ වැඩේ කරන බවට මම නම් කැට තියලා කියනවා.
නමුත් ඉදිරි වසර පනහක් සීයක් දැකලා අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගත්ත ඒ උදාර තීරණයේ පුංචි පුංචි අඩුපාඩු කිපයක් තියෙනවා. ඒ කියන්නේ කර්මාන්ත ශාලා, වෙනත් රැකියා ස්ථාන වැහෙනවා, ආර්ථිකය බංකොළොත් වෙනවා වගේ අතාර්කික ව්වේචන සමහරු එල්ල කරනවා. මම නම් කියන්නේ ජනතාව ඒ අයගෙන් ප්‍රවේසම් විය යුතුයි. දැන් මේ රටට විරුද්ධ බලවේග බය වෙලා. මොකද ඔවුන් දන්නවා මේ වැඩපිළිවෙල සාර්ථක වෙලා ජනතාව ඒක තේරුම් ගත්තොත් මේ ආත්මෙට අපේ මුදල් ඇමතිතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ අය පරද්දනවා බොරුකියන එක. ඒ නිසා මේ දූරදර්ශි වැඩසටහන හෙවත් දේශප්‍රේමී ලයිට් කැපිල්ල ආරම්භයේදීම අසාර්ථක කරන්න මහ පාරට බැස රටට අහිතකර විවිධ බලවේග කරන මල විකාර පරාජය කරන්න මොල හතේ ඇමතිතුමාට සහාය දීම ජාතික වගකීමක් බව කීමට මේ ඇතගල් රාළ නම් පැකිලෙන්නේ නෑ.