fbpx
15.8 C
New Zealand
Thursday, August 13, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

Nalandians in Batalanda – බටලන්දේ නාලන්දා මිතුරෝ | කේ. ඒ. බී.කරුණාරත්න | හැමිල්ටන්

Must read

රෝහිත ප්‍රියදර්ශන හා අජිත් ජයසිංහ නාලන්දයේ එකට පංති ගියහ. එකට ඉගෙන ගත්හ. එකට ක්‍රිකට් ගැසූහ. දෙදෙනම පරිවාස උප පොලිස්  පරීක්ෂකවරු ලෙස 1986 දී  ශ්‍රී ලංකා පොලීසියට බැදුනහ. විදුහලේ දී  ඇති වූ මේ සහෝදරත්වය ශ්‍රී ලංකා පොලිසියේ දී ඔවුන්ගේ ඉරණම වෙනස් කරවීය. මේ සිදුවීම් පෙළ  බටලන්ද කොමිසම ඔවුන් වෙනුවෙන් පිටු 24 ක් සහිත පරිච්ඡෙද දෙකක් වෙන් කරන සාධකයක් වීය.

1989 දී රෝහිත සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශය භාරව සිටියේය. අජිත් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සිටියේය. 1989 ජූලි 17 උදය 2.55 ට පමණ සැතපුම් ගාණක් දුරට ඇසෙන තරම්  විශාල ශබ්දයකින් සපුගස්කන්ද පළාතම දෙදෙරුම් කෑ පිපිරීම් හඬක් නිසා නිසා රාජකාරි සඳහා පිටත ගොස් සිටි රෝහිත කලබලයට පත් වීය. ඒ විගසම සපුගස්කන්ද පොලීසිය හා පණිවිඩ හුවමාරු කරගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල වූයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට කතාකර මේ ගැන සොයාබලන මෙන් ඉල්ලා සිටිමින් ඔහු වහාම තම රාජකාරි ස්ථානය වූ සපුගස්කන්ද පොලිසියට ආපසු පැමිණියේය. ආපසු ආ රෝහිත මැදි වූයේ සපුගස්කන්ද පොලිසිය ප්‍රතිප්‍රහාර දෙමින් සිටි ත්‍රස්තවාදී  ප්‍රහාරයකටය.

රෝහිත හා ඔහුගේ කාණ්ඩය ද සතුරනට පහර දීමට එක් වූහ. අවසන ප්‍රහාරකයෝ පසුබැස පලා ගියහ. පොලිස් ස්ථානයේ උඩුමහලේ කොටසක් තදබල ලෙස විනාශ වී තිබුණි. තුවාලකරුවන් රෝහලට යැවීමට රෝහිත ද කටයුතු කළේය. ප්‍රහාරයට එඩිතරව  මුහුණ දුන් ස්ථානය භාර ලලිත් මහානාම හා තවත් පොලිස් නිලධාරී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. පහර දුන් අයගෙන් දෙදෙනෙක් ද මරණයට පත්ව සිටියහ. ඉන් එක් අයෙක් සුමිත් පෙරේරා හෙවත් කළුවාය. කළුවා ජවිප ක්‍රියාකාරියෙකු නොවූ අතර ඒ නමින් වෙනත් නීති විරෝධී කටයුතුවල නිරත වූවෙකි. ගෝනවල සුනිල්ගේ ඥාතියකි. ගෝනවල සුනිල් නමින් ප්‍රසිද්ධ වූයේ පාරම්පරිකව එ.ජා.ප.යට අන්‍රග්‍රහ කළ ගෝනවල පෙරේරා පවුලේ සුනිල් පෙරේරාය. ප්‍රහාරයේ අරමුණ පොලිසිය සතු ආයුධ පැහැර ගැනීමත් පොලිස් ස්ථානය භාරව සිටි රැඳවියන් කොටසක් නිදහස් කරගැනිමත් බවට අදහස් වීය.

ගෝනවල සුනිල්

1990 පෙබරවාරි 02 දින රෝහිත රාත්‍රී 8.30  පමණ ස්ථානය භාර නිලධාරි ඉන්ස්පෙක්ටර් කීර්ති අතපත්තු කළ ඉල්ලීමක් පිට යැයි පොලිස් ස්ථානයේ සටහනක් තබමින් බියගම හෝටලයේ රැස්වීමකට සහභාගි වීමට ගියේය. කෙසේ නමුත් රෝහිත ආපසු සේවයට වාර්තා කළේ  නැත. ‘ඉන්පසු මෙතෙක් පවුලේ කෙනෙකු හෝ කිසිවෙකුට  රෝහිත ගැන අසන්නට නොලැබුණූ බව,’ බටලන්ද කොම්ෂන් වාර්තාව සඳහන් කරයි. (පිටුව-99) ඔහු සැඟව පලාගොස් ඇති බව පොලිස් නිල ආරංචි පැවසීය. තමා රෝහිතට බියගම හෝටලයේ රැස්වීමකට යන ලෙස දැන්වූවාය යන කියමන මේ වන විට කීර්ති අතපත්තු ප්‍රතික්ෂේප කළේය.

මේ අතර පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ රෝහිතගේ නාලන්ද මිතුරා වූ අජිත් ජයසිංහ තම සහෝදර නිලධාරියාගේ අතුරුදහන් වීම ගැන මහත් කම්පනයකට පත්ව සිටියේය. ඔහු තම සේවා ස්ථානයේදීම බලවතුනට චෝදනා කරමින් මහත් ආවේගශීලීව කතා කර ඇත.1990 පෙබරවාරි 25 බොරැල්ල පොලිස් රෝහලට යන අතරතුර සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඔහු අත්අඩංගුවට ගෙන පෑලියගොඩ ත්‍රස්ත මර්ධන ඒකකයේ රඳවා තැබීය. ජවිප ප්‍රාදේශීය නායකයෙකුයැයි හැදින්වුණ කදුරුවා හේනගේ ජිනදාස (ජිනේ) නමැත්තෙකුගේ පාපෝච්චාරණයකින් අජිත් ජයසිංහ මෙකී ජිනේට ත්‍රස්තවාදී ක්‍රියාවලට උදව් කළ බව කියැවුණි.

රෝහිත ප්‍රියදර්ශන හා අජිත් ජයසිංහ දෙදෙනාම ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා පැවැත්වූ බවත් කී ජිනේ 1990 දී හමුදා බාරයට පත්වූ බව දැනගත් රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 සිට සැඟව පලාගොස් ඇති බව නිල වාර්තාවලින් පැවසුනි. රෝහිත හා අජිත් සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහර දී ආයුධ ගන්නටත් පොලීසියේ රඳවාගෙන සිටි ජවිපෙ සාමාජිකයන් නිදහස් කර ගන්නටත් ආයුධ ද ලබා දී  උපකාර කළ බව හා පහර දීම සංවිධානය කළේ තමා බව ජිනේ තම පාපෝච්චාරණ  ප්‍රකාශනයේ කියා තිබුණි. මේ අනුව වරක් ‘නාලන්දියෝ කියන්නේ ජවිපයෝ ’ යි  කියන්නට ද ඩග්ලස් පීරිස්ට හැකි වීය.

මේ ගැන විමර්ශන කටයුතු කිරීමේදී තමා අත්සන් කළ ප්‍රකාශයේ අජිත් ජයසිංහ ද අත්සන් තබා පිළිගෙන තිබුණි.1990 මැයි මස අජිත් ජයසිංහ හා ජිනේ මෙම චෝදනාව සහිතව අළුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. ජවිපෙ ක්‍රියාකිරී ජිනේ ඉන්පසු අත්අඩංගුවෙන් මිදී පලා ගිය බව අජිත් ජයසිංහට දැනගන්නට ලැබුණි. 1992 ජනවාරි 7 තිලංග සුමතිපාලගේ ද මැදිහත්වීමෙන් නිදහස් වන තෙක් අජිත් ජයසිංහ පැලවත්ත රඳවාගැනිම් මධ්‍යස්ථානයේ රැඳවියෙක් ලෙස සිටියේය. මියගිය ගෝනවල සුනිල්ගේ ඥාති කළුවා වෙනුවට රෝහිත, අජිත් හා ජිනේ පොලිස් ස්ථානයට පහර දුන්නායැයි කියන සැලසුම නිල වාර්තාවල පිළිගත් දේ  වීය.

බටලන්ද කොමිසම සිදුවීම් පහක් ගැන කරුණු සොයා බැලූ අතර පළමුවැන්න උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශනගේ අතුරුදහන්වීමය.  දෙවැන්න උප පොලිස් පරීක්ෂක අජිත් ජයසිංහ අත්අඩංගුවට ගැනිමය. (පිටුව 17) කොමිසම සොයාගත් කරුණූ  වාර්තාවේ  නම වැනි පරිච්ඡෙදයේ (පිටු 123-134) පළවේ. රෝහිත  ප්‍රියදර්ශන හා අජිත් ජයසිංජහ යන අයට අදාල නිගමණයන් සැකෙවින් මෙසේ ය.

රෝහිත  ප්‍රියදර්ශන.

  • 1989 /07/16  – ස්ථානයේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් කරවමින්  සපුගස්කන්ද පොලිස් ස්ථානයට ආයුධ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වීය. ප්‍රහාරකයන් දෙදෙනෙකුද මියගිය අතර, එක් අයෙක්  එ.ජා.ප.යේ ප්‍රබල ආධාරකාර ගෝනවල සුනිල්ගේ ඥාතියෙකු වූ සුමිත් පෙරේරා ය. පලාගිය ප්‍රහාරකයන් හඳුනා ගැනීමට නිලධාරීන් උත්සාහ ගෙන නොතිබුණි. පරීක්ෂණ කටයුතු ඉතා නොසැලකිල්ලෙන් කර තිබුණි. සුමිත් පෙරේරාගේ සම්බන්ධය යටපත් කිරීමට මුල සිටම කටයුතු කර තිබුණි. ඔහුගේ සම්බන්ධතාවය තහවුරු කරමින් මුලින් සාක්ෂි දුන්, පොලිස් ස්ථානයේ සේවකයකු වූ  ශාන්තිලාල් පොලිස් භාරයේ සිටිය දී අතුරුදහන් වීය. හේතුව  ප්‍රහාරය වෙනත් පාර්ශවයක් පිටින් යැවීමට තිබූ අවශ්‍යතාවයය.
  • රෝහිත ප්‍රියදර්ශන අවංක, එඩිතර, සේවයේ දස්කම් පෑ තරුණ නිලධාරියෙක් වීය. ප්‍රහාරයට ඔහුගේ කිසිම සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නොවිය. 1990 පෙබරවාරි මස අතුරුදහන්  වීමට පෙර ඔහු දරුණු අපරාධ සම්බන්ධයෙන් ටියුඩර් පෙරේරා නමැත්තෙකු අත්අඩංගඅවට ගෙන තිබුණි. ටියුඩර් පෙරේරා ද ගෝනවල සුනිල්ගේ ඥාතියෙකි. අත් අඩංගුවේ සිටියදී ටියුඩර් පෙරේරා ද අතුරුදහන් වූ අතර ඔහුගේ ඥාතීහු මේ ගැන රෝහිත ප්‍රියදර්ශනට විරුද්ධව වගකිවයුත්තනට පැමිණිලි කළහ.
  • 1990 පෙබරවාරි රෝහිත අතුරුදහන් විය. ඒ ගැන විධීමත් පරීක්ෂණයක් නොවීය. එම පෙබරවාරි 23 දින රෝහිතගේ සිරුර කැලණි ගඟේ පාවී ආ අතර එය භාරයට ගෙන පරීක්ෂා කිරීමට කිසි කෙනෙක් කිසිම උත්සාහයක් ගෙන නැත. රෝහිතගේ මරණය ගැන අජිත් ජයසිංහ ඇතුළු ඔහුගේ යහළුවන් දැක්වූ උනන්දුව ඉහළ නිලධාරීන්ට නොවීය.
  • කදුරුවා හේනගේ ජිනදාස (ජිනේ) අත්අඩංගුවට පත්වීමෙන් පසු රෝහිත සැඟව ගිය බව ඉහළ බලධාරීහු පැවසූහ. ඔහු රෝහිත හා අජිත් සම්බන්ධ කරමින් කළායැයි කියන පාපෝච්චාරණය අසත්‍යය. පාපෝච්චාරණයේ ඇති එකම වචනයක්වත් ජිනේ පැවසූ ඒවා නොවේ.
  • ජිනේ, රෝහිත හා අජිත් සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහර දීමට සම්බන්ධ බව කියන ප්‍රකාශය අසත්‍යය. රෝහිත හා අජිත් ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියාවලට උදව් කළ බවට ජිනේගේ ප්‍රකාශයේ  පැවති කරුණු අසත්‍යය.
  • රෝහිත හදිසියේ සැඟව ගොස් අතුරුදහන්ව වූවාය කියන නිල ප්‍රකාශය අසත්‍යය. ඔහුගේ අතුරුදහන් වීමට ඉන්ස්පෙක්ට කීර්ති අතපත්තු සෘජුවම වගකිව යුතුය. ඔහු රෝහිතට බියගම හෝටලෙයේ රැස්වීමට යන ලෙස දුරකථනයෙන් කළ දැන්වීම සාක්ෂි මගින් සනාථ කෙරී ඇත.
  • නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ, රාජා ඩයස් මෙම අතුරුදහන් වීමේ සත්‍ය කරුණූ යටපත් කළ ඉහළ නිලධාරීන් අතර වෙති.
  • මෙම  අතුරු දහන් වීමට  සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් වක්‍රව සම්බන්ධ වී ඇත.

අජිත් ජයසිංහ

  • 1990 පෙබරවාරි 24 ට පෙරාතුව කාලයේ අජිත් ජයසිංහ කිසිම වරදක් (Offence) කර නැත. මේ කාලයේ ඔහු රෝහිතගේ අතුරුදහන් වීම ගැන අවංකවම කම්පනයට පත් නිලධාරියෙකි. ඔහු අත්අඩංගුවට ගැනීමට පෙළඹ වූ ප්‍රධාන සැඟවුණ සාධකය ද එයය.
  • ඔහුගේ හැසිරීම ගැන ඉහළ නිලධාරීන් වන නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න, කැලණිය ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලෙිස් අධිකාරී නලීන් දෙල්ගොඩ, කැලණිය ප්‍රදේශය මෙහෙයුම් භාරව සිටි සහකාර පො/අධිකාරී  ඩග්ලස් පීරිස් හා  කීර්ති අතපත්තු කර ඇත්තේ ද්වේෂ සහගත ප්‍රකාශයන් ය.
  • 1990 පෙබ 24 ඔහුව අත්අඩංගුවට ගැනීම ඩග්ලස් පීරිස් විසින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි.
  • එදාසිට වසර දෙකක් ඔහුව සිරකර තබා ගැනීම නීති විරෝධීය.
  • කදුරුවා හේනගේ ජිනදාස (ජිනේ) රෝහිත හා අජිත් සම්බන්ධ කරමින් කළා කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යය. එය සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදිම සම්බන්ධයෙන් රෝහිත හා අජිත්  හසුකරවීමටත් ගෝනවල සුනිල්ගේ ඥාතීන් නිදහස් කිරීමටත් ගොතන ලද ප්‍රබන්ධයකි.

කොමිසම සකස් කළ කරුණු අනුව බටලන්ද අයත් වූයේ රනිල් වික්‍රමසිංහගේ බියගම මැතිවරණ කොට්ඨාශයටය. ගෝනවල පෙරේරා පවුල මෙන්ම සුනිල් පෙරේරා ද ප්‍රබල එ.ජා. ප. ආධාර කරුවෝ වූහ. බටලන්ද පරිශ්‍රයේ රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයක්ද වූ අතර එහි පැවති විවිධ රැස්වීම් ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. තමාට දේශපාලන අධිකාරයේ බලයට අවනතව කටයුතු කිරීමට සිදුවූ බව වරෙක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ පැවසූ බවද කොමිසම් වාර්තාවේ සදහන්ව ඇත.

ජවිපෙ හා අනුබද්ධ සංවිධාන විසින් කවරාකාරයෙන් හෝ කළ ප්‍රචංඩ  ක්‍රියා අනුමත නොකරන බව පවසන බටලන්ද කොමිසම, රජය ජවිපෙ ප්‍රචංඩත්වයට  මුහුණ දුන්නේ ප්‍රතිඵල මිස ඒවා ලබාගන්නා ආකාරය නොසලකා හැරි ‘රාජ්‍ය ත්‍රස්තවාදයකින්’ මගින් යැයි සඳහන් කරයි.

දේශපාලන ශක්තිය හා නිල බලය මිශ්‍රව හටගත් අමානුෂික උමතුවක පවුරුවලින් වට වූ බටලන්ද පරිශ්‍රයේ ගොඩනැගෙමින් වර්ධනය වූයේ මනුෂ්‍යත්වයේ සියලු සාධක වැනසී ගිය අවාසනාවන්ත උප-සංස්කෘතියකි. ඇතැම් අවස්ථාවල අල්ලාගත් පුද්ගලයෙකු බේරා හරින්නට විශාල කප්පම් මුදලක් අය කෙරුණි. ඊටම සූදානම් වූ  ප්‍රභූ පංතියේ  නීතිඥයෝ ද වූහ. ඒ ඒ අයට වෘත්තීයමය උපකාර කරන්නට ඉදිරිපත් වූ මුත් තමන් එසේ  කිසිම ‘ගාස්තුවක්’ (කප්පමක්) ඉල්ලා නොසිටි බව ඔව්හු  කොමිසම ඉදිරියේ පැවසූහ. තම දේශපාලන බලවතාගේ අනුග්‍රාහකයා පවා බේරා ගන්නට සහෝදර නිලධාරීන් ඝාතනය කර දියඹට විසිකර දැම්ම වූහ. එසේ  මියගිය සහෝදර නිලධාරියෙකුගේ දේහය  භාරයට ගෙන පරීක්ෂණ නොකර ගඟෙහි පාවී ගොස් අතුරුදහන් වන තෙක් ඉවත බලා සිටින්නට තරම් පහත් මට්ටමක මානසින ව්‍යාධියකින් පෙළුණහ.

‘කිසිවත් අතිශෝක්තියක් නොවේ. සත්‍යය එතරම්ම  බියකරුය,’ යි වරක් ඉඩි අමින්ගේ පාලනය ගැන ලියන කතුවරයෙක් සදහන් කළේය. ඒ පොතෙහි දැක්වෙන අමානුෂික ක්‍රියාවන්ගේ පරිමාණයන් සෑම ඉසව්වකින්ම ඉක්ම වූ තැනක් ලෙස පෙනෙන බටලන්ද ගැන කියන කතා ප්‍රවෘත්තිය  සත්‍යවශයෙන්ම  මිනිසුන් ඇති සමාජයකට විවෘත වන්නේ, දීප්තිමත් අනාගතයකට උරුමව උපත ලද අවංක හා එඩිතර මෙම තරුණ නිලධාරීන් දෙදෙනාගේ අවාසනාවන්ත ඉරණමෙහි කතාන්දරයත් සමගය.

කේ. ඒ. බී.කරුණාරත්න – හැමිල්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.