fbpx
10.6 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආවර්ජනා | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පසුගිය මාස හයක කාලයක් ලංකාවෙ ගත කරන්නට ලැබුණු නිසා ලංකාවෙ බොහෝ තැන්වලට යන්නටත් කාලෙකින් මුණ නොගැසුන හිත මිත්‍රාදීන් හමුවෙන්නටත් ඉඩක් ලැබීම ගැන ඇත්තේ ලොකු සතුටකි.  නැවත නවසීලන්තයට පැමිණි පසු හුදකලා වූ මට, යලි යලිත් ඒ දවස් සිහි කරමින් සතුටු වෙන්නට තරම් ඒ දවස් විශාල මතක ගොන්නකි.  ලංකාවේ අති සුන්දර තැන්වල අසිරිය විඳ ගන්නට ඒ තැන්වලට මා කැටුව ගිය පවුලේ අය මෙන්ම යහළු යෙහෙළියන්ද සමඟින් කළ කී දේවල් යලිත් වරක් පාසැලේ හෝ සරසවියේ මගේ මතක පුබුදාලීය. 

ජීවිතයේ කිසි දිනක අමතක නොවන මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් මා බලන්නට මෙන්ම පිහිටට පැමිණි බොහෝ දෙනා අතරේ, අවුරුදු ගණනකින් හමු නොවූ අයද, ජීවිතයේ එක් කාලයක ඉතා සමීපව සිට ඈත් වූ අයද, එදා මෙන් අදටත් නොවෙනස්ව සිටින අයද වූහ. ගතේ වේදනාව නිසා රැය පුරා වේදනාවෙන් හිටියත්, දවල් දවසේ වේදනාව අමතක කර දමා හිනැහෙන්නට ඔවුන් සමඟ ගත කළ ඉතා සුන්දර කාලය මට පිහිට විය.

දුරකථනය පිරෙන්නට මා ගෙන ඇති ඒ ඡායාරූප සියල්ල මගේ මතකයට ගෙන එමින් මගෙන් විමසන්නේ ජීවත් විය යුත්තේ ලංකාවේද නැතිනම් නවසීලන්තයේද යන්නයි.  තවම මට එයට හරියාකාර පිළිතුරක් නැත.  එනමුදු මෙරටට ආ මුල් දවසේ සිටම හිත එහි තබා, ගත මෙහි තබා ගෙන ජීවත් වූ බව නම් ඇත්තකි.

ලංකාවේදී මා වට කොට ගෙන සිටි අය පැය ගණන් මා සමඟ ගත කරමින් මට උදව් කරන්නට මෙන්ම, මගේ වේදනාව සමනය කර ගෙන මට සිනාසෙන්නට කී නොයෙකුත් කතා ඉතා රසවත්ය.

මගේ හොඳම මිතුරිය පද්මිණී වේලාරත්න, මගේ අම්මා මෙන්ම කිසි දිනක මා තනි නොකළ ඇත්තියකි.  ඇය මගේම සොහොයුරිය මෙන්ම මට තවත් සොහොයුරියකි.  දුකේදී වැඩිපුරත් සැපේදී අඩුවෙනුත් මා හා ගත කළ ඇගේ ජීවිතයෙන් මා උගත් දේ බොහෝය. ඇයගේ දෙමාපියන්ට ඇයව සරසවි යවන්නට නොහැකි වූ විට ඇය රැකියාවකට ගියාය.  මා හා සරසවි නොගියත් ඇය මා බලන්නට සරසවියට ආවාය.  මා සමඟ වැඩිපුරම ගමන් බිමන් ගොස් ඇත්තේ ඇයයි.  ඉතා සරල දිවි පෙවෙතක් ගත කරන ඇය ලද දෙයින් සතුටුව ජීවත් වේ.

වයස අග්ගිස්සට පැමිණි පසු මාත්, මගේ වයසේ අනිකුත් යෙහෙළියනුත් අත්හැරීම පුරුදු කරන්නට වෙහෙස වෙද්දී, ඇය සුපුරුදු ලෙසට අත්හැරීම ජීවිතයේ කොටසක් බවට පත් කර ගෙන සිටියාය.  ඇයට වඩා පහසු ජීවිතයක් ගත කළ මට, ඇය කිසිදු ඊර්ෂ්‍යාවකින් තොරව නිරන්තරයෙන්ම මගේ යහපත ප්‍රාර්ථනා කළාය.  හැමදෙයක්ම ඉතා සැහැල්ලුවෙන් බාර ගන්නට පුරුදු වී සිටි ඇය, සමහර දුෂ්කර අවස්ථාවලදී ඒවාට මුහුණ දුන් විදිය මට සිතා ගත නොහැකි තරම්ය.

පුදුමාකාර මතක ශක්තියක් ඇති ඇය සරසවි ගියා නම් මහාචාර්යවරියක් වෙනු නොඅනුමානය.  දෛවය අපිට දේවල් හිමි කර දෙන්නේ පෙර කළ කර්මයන්ට අනුකූලව යයි සිතා ඇය උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දෙන්නීය. මෙවර මා රෝහලේ සිටියදීත්, පසුවත් ඇය මා සමඟ සිටියාය.  පාසැල් කාලයේදී මෙන්ම අව්‍යාජ දිවි පෙවෙතකට හිමිකම් කියූ ඇගේ ලෝකය සංකීර්ණ වූ විශාල එකක් නොවේ. බලාපොරොත්තු කිසිත් නැතිව ජීවත්වීම පහසු බව ඇය මට උගැන්වූ ලොකුම පාඩමයි.

පසුගිය දවස් ටික සිහි කරමින් සිටි මට, අද දවසේ ඇගේ එක් කතාවකින් මගේ මෙවර ආවර්ජනා ලිපිය අවසන් කළ හැකිය.

ඇගේ ආච්චි පුරුදුව සිටියේ ආයුර්වේදයෙන් බේත් ගැනීමටලු.  ඒ සඳහා ඇය ලොකු හිස් අරක්කු බෝතලයක් ගෙන ගොස් ඇත.  දිනක් ආයුර්වේදයට බෙහෙත් ගේන්නට ගිය ඇය, ගෙදරට එන මඟදිගට හිස් බෝතලය වනමින් පැමිණ ඇත.  බෝතලයේ බෙහෙත් නැති බව දැන ගත් ගෙදර අය, ‘කෝ ආච්චි බෙහෙත්’ කියා ඇසූ විට, ‘කාටද බං හැමදාම බේත් බිබී ඉන්න පුළුවන්.  මම දීපු ඔක්කොම ටික එතැනදීම බිව්වා’ කියා ඇත.  ගෙදර අයට තරු පෙනී ඇත්තේ බේත් ඔක්කොම එකවර බීමෙන් ඇයට කරදරයක් වේ යැයි සිතූ නිසාය. නමුත් වාසනාවකට ඇයට කරදරයක් වී නැත. මේ කතාව මා වඩාත් සිනා ගැස්සුවේ මගේ මිතුරිය ඇගේ ආච්චි හිස් බෝතලය අරගෙන ආ විදිය රඟපා පෙන්වූ විටදීය.

ගමක ජීවත් වූ සරල මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් මා දකින්නේ ගෞරවාන්විතවය.  තමන්ට රිසි ලෙස නිදහසේ ජීවත්වෙන්නට එදා ගමේ තිබූ වාතාවරණය අද නැත.  මවා ගත් හැසිරීම්වලින් අනෙකා රවට්ටමින්, බල ලෝභයෙන් මත්වී එකිනෙකා කුළල් කා ගන්නා සමාජයක අප අතරමං වී ඇති සැටියකි. මගේ මතක සමඟින් බාල කාලය ආවර්ජනා කිරීම අද මගේ එකම සතුට වී ඇත්තේ, ඒ කාලය ඒතරම්ම සරල හා සුන්දර නිසා විය යුතුය.

ඉන්ද්‍රා දයාමණී කොළඹගේ – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.