fbpx
14.9 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රි ලංකාවේ ප්‍රගතිය සඳහා ශ්‍රි ලාංකිකයන් තුළ ස්වයං පරිවර්තනයක් අවශ්‍යයි: පාඨක ප්‍රතිචාර – ආචාර්‍යය රෝහණ උල්ලුවිස් හේවා සහ ශ්‍රීLankaNZ පුවත්පත ගෙන එන සංවාදයක්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සංවර්ධිත,භාග්‍යමත්, සාමකාමී, දූෂණයෙන් තොර හා ප්‍රිතිමත් ජනතාවකට වාස භූමිය වූ නවසීලන්තයේ කලක් ජීවත් වීමෙන් ලැබූ අත්දැකීම් අනුව ශ්‍රි ලාංකික සමාජයේ කුමන ලක්ෂණ ශ්‍රි ලංකාවට එවැනි රටක් වීමට බාධා වී ඇත්ද යන්න පිළිබඳව පාඨක අදහස් අප සමඟ බෙදා ගන්නා ලෙස පසුගිය කලාපයෙන් අප කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරවලින් සමහරක් ඔබ සැම සමඟ බෙදා ගැනීමයි මේ ලිපියේ අරමුණ. මෙම සංවාදය තව දුරටත් ඉදිරියට රැගෙන යාමට අපි බලාපොරොත්තු  වන්නෙමු.  

මේ සංවාදයේ අරමුණ නවසීලන්තයේ ජීවන අත්දැකීම් නැමැති කණ්නාඩිය තුළින් අපේ මේ රට දෙස බලා එහි ප්‍රගතියට බාධා වී ඇති අපේම දුර්වලතා හඳුනා ගැනීමයි. ඒ නිසා මේ සංවාදයෙන් මතුකර දක්වන්නේ අපේ දුර්වලතාවයන් පමණයි. ඉන් කෙසේවත් අදහස් කරන්නේ නැහැ ශ්‍රි ලාංකිකයින් වශයෙන් අපට ආඩම්බර විය හැකි උතුම් ගුණාංග ශ්‍රි ලාංකික සමාජය තුළ නැහැ කියලා.  

නවසීලන්ත සමාජය තුළ නැති කොතෙකුත් උතුම් ගුණාංග ශ්‍රි ලාංකීය සමාජය තුළ තිබෙන බවට කිසිම සැකයක් නැහැ. එහෙත් ඒවා මතු කිරීම මේ සංවාදවේ අරමුණ නොවේ. එමෙන්ම මෙහි මතුකර දක්වන දුර්වලතාවයන්ට හේතු සෙවීම සහ ඒවා නැති කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමත් මේ සංවාදයේ අරමුණ නොවේ.  

ඒ පිළිබඳව පසුව සංවාදයක් ගොඩනගන්නට පුළුවන් වේවි. කල්‍යාණ  මිත්‍රත්වයක් සත්භාවයෙන් යුතුව යමෙකුගේ ප්‍රගතියට බාධා වී ඇති දුර්වලතාවයන් පෙන්වා දෙන ආකාරයට සත්භාවයෙන් කරන උත්සාහයකි මේ.  

01. ශ්‍රි ලංකාවේත් අනතුරුව නවසීලන්තයේත් දීර්ඝ කාලයක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන්    සේවය කළ පාඨකයෙක් මෙලෙස තම අදහස් අපි සමග බෙදා ගත්තානවසිලන්තයේ බහුතරය දූෂණය පිටුදකිනවා. දූෂිත නායකයෙකුට බලයට එන්න ඉඩදෙන්නේ නැහැ. නමුත් ශ්‍රි ලංකාවේ ඒ වගේ නැහැ. එහි බහුතරය දූෂණය පිටු දකින්නේ නැහැ. එය සාමාන්‍ය දෙයක් හැටියට දකිනවා. තම ඡන්දය පාවිච්චි කිරිමේ දි තමන්ගේ  පුද්ගලික ප්‍රතිලාභ මිස පොදු ජන යහපත ගැන තැකීමක් කරන්නේ නැහැ. මෙය  ශ්‍රි ලංකාවේ ප්‍රගතියට බාධා වූ බලගතු සාධකයක් වූ වශයෙන් මා දකිනවා

ඒ වගේම නවසීලන්තයේ මෙන් නොව ශ්‍රී ලංකාවේ බහුතරය තම මුතුන් මිත්තන්ගෙන් සහ සංස්කෘතියෙන් උරුම වූ අවිද්‍යාත්මක අතාර්කික විශ්වාස ජාලයක හිර වෙලා ඉන්නවා.  බොහෝ වැදගත් තීරණ ගැනීමේ දී සාමාන්‍ය  ජනතාව හා දේශපාලන  නායකයින් ද කිසිම තාර්කික පදනමක් නැති මිථ්‍යා විශ්වාස අනුව කටයුතු කරනවා.  

නවසීලන්තයේ පුද්ගලයෙකුගේ තරාතිරම ඒ පුද්ගලයාගේ රැකියාවෙන් හෝ වත්කමින් මනින්නේ නැහැ. හැම වෘත්තියක්ම විවිධ මට්ටමෙන් රටේ  ප්‍රගතියට දායක වන බව පිළිගන්නවා. නමුත් ශ්‍රී ලාංකික සමාජයේ එහෙම නැහැ. පුද්ගලයා මනිනවා එයාගේ රැකියාවෙන් සහ වත්කමින්. ඒ නිසා සමහර වෘත්තීන් රටේ ප්‍රගතියට විශාල වශයෙන් දායක වුවත් ඒවා ඇගයීමට ලක්වන්නේ නැහැ. මෙය රටේ ප්‍රගතියට බාධාවක්. එය සමහර වෘත්තිකයන්ගේ හිඟයක් ඇතිවීමටත් රටේ අභිවෘද්ධියට බාධා වීමටත් හේතුවක් වෙලා තියෙනවා

නවසීලන්තයේ බහුතරය පරිසරය සුරැකීමට උනන්දුවක් දක්වනවා. ළමා කාලයේ සිටම පරිසරය සුරැකීමට දරුවන් යොමු කරවනවා. තමා ජීවත් වන ප්‍රදේශයේ ස්වාභාවික පරිසරය සුරැකීම රජයේ වගකීමකට වඩා තම වගකීමක් වශයෙන් පිළිගන්නවා. එහෙත් මෙය ශ්‍රි ලංකාවේ මා දකින්නේ නැහැ. 

මා දන්නා හැටියට නවසීලන්තයේ බහුතරයක් දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය දීමේ දී දරුවන්ගේ සහජ හැකියාවන් හා කැමැත්තට වඩාත්  ගැළපෙන වෘත්තීන් සඳහා යොමු කරනවා. එය රටේ ප්‍රගතියට හේතු වෙනවා. එහෙත් ශ්‍රි ලංකාවේ බහුතරයක් වූ දෙමාපියන් සමාජ සම්මතයට අනුව උසස් යයි සම්මත වෘත්තීන්ට තම දරුවන් යොමු කිරීමට උත්සහ දරනවාමේ නිසා ඔවුන්ගේ සහජ හැකියාවන් හා කැමැත්තට සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. එය ඔවුන්ගේත් රටේත් ප්‍රගතියට බාධාවක්

02. නවසීලන්තයේ විසි අවුරුද්දක් පමණ ජීවත් වන ගණකාධිකාරී සහ ව්‍යාපාර උපදේශකවරියක්  ලෙස සේවයේ නියුතු ශ්‍රි ලාංකික මවක් මෙලෙස තම අදහස්  බෙදා ගත්තා. නවසීලන්තයේ බහුතරය පොදු ජන හිතකාමී බවත් එය නවසීලන්තයේ ප්‍රගතියට හේතු වී ඇති බවත් ශ්‍රි ලාංකික බහුතරය එසේ නොවීම එහි ප්‍රගතියට බාධාවක් බවත් ඇය පෙන්වා දෙනවා

නවසීලන්තයේ දෙමාපියන් තම දරුවන්ව ළමා කාලයේ සිටම පරාර්ථය සහ පොදු යහපතට කටයුතු කිරීමට පුරුදු කරනවා. පවුලේ පොදු වැඩ කිරීම සඳහා දරුවන් පුරුදු කරනවා. පවුලේ වැඩිහිටියන්ට උදවු කිරීමට පොළඹවනවාඅසල්වැසියන්ට උදව් කිරීමට දරුවන්ව යොමු කරනවා. ඒ වගේම  දරුවන්ට ආදර්ශයක් වන ලෙස දෙමාපියන් අසල්වැසියන්ට උදව් කරනවා. ඒ වගේම කුඩා කල සිටම පරිසරයට ආදරය කිරිමට දරුවන්ව පුරුදු කරනවා. මේ නිසා දරුවන් වැඩිහිටියන් වූ විට ඔවුන් පොදු යහපත සදහා කේන්ද්‍රගත වූ චින්තනයක් ඇති පරිසරයට ආදරය කරන පුද්ගලයින් බවට පත්වෙනවා.  

මේ සනාථ කිරිමට තමා ලැබූ අත්දැකීම් කිහිපයක් ඇය අප සමඟ බෙදා ගත්තා. මෙහි සීමිත අවකාශයක් තිබෙන නිසා ඒ සියල්ලම ඔබ සමග බෙදා ගැනීම අපහසුයි. අපි ඉන් එකක් පමණක් බෙදාගන්නවා. 

වරක් අපි අපේ ගෙවත්තේ ගස් කිපයක් කපන්න හිතුවා. ඒ සඳහා වෘත්තීය ගස් කපන්නකු ගෙන්වා ගත්තා. ඔහු ගස් දෙස පරීක්ෂාවෙන් බල බලා අපට කියනවා ඇයි මේ ගස් දෙකම කපන්නේ. මේ එක් ගහක් නම් කපන්න ඕන කියලා මටත් පේනවා. නමුත් අනික කපන්නම අවශ්‍ය නැහැ නේද?” ඔහු තවදුරටත් කියා සිටියා මේ ගස් අයිති ඔබට විතරක් නොවේ. මේ ප්‍රදේශයේ ජීවත්වන කුරුල්ලන්ටත් මේවා අයිතියි. ඔබ ජීවත්වන මේ ප්‍රදේශයේ පරිසරය සුරැකීමට මේ ගස් අවශ්‍යයිඔහු කියූ දේ අහලා අපි පුදුම වුණා. ඔහුට ගස් දෙකම කපලා අපෙන් ලොකු මුදලක් අය කරගන්න තිබුණා. ඒත් ඊට වඩා ඔහුට වැදගත් වුණා පරිසරය ආරක්ෂා කිරීම. අපි ඔහුගේ අදහසට එකඟ වුණා.  

මේ ආකාරයට තම පුද්ගලික වාසිය අභිබවා පොදු යහපත සැලකිල්ලට ගැනීම නවසීලන්තයේ බහුතරය අතර පවතින බව මා අත්දැකීමෙන් දැක තිබෙනවා. පොදු යහපත අරමුණු කරගත් ස්වේච්ඡා සේවයට සම්බන්ධ වීම නවසීලන්තයේ බහුතරය අතර පවතින පුරුද්දක්. බොහෝ දෙනා තරුණ වයසේ දීම ස්වේච්ඡා සේවයන්හි යෙදීමට උනන්දුවක් දක්වනවා. මුදලක් නොලබා අන්‍යන්ට සේවය කිරීමේ චින්තනයක් මේ මඟින් ඔවුන් තුළ ගොඩනැගෙනවා.  

නවසීලන්තය සෞභාග්‍යය සම්පන්න රටක් වීමට නවසීලන්ත ජාතිකයින්ගේ මේ පොදු යහපත කේන්ද්‍ර කරගත් චින්තනය සහ පුරුද්ද හේතු වී තිබෙන බව මම විශ්වාස කරනවා. ශ්‍රි ලංකාව ද නවසීලන්තය මෙන්  සෞභාග්‍යය සම්පන්න රටක් වීමට නම් නවසීලන්තය මෙන් පොදු යහපත කේන්ද්‍ර කරගත් චින්තනයක් ශ්‍රි ලාංකික බහුතරය තුළ ඇති විය යුතු යයි මම විශ්වාස කරනවා.  

එලෙසම නවසීලන්ත ජාතිකයන් කුඩා කල සිටම තමන් තුළ පොදු අරමුණු සහිතව ගොඩනැගෙන  චින්තනය, ප්‍රතිපත්ති  ඔවුන් වැඩිහිටියන් වූ විට  ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා. ඊට අවශ්‍ය සමාජ වටපිටාවක් ද මෙරට තුළ සකස් වී තිබෙනවා. තමන්ගේ ප්‍රතිපත්තිවලට, චින්තනයට ගැළපෙන දේශපාලන පක්ෂයක් තෝරා ගැනීමට ද ඔවුන්ට ඉඩකඩ ලැබී  තියෙනවා. ඒ නිසා තම පෞද්ගලික අභිමතාර්ථයන් ගෙන් ඔබ්බට ගොස් රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්න මෙරට වැසියන් ට හැකියාව ලැබිලා තියෙනවා.

03. වසර තිහකට වැඩි කාලයක් නවසීලන්තයේ පර්යේෂණ ආයතනයක විද්‍යාඥවරයකු වශයෙන් සේවය කළ ශ්‍රි ලාංකිකයෙක් ඔහුගේ අදහස් මේ ආකාරයෙන් අප සමග බෙදා ගත්තා. 

මගේ අත්දැකීමේ හැටියට නවසීලන්ත වාසී බහුතරයගේ දක්නට ලැබෙන සත්‍ය ගරුක බව, ගුණගරුක බව, අවංක බව සහ ඔවුන්ගේ සාධාරණ චින්තනය නවසීලන්තයේ ප්‍රගතියට හේතුවෙලා තියෙනවා. ශ්‍රි ලංකාවේ බහුතරය තුළ මා මෙවැනි උසස් ගුණාංග දකින්නේ නැහැ. බොරු කීම සහ අන්‍යයන් බොරුවෙන් රැවටීම ශ්‍රි ලංකාවේ  බහුතරය තුළ  පවතින සාමාන්‍ය ලක්ෂණයක් ලෙසයි මම දකින්නේ. දෙමාපියන් දරුවන් ඉදිරියේ බොරු කියනවා පමණක් නොවේ දරුවන් ලවා බොරු කියවනවා. මෙයට හාෙඳම උදාහරණයක් තමයි තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළු කරවා ගැනීම සඳහා බොරු ලිපිනයක් දී දෙමාපියන් ද බොරු කියා තම දරුවන් ලවා ද බොරු කියවීම.  

මේ දරුවන් වැඩිහිටියන් වූ විට බොරුකීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් වෙනවාඔවුන් නායකයන් වූ විට බොරු කියා ජනතාව රවටනවා. පාගා ගැනීම, පගා දීම සහ වෙනත් විවිධාකාරයෙන්  දූෂිත හැසිරීම් සියල්ලම මේ බොරු කීමේ පුරුද්දෙහි දිගුවක් වශයෙන් මා දකිනවා. මෙය ශ්‍රි ලංකාවේ ප්‍රගතියට විශාල බාධාවක්. මෙය ආණ්ඩු වෙනස් කිරීමෙන් නිවැරදි කළ නොහැකි  වූ සමාජය තුළ ගැඹුරට මුල් බැස ගිය ප්‍රශ්නයක්. නවසීලන්තවාසී බහුතරයකගේ සත්‍ය ගරුක බව නවසීලන්තය සෞභාග්‍ය සම්පන්න රටක් වීමට හේතු වී ඇති    ආකාරයටම ශ්‍රි ලාංකික බහුතරයකගේ බොරු කීමේ පුරුද්ද ශ්‍රි ලංකාව  භාග්‍ය සම්පන්න රටක් වීමට බාධා වි ඇති බව මම විශ්වාස කරනවා.  

නවසීලන්තයේ වැඩ කරන ස්ථානවල ප්‍රධානීන් සහ සේවකයන් අතර පවතින සම්බන්ධතාවය ඉතාම සුවිශේෂී  වුවක්. ප්‍රධානීන් හැසිරෙන්නේ බොස් කෙනෙක් විදියට නොවේ. සේවකයින්ට තම ප්‍රධානීන් පහසුවෙන් හමුවන්න පුළුවන්. තම ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රධානියාට තම සේවකයෙක්  හමුවන්න අවශ්‍ය වූ විට බොහෝ විට ප්‍රධානියා සේවකයා ළඟට එනවා. මගේ අත්දැකීමේ හැටියට ප්‍රධානීන් තම ආයතනය පාලනය කරන්නේ සේවකයින් භය ගන්වා තබා ගැනීමෙන් නොවේ. කිසිවිටෙක සේවකයින්ට බැන වදින්නේ නැහැ. ඔවුන්ගේ වරදක් දුටු විට  පුද්ගලිකව ඔවුන් වෙත ගොස් හෝ කැඳවා  අන්‍යන්ට ඇහෙන්නේ නැති විදිහට වරද පෙන්වා දෙනවා.  

රැකියාවේ උසස් වීම් සිදුවන්නේ පුද්ගලයාගේ හැකියාව අනුව පමණයි. මූලික  සුදුසුකම්වලට වඩා තමාට අයිති කාර්යය හොදින්  ඉටුකිරීමට ඇති හැකියාවට අනුව උසස්වීම් ලැබෙනවා. මා මෙය ලංකාවේ දැකලා නැහැ. එහි දී පුද්ගලයාගේ හැකියාවට වඩා වෙනත් විවිධ හේතූන් යොදා ගන්නවා උසස්වීම් දෙන විට.  

මේ සියලු දුර්වලතා නැති වන ආකාරයට ශ්‍රි  ලාංකික බහුතරය තුළ  පරිවර්තනයක් සිදුවීම ශ්‍රි ලංකාවේ ප්‍රගතියට අවශ්‍ය බව මම විශ්වාස කරනවා.  

04. නවසිලන්තයේ අවුරුදු විස්සකට වඩා කාලයක් ටෙලිකොම් ඉංජිවන්රුවකු ලෙස සේවය කළ ශ්‍රි ලාංකික පාඨකයෙක් තම අදහස් මේ ආකාරයට අප සමග බෙදා ගත්තා

නවසීලන්ත ජාතිකයින් සමග දීර්ඝ කාලයක් එකට වැඩ කිරීමෙන් සහ ළඟින් ඇසුරු කිරීමෙන් මා ලැබූ අත්දැකීම් වලින් මට පෙනී යන්නේ ඔවුන් වැඩිදෙනා නිහතමානි බවයි. ඔවුන් තමාට තියෙනවාට වඩා පෙන්නන්න යන්නේ නැහැ. ඒ වගේම මට දැනෙන ආකාරයට නවසීලන්ත ජාතිකයින් බහුතරය තම ආදායම් හොඳ වුවත් මුදල් වියදම් කිරීමේ දී මුදල්වල වටිනාකම් පිළිබඳව  අවබෝධයකින් හා ප්‍රවේශමෙන් තමයි සල්ලි වියදම් කරන්නෙ. නමුත් මගේ අත්දැකීමේ හැටියට ශ්‍රි ලාංකික සමාජයේ බහුතරය තමාට තිබෙනවාට වඩා පෙන්වන්න උත්සාහ කරනවා. මේ නිසාම තම ආදායමට වඩා වියදම් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් තම ජීවිතය අවුල් කර ගන්නවා

නවසීලන්තයේ වැඩ කරන ස්ථානවල දක්ෂතා අනුවයි පුද්ගලයන්ට සලකන්නේ හා ඔවුන්ට උසස්විම් දෙන්නේ. කඩදාසිවල පවතින සුදුසුකම් හෝ වෙනත් සම්බන්ධතා එහිදී වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම හොඳින් වැඩ කරන සේවකයින්ගේ  ඕනෑ එපාකම් හාම්පුතුන් විසින් බලාගන්නවා. නමුත් මම මේ තත්ත්වය ශ්‍රි ලංකාවේ දැකලා නැහැ.  

නවසීලන්තයේ බහුතරයක් දෙමාපියන් දරුවන් හදන්නේ ඔවුන්ට වද හිංසා  පමුණුවන්නේ නැතිව. දඬුවම් කරන්නේ නැතිව. ඒවා මේ රටේ නීති විරෝධීය.  දෙමාපියන් සහ දරුවන් අතර පවතින්නේ විවෘත වූ මිත්‍රශීලි සම්බන්ධතාවයක්. මගේ අත්දැකීමේ හැටියට මෙය දරුවන්ටත් දෙමාපියන්ටත්  ඒ වගේම සමාජයටත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. ශ්‍රි ලාංකික දෙමාපියන් ද මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු යයි මා විශ්වාස කරනවා

අන්‍යෝන්‍ය විශ්වාසය නවසීලන්ත සමාජවේ පොදු ලක්ෂණයක්. සමාජයේ දී මෙන්ම රජයේ හා  පෞද්ගලික ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ද සේවය ලබා දෙන නිලධාරීන්ගේ වචන කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන්. ඔවුන් බොරු කියන්නෙ නැති බව විශ්වාස කරනවා. නමුත් මගේ අත්දැකීමේ හැටියට ශ්‍රි ලංකාවේ බහුතරය තුළ මෙහෙම තත්ත්වයක් නැහැ. මන්ද වැඩිදෙනා බොරු කියන බවත් තම වාසිය සඳහා අන්‍යයන් රවටන බවත් සාමාන්‍යයෙන්  පිළිගන්නවා

ඒ වගේම ශ්‍රි ලංකාවේ මෙන් අන්‍යන් පහත් කොට කතා කිරීම හා අන්‍යයන්ට  නින්දා අපහාස  කිරීම නවසීලන්තයේ බහුතරය තුළ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්‍යන්ට ගරුසරු ඇතිව කතා කිරීම නවසීලන්ත සමාජයේ සාමාන්‍ය ලක්ෂණයක්. මේ වගේ සියලුම ලක්ෂණ ශ්‍රි ලංකාවේ ප්‍රගතියට බාධා කරන බවයි මම විශ්වාස කරන්නේ.  

05. නවසීලන්තෙ අවුරුදු විස්සකට වඩා කාලයක් ජීවත් වූ මවක් ශ්‍රි ලංකාවේ සහ නවසිලන්තයේ පවුල් ජීවිතය පිළිබඳ තම  අදහස් අප සමග මේ ආකාරයෙන් බෙදා ගත්තා

නවසීලන්තයේ බහුතරයක් පවුල්වල ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර සමානාත්ම සම්බන්ධතාවයක් පවතිනවා. ඔවුන් එකිනෙකාට ගෞරව  කරනවා. එකිනෙකාගේ අදහස්වලට ගරු කරනවා. ඇහුම්කම් දෙනවා. එසේ සිදු නොවන්නේ නම් තවදුරටත් විදවන්නේ නැතිව සාමකාමීව වෙන්වෙනවා. මේ වෙන්වීම මා දකින්නේ තමා තමාට ආදරය කිරීමක් හැටියට. තම තමාට සාධාරණය ඉෂ්ට කිරීමක් හැටියට. නමුත් ශ්‍රි ලංකාවේ බහුතරයක් පවුල්වල මේ තත්ත්වය මා දකින්නේ නැහැ. බොහෝ පවුල්වල පවතින්නේ පුරුෂාධිපත්‍යයක්. සමහර පවුල්වල කාන්තා ආධිපත්‍යයක්. ඒ නිසා තම පවුල් ජීවිතය රැකගැනීම සඳහා එක් පාර්ශවයක් විඳවනවා.  

පාර්ශව දෙකම තම ආගම ධර්මය නිවැරදිව ප්‍රගුණ කරනවා නම් මෙය මෙසේ සිදු නොවන බවයි මම හිතන්නේ. නවසීලන්ත ජාතිකයින් බහුතරය බුදුදහම පිළිබඳව නොදන්නා නමුත් ඔවුන්ගේ හැසිරීම් තුළින් මා බුදු දහම දකිනවා.  

06. ශ්‍රි ලංකාවේ අවුරුදු අටක් සහ නවසිලන්තයේ අවුරුදු විසිහයක් පාසල් ගුරුවරයකු  වශයෙන් සේවය කළ පාඨකයෙක් තම අදහස් අප සමග මෙලෙස බෙදා ගත්තානවසීලන්තයේ සහ ශ්‍රි ලංකාවේ විදුහල්පති හා ගුරුවරුන් අතර සම්බන්ධතාවය සහ  ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සම්බන්ධතාවය කෙරෙහි ඔහු අවධානය යොමු කළා.  

නවසීලන්තයේ බොහෝ පාසල්වල විදුහල්පති සහ ගුරුවරුන් අතර පවතින්නේ ගෞරවණීය  සම්බන්ධතාවයක්. දෙපාර්ශවයම එකිනෙකාට ගෞරව  කරනවාඅන්‍යයන්ට ආදර්ශයක් ලෙස හැසිරීමෙන් විදුහල්පති ගුරුවරුන්ගේ  ගෞරවයත් විශ්වාසයත් දිනාගන්නවාගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පවතින්නෙත් ඒ ආකාරයේම ගෞරවණීය සම්බන්ධතාවයක්. දෙපාර්ශවය එකිනෙකාට ගෞරව කරනවා. ගුරුවරු තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  නින්දා අපහාස වන අන්දමට කතා කරන්නේ නැහැශිෂ්‍යයකුගේ වරදක් පෙන්වා දෙන්නේ පෞද්ගලිකව. අන්‍යයන් ඉදිරියේ ඔවුන් අපහසුතාවයකට පත්වන ආකාරයට නොවේ. මෙය ගුරුවරුන්ගේත් පාසල්වලත් ශිෂ්‍යය ශිෂ්‍යාවන් වගේත් ප්‍රගතියට හේතු වී ඇති බව මා දකිනවා. නමුත් මේ  තත්ත්වය මම ශ්‍රි ලංකාවේ පාසල්වල  දකින්නේ නැහැ

බහුතරයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකිනෙකාට ගරු කරනවා. අන්‍යයන්ගේ  ශාරීරික දුබලතා හෝ  මානසික දුබලතා උපහාසයට හෝ අපහාසයට ලක් කරන්නේ නෑ. එකිනෙකාට උදව් කරනවා. ශිෂ්‍යයන් අතර ලකුණු ගැනීමට තරඟකාරීත්වයක් නැහැ. එවැන්නක් ඇති වීමට ගුරුවරුන් ඉඩ දෙන්නෙත් නැහැ. ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් බොහෝ විට ඇත්ත කතා කරනවා.  බොරු කියනවා අඩුයි. පාසල්වල ආගම් උගන්වන්නේ නැති වුණත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැසිරීම් තුළින් ආධ්‍යාත්මික ගුණ පිළිබිඹු වෙනවා. මා මේ තත්ත්වය ශ්‍රි ලංකාවේ පාසල්වල දැකලා නෑ.ගුරුවරුන් සහ දෙමාපියන් එකතු වී දරුවන් තම සහජ දක්ෂතා සහ කුසලතා අනුව ඔවුන්ට වඩාත්  ගැළපෙන වෘත්තීන්ට යොමු කරනවා. ඒ නිසා ශ්‍රි ලංකාවේ මෙන් උසස් යයි සම්මත වෘත්තීන් කිහිපයකට පමණක් දරුවන් යොමු කිරීමක් සිදුවෙන්නේ නැහැ. මෙය නවසීලන්තයේ ප්‍රගතියට හේතුවෙලා තියෙනවා

07. විසි අවුරුද්දකට වැඩි කාලයක් නවසීලන්තයේ අධ්‍යාපනය ආයතනයක විධායක  නිලධාරිණියක් වශයෙන් සේවය කරන පාඨකයෙක් තම අදහස් අප සමග බෙදා ගත්තේ මේ ආකාරයටයි. 

නවසීලන්ත සමාජයේ පුද්ගලයෙක් ඉගෙන ගන්නේ සමාජයේ ලොක්කෙකු වී  ගෞරව ලබා ගැනීමට වඩා තමාට ජීවත් විම සඳහා මුදල් ඉපයීමට රැකියාවක් කිරීමට අවශ්‍ය නිසා ය. ඔවුන් තම උගත්කම හා රැකියාව සමාජයෙන් ගෞරවය ලැබීමට මාර්ගයක් වශයෙන් යොදා ගන්නේ නැහැ. ඒ නිසා උගත් සහ උසස් රැකියා කරන අය නිහතමානී බව මා දැක තිබෙනවා.  

නමුත් මා දකින හැටියට ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය සහ රැකියාව සමාජයේ ගෞරවයට සහ ලොකුකම ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් සලකනවා. ඒ නිසා උගත් සහ උසස් යැයි සම්මත රැකියා කරන බොහෝ දෙනෙක් මාන්නක්කාරයි. ඔවුන් බොහෝ දෙනෙක් අන්‍යයන් පහත් කොට සලකනවා.  

නවසීලන්ත සමාජයේ බොහෝ දෙනෙක් අන්‍යයන්ට ගරු කරනවා. මෙය රැකියා ස්ථානයේ මෙන්ම පොදු සමාජයේත් මා දකිනවා. විශේෂයෙන් කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා. මෙය  ශ්‍රි ලාංකික සමාජයේ මා දකින්නේ නැහැ

තම මාන්නය නිසා අනවශ්‍ය විදියට මුදල් වැය කිරීම ශ්‍රි ලාංකික සමාජයේ සාමාන්‍ය දෙයක්. මේ නිසාම සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් ආයිත්තම් සහ ගෘහ භාණ්ඩ ආදිය මිල දී ගැනීමට අකමැත්තක් දක්වනවා. නමුත් නවසීලන්තයේ එහෙම නැහැ. බොහෝ ධනවත් අය පවා සෙකන්ඩ් හෑන්ඩ්  ඇඳුම් ආයිත්තම් සහ ගෘහ භාණ්ඩ මිල දී ගන්නවා පමණක් නොවේ ඒවා සෙකන්ඩ් හෑන්ඩ්  බව ප්‍රසිද්ධියේම කියනවා. මෙය පවුල්වල අයට පමණක් නොව පරිසරයටත් හිතකර වූ දෙයක්.  

ස්වේච්ඡා සේවය ගැන නවසීලන්ත සමාජයේ ඉතාම ජනප්‍රිය යි. බොහෝ දෙනා තම විවේක කාලය ස්වේච්ඡා සේවය සඳහා කැප කරනවා. මේ ආකාරයට තමාට කිසිම පෞද්ගලික ලාභ අපේක්ෂාවක් නැතිව පොදු ජන යහපත සඳහා වැඩ කිරීම මා ශ්‍රී ලාංකික සමාජයේ දකින්නේ නැහැ. කුඩා අවදියේ සිට පොදු ජන යහපත සඳහා තම කාලය සහ ශ්‍රමය කැප කිරීමට පුරුදු වීම නිසා නවසීලන්ත වාසීන් ශ්‍රි ලාංකිකයන්ට වඩා පරාර්ථකාමීව සිතන ජාතියක් වී ඇති බව පෙනෙනවා.  

දෙමාපියන් සහ දරුවන් අතර පවතින විවෘත වූ මිත්‍රශීලී සම්බන්ධතාවය නවසීලන්ත සමාජයේ බොහෝ පවුල්වල දකින්න ලැබෙනවා. ඒ නිසාම දරුවන්ට දෙමාපියන් සමග තම ප්‍රශ්න විවෘතව කතා කරන්න පුළුවන්නමුත් දෙමාපියන් සහ දරුවන් අතර මේ ආකාරයේ සම්බන්ධතාවයක් මා ශ්‍රී ලංකාවේ දකින්නේ නැහැ. ඒ නිසා එහි දෙපාර්ශවයම විඳවනවා.

ශ්‍රි ලංකාවේ ප්‍රගතිය උදෙසා ශ්‍රී ලාංකිකයන් තුළ ස්වයං පරිවර්තනයක් අවශ්‍යයි යන සංවාදයට ඔබේ අදහස් ශ්‍රිlankanz සමග මෙලෙස බෙදා හදාගත්තා. මීළඟ කලාපයෙන් තවත් අත්දැකීම් කිහිපයක් සමඟින් අපි හමුවෙමු. ඔබගේ අත්දැකීම් අප හා මුසු කරන්නට කැමති නම් ඔබගේ වටිනා අත්දැකීම් හා අදහස් පහත email ලිපිනයට එවන්න.
ulluwishewa@xtra.co.nz

Discussion with Dr. Rohana Ulluvis Hewa

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.