පසුගිය මැයි මාසයේ ලෝක අම්මාවරුන්ගේ දිනය සමරන ලදී. එම නිසාවෙන් උතුම් මව් පදවිය ලබන කාන්තාව ගැන යමක් ලියන්නට හිතුනා. කාන්තාව විවිධ ස්වරූපයෙන් ඔබ අපගේ ජීවිතයට සමීපවන්නට ඇත. සහෝදරියක්, පෙම්වතියක්, මිතුරියක්, බිරිඳක්, මවක් ආදී ලෙසින්. ඒ වගේම දිරිය කාන්තාවන්, කාන්තා නායකත්වයන් ඔබට මුණගැසී තිබෙන්නට පුළුවන්. අපගේ සිංහල සාහිත්‍යයේ දී ද හරිම අපූරුවට කාන්තා වර්ණනාවන් හමුවෙනවා. කාන්තාව සඳට අහසට මහපොළොවට වැස්සට මල්වලට උපමා කර තිබෙනවා. ඒතරම්ම කාන්තාව ලාලිත්‍යයෙන් අනූන නිසාවෙන්මය. නමුත් කාන්තාව විවිධ වූ කඨෝර දුක් කම්කටලුවලට අතීතයේ මෙන්ම වර්තමානයේ දීත් මුහුණ දෙන්නීය. ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නීය.

අදටත් නින්දා අපහාස ගැරහුම් මැදහත් සිතින් දරා ගත් කාන්තාවකි කුවේණිය. සංක්‍රමණික විජයට තම ආදරය මෙන්ම රාජ්‍යත්වය ලබා දුන් කුවේණිය අදටත් ශ්‍රී ලාංකික සමාජය තුළ ගර්හාවට පාත්‍ර වේ. මන්ද සිංහල රාජ්‍යය පාවා දුන් පවට. නමුත් කිසි විටෙක ඔබට නොසිතුනි ද ආදරය ඉදිරියේ සියල්ල පරිත්‍යාග කළ ගැහැනියක් බව කුවේණිය. ඇය සිංහල රාජ්‍යය, නෑදෑ සනුහරේ ආදරය ඉදිරියේ දී දියකර හරි. එම නිසාමයි අදටත් ඇය අවමන් ලබන්නේ. නමුත් එම ආදරයට මුවාවි රාජ්‍යත්වයට පත් චෞර විජය ගැන උදම් අනයි. දරු දෙදෙනා සමග මාළිගාවෙන් එලවා දමන කුවේණිය නම් ගැහැනිය අදටත් පරිභව ලබයි. එවැනි මවක් එළියට ඇද දැමූ චෞර විජය පිළිබඳ මහත් අභිමානයක් ජන සමාජය තුළ අදටත් පවතී. සිංහල ජාතිය පැවතෙන්නේ සංක්‍රමණික විජය ගෙන්යැයි ද මතයක් ලංකා ජන සමාජය තුළ පවතී. නමුත් ලක්පොළොවේ ඉපදුන ස්වදේශික කුවේණිය අමතක වූයේ ඇය සිංහල රාජ්‍යය චෞර විජයට පවරා දුන් කාන්තාවක් වූ නිසාම ද?
එමෙන්ම ලංකා සමාජය තුළ දෝෂාරෝපණයට ලක්වූ තවත් කාන්තාවකි අනුලා දේවිය. ඇය සමාජගතවන්නේ “කාම ධේනුවක් “ලෙසින්ය. ලංකා රාජාවලියේ ප්‍රථම කාන්තා රැජින අනුලා දේවියයි. නමුත් එම අභිමානය, ගෞරවය අදටත් ඇය නොලබයි. ඉහත දැක්වූ පරිදි ලංකා සමාජය තුළ ඇය ප්‍රකටවන්නේ “අනුලා නම් කාමධේනුව” ලෙසයි. එසේ වන්නේ ඇය පුරුෂයන් තිස්දෙදෙනෙකු සමඟ විවාහ වීමයි. එසේ වීමට හේතුව කුමක්දැයි අප කිසිවිටෙක විපරම් නොකර ඇයට මැසිවිලි නගයි. අනුලා දේවිය ප්‍රථමයෙන්ම විවාහ ගිවිස ගන්නේ වළගම්බා රජුගේ පුත්‍ර චෝරනාග සමඟයි. වසර දොළහක් ඔහු සමග ගත කිරීමෙන් පසුවයි ඇය ඔහුව ඝාතනය කරන්නේ. නාග ඉතා දාමරික පුද්ගලයෙක් නිසාමයි චෝරනාග යන නම පටබැදෙන්නේ. ඔහුගේ දාමරිකකම්, කුරිරුකම් ඉවසාගත නොහැකිව අනුලා දේවිය ඔහුව ඝාතනය කරන්නට ඇතැයි ඔබට නොසිතෙන්නේ ද? ඉන් පසුවයි ඇය තිස්ස, ශිව, වටුක, දාරු පාඨික තිස්ස ආදී වූ දකුණු ඉන්දීය පුද්ගලයින් සමග රාජ්‍ය විචාරා තිබෙන්නේ. මේ කාලය වන විට දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විශාල වෙළඳ බලපෑමක් එල්ල වෙමින් තිබුණි. එම නිසා සිංහල රාජ්‍යය රැක ගැනීමට අනුලා දේවියට දමිළ පුද්ගලයින් සමග සමීප ඇසුරක් පවත්වන්නට සිදු වූවායැයි සිතන්නට නොහැකි ද? අනෙක් අතට අනුලා දේවියගේ ස්වරූපය නොදැනද එම පුද්ගලයින් ඇය සමග විවාහවන්නේ. ඔවුනුත් බලලෝභීකම නිසාම ඇය සමඟ දිවි ගෙව්වා විය නොහැකිද ? අනුලා රැජින පිළිබඳ වරදකාරී හැඟීමෙන් බලන්නේ ඇය කාන්තාවක් වු නිසාමද?
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා ගෙන එන්නේ සංඝමිත්තා තෙරණින් වහන්සේය. ඇය ද කාන්තාවකි. නමුත් වර්තමානයේ දී කාන්තාවන්ට ශ්‍රි මහා බෝධිය රැඳී ඉහළ මළුවට යා නොහැකිය. එසේ වන්නේ ඇයි ද කියා මට නොතේරෙයි. එමෙන්ම දන්ත ධාතූන් වහන්සේ තම කෙස් කළඹේ සඟවා මෙරටට වැඩමවා ගෙන එනු ලබන්නේ ද කාන්තාවකි. ඇය හේමමාලා කුමරියයි. ඇය ඉමහත් ශ්‍රද්ධාවෙන් දළදා වහන්සේ මෙරටට වඩමවා ගෙන එන්නට ඇති. විවිධ වූ දුෂ්කරතාවයන්ට දන්ත කුමරු සමග මුහුණ පාන්නට ඇති. නමුත් අද වන විට කාන්තාවන්ට දළදා වහන්සේ වැඩසිටින ශ්‍රී දළදා මාලිගාවේ වතාවත්වලට සම්බන්ධ විය නොහැක. එසේ වීමට හේතුව ස්ත්‍රීත්වය ද?
වර්තමාන සමාජය තුළ තවත් අවමානයට ලක්වන කොටසකි වීදි සරණ ලියන්. කාන්තාවන් එවැනි තත්ත්වයකට පත්වන්නේ ස්වකැමැත්තෙන් ද යන්න අපි ඇත්තටම නොදන්නෙමු. එය ඇගේ ආශාව නොවිය හැකිය. දරුවන් බඩගින්නේ අඬන විට ඒ කඳුළු දැක දැක මවකට බලාගෙන සිටිය නොහැක. ඇය කෙසේ හෝ දරුවන් ජීවත් කරවිය යුතුයි. කාන්තාවන්ට මුදල් ඉපයීමට හැකි පහසු ක්‍රමයක්වන්නේ තම ශරීරය මුදලට විකිණීමයි. මේ පිළිබඳ විවිධ මත ගැටුම් වර්තමාන සමාජය තුළ ඇත. මෙම කතිකාවන් තුළ වැඩි වශයෙන් වරදකාරිත්වය හිමිවන්නේ කාන්තාවටය. එසේ වන්නේ ඇය කාන්තාවක් වන නිසාද? ඇයගේ පහස පතන අනෙක් පාර්ශවය නිර්දෝෂීවන්නෙ කෙසේද? ඔවුන්ට ඇති නාමකරණය කුමක්ද?
වරදකාරී කාන්තාව ගැන ලියැවුණු සුන්දර ගීතයක් ඇත. එනම් “ළඳුනේ” නම් ගීතයි.
ඔබත් මෙම ගීතය රසවිද තිබෙන්නට පුළුවන. එම ගීතයේ ගේය පද හිමිකාරීත්වය නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ. ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේය.
ළඳුනේ …ළඳුනේ…
ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ
බුදුන් දැක නිවන් දැකිමැයි දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි ඔබ ද
කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කදට දෝස විදින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලදුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ…