fbpx
8.6 C
New Zealand
Tuesday, June 28, 2022

The Only Sri Lankan Community Newspaper in New Zealand

බිලියන අටක අපේක්ෂා…

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අද වන විට බඩු මිල ඉහළ යාම, අත්‍යවශ්‍ය ආහාර හිඟය, විරැකියාව, අඩාල වූ දු දරු අනාගතය හා අධ්‍යාපනය, අධික දේශීය හා විදේශීය ණයගැතිභාවය වැනි බැරෑරුම් ප්‍රශ්න රාශියක් වසංගතය විසින් ලොව සෑම රටකටම භාර දී තිබුණි. ඒ සමගම  මතු වූ යුක්‍රේන රුසියා යුද්ධය තවත් තර්ජනයක් නිර්මාණය කර ඇත. 

උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතය ඉහළ දැමීමටත්, ආයතන හා පුද්ගලයන්ට සැපයූ උත්තේජන හා සහන දීමනා නතර කිරීමටත් බොහෝ රටවල් කටයුතු කරන නිසා සාමාන්‍ය ජනයාගේ ආර්ථික හා ජීවන තත්ත්වයට ඉදිරි කාලයේ තවත් පීඩනයක් ගෙන දෙනු ඇත. දියුණු රටවල් මෙසේ පොලී අනුපාතය ඉහළ දමා ණය ප්‍රධානය සීමා කිරීමෙන් එම ණය ආධාර මත බලාපොරොත්තු තබන ආසියා, අප්‍රිකා, ලැතින් ඇමෙරිකා හා කැරිබියානු කලාපීය රටවල මූල්‍යමය තත්ත්වය තව දුරටත් දුර්වලවනු ඇත. අධික ණය බරට අමතරව, ණයපිරිවැයද  වැඩි වනු ඇත. මේවායේ ප්‍රතිඵලය එම රටේ පුරවැසියන් මත පැටවෙන බැවින්, ලොව පුරා සමාජ අසහනය හා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තව දුරටත් පැවතිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි

ලෝක සාම දර්ශකය (Global Peace Index) උද්ධෘත කරන රොයිටර් පුවත් සේවය 2021 ජනවාරි සිට 2021 අප්‍රේල් දක්වා, වසංගතය මුල්කර ගත් උද්ඝෝෂණ 5000ක් වූ බවත් විරෝධතාවයන් ප්‍රමාණය 244% කින් වැඩි වූ බවත් කියයි. දේශපාලනමය විරෝධතාවයෙන් ආර්ථිකයට වන හානිය අල්ප බව දක්වන රොයිටර්, ඒවා දේශපාලන හා ආර්ථික කරුණු මුල් කරගත් විට වන හානිය බරපතල බව සම්පිණ්ඩනය කර පෙන්වා දෙයි. 

ලෝක සාම දර්ශකය අනුව 2020 වර්ෂයේ මෙම උද්ඝෝෂණවලින් වූ ආර්ථික හානිය ඇ.ඩො. ට්‍රීලියන 14.96 කි. ඒවාට සාමකාමීවම මුහුණ දුන් රටවල් අතර නවසීලන්තය අයිස්ලන්තයට පමණක් දෙවෙනි වීය. ඩෙන්මාර්කය, පෘතුගාලය හා ස්ලෝවේනියාව ඊළඟ සාමකාමී රටවල්ය. අඩුම සාමකාමී රට ඇෆ්ගනිස්ථානය වූ අතර යේමනය, සිරියාව, දකුණු සූඩානය හා ඉරාකය ඊළඟ අඩු සාමකාමී රටවල්ය. රටවල් එකසිය හැටක් අතුරින් ප්‍රචණ්ඩත්වය, උද්ඝෝෂණ, වීථි-සටන් හා වර්ජනවලින් බහුල ශ්‍රී ලංකාව සිටින්නේ අනූ හතරවැනියා ලෙසය. මෑත ඉතිහාසයේ මිලියන ගාණක මනුෂ්‍යයන් එකම කාල පරිච්ඡේදයක ඝාතනය වූ රුවන්ඩාව ශ්‍රි ලංකාවට වඩා යහපත් තැනක සිටී.

කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රියාව හා නෙදර්ලන්ත වැනි රටවල ‘Go Home’ උද්ඝෝෂණ ඇති වූයේ වසංගත පාලනයට පැනවූ සීමාකාරී රෙගුලාසිවලට විරුද්ධවය. එහෙත් දියුණු වන රටවල ප්‍රශ්න; ආර්ථික, සමාජ හා දේශපාලන සාධක රාශියකින් ව්‍යාකූල වූ බැවින් දීර්ඝකාලීනව ආර්ථිකයට වන හානිය වැඩිවනු ඇත. දේශපාලන හා ආර්ථික අස්ථාවර භාවය හා ශ්‍රම වෙළඳපළ සුනම්‍ය නොවීම විදේශ ආයෝජකයන් අධෛර්‍යමත් කරවයි. ගෙවුම් ශේෂ හිඟය, අවප්‍රමාණිත දේශීය මුදල්, කොටස් වෙළඳපළ දුර්වල වීම වැනි සෑම සාධයක්ම ආර්ථිකයට දීර්ඝ කාලීනව ඍණාත්මකව බලපානු ඇත. 

නවසීලන්ත පාර්ලිමේන්තුවේ 2022 මැයි ආර්ථික විමසුම් වාර්තාව අනුව ගිය වර්ෂයේ මෙරට උද්ධමනය 1.5%කි. මේ වර්ෂයේ 6.9%කි. පොළී අනුපාතය 0.25 සිට 1.50 ට වැඩි වී ඇත. 2020 දී  6.2 %ක් වූ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්ධමන වර්ධන වේගය 2022 මැයි මස 39.1%ක් වීය. ආහාර ද්‍රව්‍යවල උද්ධමන වේගය 57.4 %ක් වීය. මහබැංකුව වාණිජ බැංකුවලින් 2021 දී  අය කළ සාමාන්‍ය ණය පොළී අනුපාතය 4.50%ක් වීය. 2022 අප්‍රේල් මෙය 14.50%ක් වීය. (www.ceicdata.com). ඉහළ වාණිජ බැංකුපොළී අනුපාතය ආයෝජන හා ව්‍යාපාරවලට අහිත කර වනු ඇත. 

විදේශ ණය ගැතිභාවය වර්ධනය සෑම රටක්ම මුහුණ පෑ තවත් සාධකයකි. 2021 දී, තම දළ ජාතික නිෂ්පාදනය මෙන් ඕස්ට්‍රේලියාව  116.7%ක්, බෙල්ජියම 257.5%ක්, චීනය 15.5%ක්, සයිප්‍රසය 822.3%ක්, ඩෙන්මාර්කය 150.3%ක්, අයර්ලන්තය 684.7%ක්, ලක්සම්බර්ග් 4791.4%ක් විදේශණය ගෙන ඇත. 2020 දී ශ්‍රී ලංකාවේ මෙය 61% ක් පමණි. තම දළ වත්කම් ප්‍රමාණයෙන් 62% ක් එක්සත් රාජධානිය විදෙස් ණය ගනිද්දී ශ්‍රී ලංකාව ගෙන ඇත්තේ 13% ක් පමණි.

මෙසේ,  ශ්‍රී ලංකාවට ඇති ප්‍රශ්නය අධි ණය බර පීඩනයක් නොව, පවතින විදේශ විනිමය හිඟය නිසා ගත් ණය වාරික සහ පොලිය ගෙවීම අපොහොසත් විමය. ණය නොගෙවා හැරීමකදී ශ්‍රී ලංකාවේ නෛතික ප්‍රතිපාදන ණය හිමියා තෘප්තවන මට්ටමකට ඒ විශ්වාශය තහවුරු නොකරයි.

දෙවැනිව, සුරැකුම් ලෙස ස්ථාවර වත්කම් ඉදිරිපත් කිරීමේ දී ඇති නෛතික බාධා නිසා විදේශික ණය සඳහා සුරැකුම් සැපයීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත. ණය ප්‍රධානයට විදේශ ණය හිමියන් අකැමති වී ශ්‍රී ලංකාව තුළ ප්‍රාග්ධන ඌණතාවක් ඇති වනු ඇත.

උද්ධමනය හා විදේශ ණයගැතිභාවය රටක ආර්ථිකසාධක දෙකක් පමණි. දරිද්‍රතාවය, විරැකියාව, අතරමං වූ  තරුණ ළමා පරපුර, නිවාස ප්‍රශ්නය, පිරිහුණ වෛද්‍ය පහසුකම්, කඩා කප්පල් වී ගිය ස්වයං රැකියා, නොගෙවන ණය හා බිඳ වැටෙන මූල්‍ය ආයතන මගින් ලොව පුරා බොහෝ රටවල ආර්ථිකය අවපාතයකට (deflation) පසුබිම සැකසී ඇත.

මෙසේ සෑම රටක්ම එකම කාලයේ එකම ගැටළුවකට මුහුණ දුන්නේය. බිලියන අටක ලෝක වාසීන්ගේ මූලික අපේක්ෂාව තම ජනතාව මුහුණ පෑ මේ සා විනාශයක ප්‍රතිඵල සමනය කර ගැනීමය. ආර්ථික හා සමාජ තලයන්හි පවතින ශෝචනීය ව්‍යාකූලත්වය දරුවන් හා ඊළඟ පරපුර වෙනුවෙන් විසඳා ගැනීමය. දියුණු රටවල්, කවරාකාර අතීත හේතූන් මත හෝ මේ වනවිට ප්‍රමාණවත් සම්පත් හීනවී ඇති දියුණු වෙමින් පවතින රටවලට සහාය වීම මානව සංහතිය වෙනුවෙන් කළ යුතු ඓතිහාසික යුතුකමක් වී ඇත. ශ්‍රී ලංකාව හා නවසීලන්තය මේ ක්‍රියාදාම් පසුතලයෙහි සිටින්නේ අන්ත දෙකකය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.