ඔබත් මාත් ඇත්තටම අවදියෙන්ද? අපි වටාපිටාව ගැන අවධානයෙන් ද?
අපිට ඒ ගැන අවබෝධයක් ඇතිද? ලෝකය දිහා ඇස් ඇර බැලුවොත් අපිට බොහෝ දේවල් ගැන ආයෙත් ගැඹුරෙන් ම හිතන්න කාලය ඇවිත්.
අපි නිකමට හිතුවොත් හෙට දවස ගැන.
ක්‍රි.ව.2030 දී ලෝකයේ දුෂ්කර ආර්ථික අවපාතයක් ඇතිවෙන බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෝ කියා හමාරයි.
එතකොට A.I තාක්ෂණය ඉතා සීඝ්රයෙන් ලොව ආක්‍රමණය කරමින්.
ඒ අතර ජාත්‍යන්තර සමාජය ඉතා ගැඹුරින් අස්පර්ශනීය උරුමයන් සොයා යමින් .
මිනිසාගේ මානසික, ශාරීරික උන්නතිය වෙනුවෙන් එය යොදා ගත හැකි ආකාරය මේ වෙද්දී ඔවුන් සොයා ගනිමින්.
බටහිර දියුණු ආර්ථික මිනිසා සිය මානසික තෘප්තිය හා ජීවිත වින්දනය උදෙසා අල්පේච්ඡතාව හා බුද්ධ දර්ශනයේ ගැඹුර ඉතා ගෞරවාන්විතව භාවිතා කිරීමට පෙළඹෙමින්.
මෙවන් නැඹුරුවක් මත ලෝකයේ චින්තන දිශානතී ගමන් ගන්නා බව ලෝකය කියවීමේදී හසුවේ.
මේ පිළිබඳව අප වැනි රටවල් විශේෂ අවධානයකින් හා සූදානම් වීමකින් සිටිය යුතු නොවේද? හේතුව අපේ රටේ සමාජ මාධ්‍යයේ බොහෝ ‘කඩප්පුළි වීරයින් හා කට මැත දොඩන්නන්’ වැඩි නිසාය. එබැවින් ඔවුන් සිය YouTube හෝ වෙනත් මාර්ගවලින් තම ආදයම් වැඩි කරගන්නට, ඒවා කුමන මගකින් හෝ ජනප්‍රිය කරවීමට තැන දෙන නිසා බොහෝ දෙනෙකුගේ මානසික භූගෝලයද සමෝච්ච රේඛා අඳින්නේ ඒ හැඩතල ඔස්සේ ය. ඒ නිසා ඔවුන් විසින් සමාජයේ තුන්වන ඇසට විවර වෙන්නට ඉඩ දෙන්නේ තමන්ට රුචි දේශපාලනයට පමණකි. මේ දේශපාලනයට සියලු ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, ආගමික, විනෝදාත්මක හා දාර්ශනික සියලු ශානර ඇතුළත් ය. මේ මාධ්‍ය සටන්කාමීන් ආදරය කරන්නේ රටට හෝ ජාතියට නොව තමන් පෙනී සිටින මතවාදයට පමණි.
මේ නිසා අද ජාතික වශයෙන් සිදුවෙන, සිදුවිය හැකි සදුශ් හා දුශ් ප්රවණතා දැනගැනීමේ අවකාශය නැතිව යමින්, එය සමාජයෙන් වියැකී යන සංස්කෘතික මිනිසාගේ භූමිකාව ක්‍රමක්‍රමයෙන් නොව සැලසුම් සහගතවම විනාශ කිරීමක් බවට පත් වෙමින් ඇත.
එහෙත් අපට වඩා සමාජ මාධ්‍ය ඉතා ගැඹුරින් මෙන්ම අර්ථාන්විතව (සමහරවිට න්‍යාමනයක් ඇතිව හෝ අර්ධව ඇති රටවල) යොදා ගන්නා රටවල ඒ පිළිබඳව ඉතා ගැඹුරින් සොයා බැලීම් කරමින් ප්‍රතිකර්ම යෙදෙමින් සිටී.
මේවා අපි දෙවැනියට තැබුවත් මිනිසාට ආහාරය යනු ප්‍රධානම අවශ්‍යතාවයි.
බුදුන් වහන්සේ ” සබ්බේ සත්ථා ආහර්ට්ඨිතිකා ” යනුවෙන් දේශනා කළේ එබැවිනි .
එවන් කිසියම් අර්බුදයකදී කෘෂිකාර්මික රටක් වුවත් ඒ සඳහා අපේ සූදානමක් තිබේද? ආයාත යැපුම් ආර්ථිකයකින් ජීවත් වෙන අපි මේ සඳහා අද සිට ක්‍රියාත්මක වීම මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීමක් නොවේ. එය කළයුතුම දෙයකි. අපි තවමත් සහල් ආනයන කරමු. එපමණක් ද නැත. කෑම පිඟානට එන හැමදේම අද පිටරට දේ සිරිසැප දේ යන ජාතිකාන්විත හැඟීමෙන් පසුවෙමු.
අද ගෑස් නෑ කියා මුලින්ම කෑ ගසන්නේ ප්‍රත්‍යන්ත දේශවල ජනී ජනයෝ ය. උණු අළුපල්ලේ බෙහෙතක් තවා ගන්නට ළිපක් අද ගම්ගොඩේ ද නැත. (උණු අළුපල්ල යනු කුස්සියේ දර ළිපේ උයා පිහා අහවර වූ තැන අඟුරු නිවී බහින අළු යටට ය.) එම නිසා වර්තමානයේ සිටම අපිට වවා ගත හැකි දේ වවා නොගත්තොත්, කල්තබා ගත හැකි දේ සෞඛ්‍යය සම්පන්නව රැස් කළ නොගත්තොත්, අද සිට එය කරන විදේශ රටවලින් ඒවා අපිට ගෙන ඒමට සිදුවෙන්නේ නොහිතන විදේශ විනිමයක් යට කරමිනි.
ඒ නිසා මේ තත්ත්වයට මුහුණ දීමට රාජ්‍ය පමණක් නොව සියලු ජනතාව කටයුතු කළයුතුව ඇත.
වර්තමාන සමාජයේ පවතින ඉහලම විද්‍යුත් තාක්ෂණය ලෙස අප දන්නේ කුමක්ද? බටහිර සමාජය වසර ගාණකට පෙර භාවිතයෙන් ඉවත්කරන විද්‍යුත් ක්‍රමවේදයන් ය.
එහෙත් අද ඔවුන් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) මගින් කළ නොහැක්කේ කුමක්දැයි සොයමින් නොසිටීද? එය අද ලෝක සමාජයේ සාකච්ඡා කරන ඉතා ගැඹුරු විෂයක් බවට පත් වී ඇත. එයට හේතු වී ඇත්තේ අනාගතයේ දී එය සමාජ, සංස්කෘතික, විද්‍යාත්මක හා සමාජමය වශයෙන් සිදුවිය හැකි අභියෝග නිසා ය. මිනිසෙකු නොමැතිව කෘතිම මොළයකින් සියලු කාර්ය සිදුකරන තැනකට එය පත් වෙමින් පවතී. මේ නිසා වත්මන් සමාජයේ බොහෝ හරපද්ධතීන් පිළිබඳව යළි සිතීමට වත්මන් අධ්‍යාපන හා සමාජ විද්‍යාඥයන් ට සිදුවෙනු ඇත. එය පවතින නීතියට ද විද්‍යාත්මක ආම්පන්න යෙදවීමට සිදුවීමකි.
අපි සාමාන්‍ය වශයෙන් කිවහොත් වෛද්‍යවරයෙකු වෙත නොගොස් සිය රෝග ලක්ෂණ කියා ප්‍රතිකාර ලබා ගැනීමට මේ තාක්ෂණය යටතේ මිනිසා පුරුදු නොවේ ද? අවශ්‍ය දේ කී පමණින් එම අවශ්‍යතාව ඉටු කර දෙන්නේ නම් මේ සිදුවීම යටතේ අනාගතයේ දී සාමාන්‍ය වෛද්‍යවරුන් (MBBS) නැති වී යනු ඇත? එහිදී අධික ශ්‍රම අතිරික්තයක් ඇතිවෙනු ඇත. එය පුහුණු හා නුපුහුණු කියා භේදයකින් තොරවෙයි . සරල උදාහරණයක් ගතහොත් අපි ගීතයක පදමාලාවේ සිට පටිගත කිරීමේ ක්‍රියාවලිය අද A.I මගින් සිදුවීම. එසේම එය හෙට දවසේදී විදුලිය බෙදා හැරීම වෙනුවෙන් කිසිදු යටිතල පහසුකමින් තොරව ජංගම දුර කථනය මගින් සිදු නොවිය හැකිද? මේ තත්ත්ව යටතේ වෙනස්වෙන සමාජ රටාවක් ඔස්සේ තාක්ෂණික සමාජය, මිනිසාගේ පෞද්ගලිකත්වය පවරා ගනිද්දී අපිට ලිංගික සදාචාරය වෙනුවෙන් සටන් කිරීමට වෙනත් සමාජ හා සංස්කෘතික සාරධර්ම මිනුම් දඬු සපයා ගැනීමට සිදුවෙනු ඇත. අස්පර්ශනීය උරුම සොයා යාමේදී ශ්‍රී ලංකාව වැනි රටවලට විශාල ආර්ථිකමය ලාභයක් ලැබීමේ අවස්ථා උදාවෙනු ඇත.
මූලිකම දෙය මෙම නව මෙවලම් හා ක්‍රමවේදයන්ට සැබෑ සංස්කෘතික මුහුණුවරක් දීමට අපිට අපගේ අස්පර්ශනීය සංස්කෘතික උරුමය හරහා කළ හැකිය. යක්ෂ භූත සංකල්ප මේ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මවන රූපමය ගැහැණුන් මිනිසුන් හා බොහෝ දේවල් යකුන් භූතයින් නැතැයි කියු සමාජයකට ඒ ගැන සිතිමට සැලස්වීමකි. භූත යනු ඇත යන්නයි. එහෙත් අද විද්‍යාව විසින් කරන්නේ අද්භූතව භූත මැවීම නම් යන්ත්‍ර හා මන්ත්‍ර වලින් ‘ඇත’ කියන අරුත දෙන භූතයන්ගෙන් වැඩ ගැනීම හා පළවා හැරීම නූගත් මතයක් ලෙස සැලකිය හැකිද? එහිදී අපට මේ නව නිර්මාණ භූතාපසරණ සාහිත්‍යය හා නිර්මාණ ප්‍රයෝජනයට ගැනීමට ලැබෙන අවස්ථාවකි. එය ශාස්ත්‍රය විනාශ කිරීමක් නොව ජාත්‍යන්තරයට රැගෙන යාමකි. එසේම බොහො නිමවුම් සමග සාරධර්ම සංස්කෘතියක් නිර්මාණ කිරීමෙන් අපිට අප අවිඤ්ඤාණිකව වැළඳ ගත හැකි වෙළෙඳපොළකට මානුෂීය හා සංස්කෘතික මුහුණුවරක් දීමකි.
මේ අනුව බලද්දී අප පසු කරගෙන ලෝකය පෙරට යයි. එහිදී අප එම මෙවලම් සහ දත්ත, ලෝක ණයෙන් මිලට ගන්නා පාරිභෝගිකයන් නොවිය යුතු ය. එසේම එම අභියෝග හමුවේ අපගේ අනන්‍යතාව රැක ගැනීමටද අපි දැනුවත් විය යුතුය.
චම්මින්ද වෙලගෙදර







