fbpx
15.8 C
New Zealand
Thursday, August 13, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ලක්මාල් ධර්මරත්න සමඟ පිළිසඳරක් | අචලා නෙළුනිකා / දිමුතු විජේසූරිය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මේ දිනවල ලෝකෙ වටේම වාලම්පූරියක් රැගෙන යන ඔබගේ තොරතුරු කොහොමද?

වාලම්පුරියට ලැබෙන ප්‍රතිචාර ඒ වගේම අපේ කණ්ඩායම නැවත නැවත මුණ ගැසීම හිතට සතුටුයි වගේම ටිකක් මහන්සියි. ගොඩක් අය හිතනවා චිත්‍රපටියක් වැඩ ඉවර වුණාම ලොකු ජයග්‍රහණයක් කළා වගේ කියලා. ඇත්තටම කියනවා නම් චිත්‍රපටියක් කරලා එහෙම ජයක් පැරදුමක් කියලා අදහසක් එන්නෙ නැහැ. ඒක වෙනම හැඟීමක්. ඉතින් පොඩි චකිතයක් කියනවා ප්‍රේක්ෂකයෝ කොයි විදියට මෙය භාරගනී ද? එයත් එක්ක ගැටෙයි ද? අලුත් අලුත් සාකච්ඡා මේ තුළින් ඇතිවෙනවා.

කූඹියෝ වගේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණයෙන් පසු ඔබට අභියෝගයක් තියෙනවා නේද ඊගාව නිර්මාණය ගැනත්.  එය ඔබට කොහොමද දැනුනේ?

ඒකෙ වාසි අවාසි දෙකම තියෙනවා. පළවෙනි චිත්‍රපටිය කරන අධ්‍යක්ෂකට කෙනෙක්ට හම්බෙන්නෙ නැති වාසියක් මට හම්බෙනවා. මොකද ප්‍රේක්ෂකාගාරයක් ලෑස්ති වෙලා ඉන්නවා මං කරන දේ බලන්න. ඒක මට චිත්‍රපට බෙදා හැරීමේදී ලොකු වාසියක්.

අවාසිය තමයි පළවෙනි නිර්මාණය කරායින් පස්සේ දෙවන නිර්මාණයේම දිගුවක් වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කූඹියෝ පටන් අරගෙන නවත්තපු නිසා.  කූඹියෝ කියන්නේ එක කතාවක්. වාලම්පුරි කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. අපි අවදානමක් ගන්නම තමයි වාලම්පූරි වැඩේ පටන් ගත්තෙ.  වෙනස්ම තැනකට යන්නෙ ඕන කියලා. කූඹියෝවලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ හෝ වෙනස් තැනකට ප්‍රේක්ෂාගාරය අරගෙන යමු කියලා. අපි කොහොමත් අවදානම් එක්ක තමයි වැඩ කරන්නෙ, මොකද ප්‍රේක්ෂකාගාරයට අලුත් දෙයක් දෙන්න බැහැ අවදානමක් නැතුව.

ඉතින් පළවෙනි දවස් ටිකේ කූඹියෝ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර තිබුණා. හැබැයි දැන් අපිට පේනවා එයාලා වාලම්පූරි ප්‍රේක්ෂකයන් බවට පත් වෙලා තියනවා මේ කතාවට අනන්‍ය වෙමින් පවතිනවා.

මට හිතෙනවා ඔබ වාසනාවන්ත අධ්‍යක්ෂවරයෙක් කියලා. ඔබ ටෙලි නාට්‍යයක් කරා එය ඉතාම ජනප්‍රිය වුණා. ඔබට  චිත්‍රපටියක් කරනවා එයත් ජනාදරයට පත්වෙනවා.  මොකක්ද මේ මැජික් එක?

මම හිතන්නේ මෙහෙමයි.  මෙය ලෝකයේ හොඳම චිත්‍රපටිය නෙමෙයි. හැබැයි මගේ ලෝකයේ හොඳම චිත්‍රපටිය. මම උත්සාහ කරනවා මගේ ලෝකයේ මට හොඳම වැඩේ උපරිමයෙන් කරන්න. මම එය වෙනුවෙන් ඕන මිලක් ගෙවන්න ලෑස්තියි. මගේ ජීවිතේ ද මගේ කාලෙ ද ඒ ඕන එකක් ගෙවන්න ලෑස්තියි. මම කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා ඉතුරු ටික නිකං සූදුවක් වගේ තමයි, ප්‍රේක්ෂකයගෙ අතේ තියෙන්නෙ.

මම හිතන්නේ මගේ මැජික් එක තමයි මම උපරිමයෙන් මහන්සි වෙනවා. කරන දේ ගැන තියන හැම දෙයක් ගැනම හොයලා බලනවා. මම කොහොමත්ම සිනමාවේ පැවැත්ම හෝ සිනමාවේ තියන සීමාවන්වලට යටත් වෙනවාට වැඩිය මම බලන්නෙ  ප්‍රේක්ත්මෂාගාරයත් එක්ක සම්බන්ධ වෙන්න. අපි චිත්‍රපටියක් විදියට ඉතාම සාර්ථකයි මම හිතන්නේ එවැනි අන්තර්ගතයක  තියන සාර්ථකත්වය තමයි නැවත එයින් ප්‍රතිනිර්මාණ හැදෙන එක (User generated contents). අපේ චිත්‍රපටයේ ගීත අරගෙන ගොඩක් අය තමන්ගේ ජීවිතයේ සම්බන්ධ දෙයක් එයට ඇතුළත් කරලා අපට එවනවා. කූඹියෝ අධ්‍යක්ෂ විදියට මම කැමති නැවත ප්‍රේක්ෂාගාරය සමඟ සෘජුව ගැටෙන්න. එය තමයි අපේ සම්මානය.

ලකා අවුරුදු හතකට විතර පස්සෙ තමයි වාලම්පුරිය ප්‍රේක්ෂකාගාරයට අරන් යන්නේ.  ඔබ ගොඩනගපු විශ්වාසය නිසාද ප්‍රේක්ෂකයෝ ඔබ සමග රැඳිලා ඉන්නේ.

මම හිතන්නේ එය පුද්ගලිකව මම පිළිබඳව තියෙන විශ්වාසයකට වැඩි දෙයක්.  මේ චිත්‍රපටි කියන දේ අපිට වැඩිය ලොකුයි. හේතුව හේතුව අපි මැරෙනවා චිත්‍රපට ඉතුරු වෙනවා. මම හිතන එක තමයි ලකා අවුරුදු හතක් වයසට ගියත් කූඹියෝ තාම තරුණයි. දෙවනි නිර්මාණයට පළවෙනි නිර්මාණයේ විශ්වාසවන්ත භාවය තමයි රැගෙන යන්නෙ. එය පුද්ගල කේන්ද්‍ර දෙයකට වැඩිය අපේ නිර්මාණයේ තියෙන බලවත්කම.   හිතන්නකෝ මේ චිත්‍රපටිය අසාර්ථක වුණා කියලා ඒත් කූඹියො නැති වෙන්නෙ නැහැ. එක වෙනම එකක්. අපි දක්ෂ වෙන්න ඕනෙ ඒ ප්‍රේක්ෂකයන්වම වෙන තැනකට අරන් යන්න.

ලකාගෙ නිර්මාණවල අපි දකිනවා සමාජයේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්න. ගම සහ නගරය මේ දෙකේම පය ගහලා ජීවත් වෙලා ලබපු අත්දැකීම නිසාද?

ජීවත් වුණ කෙනෙක් කියනවට වඩා ජීවත් වෙන කෙනෙක් කියන එක  තමයි හරි වචනෙ. අපි සාමාන්‍ය ජීවිත ගෙවන මිනිස්සු. මගේ ඉස්සරහ හැම වෙලේම තියන ප්‍රශ්නෙ තමයි සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් චිත්‍රපටි හදනවා ද  එහෙම නැත්නම් ලෝක දෙකක් එක වෙලාවෙ දැකපු නිසා  මට වෙන මොනවා හරි දෙයක් මේ චිත්‍රපට පාවිච්චි කරලා කරන්න පුළුවන් ද?  සිනමාව වෙනුවෙන් පොහොසත් නිර්මාණ කරන්න මම හිතන්නේ මට වැඩිය ගොඩක් දක්ෂ අය ඉන්නවා.

මම තෝර ගත්ත පාර තමයි මිනිස්සු සමඟ සාකච්ඡාවකට, මිනිස්සු වෙනුවෙන් නිර්මාණ කරන්න. මම නැති දවසට මට මගේ නම සිනමාවෙ රන් අකුරුන් ලියවෙන්න ඕන නැහැ. ගම, නගරය මේ අන්ත දෙක දිහාම එකවර බලන්න මම හිතන්නෙ මට ලොකු තෑග්ගක් ලැබිලා තියනවා. ඉතින් මම ඒක නිස හිතනවා මගේ ඉතිරි නිර්මාණ හැදෙන්නෙ මේ ලෝක දෙකේ මිනිස්සු නොදකින ජීවිත අරගෙන මේ ලෝක දෙක සම්බන්ධ කරන්න. තනි පුද්ගලයෙක් නෙමෙයි මුළු කණ්ඩායමක් විදියටම එම දැක්ම සම්බන්ධව අවබෝධයක් සහ ගරුත්වයක් තිබුණා.

ඔබ වාසනාවන්තයි නේද ඔබගේ රුචිකත්වයට අනුව නිර්මාණයක් කරන්න නිෂ්පාදකවරු හමුවෙන එකත්. 

මම හිතන්නෙ එය වාසනාව සහ අපි සෑහෙන්න මහන්සි වුණා අපිට ඕන ඇත්ත මිනිස්සු මුණ ගැහෙන්න.  මේ විශල කණ්ඩායමේ අපි හැමෝම එකතු වුණේ එකම අරමුණක් වෙනුවෙන්. මම හරි වාසනාවන්තයි ඒ වගේ ශිල්පීන් ගොඩක් එක චිත්‍රපටයකට ගොනු කරගන්න.

ඔබ තුළ කලාව තියෙනවා කියලා කොහොමද දැන ගත්තේ?

අපේ කාලෙ හැදිලා තිබුණෙම ‘I want to be a doctor’ කියන්නනෙ. හැබැයි මගේ තාත්තා සිංහල සර් කෙනෙක්. අපේ ගෙදර පුස්තකාලයක් තිබ්බා. මම හිතන්නෙ තාත්තා දැනගෙන හිටියා මගේ මේ හැකියාව ගැන. මම විද්‍යා විෂයන් තෝරගන්න යනකොටත් තාත්තා කිව්වෙ නෑ ඔයා තුළ ඉන්නෙ කලාකාරයෙක් කියලා.

ඊට පස්සේ මම හිතන්නේ අපි හැමෝම වැටෙනවනේ තැනක් උසස් පෙළවලින් පස්සේ Human dessert  කියලා. විශ්ව විද්‍යාලයට නොතේරුණොත් මේක තමයි තත්ත්වය.  ඉතින මමත් ඒ තත්වෙට වැටුනා. එක එක දේවල් කරා. ඒ අතර තමයි මට එක තැනකදි හමු වුනේ කතා කීම කියන එක. මම පාසලේ නාට්‍ය වගේ කලා වැඩවලට එකතු වුණාට ඒවා වෘත්තීමය ලෙස හැකියි කියලා මම දැනන් හිටියෙ නැහැ.

Thriller කියන වචනය ඔබගේ නිර්මාණවල තියෙනවා ඔබ එයින් කියන උත්සහ කරන්නේ කුමක්ද?

Excitement  සොයා යෑම මේ වගේ දේවල්නෙ එයින් කියැවෙන්නෙ. ලංකාවේ මහා ප්‍රේක්ෂකාගාරයත් එක්ක ගැටයක් දාගන්න පුළුවන් තැනක් තමයි මේක.  අපේ පාරේ වාහන යන විදිය බලන්නකෝ අපි ඉතින් එය එහෙම වෙලා ගෙදර එන්නේ අපේ වාසනාවකට වගේ  තමයි. මේ අවිධිමත්භාවය තමයි ඇත්ත. ප්‍රේක්ෂකයා සිනමාශලාවට පවා එන්නේ ‍ත්‍රීවීල් එකක නැගලා ට්‍රැෆික් එකේ ඉඳලා පරක්කු වෙලා, පාර්කින් හොයාගෙන කලබලේකින්. මෙන්න මෙහෙම එන එක්කෙනා එක්ක තමයි මට කතාබහ තියෙන්නෙ. මම මගේ ප්‍රේක්ෂකයා කවුද කියලා ඉතාම හොඳ අවබෝධයෙන් ඉන්නේ. එතකොට අපේ කතාබහ හරි ලේසියි. Thriller + drama  ඔය දෙක එකතු වුණ ගමන් ප්‍රේක්ෂකයා වැඩේ අල්ල ගන්නවා.

ඔබ කතා කරන මාතෘකා බොහොම කර්කශ වුණාට  යොදා ගන්න රූප රාමු  ඇසට හරිම සෞම්‍යයි. ඒ ඔබ වෙළඳ දැන්වීම්කරණයේ සිටි නිසාද?

මම හිතන්නේ එය මම මිනිස්සුන්ව දකින කෝණය. මම කිසිම කෙනෙක් නරක මිනිහෙක් විදියට දකින්නේ නැහැ. සමහර අයට බැහැනේ තමන්ගේ නිර්මාණයට නරක ප්‍රතිචාරයක් ආවොත් ඒක දරා ගන්න.  හැබැයි මට එහෙම ප්‍රශනයක් නැහැ. හේතුව මට නිර්මාණයක් කරන්න තියන අයිතිය සේම එයාට එයට අවංකව කැමත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා. මිනිස්සු කියන්නෙ පොත් වගේ. පොත්වලට වඩා ගැඹුරු තේරුමක් තියනවා. එක මිනිහෙක් කියන්නෙ එක පොතක්. එයාට තියනවා විශාල කතාවක්. මේ හැමෝම විවිධ කතන්දර තියෙන විවිධ පොත්.  කැමරාව කියන්නේ අපේ එළියේ තියෙන දෙයක් නෙමේ අපිට බද්දම වෙලා තියෙන දෙයක්.  කැමරා ශිල්පියාට මම දෙන අදසකින් තමා ආලෝක පාලන සහ රාමු තීරණය කරන්නෙ. අපි අනෙකාගෙ ජීවිතය දෙස බලන බැල්ම තමයි කැමරාවේ රාමු විදියට ප්‍රේක්ෂකයන් දකින්නෙ.

චිත්‍රපටියෙන් පිට කතාවක් විදියට, අපි කියනවා  සාර්ථක මනුස්සයෙක් පිටුපසම ගැහැනියක් ඉන්නවා කියලා. ඒක කොහොමද ඔබට දැනෙන්නේ?

මේක පිරිමි මූලික සමාජෙන් ආපු වචනයක්. ඒක හරිම සරල අදහසක්. පිරිමි කියන්නේ දඩයම් සත්තුනේ. අපි පුරුදු වෙලා හෝ දක්ෂ නැහැ ගෘහ ජීවිතවලට.  මම ගත්තොත් චිත්‍රපට ගැන කතා කරන්න ඕන එකක් දන්නවා. ඒත් සීනි කිලෝ එකක් ගැන,  ළමයින්ගේ අධ්‍යාපනය ගැන මට අදහසක් නැහැ.  ඒකට ඕන කරන  විනයවත් මට නෑ මට හිතන්නේ අපි හැමෝම බාග. අපි එකතුවෙලා තමයි  යුනිට් එක හැදෙන්නෙ. මම හිතන්නේ ගෑනු පිරිමි භේදයක් නෑ. හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ඉන්නවා. ඔයා ජීව්තේ බෙදා ගන්න කෙනා ඉන්නවා. මම හිතන්නේ ජීවිතයේ මනුස්සකුටම හම්බෙන්න පුළුවන් වාසනාවන්තම අත්දැකීම තමයි ඒක.

ඔබගේ නිෂ්පාදකවරු මුණ ගැසෙන්නේ  විප්‍රවාසීන් විදියටනෙ. කැමති නැතිද විප්‍රවාසී කතාවක් පුංචි තිරයට හෝ සිනමාවට ගේන්න?

මම ඕක කල්පනා කරනවා අපේ රටේ cream එක නේද මේ නැති වෙන්නෙ.  එයාලව තියා ගන්න අපි පොහොසත් නැහැ. මම ලංකාවෙ පුරවැසියෙක් විදියට දුක් වෙන්න ඕනෙ, ලැජ්ජ වෙන්න ඕනෙ. අපිට වෙලාවක් තියනවා හිනා වෙලා සතුටින්  ඉන්න. මම කියන්නේ දැනගෙන වෙන රටකට යන එක වෙනස් කතාවක්.  එයාගේ හැකියාවට අපේ රටේ තැනක් නැතිනම් අවස්ථාවන් නැතිනම්.  ලෝකයේ වෙන රටවල්වලට ගිහිල්ලා සීතලේ කට්ට කන, ලංකාවට ඩොලර් එකක් හරි එවන්න මහන්සි වෙන අය ගැන දුකයි.

ලකා අලුත් වැඩකට අත ගහලා තියනවාද කියලා අපි දැන ගන්න කැමතියි?

අපි වැඩ කරන්නේ සංස්කෘතික ජීවිතේ කියන කොටසනේ. මගේ වගකීම තමයි මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය පෝසත් කිරීම. අපි නොනවත්වා වැඩ කරනවා.  අපේ මිනිස්සු ඉන්න අමාරුවට පවුලත් එක්ක ඇවිල්ලා චිත්‍රපටයක් බලලා සතුටු වෙලා ඒ දක්වන ප්‍රතිචාරය කියන්නේ මට මාර දෙයක්. මේ රටක් විදියට සතුටු වෙන්න මුකුත් නැති වෙලාවක්. අපිට වෙන රටවල් වගේ පවුලක් විදියට එළියට ගිහිල්ලා විනෝද වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ අඩුව මම නියෝජනය කරන චිත්‍රපටිවලින් පුරවන්න පුලුවන්නම් මට හරි සතුටුයි.

එනිසා ප්‍රේක්ෂකාගාරයේ ආදරය වෙනුවෙන් අනිවාර්‍යෙන්ම ඉතා ඉක්මනින් නිර්මාණ කරනවා. නිර්මාණ පේළියක් තියෙනවා.

ඔබ ඉතා වෙහෙසකාරී වගේම අවිවේකී වෙලාවක අපි සමග එකතු වුණාට ඔබට ගොඩාක් ස්තූතියි. ශ්‍රී ලංකන් වෙනුවෙන් අපි ඔබගෙ ඉදි‍රි නිර්මාණවලට සුබ පැතුම් එකතු කරනවා.

සටහන – අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ් 

සාකච්ඡා කළේ – දිමුතු  විජේසූරිය – වෙලින්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.