fbpx
13.7 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

උඩුගං බලා පිහිණන කැරලිකාර මාධ්‍යවේදියා – ගවිත්‍රී ‍යටිගම්මන – වෙලිංටන්

Must read

උඩුගං බලා පිහිණන කැරලිකාර මාධ්‍යවේදියා.

ලෝකයේ ඕනෑම තැනක සිදුවන කවර සිදුවීමක් වුව ඒ මොහොතේම ලොව පුරා ගෙන යන්නට වෙහෙසවන පිරිසක් සිටිති. ඒ මාධ්‍යවේදීන්යය. අද අප ශ්‍රීLankaNZ පුවත්පත වෙනුවෙන් පිළිසඳරක යෙදෙන්නට සොයා ගියේ එවැනි එක් මාධ්‍යවේදියෙක්. ඒ අප කාගෙත් ආදරය දිනාගත්, ජනප්‍රිය මාධ්‍යවේදී නාරද බක්මීවැවයි

මුලින්ම ආයුබෝවන් කියල ඔබව පිළිගන්න ගමන්ම, මම කැමතියි ඔබෙන් අහන්න, ඔබ මේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද කියලා. 

ඒක ඇත්තටම අහම්බයක්. මට උසස්පෙළ විභාගය කරලා සෑහෙන කාලයක් නිකම් ගෙදරට වෙලා ඉන්න වුණා. මොකද අර 88-89 කාලෙ කලබල තිබුණ නිසා, ඒ කාලෙ විශ්වවිද්‍යාල වහලා තිබුණනෙ. ඉතින් මම ඔහේ නිකම් යාළුවෝ එක්ක රස්තියාදු වෙවී හිටියා.  ඔය විදියට රස්තියාදුවෙ ගිහිල්ලා අන්තිමට නිකම්ම නිකම් නිකමෙක් වෙයි කියලා අපේ තාත්තට බය හිතිලා වෙන්න ඇති මට කිව්වා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න කියලා. 

ඔය කාලෙ සාමාන්‍යයෙන් පරිඝණක වලට සම්බන්ධ දෙයක් තමයි හැමෝම වගේ කරන්නෙ. ඒ වුණාට මට ඒකට  වුවමනාවක් තිබ්බෙ නෑ. මම ඉස්සර ඉඳලම හැමෝම කරන දේ නැතුව වෙනස් දෙයක් කරන්න තමයි කැමති. ඉතින් ඒ නිසා මම ජාතික තරුණ සේවා සභාවේ, නිස්කො වීඩියෝ එකේ, තාක්ෂණය හා නිෂ්පාදනය කියන පාඨමාලාවට සම්බන්ධ වුණා. අවසානයේ මම පාඨමාලාවේ බැච්ටොප් වුණා. හැබැයි නිස්කෝ වීඩියෝ එකේ ලොකු මහත්තයා මට එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද මම කොණ්ඩෙ ටිකක් පිටිපස්සෙන් වවලා එහෙම ටිකක් රස්තියාදු විදියට තමයි එතකොටත් හිටියෙ. කොහොම හරි එතන බැච්ටොප් වුණොත් සාමාන්‍යයෙන් ඊළඟ මාස හයේ එයාට අලුත් ටීම් එකක් දෙනවා.  ඒත් මට  ඒක දුන්නේ නැහැ. මම ඇහුවම ඇයි කියලා, “තමුසෙට මම දෙන්නෙ නෑ ඕයි,” කියලා පරණ බැච් එකක හිටපු එක්කෙනෙකුට ඒ ටීම් එක දුන්නා.

 ඒ වගේම රැකියාවලට ඉල්ලුම්පත්‍ර යවන කොටත් මගේ නම දාන්නෙ නෑ. මට වඩා පහළින් හිටපු අයගෙ නම් යවලා ඒ අය මට කලින් රැකියාවලටත් ගියා. මේ අසාධාරණේ දැකපු එතන හිටපු සමන් ෆොන්සේකා කියන ලිපිකරු  මහත්තයා පොඩි ප්‍රයෝගයක් කරා. අනිත් අයගෙ නම් ටිකක් දාලා කොළේ පොඩිවට හිස් ඉඩක් තියල ලොකු මහත්තයට කියලා අත්සන් කරගන්නවා. ඊට පස්සේ අර හිස් තැනට මගේ නම ටයිප් කරනවා. ඔහොම කරලා මගෙ නමත් යැව්වා තැන් කිහිපයකටම.  ඔය විදියට ජාතික අධ්‍යාපන ආයතනයට දාපු ඉල්ලුම් පත්‍රයකට මට සම්මුඛ පරීක්ෂණේට එන්ඩ කිව්වා, ඒත් මාව තෝර ගත්තෙ නෑ. ඒකෙන් තෝරගත්තෙ ඔක්කොම දේශපාලන හැඳුනුම්කම් තියන අය.

ඊට පස්සේ මම ගියා ‘වල්ඩ් වීව් ශ්‍රී ලංකා’ කියන ආයතනයට. ඒක රාජ්‍ය නොවන සංවිධානයකින් පවත්වාගෙන ගිය ආයතනයක්. සාමාන්‍යයෙන් ඒ කාලෙ ඒවට කවුරුත් වැඩිය යන්නෙ නැහැ,  මොකද ආණ්ඩුවෙ රස්සාවල් වලටනෙ කැමති. එතන හිටියා ලාල් හේවාපතිරණ මහත්මයා. එතුමා මාත් එක්ක කතා බහ කරලා, මාව තෝරා ගත්තා, තව එක්කෙනෙකුත් එක්ක.

ඔන්න ඕක තමයි මගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය. 

එතකොට එතන මොනවගේ වැඩක්ද කරන්ඩ තිබුණෙ? 

මම මුලින්ම වැඩ කළේ තාක්ෂණික අංශයේ, තාක්ෂණ සහායක කෙනෙක් විදියට, මාස කීපයකට පස්සෙ පස්සේ මාව පටිගතකිරීම් අංශයට දැම්මා. ඊට පස්සේ කැමරාකරුවෙක් විදියට වැඩ කළා, අන්තිමට අවුරුද්ද සම්පූර්ණ වෙනකොට නිෂ්පාදක කෙනෙක් වෙන්න පවා ඒ ආයතනය මට අවස්ථාව දුන්නා.  ඒත් ඒක ස්ථීරවම දෙන්න නම් මට වාර්තාමය වැඩසටහනක් කරලා පෙන්වන්න කිව්වා.  

ඒ පාර මම ප්ලාස්ටික් සහ පොලිතින් වලින් සිදුවෙන පරිසර හානිය ගැන වීඩියෝ එකක් කළා. මගේ වීඩියෝ එක ඇගයීමට ආවෙ ආතර් සී ක්ලාක් මහත්මයා. ඇත්තටම මගේ පිටපත දැකලා ලාල් හේවාපතිරණ මහත්මයා තමයි ආතර් සී ක්ලාක් මහත්තයාව සම්බන්ධ කරල දුන්නෙ. එතනින් පටන් ගත්ත ඒ ගමන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පැත්තෙන් දිගටම ඉදිරියටම එන්න ලැබුණා. 

එතකොට ඔබ එම් ටී වී ආයතනයෙත් වැඩ කළා නේද?

ඔව් ඔහොම වැඩ කරගෙන ඉන්නකොට ‘වල්ඩ් වීව් ශ්‍රී ලංකා’ ආයතනයට වැඩ අඩු කාලයක් ආවා. ඒ නිසා මම එම්ටීවී එකේ තිබුණ ඇබෑර්තුවකට ඉල්ලුම් පත්‍රයක්  දැම්මා.  එතන සම්මුඛපරීක්ෂණයෙන් තේරිලත් මාව ගත්තෙ නැහැ. මමත් ඉතින් එච්චර උනන්දු වුණේ නැහැ, මොකද මට රස්සාවක් තිබුණනෙ. කාලයක් ගියාට පස්සෙ මට එම් ටී වී එකේ නිමල් ලක්ෂපතිආරච්චි නමින් විදුලි පණිවිඩයක් ආවා එන්න කියලා. එතනදි මාව ‘රස රිසි ගී’  කියන වැඩසටහනට තෝරා ගත්තා. ඒ වැඩසටහනේ තමයි මම මුල් වතාවට කැමරාවක් ඉදිරියේ හිටියේ. මේ රස රිසි ගී වැඩසටහන අපි කළේ සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා, ඇත්තටම අපි ඒ වැඩසටහනින් රූපවාහිනී නිවේදන කලාව වෙනස් කළා. හැබැයි ඉතින් අපිට ලොකු විවේචන ආවා. නමුත් ඒ විවේචන බොහොම කෙටි කාලයකින් නතර වෙලා මිනිස්සු අපිව වැළඳගත්තා. ගෝනි ගණන් ලියුම් එන්න පටන් ගත්තා.

ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව තරුණකමට මොනව හරි කරන්න ඕන කියන හැඟීමෙන් ගිය මට ඒ රසිකයන්ගෙ ප්‍රතිචාර දැක්කම ගොඩාක් ලොකු සතුටක් දැණුනා.

 

පසුව ඔබ නිවේදන කලාවටත් සම්බන්ධ වුණානෙ, එතකොට ඔබ මාධ්‍ය තුල තරුණයාගෙ කාර්‍යභාරය දැක්කෙ කොහොමද?

මම ඇත්තටම මාධ්‍ය භාවිතා කළ යුත්තේ සමාජයේ යහපතට කියලා තමයි එදා හිතුවෙත්, අද හිතන්නෙත්. මොන දේ කළත් සමාජයේ යහපත වෙනුවෙන් කරන්න කියන පාඩම අපි ඉගෙන ගත්තෙ අපේ තාත්තගෙන්. අපේ තාත්තා වෘත්තිය සමිති නායකයෙක්. බොහෝ වෙලාවට තාත්තා එයාගෙ සීමාවෙන් එහා ගිහිල්ලා පවා මිනිස්සුන්ට උදව් කරනවා. ගෙදර කන්න බොන්න තියෙන දේ පවා මිනිස්සුන්ට දීපු අවස්ථා තියෙනවා. ඒවගේ ආභාෂය අපිට පොඩිකාලේ ඉඳලා ඇවිත් තියෙනවා. ඒ වගේම මුදල් ඉදිරියේ දෙකට නැමෙන්නෙ නැතුව ඉන්න හැටි අපට කියා දුන්නා. 

රස රිසි ගී’ තුළින් පවා හැම වෙලාවෙම මම පණිවිඩයක් දෙන්න උත්සාහ කළා. ඒ වගේම බොහෝ වෙලාවට සමාජයේ කාන්තාව යටපත් කරන එකනෙ සිද්ධවෙන්නෙ. නමුත් රිසි ගී වැඩ සටහනේ මමත් මාත් එක්ක එදා වැඩ කරපු තනූජාත් හැම වෙලාවෙම සමසමව තමයි වැඩ කරේ. කතා කරන එක වුණත් බොහෝ වෙලාවට අපි දෙන්නම එකම ගානට එක විදියට කරා.  එතකොට ඔය සමහරු තවකෙනෙක් කෙට්ටුයි, එහෙම නැත්නම් මහතයි, කළුයි, කොටයි වගේ කියලා අපහාස උපහාස කරනවනෙ. කවදාවත් මගේ කටින් ඒ වගේ දේවල් මම කිව්වේ නෑ. ඒ වගේ ඒවා හිතට එනකොට මගේ ඔළුවට නිකම්ම එනවා මේ දේ කියන්න හොද නෑ නේද කියලා. බොහෝ වෙලාවට යම්කිසි අඩුපාඩුවක් ඇති කෙනෙක් ගැන කතා කරනකොට මම හරි සංවේදීයි. ඒවා පොඩි කාලෙ ඉඳලා අපේ ජීවිතයට එකතු වෙච්ච දේවල්. ඒ දේවල් වල ගෞරවය අපේ තාත්තට යන්න ඕන. කාන්තාවන්ට අනවශ්‍ය විදිහට විහිළු තහළු කරන ඒවා අපි කවදාවත් කළේ නෑ. ඔය විදියට තමයි මාධ්‍ය ඇතුලෙ අපි වැඩ කළේ. ඒ කියන්නේ අපි හැදිලා තියෙන විදියටම තමා මාධ්‍ය තුළින් පෙනෙන්නෙත්.

මාධ්‍යයේදී වගවීම සහ වගකීම කියන දේත්, අනුකරණය ගැනත් ඔබ හිතන්නෙ කොහොමද?

අපි කවුරුත් අනුකරණය කරන්න කැමතියි. අපි සන්නිවේදන ඉතිහාසයට ගියොත් අනුකරණය හරහා තමා සන්නිවේදනය බිහි වෙන්නේ.  හැබැයි ඒ අනුකරණය තුළ අපි වෙනින් එක්කෙනෙක් වගේ හැමදාම ජීවත් වෙන්නේ ගියොත්, ඒක ප්‍රශ්ණයක් වෙනවා.

අනුකරණයට වඩා අනුගමනය කියන එක වඩා හොඳයි කියලා තමා මම හිතන්නේ. අනුගමනය කරලා කරලා අපේම එකක් අපි හදා ගන්න ඕන. අපේ අනන්‍යතාවයක් අපි හදාගත්තෙ නැත්නම්, අපිට තියෙන පැවැත්ම අඩුයි. දැන් අවුරුදු විසිපහක් මම වැඩ සටහන් ඉදිරිපත් කරනවා. ඊට වැඩි කාලයක්, මං නිෂ්පාදකයෙක්, පිටපත් රචකයෙක් විදියට කටයුතු කරනවා. මම හිතන්නේ මම ඒක ඇතුළෙ මගේම දෙයක් කරන්න උත්සාහ කරන නිසා තමයි මට ඒ ටික කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ කියලා.

මම කියන්නේ අලුතෙන් එනකෙනෙක් අනන්‍යතාවය හදාගන්න උත්සහ කරන්න ඕන කියලයි. වැඩිහිටියන්ගෙන්, ජේෂ්ඨයන්ගෙන් දේවල් අරගෙන ඒවයෙන් පෝෂණය වෙලා අනුගමනය, අනුකරණය ඔක්කොම හරහා අපි අපේ දෙයක් එළියට දාන්න ඕනේ. හොඳම උදාහරණ‍ය තමා සුපර් ස්ටාර්ස්ලා. සුපර් ස්ටාර් වල ජෝතිල බිහිවුණා,  විජයල බිහිවුණා, එම් එස් ලා බිහිවුණා, ප්‍රියා සූරියසේනලා බිහිවුණා. නමුත් අද වෙනකොට ඒ කවුරුත්ම නෑ .ඒ වෙන්නේ ඒ ළමයින්ගෙ වැරැද්ද නිසා නෙවෙයි. ඔවුන්ට දක්ෂතාවක් නැති කමත් නෙවෙයි, ඔවුන් දිගටම කියන්නේ වෙනත් අයගේ ගීත. ඉතින් ජනතාව ඔවුන්ව පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා හැම තිස්සෙම යමක් එකතු කරන්න ඕන.

ඒ වගේම වගකීම කියන එක ගැන කිව්වොත් අපට තියෙන සමාජය අපි ඉදිරියට ගෙනියන්න ඕන. අපි ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. හැබැයි මේ වන විට අපේ මාධ්‍යවල සාරය නැතිවෙලා තියෙන්නෙ. පැහැදිලිවම කියන්න ඕනේ දැන් තියෙන්නේ ජනතාව ඉල්ලන දේ දෙන එකක්. හැබැයි, ඒක ඇතුළෙ වුණත් ඔබට අවශ්‍යනම් තනි පුද්ගලයෙක් විදිහට, ඔබේ වැඩේ කරන්න ඔබට පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ වගකීම අපි අතේ තියෙනවා.

වගවීම කියන එකත් මාධ්‍ය තුළ  තියෙනවා. හිතමු, අපි සාමය ගැන කතා කරනවා කියලා. එහෙමනම් අපි සාමය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ජාතිවාදයට එරෙහි නම් අපි ජාතික සමගිය වෙනුවෙන් පෙනී හිටින්න ඕන. අපි යම් කිසි දෙයක් සමාජයට කියනවා නම් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. ආගම්වාදයට මිථ්‍යාවට අපි මාධ්‍ය තුළ  විරුද්ධනම්, සාමාන්‍ය ජීවිතයෙත් ඒ විදිහටම  ඉන්න ඕනේ. දැන් ගොඩක් අය කරන්නේ එහෙම නෙමෙයි, සල්ලි වලට නැත්නම් දේශපාලන වුවමනා එපාකම් වලට.

මම හිතන්නේ අපි එහෙම කටයුතු කරන්න හොඳ නෑ කියලයි. මේ වෘත්තිය වැටුපකටම කරන එකක් නෙවෙයි. සමාජය ඉදිරියට ගෙනි යන්න පුළුවන් ආකාරයට මේ ලෝකෙ ජීවත් වන මිනිසුන් වෙනුවෙන් තමා අපි වැඩ කරන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි විතරක් මෙහෙම කරාම අපි පස්සට යනවා අනිත් මිනිස්සු ඉස්සරහට යනවා කියලා. හැබැයි ඉතින් එහෙම කියලා ඔබේ කටයුතු අතාරින්න එපා ඒ ගොල්ල ඉස්සරහට ගිහිල්ලා මොනවා කර ගන්නවද කියලා අපි දන්නේ නැහැනේ. හැබැයි අපිට මැරෙන මොහොතේදී සතුටු වෙන්න පුළුවන් අපි මේ සමාජය වෙනුවෙන් හොඳ දෙයක් කලා කියලා. අපේ දරුවන්ට මිනිස්සු කියයි ඔයාලගේ තාත්තා මෙහෙම කලා කියලා. මගේ තාත්ත ගැන මට මිනිස්සු කියනවා, ඔයාගේ තාත්තා මෙහෙම කෙනෙක් කියලා, ඉතිං අන්න එහෙම පුරවැසියෙක් වෙලා මැරිලා යන එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔබ දකින්නෙ කොහොමද?

අපිට දකින්න ලැබෙන දෙයක් තමා විදේශගත ශ්‍රී ලාංකිකයො ගොඩක් වෙලාවට විදේශ ගතවුණාට පස්සෙ ගොඩාක් දේශප්‍රේමී වෙනවා, රට ගැන හිතනවා, එහේ  ඉඳගෙන අපේ රටේ දේවල් ගැන කල්පනා කරනවා, දේශපාලනය ගැන උනන්දු වෙනවා. ඒක එක ප්‍රවණතාවයක්. ඒකෙ හොඳ හෝ නරක නෙමේ මම මේ කියන්නේ, මම දකින විදියට මට පේන්න තියෙන දේ. අපේ රටේදී අපිට ඒව එච්චර ගානක් නෑ. අපිට ඔහෙ තියෙන දෙයක් කරගෙන ඉන්නවා. දැන් වැඩ කරන විදිය ගත්තත් පිටරට ගිය හැමෝම නොවෙන්න පුළුවන්,

මම දැකපු, මම දන්න සමහර අය දවසට රැකියා තුනක් විතර කරනවා. එහෙම කරලා හොඳට සල්ලි හම්බ කරනවා. හැබැයි ලංකාවෙදි කොහොමද? පුළුවන් තරම් කරන රස්සාවෙ නිකන් ඉදල, අයිස් ගහලා, කීයක් හරි හම්බ කරන මානසිකත්වයෙන් තමයි ඉන්නෙ. හැමෝම නෙමේ මම මේ කියන්නේ. එහෙම කරන අය ඉන්නවා.  පිටරටකට ගියාම වෙන්නේ අපි ඒ සිස්ටම් එකට අනුගත වෙලා හොඳින් වාහන එලවනවා. එතකොට පෝලිමේ යන්න එන්න පුරුදු වෙනවා . හැබැයි මෙහෙදී පෝලිම තියෙද්දි  ඉස්සරහින් පනිනවා.  රස්තියාදුකාරයෝ වගේ වාහන එලවනවා. ගෙදර කුණ ටික කොහේට හරි හළනවා. මේ ඉතින් එකම ශ්‍රී ලාංකිකයනෙ තැන් දෙකකදී දෙවිදියක් වෙන්නේ.

මම කියන්නේ අපි විදේශගත වෙලා හිටියත් ලංකාවේ හිටියත් හොඳ දේ හොඳ විදිහට දකින්න ඕනේ. ඊට අමතරව මම දකින විශේෂ කාරණාවක් තමා, විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ ආර්ථිකයට ඉතා විශාල මෙහෙවරක් කරනවා. ඩොලර් එහෙමත් නැත්තං විදේශ විනිමය අපේ රටට එවනවා. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අපේ ආර්ථිකය දුවන්නෙ, විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් වලින් කියලයි. ඔවුනට අපි හොඳින් සලකන්න ඕන. ඔවුන්ව අපි බලා ගන්න ඕන. ඔවුන් ඒ රටවල පුරවැසිභාවය ගත්තොත් කරන්න දෙයක් නෑ. හැබැයි ඔවුන් ද්විත්ව පුරවැසිභාවය අරගෙන ශ්‍රී ලංකාව ගැනත් හිතනවා නං ඔවුන් අපි රැක බලා ගත යුතුයි කියල තමා මම නම් කියන්නේ.

 

 ලංකාව ජාත්‍යන්තරයට ගෙන යා හැක්කෙ කොහොම කියලද ඔබ හිතන්නෙ?

දැනටමත් සමහර ශ්‍රී ලාංකික ව්‍යවසායිකයින් ලංකාව ජාත්‍යන්තරව ජයගෙනත් තියෙනවා. ඒ වගේම දැනුම පදනම් කරගෙන අපේ මිනිසුන් පිට රටවල් වලට ‍යවලා විදේශ වෙළඳපළ ජයගන්න පුළුවන්. උදාහරණයක් විදියට පරිගණක තාක්ෂණය ගත්තොත් කවුරුත් දන්න එකක් අපේ රටේ අයට එහෙ හොඳ ඉල්ලුමක් තියෙනවා.  එතකොට call centers වගේ දේවල් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. අපිත් බලන්න ඕනේ ඒ වැඩ ටික ටික ගන්න.

  දැන් ලෝකය කියන්නේ ලෝක ගම්මානයක්නෙ.  දැන් ලෝකය එකිනෙකාට දැඩි ලෙස සම්බන්ධයි. චීනය පැවතුනොත් ඇමරිකාව පවතිනවා, ඇමෙරිකාව පැවතුණොත් චීනය  පවතිනවා, එංගලන්තයත් එහෙමයි. අපිටත් ඒක එහෙම අපිත් ඒකෙ එක පුරුකක් බවට පත් වෙන්න ඕන. අපේ ශ්‍රමය ටිකක් ගණන්. අන්න ඒ නිසා සමහර ව්‍යාපාරිකයො ගිහිල්ලා තියෙනවා බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් වලට. දැන් නම් මම හිතන්නේ අප්‍රිකානු කලාපයත් ඒක කරමින් ඉන්නවා.  

ඉතින් ඒ දේවල්ම නැතුව  අලුත් දේවල් හිතන්න ඕන. දැන් බලන්න අපි සිංදු වලින් ජාත්‍යන්තරයට යන්න හදනවා. මම නම් කියන්නේ ඒක දිගටම කරන්න ඕනේ. එතකොට එක මොහොතක කෙනෙක්ට චාන්ස් එකක් එනවා. එතකොට චිත්‍රපටි ගත්තොත් අපේ රට ගොඩක් ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණ කරලා තියෙනවා. නමුත් ඒවා ලංකාව ඇතුළෙදි ආණ්ඩුවකින් වත්, ජනතාවගෙන් වත් ඇගයීමට ලක්වෙලා නැහැ.

ශ්‍රී ලංකාවේ අද මාධ්‍ය හරහා විකාශය වන වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන ඔබ මොකක්ද හිතන්නෙ ?

ඇත්ත කතාව තමයි ඒවා ඔක්කොම සාරය ඉවත් වෙච්ච, ජනතාව ඉල්ලන දේවල් දෙන වැඩසටහන් බවට පත්වෙලා තියෙනවා එක. ඒ, මේ යුගයේ ධනවාදය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන හැටි.

ඉස්සෙල්ලා මම කිව්වනෙ ඒවා ඇතුළෙ වැඩ කරන මිනිසුන්ට පුළුවන් ගුණාත්මක දේවල් දෙන්න කියලා. ඒත් ඒ ඒ නාලිකා හිමිකාරිත්වයනෙ තීරණය කරන්නේ මොනවද කරන්න ඕන කියලා. ඒ නිසා අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. තනි පුද්ගලයෙක් ලෙස කරන දේ හැර මුළු සමස්ත නාලිකාවම මාරු කරන එක නෙවේ. ඒ වගේම මුදල මුල්කරගෙන අපේ මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒක තමා මේ දවස් වල මුළු ලෝකෙම තියෙන ක්‍රමය. ඒක ඒ විදිහටම මෙහෙත් තියෙනවා.

හැබැයි ඒ අතරේ මිනිසුන් අතරේ ඉතාමත් ගුණාත්මක දේවල් වලට ඉල්ලුමක් තියෙන බව අමතක නොකර ඉන්න ඕන කියන එක තමා මම විශ්වාස කරන්නේ. ඒ වගේම ගුණාත්මක සමාජයක් කරා යන ගමන ඒ කරන සටන දිගටම කරගෙන යන්න ඕන කියල තමා මම කියන්නේ. ඒක නවත්වන්න හොඳ නෑ දැන් මුළු ලෝකෙම මෙහෙම තමයි, අයිතිකාරය කියන නිසා මේක කරන්නේ, කියලා අපිට ඕක මගහැරල යන්න බෑ. පුළුවන් විදිහට සටන් කරන්න ඕන.

හැමතිස්සෙම සටන් කරපු මිනිස්සු නිසා තමා මේ ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නෙ. නිකම්ම අනේ ඔන්න ඔහෙ කමක් නෑ, කියපු මිනිස්සු නිසා නෙවෙයි, ලෝකෙ මේ දක්වා මේ ශිෂ්ටාචාරය ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ. සටන් කරපු, ජීවිත පූජා කරපු, සමහර විට පරිභව ලබපු මිනිස්සු නිසා. අර ලෝකය වටකුරු කියලා වෙච්ච වැඩේ ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. එතකොට සොක්‍රටීස්ට වෙච්ච වැඩේ දන්නවා ඇතිනේ. ඒ වගේ මිනිස්සුන්ට එහෙම වුණාට ඒ ගොල්ල වැඩේ නැවැත්තුවෙ නෑ. ඒ නිසා තමා මේ ලෝකෙ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ. ඉතින් අපිටත් පුළුවන් ඒ වගේ කෙනෙක් වෙන්න.

ජාත්‍යන්තර මාධ්‍ය වලින් අප ඉගෙන ගත යුතු දේ මොනව කියලද ඔබ හිතන්නෙ?

මම දකින විශේෂ දෙයක් තමා බීබීසී එහෙම නැතිනම් සී එන් එන් වගේ මාධ්‍යයක් ගත්තොත් ඒ අය ප්‍රවෘත්තියක්  ඉදිරිපත් කරනකොට ඒකට අදාල සියලුම මූලාශ්‍ර ඉදිරිපත් කරනවා. ලංකාවේ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්නෙ කතන්දරයක්, ප්‍රබන්ධයක් විදිහට. ප්‍රවෘත්තියක් කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි. සත්‍යයක්, පවතින දෙයක්. ඉතින් ලංකාවේ ප්‍රවෘත්ති කියන්නේ ප්‍රබන්ධ. ඒක ලියන කෙනාගෙ දේශපාලන මතයට , හිමිකරුට වුවමනා විදිහට තමයි ප්‍රවෘත්ති ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක හැමතිස්සෙම ඇත්ත නෙමේ. අපේ රටේ ඉඳගෙන මම ඒක බලනකොට ඒක බොහෝම සාර්ථකයි කියලා මට හිතෙනවා.

අවසාන වශයෙන් නිවේදකයෙක් දැනගත යුතු මූලික කරුණු මොනවද කියල අපි දැන ගන්න කැමතියි.

නිවේදකයෙකු දැනගත යුතුම කාරණාව තමා, ඔබ සමාජයට වග කියන්න ඕනෙ. මේ සමාජයේ ඉදිරි ගමනට හෝ මේ සමාජයේ විනාශයට ඔබ වග කියන්න ඕනෙ. ඒ දෙකටම ඔබ කියනදේවල් බලපාන බව මතක තියාගන්න ඕනෙ. ඉතින් නිවේදකයකු  විදිහට කටයුතු කරද්දි නිතරම නිවැරදි තොරතුරු සමාජගත කරන්න ඕනේ.

නිතරම මිනිසුන්ගේ එකමුතුකම ඇති කරන දේවල් කරන්න ඕනෙ. ජාතිවාදී, ආගම්වාදී, මිත්‍යාව වගේ දේවල් නොකර ඉන්නට උත්සාහ කරන්නට ඕන. බැරි තැන්වලදී ඒක උපක්‍රමශීලීව මගහැරලා යන්න ඕනේ. මම කියන්නේ බැරි එක කරන්න හිතන්නේ නැතිව, පුළුවන් දේවල් කරලා පුළුවන් විදියට මේ සමාජයේ ඉදිරියට ඔසවා තබන්නට කටයුතු කිරීම නිවේදකයෙක් විදියට කරන්න ඕන දෙයක්. මොකද ඔබ වචනයක් කීවට පස්සේ එක ආපහු ගන්න බෑනේ. දැන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තියනවා. අන්න ඒකත්, අපි නිතරම කල්පනා කරන්න ඕනේ.

 ඔබ දැනුවත් පුද්ගලයෙකු බවට පත් වෙන්න ඕනේ. ඔබ වැඩසටහනට ලෑස්ති වෙලා ඒකට අදාල තොරතුරු හොයා ගන්නවා කියන කාරණාවට එහා ගිහිල්ලා. ඔබ නිතරම කියවීම, පරිශීලනය කිරීම, තොරතුරු සොයා යාම, කියන එක කරන්න ඕනේ. එතකොට ඔබ වැඩසටහනක් කරනකොට, යමක් ලියනකොට, අර දේවල් ඉබේම මතුවෙනවා, මතකයට එනවා. ඉතින් එතකොට ඒක හරි ස්වභාවිකයි. ඉතින් ඒ නිසා ඒ දේවල් හැම එකක්ම මේ විදිහට කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ කියන එක තමා මගේ විශ්වාසය. හොඳ හඬක්, ලස්සන පෙනුමක්, සිහින් සිරුරක්, පිරිමියෙක් නම් පිම්බුණු මාංශපේශී විතරක් නෙවෙයි නිවේදකයෙකු හෝ නිවේදිකාවක් වීමට අවශ්‍ය කියන එක මතක තියාගන්න. පෙනුම පවත්වාගෙන යන්න වෙහෙස වුණාට කමක් නෑ. ඒක වටිනවා. ලස්සනට ඉන්න, ලස්සනට දකින්න අපි කවුරුත් කැමතියි නේ. හැබැයි ඒකත් එක්කම මොළේ පාවිච්චි කිරීමත් කරන්නට ඕනේ.

බගේ වටිනා කාලය කැපකරමින් අප හා සම්බන්ධ වීම පිළිබඳව ශ්‍රීLankaNZ වෙනුවෙන් ඔබට ස්තූති කරනවා. ඒ වගේම ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

පිලිසඳර සහ සැකසුම

ගවිත්‍රී යටිගම්මන

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.