fbpx
16.1 C
New Zealand
Sunday, March 16, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

ප්‍රවීණ ගීත රචක නාරද විජේසූරියයන් සමග ශ්‍රීLankaNZ පිළිසඳර

Must read

~~ පිළිසඳරක් with Narada Wijesooriya ~~

අද අප සමග පිළිසඳරට සහභාගි වන්නේ සම්මානනීය ගීත රචකයෙක් , ගුරුවරයෙක්, ලේඛකයෙක් , සංචාරකයෙක්, නිවේදකයෙක් සහ කවියකු ලෙස අප කවුරුත් දන්නා නාරද විජයසූරිය මහත්මයයි.

ඔබගේ විවිධ වූ භූමිකා අතරින් ඔබ වඩාත් ප්‍රියකරන  කරන භූමිකාවක් තියෙනවද?

එකක් කියලා කියන්න ඇත්තටම අමාරුයි. ඒත් මම ගීත රචනයට ගොඩක් ප්‍රිය කරනවා. ඒ වගේම නොදන්න නොගිය පළාත්වලට ගිහින් අත්දැකීම් ලබාගන්න සංචාරය කරන එකත් ගොඩක් කැමැත්තෙන් කරනවා. කවි ලිවීම, පොත්  ලිවීම,  ඒ වගේම නිවේදනය මේ හැම දේම මම සතුටින් කරනවා.

මීට මාස කීපයකට පෙර නවසීලන්ත චාරිකාවක යෙදුණු ඔබ නිල් හීන නම් වූ ඔබගේ නවතම කවි පොත ක්‍රයිස්චර්ච් නගරයේ එළිදැක්වූවා. නිල් හීන කියන්නේ මොන වගේ පොතක්ද කියලා ඔබගේ  රසික රසිකාවියෝ දැනගන්නට කැමැත්තෙන් ඇති. ඒ ගැන පොඩි විස්තරයක් කළොත්?

නිල් හීන කියන්නෙ ඇත්තටම කවි පොතක්.  ඇමරිකාවේ සහ කැනඩාවේ book launch වලට තියාගත් පොත්  කිහිපයක් ඇරුනම මුද්‍රණ සියල්ල අවසන්. මේ පොතේ ගොඩක් අන්තර්ගත වෙන්නේ කවි. හැබැයි සමහර කවි සමඟ පින්තූර එකතු කරලා තියෙනවා කවියේ අර්ථය වඩාත් තීව්‍ර වෙන්න සහ කවිය ලියන්න පාදක වූ පින්තූර ලෙස.  සමහර පින්තූර දැක්කම කවි ලියන්න හැඟීම් හට හටගන්නවා. ඒ වගේ පින්තූර ඒ  පොතේ ඇතුලත් කරලා තියෙනවා. ඒ නිසා කවිය  ලියද්දි මවා ගත්ත චිත්ත රූපය තව කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේ පින්තූර ඇතුළත් වෙලා තියෙන නිසා. මේ පොත නිකම්ම නිකම් කවි පොතක් නෙමෙයි ‘කවි ඇල්බම්’ එකක්, මොකද ඒකේ ඇතුලත් කරලා තියන පින්තූර වලට ලොකු වටිනාකමක් දීලා තියෙනවා.

මට ඇත්තටම හරි සතුටුයි ඒ වැඩසටහන  ගැන. මොකද Christchurch මගේ කිසිම සම්බන්දයක් තිබුන තැනක් නෙමෙයි. මෙල්බර්න් වල නිල් හීන වැඩසටහනට ඇවිත් හිටිය මගේ රසිකාවයකගෙන් තමයි ආරාධනයක් ආවේ මෙයට. ඉතාම ලස්සනට මහන්සිවෙලා ඒ වැඩසටහන සංවිධානය කරලා තිබුණා. ගීතත් සමග තර්කානුකූලව ජීවිතේ ගැන විමසා බලන සාමිචියක් ඒ හැමෝම අත්වින්දා.

නිල් හීන පොත එළිදැක්වීමට අමතරව නවසිලන්ත සංචාරය මොන වගේ අත්දැකීමක් වුනාද?

මෙය නවසීලන්තයට සංචාර කරපු පළවෙනි වතාව නෙමෙයි, හැබැයි පළවෙනි වතාවට තමයි South Island සංචාරය කළේ. තාමත් මිනිස්සු ගිහින් නැති සමහර පැති පවා තියෙන, ලෝකෙ වෙනම හැඩයක් තියෙන පළාතක් විදියට තමයි මම South Island දකින්නෙ. ඒ නිසා ලෝකයේ ස්වභාව සෞන්දර්යය රැකිලා තියෙන තැනක් විදියට මම හිතනවා. ඒ අතරිනුත් මම සිද්ධි/ හැංගිච්ච  කතන්දර තියෙන Wanaka Tree/ Wanaka lake/ Lake Wakatipu  වගේ තැන් සොයා බලන්න අවස්ථාව ලැබුණා.

ඔබ අතින් ලියැවුණු ‘නෙලාගැනුමට නොහැකි වූවද ’ ගීතය ප්‍රේක්ෂකයන් ඉතා කෙටි කාලයකින් ආදරෙන්  වැළඳගත් ගීතයක් වුණා. එම ගීතයේ තියෙන්නේ ටිකක් වෙනස් පද රචනයක්. මේ ගැන වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද ?

මේ ගීතය සම්බන්ධව මට තියෙන අදහස තමයි අපේ රටේ තරුණයෝ විතරක් නෙමෙයි අපේ රටේ මිනිස්සු හරියටම ආදරය කරන්න දන්නේ නැහැ කියලා මම තාමත් විශ්වාස කරනවා.

ඇත්තටම ආදරේ ගැන උගන්වන්න ඉස්කෝලයක් ඕන කරනවා කියලා මට හිතෙනවා.  මොකද මේ ආදරේ කියන්නෙ අපි හිතන් ඉන්න දේ නෙමේ,  අපි ඉගෙන ගත්ත දෙයත් නෙමෙයි, කුඩා කාලයේ දී අප දැක්ක දෙයත් නෙමෙයි ආදරේ කියන්නෙ. මොකද අපි අයිතිකර ගැනීමේ සංකල්පයක් ලෙසයි ආදරය දකින්නෙ. ආදරේදි හැමෝම කසාද බඳින්න ඕනේ කියලා මිත්‍යාවක තමයි අපි ඉන්නෙ. විවාහයකින් පසු දෙදෙනෙක් ආදරය කළ යුතුමයි ඒ ආදරේ වෙනස් නොවිය යුතුමයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වෙනස් වෙන්න හැදුවත් අනිත් පාර්ශ්වය එහෙම වෙනස් වෙන්න දෙන්නේ නැහැ.

වෙනස් වෙන කෙනාගේ  පෞද්ගලිකත්වය නැති කරල  විනාශ කරලා දානවා.  මේ වගේ ආදරේ ප්‍රායෝගිකව විඳිනවා වෙනුවට මිත්‍යාවක තමයි අපි පැටලිලා ඉන්නෙ. අපිට ආදරේ විඳින්න බැහැ, නැත්නම් අපි දන්නේ නැහැ.  තමන් ආදරය කරන කෙනා තමන් පරිභෝජනය කරන දෙයක්, නැත්නම් තමන්ගේ පාලනයේ තියෙන්න ඕන දෙයක් කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නෙ. නමුත් ඉන් පරිබාහිරව අපි අයිති කරකරගත් දෙයකට වඩා අපි රසවිඳින දෙයක් විදියට ආදරේ දකින්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. ආත්මාර්ථය එන එක ආදරේදි වළක්වන්න බැහැ, හැබැයි අනිත්  කෙනාව ආදරේදි සතුටින් තියන්න දැනගෙන ඉන්නවා  නම් හොඳයි.

මම කියන්නේ ආදරේ කියන්නේ දෙන්නෙක් අතර තියෙන  දෙයක් නෙමෙයි. ආදරේ කියන්නෙ තනි කෙනෙක් ගේ ඇතුලෙ තියෙන දෙයක්. මේ ගීතයේදී මම කියන්නේ මම දෙන ආදරයක්, මම විඳින දෙයක්, මම ලඟ තියෙන දෙයක්, මගේ හිතේ තියෙන දෙයක් කියලා. මම කියන්නේ එය ද්විපාර්ශවීය ගනුදෙනුවක් නොවන බව. ළං කරගන්න බැරි උනත් අත්හරින්න බැහැ.

අපේ තරුණ පරපුරට මේ ගීතය දැනෙන්න ඕනා. මම විශ්වාස කරන දෙයක් තමයි ආදරේ කියන්නෙ වෛරයෙන් හෝ තරහින් කෙළවර විය යුතු එකක් නොවන බව. අයිතියික් නැතුවත් ආදරය කිරීම, තමන් ආදරය විඳිමින් සතුටු  වීම කියන්නේ කලාවක්. එය ගවේෂණය කරන්න ඕනා. ආදරය කියන්නේ අනෙකා විනාශ කරන එක නෙමෙයි කියලා තරුණ පරපුර දැනගන්න ඕන.

කලාකරුවකු විදියට නිර්මාණකරණයට ලංකාවෙන් බැහැරව ජීවත් වීම බලපාන්නෙ කොහොමද?

එය තමන්ගේ අරමුණත් එක්ක තමයි තීරණය වෙන්නෙ.  කලාකරුවෙක් වීමම වාසි අවාසි මත තීරණය වෙන දෙයක් නෙමෙයි.

කලාකරුවකු කියන්නේ ප්‍රකාශනය වීමක්. තමන්ගේ නිර්මාණ ජනගත කරනවද නැද්ද කියන තැනදි තමයි ඔය ප්‍රශ්නය මතු වෙන්නෙ.   ඔබ කලාව කරන්නේ මොන අර අරමුණින්ද යන ප්‍රශ්නය මෙතනදි පැන නගිනවා .ඔබ කලාව කරන්නේ අන් අයව සතුටු කරන්න ද ඔබව සතුටු වෙන්න ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මගේ නිර්මාණ මිනිස්සු අතට ගිහින් ජනප්‍රිය වෙන්න ඕනම කියලා එකක් නැහැ. මට මගේ ආත්ම ප්‍රකාශනයක් තියෙන්න ඕන. මගේ ඇතුලෙ තියෙන දේ ප්‍රකාශ කළායින් පසු  ඒක හැම කෙනාම දකින්න ඕන කියන දේ සම්බන්ධව මට පොඩි උපේක්ෂා සහගත අදහසක් තමයි තියෙන්නෙ. මම නිර්මාණයක් කරලා හිර වෙලා තිබුණ දෙයකින් මම නිදහස් වුණා කියන හැඟීමක් තමයි මට වෙන්න ඕන.

හැබැයි යම් තැනකදී අපි කලාව භාවිතා කරන්නේ සමාජගත කරන්න නම් , පිටරටකදී ඒ ප්‍රශ්නය එනවා තමයි. මොකද ලංකාවේ ඉන්නකොට අපිට ලැබෙන අවස්ථාවල් වැඩියි, ප්‍රේක්ෂකාගාරය විශාලයි, අපේ පාඨක පර්ශදය පැතිරුණු එකක්, මාධ්‍ය එක්ක වැඩ කරන්න තියෙන අවස්ථාව වැඩියි.

ඒත් දැන් අන්තර්ජාලය නිසා ප්‍රකාශනය වීමට ලංකාවෙම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. සමහර විට ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට යන්න බැරි තැනකට ලංකාවෙන් බැහැරව ජීවත් වෙන කෙනෙක්ට යන්න පුළුවන් පහසුකම තියෙනවා.

සමාජ මාධ්‍ය තුළ කවි ලිවීමේ  නැඹුරුවක් මේ දවස්වල දක්නට ලැබෙනවා.  ඇතැම් අයට මෙය හොඳ අවස්ථාවක් වගේම, සමහර අයට විවිධ සමාජමය ප්‍රශ්න නිසා සමාජ මාධ්‍ය තුළ තමන්ගේ අදහස්  ඒ අයුරින්ම ප්‍රකාශනය කිරීමේ අභියෝගතා  ප්‍රායෝගිකව තියනවා. එම හේතුවෙන් ඔවුන්ගේ හැකියාවන් නැතිවී  යාමට ඉඩත්  තිබෙනවා.  මේ සම්බන්ධයෙන් ඔබ දරන මතය දැනගන්න කැමතියි.  

කවියක් ලියන්න පුලුවන් කෙනෙකුට ඒ හැකියාව නැති වෙලා යනවට වඩා බරපතලයි කවියක් ලියන්න බැරි කෙනෙක්ගෙ නිර්මාණයක් කවියක් කියලා අගය කිරීම කියලා මට හිතෙනවා. මේ ගැන සමාජ මාධ්‍ය සම්බන්ධ කරගෙන කතා කරපු නිසා මම කියන්න කැමතියි කවියක් ගීතයක් ඇතුලෙ තියෙන්නෙ ලක්ෂණ මොනවද කියලා හරි අධ්‍යනයක් නැති ආධුනිකයෝ කවි ලියන්න උත්සාහ කරනවා, ඒක හරි හොඳ දෙයක් හැබැයි එහෙම ලියන්න උත්සාහ කරන කෙනාගේ මට්ටමට සමාජ මාධ්‍ය තුල ලැබෙන ප්‍රතිචාර නිසා ඔවුන් රැවටීමකට ලක් වෙනවා.

මෑතකදී ලංකාවේ දකින්න ලැබුන දෙයක් තමයි සමාජ මාධ්‍ය හරහා ලියන්න ගත්ත අතලොස්සක් නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ විදිහට සමාජගත කරන  දේවල් හරිම පහත්, ඒවායේ නිර්මාණශීලී ගුණයක් හෝ රසයක් ඇත්තෙනම නෑ. ඒ අයට තමන් පිළිබඳ හරි තීරණයක් ගන්න විනිශ්චය මණ්ඩලයක් හමුවෙලා නැහැ, උපදෙස් දෙන්න පුළුවන් ගැඹුරු පරිචයක් තියෙන මිනිසුන් හමුවෙලා නැහැ‍.සමාජ මාධ්‍යවල වාසි ගොඩක් තියෙනවා නමුත් එක අවාසියක් තමයි කවියක්, ගීතයක් පිළිබඳව නිවැරදි දැනුමක් නැති අය විනිශ්චය මණ්ඩලය බවට පත්වෙනවා. ඒ විනිශ්චය වැරදි විනිශ්චයක් නිසා කවදාහරි මලක් පිපෙන්නේ තියෙන පොහොට්ටුව  අකලට විනාශ වෙලා යනවා.  කවිය ගීතය කියලා අලුත් පරපුර දකින දේ ඇත්ත කවිය ගීතය නෙමෙයි. ඒකෙන් අපේ සාහිත්‍යයට වෙන පාඩුව අතිශයින්ම බරපතලයි කියලා මම විශ්වාස කරනවා.

SrilankaNZ ආරාධනාව පිළිගෙන ඔබගේ අදහස් අප සමග බෙදා ගත්තාට අපගේ ස්තුතිය. ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවායි සුබ පතන අතර ඉදිරි අනාගතයේ ඉක්මනින්ම නැවත නවසිලන්ත සංචාරයකට පැමිණ ඔබගේ  රසික රසිකාවියන්  මුණගැසීමට අවස්ථාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

*** *** ***

Interviewed by Achala Nelunika

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.