fbpx
9.7 C
New Zealand
Saturday, September 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීයක් ඇසූ පමණින් අප කවුරුත් හඳුනන ඇය – නිරංජලා සරෝජිනී

Must read

මෙවර අප හා සාකච්ඡාවට එක් වූයේ ප්‍රවීන ගායන ශිල්පිනියක් වන නිරංජලා සරෝජිනී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන්ස් පුවත්පත වෙනුවෙන් ස්තුති කරමින් අපි ඇය පිළිගනිමු.

රූපවාහිනී වැඩසටහන්වල ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට සහ ගුවන් විදුලියේ විවිධ හඬ නාට්‍යවලට වගේ බොහොමයක් කලා කටයුතුවලට ඔබ තුමිය දායක වෙලා තියෙනවා.  ඉතින් මේ දවස්වල කොහොමද දවස ගෙවෙන්නෙ?

මේ වසරට අවුරුදු පහළොවක් වෙනවා මගේ මහත්තයා අප අතරින් වියෝ වෙලා. මම සජීවී ගීත ගායනයෙන් බැහැර වුනේ එදා ඉඳන්. ඉතින් මම දැන් මගේ ජීවිතේ හැඩගහගත්තා වෙන විදිහකට. තනියම ජීවිතයට හුරු වෙලා තියෙන්නෙ දැන් මම. ගායනයෙන් බැහැර වුණත්  විවිධ හඬ දායකත්වය සපයන වැඩසටහනට සහභාගි වෙනවා. ඉතින් ඒ ඔස්සේ මම මගේ රසිකයන් අතර තාමත් ඉන්නවා කියලා මට හිතෙනවා.

අපි පොඩ්ඩක් ආයේ අතීතයට ගිහිල්ලා බලමු ද? ඔබතුමියගේ අධ්‍යාපන ජීවිතය කොහොමද හැඩ ගැස්වුණේ, ඔබතුමියගේ ළමා කාලය ගැන?

මුලින්ම කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඒක මිශ්‍ර පාසලක්, මං අටවෙනි ශ්‍රේණි දක්වා එම පාසලේ තමා අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළ දක්වා නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ දෙවැනි වර කරන්න මම පැපිලියානෙ සුනේත්‍රා දේවී බාලිකා මහා විද්‍යාලට ගියා. ඔය විදිහට මම අධ්‍යාපනය පාසල් තුනකින් නිමා කළා.

මගේ කුඩා අවදියේ ගෙදර තිබුණ කලා කටයුතුවලට එකතු වෙච්ච පරිසරයක්. මගේ අම්මයි තාත්තයි ගොඩාක් කලාවට ලැදි දෙන්නෙක්. මව ගෘහණියක් වුවත් ඇයට හොඳ ලිවිමේ හැකියාවක් තිබුණා. ඈ තමයි අපි හැමෝම කලා කටයුතුවලට ඉස්සරහට අරන් ගියේ.

මගේ පියා ඉංග්‍රීසි පුවත්පත් කලාවේදීයෙක්. ඔහු නිතරම පුවත්පත්වලට ලිපි සැපයුවා. ඉතින් අපිට ඒ දෙපළගෙන් ලැබුණු දායකත්වය උඩ තමයි මේ කලා ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. ආචාර්‍ය නන්දා මාලිනී මහත්මිය, අපේ මල්කාන්ති අක්කාගෙ හිතවතියක්. ඉතින් ඇයගේ ඒ හිතවත්කම නිසා ඇය අපේ ගෙදරට පැමිණෙනවා. ඒ අවදියේ  ඇයට සංගීතමය නාට්‍යයක් කරන්න පටන් ගන්න අදහස තිබුණා. ඉතින් ඒකට මාවත් අක්කාවත් ගන්න පුළුවන්ද කියලා අපේ දෙමව්පියන්ගෙන් ඇවිල්ලා අවසර පැතුවා. අපේ දෙමව්පියොත් හුඟාක් කැමති වුණා. ඒකට කැමති වෙලා ඒ නාට්‍යය ලංකාව පුරාම වේදිකා ගත කෙරුනා ‘රුවැති ළඳක්’ නමින්. ඒ අයුරින් තමයි කුඩා කාලයේම කලා කටයුතුවලට සම්බන්ද වෙන්න ලැබෙන්නෙ. එහෙම  තමයි මං හිතන්නේ මගේ කටහඬ අවදි වුණේ. නන්දා අක්කා තමයි මගේ හඬ අවදි කරලා ගත්තේ.

ඔබතුමිය  ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පිනියක් වගේම රූපවාහිනිය තුළත්  දක්ෂතා දැක්වූවා. මේ මාධ්‍යයන් දෙක ගත්තහම ඔබතුමිය වැඩිපුරම කැමත්තක් දැක්වුවේ කුමකටද?

මම මේ මාධ්‍ය තුනටම කැමැතියි එකක්වත් බැහැර කරන්න බැහැ. මොකද මම මේ ක්ෂේත්‍ර  හැම එකකින්ම ඉදිරියටම ගිය කෙනෙක්. ගුවන් විදුලි නිවේදන කටයුතුවලටත් රූපවාහිනී වැඩ සටහන්වලටත් මම එක සේ ලැදියි. නමුත් ඊට වඩා මං හිතන්නේ මගේ නම ජනප්‍රිය වුණේ ගායිකාවක් හැටියට.ඉතින් මං ඒ ගායනයට බොහෝ සේ ඇලුම් කරනවා.

එකල රූපවාහිනිය අසූ දෙකේ අපේ රටට ප්‍රවිෂ්ට වෙන්න කලින් ගුවන් විදුලියෙ හැත්තෑව දශකයේ ඉඳලම මම ළමා පිටියේ සහභාගි වුණා. ඒ අතරතුර ළමා ශිල්පිනියක් ලෙස නාට්‍ය ගණනාවකට සහභාගි වුණා.  ඒ කාලයේ ගුවන්විදුලියේ තිබුණු නාට්‍ය ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළා. මම ගොඩක්ම රසිකයින් අතරට ගියේ ‘රජමුතු’ නාට්‍යයේ මුතුගේ චරිතයෙන්. ඉන්පසු රූපවාහිනි 1982 අපේ රටට  ආවට පස්සේ 1989 වෙනකම් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළා. මම ගුවන් විදුල සහන නිවේදිකාවක කටයුතු කරමින් ඉන්නකොට තමයි රූපවාහිනී සංස්ථාවේ පළවෙනි සභාපති  M.J පෙරේරා  මැතිතුමා ආරාධනාවක් කළේ මට.

ඔබතුමියට ඒ අත්දැකීම් සමග සුන්දරම මතක පෙළක් අනිවාර්යයෙන් ඇති. අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් මතකයන් කීපයක් අවදි කරන්න පුළුවන්ද ?

මතකයන් අවදි කරනවා නම් 1974 වසරට යන්න ඕන. මම ගායිකාවක් හැටියට සරල ගී සමත් වෙලා මට ලැබෙන පළවෙනිම සංගීත වැඩසටහන. එහිදී මට ගීත හතරක් ඉදිරිපත් කරන්න ලැබෙනවා. ඒ කාලේ ප්‍රේම කීර්ති ද අල්විස් මහත්මයාව හොදින් හඳුනන නිසා මටත් ගීයක් රචනා කරන්න කියලා ඔහුගෙනුත් ඉල්ලීමක් කරා.

නමුත් ඔහුට ඒ කාලේ තිබිච්ච කාර්ය බහුලත්වයත් එක්ක ඒක කරගන්න බැරි වුණා. පටිගත දවස වෙනතුරුම ගීතය ලියාගන්න බැරි වුණා. අනිත් ගීත තුන තමයි දයා අක්කා රචනා කළ ‘අකලට වට මහා වරුසාවක් සේ’, මහාචාර්ය සුනිල් ආරියරත්න වික්ටර් අයියාටයි මටයි යුග ගීතයක් ලියලා දුන්නා  ‘සමාවන්න මට දමා යන්න ඔබ තුන් සිතකින් වත් නෑ සිතුවේ’. අනිත් ගීතයත් සුනිල් අයියාම ලියපු  ‘දිය පිට ඇන්ද ආදර සිතුවම්’. එක ගීතයක අඩුපාඩුවක් තිබුණ. ඉතින් කලින් දවසෙ ප්‍රේම් අයියා කතා කරලා කියනවා නංගි හෙට උදේම මං එනවා වික්ටර් අයියගෙ ගෙදරට. ඉතින් අපි පහුවදා පාන්දර හයට යද්දි ගීතය රචනා කරලා වික්ටර් අයියා තනුවකුත් දාලයි තිබ්බෙ. ඒ ගීය තමයි ‘ලොව නිසසල වී නවතින මොහොතේ’. අදටත් ජනප්‍රිය ඒ ගීය සහ ඒ සිදුවීමත් ගැන මට කවදාවත් අමතක් වෙන්නෙ නැහැ. සරල ගී උදේ අට හමාරට පටිගත කරන්න ඒ ගීය මට පුරුදු පුහුණු වෙන්න ලැබුණේ එදා උදේ. ගායිකාවක් හැටියට එය තමා අමතක කරන්නම බැරි සිදුවීම.

හැත්තෑව දශකය තමයි අපි දන්න ස්වර්ණමය යුගය. සරල ගී ප්‍රචලිත වෙනවාත් එක්ක සිංහල ගිත ජනතාව අතර බොහෝ ජනප්‍රිය වුණා. බොහෝ ගැඹුරු මෙන්ම අර්ථාන්විත ගීත, චිත්‍රපට ඒ කාලෙ සමාජගත වෙලා තියනවා. ඔබ තුමියට ඒ අත්දැකීම් එක්ක වර්තමාන කලා නිර්මාණ ගැන තියෙන්නේ කුමන අදහසක් සහ දැක්මක්ද?

ඇත්තටම හින්දි ගීත අනුකරනයෙන් බැහැර වෙලා සිංහල ගීත ඉදිරියට ගෙන යන්න ලැබුණේ හැත්තෑ දශකයේ සිට තමයි. ජාතික ගුවන් විදුලිය අපේ නිර්මාණ හැකියාවලට හොඳ අවස්තාවක් ලබා දුන්නා.  අපිට ඒ කාලෙ ලැබුණෙ ගොඩක් අර්ථවත් ගීත. දැන් කාලේ ගොඩක් අර්ථ ශුන්‍ය ගීත තමයි අහන්නට ලැබෙන්නෙ. අනික ගුවන් විදුලිය විශ්ව විද්‍යාලයක් වගේ අපිට, මහා විද්වතුන් ඇසුරු කරන්න ලැබුණා. පෞද්ගලික නාලිකාවල පැමිණීමත් එක්ක හුඟාක් දුක හිතෙනවා දැක්කම. අද ජාතික ගුවන්  විදුලිය පාළු හුදකලා තත්වයකට පැමිණිලා. අද කාලේ මම දකින්නේ බොහෝ විට වේදිකාව ඉලක්ක කරගෙන ගීත හදාගන්නව කියලයි. සංගීතඥයෝ වුණත් අපිට ඒ කාලේ ඉතාම මියුරු තනු නිර්මාණය කරලා දුන්නා. ඉතින් ඒ ඔස්සේ තමයි අපේ නම අපිට හදාගන්න පුළුවන් වුණේ. අපි හැමතිස්සේම ස්වතන්ත්‍ර නිර්මාණ පමණමයි ගැයුවේ. ඉන් පස්සේ අපිට නිතර අහන්න ලැබෙන හින්දි අනුකරන ගීත. ඒ තුළින් ජනප්‍රිය වුණත්  තමන්ගෙ ගීතයකින් රසිකයන්ට යනවා තරම් දෙයක් නැහැ. අද ඇහෙන ගීත හොඳ නරක දෙකම තියෙනවා. නමුත් තෝරා බේරා ගැනීම රසිකයින්ට බාරයි. ඉතින් මම හිතනවා අපේ නම අවුරුදු 30ක් 40ක් රසිකයන් අතර තියෙන්නේ අපි තෝරා ගත්තු ඒ පද රචනාවල තිබිච්ච අර්ථවත් බව සහ ඒ ගායන හැකියාවත් සංගීතඥයන්ගේ තිබුණ ඒ හැකියාව උඩ තමයි. මං හිතන්නේ අපිට ඉදිරි ගමනක් එන්න පුළුවන් වුණේ ඒකයි .

අපි උත්සාහ කළා හැම විටම විවිධ ගීත ගායනා කරන්න. මව් ගුණ ගීත, පියගුණ ගීත,දේශාභිමාන ගීත, ආදර ගීත. අපි හැම ගීයකටම  සාධාරණය ඉෂ්ට කරන්න තමයි බැලුවේ.  ඒ අර්ථය උකහාගෙන අපි ඒකට භාවය දෙන්නෙ කොහොමද කියන එක තමයි හැමතිස්සෙම උත්සාහ කළේ. ඉතින් ඒ අනුව තමයි මම හිතන්නේ අපේ ගීත රසිකයෝ පිළිගත්තෙ.

ඔබතුමියගේ පළවෙනි වතාවටම පටිගත කෙරුණු ගීතය සහ අවසාන වතාවටම පටිගත කෙරුණු ගීතය සහ ඒ කාලවකවානු ගැන මතක අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් ද?

ළමා ශිල්පිනියක් විදියට මම පටිගත කළ මුල්ම ගීතය තමයි මුවන්තිස්ස කුමාරයාගේ කතන්දරේ කියන්නම් ළඟින් ඉඳන් පුංචි නගෝ බත් දෙකටත් කවන්නම්. මේ ගීතය රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහයන් සංගීතවත් කළේ මහාචාර්ය සනන් නන්දසිරි.

ඉන් පසුව 1973 මහාචාර්‍ය සුනිල් ආරියරත්න රචනා කළ සංගීතවේදී වික්ටර් රත්නායකන් සංගීතවත් කළ කවුද ආවේ ඔබට හොරා අබේ සමග පටිගත කළ යුග ගීය.

අවසාන වශයෙන් ගැයූ ගීත පෙළක් තියෙනවා. මොකද අබෙත් මමත් සංයුක්ත තැටි 13ක් නිර්මාණය කළා. අබේ-නිරන්ජලා විශිෂ්ට ගී අංක එක දෙක තුන වශයෙන් දහ දහතුනක්. ඉතින් ගීත තැටි 12ක් නිකුත් වෙලා ඉන් පස්සේ ඔහු අසනීප වූ කාලේ ඉතුරු තැටි මට එළිදක්වන්න පුළුවන්කමත් තිබුණේ නෑ. ඒ තැටියට තමයි අන්තිමටම අපි ගායනා කළේ. නමුත් අබේ 2010 නැති වෙනවා. ඉන් පස්සේ මම ජෝන් ද සිල්වා සමරු රඟහලේ අප ගැයූ ප්‍රේම් ගේ ගී සංගීත තැටිය එළි දැක්වූවා ඉතාම උත්සව ශ්‍රීයෙන් පැවැත් වූවා. ආයෙමත් පදනම් ආයතනය විසින් රන්දිවයින හැටිය නිකුත් කළා. එයට  අපේ පැරණි ගී වගේම අලුත් ගීතත් ඇතුලත් වුණා. එහි තමයි අවසාන වශයෙන් ගැයූ ගී තියෙන්නෙ.

නවසීලන්තෙයේ ඉන්න ඔබගේ ප්‍රේක්ෂකයන්ට මේ ගී අහන්න තියෙන අවකාශය ගැන අපි මතක් කරමුද?

ඔව්, ඇත්තටම අපිට Youtube පිටුවක් තිබෙනවා අබේ නිරංජලා විශිෂ්ට ( Abey Niranjala Official ) ගී නමින්. එහි සියලුම ගීත ඇතුලත් කරලා තියනවා.ඊට අමතරව  මම ගිය අවුරුද්දේ අබේ වෙනුවෙන් අප දෙදෙනා ගැයූ ගීත අඩංගු නාමාවලිය අඩංගු ගීත පොතක් පල කළා. අප දෙදෙනාගේ ජීවිත කතාව ඇතුළත් පොතක් ඒක. අපේ ඡායාරූප වැනි සියලුම දේවල් එක් රැස් කරලා පොතක් නිකුත් කරන එක කාලෙක සිට මගේ හිතේ තිබුණ බලාපොරොත්තුවක්. ඒ ඔස්සෙ අබේ නිරංජලා සුසංයෝගය නමින් පොතක් මුද්‍රණය කළා. අපි දෙදෙනා ගැයූ ජනප්‍රියම ගීත 100 ක් පමණ සහ අපේ ඡායාරූප, ගීත නාමාවලියක් තියෙනවා. දැන් දෙවන මුද්‍රණයටත් යන්න සූදානමින් ඉන්නෙ මම. තවත් විශේෂත්වයක් තමයි ගීත රචකයින් ඔවුන්ගේ අත් අකුරින් ලබා දුන්න මුල්ම ගීත පිටපත් මෙහි ඇතුලත්.

ඔබගේ ගීත දැන් ගායනා කරන්නෙ ඔබගේ සහෝදරියන්ගේ දියණියන්. එය ඔබට දැනෙන්නෙ කොහොමද? 

මගේ සහෝදරියගේ දූවරුන් දෙදෙනාට මගේ ගී ගායනා කරන්න අවසර දීලා තියෙනවා, පවරලා නැහැ. ඇත්තටම මම හරි කැමතියි මගේ ගීත ගායනා කරනවාට, විකෘති නොකර.  මම ඔවුන්ගෙන්  එක ඉල්ලීමයි කරලා තියෙන්නෙ ගීත ගායනා කරද්දී මගේ හරි අබේගෙ හරි ගීයක් නම් අපේ නම් සඳහන් කරන්න කියලා. අපි ගොඩක් කැප කිරීම් කරලා ස්වඋත්සහයෙන් තමයි ක්ෂේත්‍රයේ නමක් හදාගත්තේ. ඉතින් ඒ ගීත අමතක වෙලා යනවට වඩා රසිකයන් අතරට අදටත් යන එක ගැන ගැන මම සතුටුයි. මගේ කිසිම අකැමැත්තක් හෝ ඊර්ෂ්‍යාවක් නෑ මගේ ගී තව කෙනෙක් ගයනවට.

ඔබ මෙතෙක් ගත කළ ජීවිතය සහ දැන් ගතකරන ජීවිතය ගැන අදහසක් රසිකයින් දැනගන්න කැමති ඇති.

මම මගේ ජීවිතේ ගැන හරිම තෘප්තිමත්. මොකද ලබන්න පුළුවන් හැම දෙයක්ම වගේ මට ලැබුණා. මගේ දෙමව්පියන්ගෙන් වගේම මගේ සැමියත් එක්ක හිටපු කාලෙත් මට ආදරෙන් නොඅඩුව ලැබුණා. රටවල් 25 ක පමණ සංචාරය කරලා තියෙනවා. රසික ප්‍රතිචාර, ආදරය ගොඩක් ලැබුණා. මම ගායිකාවක් හැටියටත් බිරිඳක් හැටියටත් ගොඩක් වාසනාවන්තයි. පණ්ඩිත් අමරදේවයන්ගේ ඉඳලා මෑත පරපුර සමග මට ගයන්න අවස්ථාව ලැබුණා. ඒ ගායනය පැත්තෙන්.

බිරිඳක් ලෙස මම අදටත් මගේ හිත ධෛර්යය කරගෙන ඉන්නේ. මට පුළුවන් හැටියට ඔහු ඔත්පල වෙලා ඉන්නකොට මම සැලකුවා. මම අමාරුවෙන් හිත හදා ගත්තා ඔහුට පෙන්නුවෙ නෑ මගේ හිතේ තියෙන දුක. වෛද්‍යවරු වගේම මමත් ගොඩක් උත්සහ කරා ඔහුගේ ජීවිතය බේරගන්න. ඒත් 2010 ඔහු අපෙන් සමු ගත්තා. ඉතින් එදා ඉඳලා මම හිතා ගත්තා මගේ ගායන ජීවිතේට ලොකු වූ පිටිවහලක් රුකුලක් වූ ඔහු මට  මගේ පසුපසෙන් ඉඳලා මගේ නම හදාගන්න ගොඩක් ශක්තියක් වුණා. ඔහුට මේ රෝගී තත්ත්වය නිසා හඬ නැතුව ගියා. මම දැක්කා ඔහු විඳපු දුක. ඒ ගැන ඒ හිතල තමයි මම හිතුවේ කවදා හරි ඔහු සමු ගත්ත දවසට මමත් මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කරනවා කියල.

ඉතින් 2010 සිට මේ දක්වාත් මම මිය යන තුරුත් මම මේ ප්‍රතිපත්තියෙ තමයි ඉන්නෙ. මම ජීවිතේ ගැන කලකිරිලා නැහැ. මොකද අපිට දෙවියන් වහන්සේ හැමදේම දීලා තියෙනවා. දරුවෙක් නැති වුණත් දරුවන්ගේ ආදරය මම ලබලා තියෙනවා මගේ සහෝදරයන්ගේ දරුවන්ගෙන්.

ශ්‍රී  ලංකන්ස් වෙනුවන් තම වටිනා කාලය අප සමග බෙදා ගත් ඇයට අපගේ ආදරය සහ නිරෝගී අනාගතයක් ප්‍රර්ථනා කරනවා !

සාකච්ඡා කළේ:-  ඔසඳ යොහාන් – ශ්‍රී ලංකාව
ලිපිය සකස් කළේ:-  අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.