fbpx
8.7 C
New Zealand
Tuesday, May 24, 2022
spot_img

සමාජ සේවය, සම්ප්‍රදාය දෝතින් ගත් වෙලිංටන්හි කිවි ලාංකිකයා – සඳුන් කිතුලාගොඩ

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පිළිසඳර විශේෂාංගය සඳහා මෙවර අප හා එක්වන්නේ වෙලින්ටන් රෝහලේ බාහිර නිර්වින්දන ශිල්පියෙකු (Anaesthetic Technician) ලෙස සේවය කරන නවසීලන්තය පුරා මිතුරු මිතුරියන් රාශියක් සිටින සඳුන් කිතුලාගොඩ මහතාය.

පළමුවෙන්ම අපි කැමති ඔබගේ වර්තමාන තොරතුරු ටිකක් දැනගන්න.

මගේ පවුලේ විස්තර කියනවා නම් බිරිඳ අසේනි, වැඩිමහල් දියණිය අරෝහා, පුතා සහන් සහ අපේ සුරතලා. ඒ අය තමා මගේ පවුල. ඊට අමතරව මගේ එකම සහෝදරයා නඳුන් කිතුලාගොඩ සහ මගේ අම්මා. ඒ එක්කම මගේ නෑදෑයන් සහ අසේනිගේ නෑදෑයන් නවසීලන්තයේ සිටිනවා. ඒ නිසා අපි ලොකු පවුලක් ලෙස මෙහි ජීවත් වෙනවා. ඒක අපිට ලොකු හයියක්.

මගේ රැකියාව ගැන කතා කළොත් මම  වෙලින්ටන් රෝහලේ තිස්වසරක් සේවය කරනවා. මේ කාලය පුරාම සතුටින් විවිධ අත්දැකීම් ලබා ගනිමින් ගොඩක් දේවල් කරමින් ඉන්නවා. බිරිඳත් හෙදියක් ලෙස සේවය කරනවා.

වසර  තිහක් කියන්නේ ඉතාම දීර්ඝ කාලයක්. ඒ කාලේ තුළ ඔබ ලැබූ ඉමිහිරි අත්දැකීම් මොනවාද?

ඉමිහිරි අත්දැකීම් නම් රාශියක් තියෙනවා. ලබපු ඉමිහිරිම දේ තමා, එදාට වඩා අද වන විට අපට විශාල ශක්තියක්, බලයක්, හයියක් දැන් තියෙනවා. අපිට කරන්න බැරි දේවල් දැන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අලුතෙන් එන ශ්‍රී ලාංකික පිරිස ලබාදුන් ජීව ශක්තිය අප සමඟ බෙදා හදා ගැනීම නිසා. වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වීමට මෙන්ම අපිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විවිධ වැඩ කිරීමට හැකියාව ලැබුණා. එවැනි අත්දැකීම් රාශියක් තියෙනවා. 

එක්සත් ශ්‍රී ලංකා සංගමයේ  සභාපතිව ඉන්න කාලේ  තරුණ පිරිස සමග වැඩ කිරීමේ අවස්ථාව ඔබට ලැබුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මම වසර තුනක් සභාපති ධුරය දැරුවා. නමුත් නවසීලන්තයට පැමිණි දා සිටම මම සිටියේ එක්සත් ශ්‍රී ලංකා සංගමය සමඟයි. මම එක දෙයක් දකිනවා, මට තියෙන්නෙ එක රටයි. ඒ තමයි ලංකාව. මට ඉන්නෙ එක අම්මයි. ඒ මම බිහිකරපු අම්මා. මට තියෙන්නේ එක සංගමයයි. ඒ තමා එක්සත් ශ්‍රී ලංකා සංගමය. සභාපති ධූරයට අමතරව මම උපලේකම් වරයෙක් විදිහටත් කොමිටි එකේත් වැඩ කළා. ඒ දෙකේම වැඩ නොකරපු කාලේ ගුවන් විදුලියේ වසර විසි හතරක් සේවය කළා. ඊට අමතරව මේ ජන සමාජයට සහ එක්සත් ශ්‍රී ලංකා සංගමයට මගෙන් විය යුතු  උදව් උපකාර හැම අතින්ම මම කරලා තියෙනවා. මට කියන්න බැහැ මම  සභාපති ධුරය දැරූ වසර තුන මගේ කියලා. මම දකින්නේ ඒක අපේ අවුරුදු තුනක් හැටියට. ඊට හේතුව, මම කියලා කරපු කිසිම දෙයක් නෑ. ඒක ඇත්ත වශයෙන්ම කළේ පරණ හිටපු වැඩිහිටි නිලධාරීන් හා තරුණ නිලධාරීන්.

මම සභාපති ධූරයට පත් වන විට මහා සභාවෙන් මම ඉල්ලීමක් කළා සංඛ්‍යාත්මකව නොවි වැඩ කරන්නට කැමති අයට නිලධාරි මණ්ඩලයට මාත් එක්ක එන්න අවස්ථාව ලබා දෙන්න කියලා. මගේ අදහසට මහා සභාව ඉඩදුන්නා. මට මතකයි පළවෙනි අවුරුද්දෙ කොමිටි එකේ විස්සක්පමණ සිටියා. ඒ හැමෝම තරුණ ළමයි. ඒ තරුණ පිරිසත් සමග වැඩිහිටි, පළපුරුදු අයත් එක්ක එකතු වෙලා කරපු දේවල් කියලා නිම කරන්න බැහැ. අලුත් අයගේ අදහස්, හැකියාවන්, නව නිර්මාණ අපිට විතරක් නෙවෙයි මුලු ජන සමාජයටම එයාලා පෙන්නුවා. ඇත්ත වශයෙන්ම මම දෙයක් කළා නම් එය අල්ප මාත්‍රයක්. අපේ අනන්‍යතාවය පෙන්නුම් කරමින් නොයෙක් වැඩසටන් කළා. ශ්‍රි ලංකාවට මෙන්ම වෙනත් රටවල්වලට උදව් උපකාර කරන්න හැකි වුණා.

ඔබ තරුණ අදහස් එගොඩ මෙගොඩ යා කරන පාරුවක් මෙන් භාවිතා කළා. ඔබගේ අවසන් අවුරුදු අවුරුදු දෙකේ දී මමත් නිලධාරි මණ්ඩලයේ සිටියා. ඔබ අපිට ශක්තියක් වුණා, ඔබ නොකිව්වට.

නිහතමානීව ඔබ එසේ පැවසුවත් ඔබලා සිටීම මට ශක්තියක් වුණා. මට තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. කසුන්ට මතක ඇති ඒ කාලේ වැඩිහිටි අයත් හිටියා. ඒ අයත් කිසිම තරාතිරමකින් තොරව තරුණ අදහස් එක්ක එක හා සමානව අරගෙන ඒ අයත් සමඟ එකට වැඩ කළා. ඒ සමබරතාවය තමා විශාල රුකුලක් වුණේ වෙලින්ටන් නගරයට. 

ඒ කතාව ඇත්තටම වැදගත්. අපි එකට වැඩ කළොත් තමයි එහි සාර්ථකත්වය හා අග්‍රඵලය ලබාගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඔබගේ වෙලින්ටන් ජීවිතය ගත වෙද්දී අපි කැමතියි දැනගන්න ඔබගේ අතීත විස්තර.

අතීතය තමා ඉතාමත්ම වැදගත්. මොකද හෙට අපිට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපේ අතීතය අපෙන් අයින් කරන්න බැහැ. අතීතයේ වෙච්චදේවල් තමයි ජීවිතේ රසවත් දේවල්. නවසීලන්තයට වසර තිස් දෙකකට ඉස්සර එද්දි මෙහේ හිටියේ ඉතා සුළු පිරිසක්. ඒ කාලේ මට කරන්න පුළුවන් දේවල් ඉතාම අඩුවෙන් තිබුණේ. පුංචි මුදලක් අතේ තියන් තමා මෙහාට ආවේ. එහෙම ඇවිත් තමා ජීවිතය ගොඩනගන්න උත්සාහ කළේ. මෙහෙට එන්න හේතුව තමා මගේ ආදරණීය බිරිඳ. 

මම මෙහේ අධ්‍යාපනය හදාරන්න කලින් මාස තුනක් විතර කිරි ගොවිපලක වැඩ කළා. ගොවිපලේ වැඩ කළාට මුදල් දුන්නේ නැහැ. හැබැයි කන්න, බොන්න, ඉන්න දුන්නා. මාස තුනකට පස්සෙ අධ්‍යාපනය හදාරන්න වෙලින්ටන් එද්දී ගොවිපල අයිතිකරු මට බයිසිකලයකුයි වත්තෙ වැඩ කරන ටූල් වගේකුයි දුන්නා. මම වෙලින්ටන් ඇවිත් පත්තරේ ඇඩ් එකක් දැම්මා “Gardener looking for a job” කියලා. හැබැයි Gardening ගැන කිසිම දැනුමක් තිබුණෙ නැහැ. වැඩ කරන්න යන හැම තැනකදීම මම කිව්වා මට   කරන දේ කිව්වොත් කරන්න පුළුවන්, කියලා. මෙහෙම පටන් අරගෙන යද්දී මට දවස් හතේම Gardening වැඩ තිබුණා.මගේ අධ්‍යාපන කටයුතුත් සමග මේවා වෙනස් වුණා. ඊට පස්සේ රෑට හෝටල්වල වැඩ කළා. පිඟන් හෝදන්න. දවල් වරුවේ housekeeping කළා. ඇඳවල් හදන්න, ටොයිලට් සුද්ද කරන්න වගේ වැඩ කළා.

 ඒ  වගේ මම නොකරපු දෙයක් නෑ. හැමදේම කළා. හැබැයි ඒ හැම දේම කළේ හරිම ආසාවෙන්.  මම ඒ වෙනුවෙන් සීයට දෙසීයක් පරිත්‍යාග කළා. ඒ ගැන අදටත් මතක් කරන විට සතුටුයි. ඊට හේතුව තමා අපි විශාල මහන්සියක් ගත්තා ජිවිතේ ගොඩනඟා ගන්න. ඉන් පස්සෙ තමා මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා වෙලින්ටන් රෝහලේ සේවයට බැඳුණේ. අදටත් මම සතුටින් රැකියාව කරනවා. ජිවිතේ ලැබු විශාලතම තෘප්තිය තමා නවසීලන්තයට ඇවිත් ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනය ගත්ත එක.

ඔබගේ මේ අදහස් මෙහෙට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න හා ඇවිත් ඉන්න අයට ලොකු ශක්තියක්.

තව දෙයක් එකතු කරන්නම්, මොකද මෙහෙ එන අයට දැනගන්න හොඳයි කියලා කියපු නිසා.  බිරිඳත් මමත් මෙහේ ඇවිල්ලා අමාරුවෙන් තමයි ජීවත් වුණේ. පුංචි පුංචි රස්සාවල් කරලා තමා මුදල්  හොයා ගත්තේ. ඒ නිසා ඒ හැම සතයක් අපිට වටිනවා. ඒ කාලේ අපිට හෝටල්වලට ගිහින් කන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. මම ලංකාවෙන්  එද්දි ඉතාම මධ්‍යම පංතියේ පවුලක කෙනෙක්. ඒ නිසා මෙහෙ එද්දි ලොකු මුදලක් තිබුණෙ නෑ. මට මතකයි ඒ දවස්වල බිරිඳත් මමත් වැඩ ඇරිලා එද්දි පොරිරුආ පැත්තෙ තියෙන කේමාර්ට් එකේ තියන Food Court එකට යනවා. ඒකෙ හවස පහෙන් පස්සේ  කෑම අඩුකරලා දානවා. ඉතින් මමත් බිරිඳත් කාර් එක නවත්තන් ඉන්නවා කෑම අඩු කරලා දානකම්. එහෙම ගේන කෑම එක අපි හරි ආසාවෙන් කනවා. අපි ඒ කෑම එක දවස් දෙක තුනකට ඇතිවෙන්නෙම බෙදා ගෙන එනවා. අදටත් ඒ ගැන කතා කරද්දි ඒ කෑමවල රස දැනෙනවා. අද ගිහින් ඊට වඩා වැඩි මුදලක් දීලා හොඳ හෝටලයකින් කෑවත් එදා කාපු කෑම එකේ රස අමතක කරන්න බෑ. මොකද අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලිවලින් කාපු කෑම එක මටත් මගේ බිරිඳටත් ජීවිතේට අමතක කරන්න බෑ.

මේ රටේ ලාංකික පිරිස අඩු නිසා ලංකාවෙ වගේ විනෝද වෙන්න තියෙන අවස්ථා අඩුයි. මෙහි තියෙන නිස්කලංක පරිසරයට ඔවුන් හැඩ ගැහෙන්න ඕනේ. ඒ නිසා ජීවිතයට ලැබෙන ඕනම දෙයක් භාර ගන්න ඕනේ. මම දකින දෙයක් තමා ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. නැත්නම් ඒ අවස්ථාව ගිලිහී යනවා. ඒ නිසා මට දෙන්න තියෙන එකම අවවාදය තමා මෙහේ ඉන්න වැඩිහිටි පිරිස ඕනම අවස්ථාවක උදව් කරන්න ලෑස්තියි. අලුතින් එන අයට දැනගන්න දේවල් තියෙනවා නම් ඒ අයගෙන් දැන ගන්න පුළුවන්. මෙහෙ ඉන්න අපි හැමෝම එකම පවුලක්. අපි අපිට උදව් උපකාර කරගන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම ලෑස්ති වෙලා ඉන්නවා.

අපේ මව්රට සමග තිබෙන සම්බන්ධතාවයන් පිළිබඳ ඔබගේ අර්ථකථනය කොයි වගේද?

මම නවසීලන්තයට ඇවිත් වසර තිස් දෙකක් වුණත් මම මෙහි පුරවැසිභාවය අරගෙන නැහැ. මම තාම ශ්‍රී ලාංකික පුරවැසියෙක්. මම කියන දේ වචනයකින්වත් වරදවා වටහා ගන්න එපා, මම කියන්නේ නැහැ විදෙස් ගමන් බලපත්‍රය ලංකාවේ වුණ පමණින් ලාංකිකයි කියන එක. මට ලංකාවෙ කියලා කිසිම දෙයක් නෑ. මට තියෙන එකම දේ ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය (Passport ) සහ හැඳුනුම්පත විතරයි. ඔය දෙක මගෙන් වෙන් කරන්න මට හරිම අමාරුයි. එහේම බැලුවොත් මම හොඳ බෞද්ධයකුත් නෙවෙයි. මම බැඳීම්වලට යට වෙලා.  ඒ නිසා මගේ බිරිඳයි දරුවොයි වැඩිය කැමති නෑ මාත් එක්ක ගමන් බිමන් යන්න. මොකද ගියාම හැම තැනකදීම මාව ප්‍රශ්න කරනවා විදේශ ගමන් බලපත්‍රය වෙනස් නිසා. ඊට අමතරව යන රටවල්වලට වීස ගන්න ඕනේ. ඒවට මුදල් ගෙවන්නත් ඕනේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒත් මම  ලංකාවේ පාස්පෝට් එක අමාරුවෙන් තියාගෙන ඉන්නවා.

ඔබ මෙහෙ ඉඳන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කරනවා ඒ ගැන විස්තර කරනවා නම්…

මම ඉතාම  වාසනාවන්තයි මේ අවස්ථාව ලැබුණට. පසු ගිය වසර ඇරුනම වසර අටක් මාත් සමග Anesthetic Consultant, Plastic Surgery Consultant සහ Neuro Consultant වරයෙකුයි ලංකාවට ගිහින් Cranioplasty නම් ශෛල්‍යකර්මය (surgery) කරනවා. අපි දින දහයක් වැඩ කරනවා. ඒ කාලයේ දී ශෛල්‍යකර්ම විස්සක් පමණ කරනවා. කුඩා දරුවන්ට තමා මේ ශෛල්‍යකර්මය වැඩිපුර කරන්නේ.  එක ශෛල්‍යකර්මයකට පැය පහක් හයක් විතර යනවා. ඒවා කරන්නේ නොමිලේ. අපි වෙනුවෙන් පෙනී සිටින්නේ Australian Surgeons Association එක. මගේ මව් රටේ අසරණ දරුවන්ට මේ ආකාරයට උදව් උපකාර කරන්නට මම වාසනාවන්ත වුණා. මේ වසංගත තත්ත්වය නිසා රටවල් දෙක අතර තිබෙන තහනම අඩු කරපු ගමන් නැවතත් ලංකාවේ දරුවන් වෙනුවෙන් වැඩ කරන්නට පුළුවන් වෙනවා. ඊට අමතරව එක්සත් ශ්‍රී ලංකා සංගමය හරහා ලංකාවට වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් යවනවා. පසුගිය වසරේ ඇඳන් තිස්තුනක් යවන්න පුළුවන් වුණා. දැනටත් ගොඩක් බඩු එකතු වෙලා තියෙනවා.

මට දෙයක් කියන්න තියෙනවා. ඔබ ඊට අමතරව ලංකාවේ සංස්කෘතිය කිසියම් ආකාරයකින් මෙහෙට ගෙනත් තියෙනවා..

කසුන් ඔය කියන්නේ අෂ්ඨක ගැන වෙන්නැති.

ඔව් ඒ ගැන තමා. ඒක ලංකාවේ විවාහ මංගල්‍යයකදී තිබෙන විශේෂ සංස්කෘතික අංගයක්නේ. මෙරටට අඩුවක්ව පැවති එම සංස්කෘතිකාංගය ඔබ මෙරටට රැගෙන ආවා. ඒ ගැන මතක් කරනවා නම්…

මම අෂ්ඨක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. වසර එකොළහකට පමණ පෙර මෙරට විවාහ විවාහ මංගල්‍යයකදී එම යුවල වෙනුවෙන් අෂ්ඨක කියන්න පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා දන්නෙ නෑ කියලා. මගේ දුව, පුතා වෙනුවෙන් අෂ්ඨක කියන්න කවුරුත් නැති නිසා මට කියන්න කියලා ඒ මව්තුමිය පෙරැත්ත කළා. ඊට පස්සේ ලංකාවෙන් පොත්පත් ගෙන්නගෙන  වීඩියෝ බලලා තමයි ඉගෙන ගත්තෙ. එහෙම ඉගෙන ගෙන තමා අෂ්ඨක කියන්න පුරුදු වුණේ. මොනාහරි කරද්දි ආසාවක් ඇති වෙනවානේ. ඉතින්  මටත් මේ ගැන ආසාවක් ඇති වුණා. ඒ නිසා මම තව තවත් මේ ගැන ඉගෙන ගත්තා.

දැන් වසර එකොළහකට සිට අෂ්ඨක කියනවා. හැබැයි කසුනුත් දන්නවා මට සින්දු කියන්න බැහැ කියලා. මම කවදාවත් සින්දුවක් කියලාත් නැහැ. හැබැයි මම කියන ඒවගේ තාලයක් රසයක් නැති වුණත් මම ඒවා කියන්නේ හදවතින්මයි. ඒකට ඇපකැප වෙලා තමයි කරන්නේත්. මට එක දෙයක් කියන්න පුළුවන් මම ඒ දේ කරන්නේ හරිම භක්තියෙන් සහ ආදරයෙන්. මේ වන විට විවාහ උත්සව 140 කට වඩා වැඩියෙන් කරලා තියෙනවා. වසරකට විවාහ උත්සව විස්සක් වගේ කරනවා. 

අද වන විට නවසීලන්තයේ ඕනෑම තැනක, ඕනෑම කෙනෙක් කතා කළොත් මම ඉතාම ආසාවෙන් ගිහින් අෂ්ඨ කියනවා. මේ නිසා මේ රටේ මට ගොඩක් දුවලා පුතාලා විතරක් නෙවේ දන්න අයත් ගොඩක් ඉන්නවා. ඒ ගැන බොහොම සතුටුයි මට. මුලින්ම ආරාධනා කරපු මහත්මිය මුණගැහුනු හැමවිටම මම අවංක ආදර ස්තුතිය පුදකරනවා. මොකද මේ අවස්ථාව ලැබුණේ ඇය නිසානේ. අපේ විවාහ චාරිත්‍ර ඉදිරියට ගෙන යමින් ඒ කටයුතු කරන්න ලැබීම ගැන මට ඇත්තටම සතුටුයි. 

මම ලංකාවේ හිටියා නම් මේ අවස්ථාව ලැබෙන්නෙ නෑ. මම කලින් කිව්වා වගේ යම් කිසි අවස්ථාවක් ලැබුණම ඒ අවස්ථාව ගන්න ඕනේ. ඒ අරගෙන උපරිම උත්සාහයෙන් ඒ දේ කළාම ලැබෙන ප්‍රතිඵල ඉතාම විශාලයි. මේ නිසා මට ලැබුණු වාසිය තමා අද මට මේ රටේ යන යන හැමතැනම මගේ කියලා දුවෙක් පුතෙක් ඉන්න එක.

වසර ගණනාවක් පුරාවට ඔබ බොහෝ දේවල් කරලා තියෙනවා. වෘත්තිකයෙක් විදියට නිර්වින්දන අංශයේ වැඩ කරනවා. ඔබ දරුවන් දෙදෙනකුගේ පියෙක්. ඒ වගේම ඔබ සමාජ මිත්‍රශීලී පුද්ගලයෙක්. ඔබ නොදන්න කෙනෙක් මේ නවසීලන්තයේ නැහැ. ඒ  වගේම වෙනත් නගර යා කරමින් විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඇප කැප වී වැඩ කරනවා. මේ සියල්ලම කරන විට අපිට නොකියාම ඉන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ ඔබේ ආදරණීය බිරිඳ.

බොහෝම ස්තුතියි කසුන් ඒ ගැන උලුප්පලා ගත්තට. මොකද ඕනෑම ගහකට හොඳට හැදෙන්න අවට පරිසරය බලපානවා වගේ මටත් මගේ පවුල නැත්නම් මේ කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. මට ලැබෙන හැම ස්තුතියක්ම ලැබෙන්න ඕනේ මගේ නෝනට. ඒකට හේතුවක් විදිහට කියන්නම් අවුරුද්දකට මම මංගල උත්සව විස්සකට විතර යනවා.

ඒ දවස් හතළිහක් විතර මම ගෙදරින් පිට ඉන්නේ. ඒ දවස් ටිකේ ගෙදර වැඩ කටයුතු තනියම කරන්නේ නෝනා. ඒක අමාරු වැඩක්. එයාගෙ තියෙන ශක්තියත්, මට දීල තියෙන ඉඩ පහසුවත් නිසා තමයි මේ හැම දෙයක්ම මට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මගේ බිරිඳ නැත්නම් අද මට මේ තැනට එන්න වෙන්නේ නෑ. මගේ අවංක ආදර ස්තුතිය මේ වෙලාවෙදි මගේ බිරිඳට පුද කරන්න කැමතියි.

ඇත්තටම එතුමියට අපිත් ස්තුති කරන්න ඕනේ. අද වැඩසටහන සංවිධානය කරගන්නත් ඉතාම ආදරණීය සහයෝගයක් දුන්නා. පිළිසඳර අවසන් කරන්නට මත්තෙන්, අපි හුරු පුරුදු පරිසරයේ ඉඳලා නුපුරුදු පරිසරයකට එනකොට අපි හැමෝටම පොඩි චකිතයක් තියෙනවා. ඒ චකිතය නිවාගන්නට ඔබගේ මේ ආදර්ශමත් ධෛර්යමත් වචන ශක්තියක් වෙනවා.

ඕනෑම කෙනෙකුගේ ජීවන ගමන කර්කශ, දුෂ්කර එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ අතීත ගමන ආදරයෙන් වැළඳ ගන්නට පුළුවන් නම් ඒකේයි වටිනාකම තියෙන්නෙ. සඳුන් කිතුලාගොඩ  මහතා ඒ අතීතය ආදරයෙන් වැළඳ ගන්න පුද්ගලයෙක්. ඒ මතකය මේ පරිසරයට අලුතින් එන හා සපැමිණි සියලු දෙනාටම හොඳ ආදර්ශයක් මෙන්ම ආශිර්වාදයක්. ඔබ අපට ලබාදුන් කාලයට බොහොම ස්තූතියි. ආයුබෝවන්. 

මේ අවස්ථාව මට ලබා දුන්නටත් බොහොම ස්තූතියි. මන් අතින් වචනයකින් හරි යම් කිසි වරදක් වුණා නම් සමාවෙන්න.

~ මෙහෙයවීම – කසුන් පෙරේරා ~

~ සැකසුම – දිමුතු විජේසූරිය ~

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.