fbpx
15.8 C
New Zealand
Thursday, August 13, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයට පත් වු ශ්‍රී ලංකාවේ පළමු නේවාසික මහ කොමසාරිස්වරයා | ඩිල්හාන් අතපත්තු / දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

නවසීලන්තයේ ප්‍රථම නේවාසික ශ්‍රී ලාංකික මහ කොමසාරිස්වරයා ලෙසින් පත්ව ආ ප්‍රසන්න ගමගේ මහතා සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරෙන් සකස් කළ ලිපියකි.

ඔබතුමා කොහොමද මේ ක්ෂේත්‍රයට පැමිණියේ? පාසල් සමය කොහොමද? විශ්ව විද්‍යාල ජීවිතය ගැන කියනවනම්…

මම ගැන කියනවනම් මම ගාල්ල ප්‍රදේශයේ කෙනෙක්. රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ විශේෂවේදි උපාධිය සම්පූර්ණ කළා. ඉන්පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා. විදේශ සේවයට සම්බන්ධ වුණේ 1998දි. සාමාන්‍යයෙන් විදේශ නිලධාරීන් විදේශ සේවා අමාත්‍යාංශයේ සේවය කරනවා. ඉන් පසුව පිටරටවල මහකොමසාරිස් කාර්යාලවල, තානාපති කාර්යාලවල වැඩ කරනවා. මමත් එම ආයතනවල වැඩ කරලා තියෙනවා. සිංගප්පූරුවේ, එංගලන්තයේ, නේපාලයේ, මෙල්බන් නගරයේ. මෙහෙට පැමිණෙන්නට පෙර අවසන්වරට වැඩ කරේ වියට්නාමයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා හැටියට. ඉන්පසුව කොළඹ විදේශ සේවා කාර්යාලයේ වසර දෙකක් පමණ රාජකාරි කළා. ඉන්පසුව ශ්‍රී ලංකාවේ පළමු නේවාසික මහ කොමසාරිස්වරයා හැටියට නවසීලන්තයට පත්වීමක් ලබලා 2025 ජනවාරි 25 වෙනිදා වැඩ භාර ගත්තා.

මෙම කාර්යාලයට පැමිණෙන්නට අවශ්‍ය නම් කොහොමද පැමිණිය යුත්තේ
මෙම කාර්යාලය පිහිටලා තියෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්වල. අංක 38,Waring Taylor Street, Wellington. අපි ඉන්නේ අටවෙනි තට්ටුවේ. ඇත්තටම අපි මෙම ස්ථා නයේ තෝරා ගත්තේ ගොඩාක් තානාපති කාර්යාල තියෙන්නෙ මේ අවට. ඊළඟට නවසීලන්තයේ රාජ්‍ය ආයතනත් පාර්ලිමේන්තුවත් මේ අවටමයි පිහිටලා තියෙන්නේ. මෙම ස්ථානයට පැමිණිය හැකි පහසුම ක්‍රමය තමා දුම්රිය සහ බස් එක. විනාඩි පහක, දහයක ඇවිදින දුර තියෙන්නේ. තමන්ගේ වාහනයකින් එනවා නම් වාහනය නැවැත්වීමට අවශ්‍ය රථගාල් සෑහෙන ප්‍රමාණයක් මේ අවට තියෙනවා. අපි බොහෝ විට කියන්නේ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න කියලා.

ශ්‍රී ලාංකිකයන් මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද?

අපි හදුන ගත්තා බොහෝ ගැටලු තියනවා කියලා. අපිට වෙබ් අඩවියක් තවම නැහැ. එය තවම සකස් කරමින් යනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා සියලුම තානාපති කාර්යාල සහ අනෙකුත් කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක් සකස් කරමින් යනවා කියලා. ඒ කටයුතු සිද්ධ වෙනකම් අපේ ෆේස්බුක් පිටුව sri lanka high commission in New Zealand හරහා අපේ සියලු තොරතුරු ලබාගන්න පුළුවන්. දැනට ෆේස්බුක් පිටුව හරහා තමා අපේ සියලු නිල නිවේදන, වැදගත් තොරතුරු ප්‍රචාරය කරන්නේ. පුවත්පත් හරහාත් අපේ නිවේදන නිකුත් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් ෆේස්බුක් පිටුවෙන් අපේ ඊමේල් ලිපිනය ලබාගන්න පුළුවන්. හොට් ලයින් (+64 21 81 43 469) එකකුත් තියෙනවා. ලැබෙන ඇමතුම්වලට පිළිතුරු ලබාදෙනවා.

අපි හැම විටම උනන්දු කරන්නේ ඊමේල් හරහා අප සමග සම්බන්ධ වෙන්න. එවිට අපිට ඉතා පැහැදිලි විස්තරයක් ලබා දෙන්න පුළුවන්. අපිට ලැබෙන සෑම ඉල්ලීමකටම ඉතා කෙටි කාලයක් තුළදී අපි පිළිතුරු ලබා දෙනවා. අපිට ඊමේල්ස් ලිපින දෙකක් තියෙනවා. එකක් slhc.wellington@gamil.com, සහ slhc.wellington@.mfa.gov.lk

අනෙකුත් සංවිධානවල, පුද්ගලයින්ගේ විද්‍යුත් ලිපින බොහෝ ප්‍රමාණයක් අප සතුව තියෙනවා. මොකද ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා. ඒ අයටත් අපේ නිල නිවේදන වැදගත් තොරතුරු ඊමේල් හරහා යැවීම සිදු කරනවා.

මේ වන විට විශාල ඇමතුම් ප්‍රමාණයක් අපට ලැබෙනවා. අපි වඩාත් වැදගත් කර සලකන්නේ විශේෂ ඊමේල් එකක් එවීම. එවිට අපිට ප්‍රශ්නය සම්පූර්ණයෙන් තේරුම් අරගෙන ඊට අදාළ නිවැරදි මාර්ගෝපදේශයන් දෙන්න පුළුවන්.

ශ්‍රී ලාංකිකයින්ට මොනවාගේ සේවාවන්ද මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගැනීමට හැකි?

අවුරුදු තිහ හතලිහක් අපි ආපස්සට ගියොත්, නවසීලන්තයේ හිටියේ ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු සංඛ්‍යාවක්. දැන් ඒක විශාල වශයෙන් වර්ධනය වෙලා. අපේ ප්‍රජාව වර්ධනය වීමත් එක හේතුවක් තමා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවන්න. එතකොට මෙහෙ අය තිබුණු වැඩ කටයුතු කලින් කරගත්තේ කැන්බරා මහ කොමසාරිස් කාර්යාලය හරහා. ඒක ටිකක් අමාරු වැඩක්. මොකද විවිධ ගැටලු මතුවන නිසා. අපි හිතමු අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ගන්න උවමනා වෙනවා, විවාහ, මරණ ලියාපදිංචි කිරීමට සිදුවෙනවා, ඊළඟට විශ්‍රාම වැටුප්වල ලේඛන සහතික කර ගැනීමට උවමනා වෙනවා, ලිපි ලේඛන සහතික කර ගැනීමට අවශ්‍ය වෙනවා, ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් පත්‍ර භාර දීම වගේ කාර්යයන් තිබුණනේ. ඉතින් දැන් මේ සියලු කාර්යයන් නවසීලන්තේ මහ කොමසාරිස් හරහා තමා කරගන්න ඕනේ.

මහ කොමසාරිස් කාර්යාලයේ මූලික වැඩ කටයුතු ගිය අවුරුද්දේ අග වගේ තමා පටන් ගත්තේ. එම වැඩ කටයුතු අවසන් කර නිල වශයෙන් රාජකාරි පටන් ගත්තේ 2025 මාර්තු මාසයේ තුන්වෙනිදා. මාර්තු මාසයේ තුන්වෙනිදායින් පස්සේ තමන්ගේ අවශ්‍යතා සඳහා කාටවත් කැම්බරාවලට සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් නැහැ. මාර්තු මාසයේ තුන්වෙනිදාට කලින් කැම්බරා සමග සම්බන්ධ වෙමින් කරගෙන ගිය වැඩකටයුතු තවදුරටත් ඉවර වෙනකම්ම ඒ කාර්යාලය හරහා තමයි ඒවා කරගන්න ඕනේ. එහිදී යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කෙනෙකුට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අපිට කැම්බරාවලට කතා කරලා ඒ වැඩ ටික කරලා දෙන්න පුළුවන්.

ලංකාවෙ ඉන්න කෙනෙකුට නවසීලන්තයෙ සිද්ධ වුණු දෙයක් ගැන හරි තමන්ගේ ඥාතියෙක් සම්බන්ධයෙන් හරි මොනව හරි ගැටලුවක් තියෙනවා නම් ඒ අයට පුළුවන් ලංකාවේ විදේශ අමාත්‍යාංශයට ගිහිල්ලා consular අංශයට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය කිව්වහම ඒගොල්ලෝ අපිට ඒක දැනුම් දෙනවා. එවිට අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. උදාහරණයක් හැටියට කවුරු හරි මෙහිදී ශිෂ්‍යයෙක් හරි ශ්‍රී ලාංකිකයෙක් හරි හදිසියේ අභාවප්‍රාප්ත වුණා. එතකොට ලංකාවේ ඉන්න ඥාතීන්ට අවශ්‍ය වෙනවා මෘත ශරීරය ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේ අවස්ථාවල දී අපිට පුළුවන් ඒකට මැදිහත් වෙලා කටයුතු කරන්න.

තව කවුරුහරි මොකක් හරි වැරැද්දක් කරලා හිර බාරයට පත්වෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී ඥාතීන් ඇවිල්ලා කියනවා අපේ කෙනෙක්ට මෙහෙම කරදරයක් වුණා. අපිට විස්තර ටිකක් හොයලා දෙන්න. ඒ වගේ දේවල්වලට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය දේවල් ඔක්කොම අපි කියන්නේ consular රාජකාරි කියලා.

තවත් එකක් තියෙනවා අධ්‍යාපන සහතික වගේ දේවල්. නවසීලන්තයට ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ලංකාවේ ඉඳලා එනවා. එයා එනකොට විදේශ අමාත්‍යාංශයට ගිහිල්ලා සේරම කටයුතු කරගෙන තමා වීසාවලට අදාළ ඒවට බාර දෙන්නේ. එහෙම නැතුව මෙහිදී අවශ්‍යතාවයක් වුණොතින් අපිට ඒ සහතික කිරීම් වගේ දේවල් කරලා දෙන්න පුළුවන්. ඒ සඳහා අපිට අවශ්‍ය විද්‍යුත් ඉලෙක්ට්‍රොනික පහසුකම් තියෙනවා.

අපි හිතමු අපේ කෙනෙකුට නවසීලන්තයෙන් ලැබුණු උපාධි සහතිකයක්, පුරවැසි සහතිකයක් වගේ දේකුත් අපිට සහතික කරලා දෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න කලින් එයා මෙහෙ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ගිහිල්ලා ඒක සහතික කරගෙන ඕනේ සත්‍ය ලේඛනයක් කියලා. ඔය වගේ ප්‍රජා කටයුතු අපි කරලා දෙනවා.

මහ කොමසාරිස් කාර්යාලයෙන් කරන තවත් දේවල් තියෙනවා නවසීලන්තය සමග. අපේ දේශපාලන, ආර්ථික, සමාජ සම්බන්ධතා වැඩිදියුණු කරන එක. ඊළඟට සංචාරක කටයුතු ප්‍රවර්ධනය. අපි පුළුවන් තරම් නවසීලන්ත ජාතිකයින්ට ලංකාව සංචාරක ස්ථානයක් හැටියට තෝරගෙන ලංකාවට යන්න කියන එක. ඒ වගේම අපේ සංස්කෘතික සම්බන්ධතා දියුණු කිරීම. මෙහි තිබෙන විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇති කර ගැනීම. ඒ වගේ දේවල්වලට කියනවා ද්වි පාර්ශික සම්බන්ධතා කියලා.
එතකොට අපි ද්වි පාර්ශික සම්බන්ධතා සහ ප්‍රජා කටයුතු සේවාවන් සපයනවා.

අවුරුදු පනහකටත් වැඩි කාලයකට පෙර මේ දේවල් කැම්බරාවලින් සිදුවුණේ. භෞතිකව කවුරු හරි කෙනෙක් මෙහෙ ඉඳලා කරන විට තියෙන කාර්යක්ෂමතාවය සහ සම්බන්ධය ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා තමයි යම් යම් දුෂ්කරතා, අපහසුතා ඇතිවෙන්නේ. අද වන විට ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා වේගයෙන් වර්ධනය වෙලා තියෙනවා. අපි රටක් විදිහට තවම නවසීලන්තය වගේ සීයට සීයක් ඩිජිටලයිස් වෙලා නෑ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනිකව වැඩ කරන්නේ නැහැ. දැන් තමා අපි ඒවා පටන් ගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දේවල්වල දී යම් යම් කාලය ගතවීම් සිදුවෙනවා.

උදාහරණයක් හැටියට අපිට කවුරුහරි ඇවිල්ලා අලුත් පාස්පෝට් එකකට අයදුම් පත්‍රයක් බාර දෙනවා. එතකොට ඒ කෙනා හිතන්නේ අපි තමයි පාස්පෝට් එක මෙහෙන් හදලා දෙන්නේ කියලා. එහෙම නෙමේ. පාස්පෝට් එක නියමාකාරයට තියෙනවද බලලා අනෙකුත් ලියකියවිලි සමග ඒක යවනවා ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට. ආගමන විගමන පාලකවරයට තමයි පාස්පෝට් එකක් නිකුත් කිරීමේ බලය තියෙන්නෙ. එතකොට එයා තමයි ඒක නිකුත් කරලා විදේශ අමාත්‍යංශයට හරහා අපිට එවන්නේ. ඕකට යනවා මාස දෙකක, තුනක පමණ කාලයක්. ඒක කොළඹ දී වගේ එක් දින සේවය යටතේ වගේ ගන්න බැහැ.

අපි හිතමු නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවලත් තානාපති කාර්යාල හරහා තමයි තම පුරවැසියන්ට පාස්පෝට් නිකුත් කරන්නේ. ඒවාටත් මාස තුනක් හෝ වැඩි කාලයක් ගතවෙනවා. අපි නොදන්නවා වුණාට මේ වෙලාවේදී ඕස්ට්‍රේලියාවෙත් ලොකු පාස්පෝට් හිඟයක් තියෙනවා.

පසුගිය කාලයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමා පාස්පෝට්වල හිඟකම. නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයවත් වෙන මොකක්වත් නෙමේ. දැන් ඒ ප්‍රශ්නය ගොඩක් දුරට මග ඇරිලා තියෙනවා. මම දැක්කා ළඟදිත් පාස්පෝට් මිලියනයක් ඕඩර් කරනවා. පාස්පෝට් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නෙත් විසඳෙනවා.

තමන්ගේ වැදගත් ලියකියවිලි උප්පැන්න සහතිකය, පාස්පෝට් එක, හැඳුනුම්පත ඔය දේවල් බොහොම පරිස්සමින් තියාගන්න ඕනේ. ළමයින්ගේ, පවුලේ අයගේත්. ඒවා නිතරම බලන්න ඕන. පාස්පෝට් එකේ කාලේ ඉවර වෙන්න ළඟ ද, වීසා එක ඉවර වෙන්න ළඟද. ඒ සම්බන්ධයෙන් බොහොම අවධානයෙන් ඉන්න ඕනේ දෙයක්.
අපි උපදෙස් දීලා තියෙනවා අපි කියනකං අපේ කාර්යාලයට එන්න එපා. ඕනෙම අයදුම් පත්‍රයක් පුරවලා ස්කෑන් කරලා අපට එවන්න. අපි ඒක හරියට කරලා තියෙනවද, ඒ ලියකියවිලි හරිද කියලා බලලා අඩුපාඩුවක් තියෙනවා නම් ඊමේල් එකකින් හරි ටෙලිෆෝන් එකකින් හරි කියනවා මෙන්න මේ ටික හදන්න කියලා. හැදුවට පස්සේ තමයි අපි කියන්නේ එක්කෝ තැපැල් කරන්න නැත්නම් මෙහෙට එන්න කියලා හරි. ඉතින් මෙහෙට එන්න අපිට කෝල් කරලා එපොයිමන්ට් එකක් ගත්තහම හරි. ඒ හැර වෙන කිසිම ගැටළුවක් නෑ. අපි එහෙම කරන්නේත් එයාට වෙලාවක් හදාගන්න පහසුවෙන්න. ඒක අපිටත් පහසුයි.

ඊළඟට දුරබැහැර ඉන්න කෙනෙකුට පෞද්ගලිකව මෙහෙට පැමිණීමට අවශ්‍යතාවයක් නෑ. එයාලගේ අත්සන සමාදාන විනිශ්චකාරයෙකුට කියලා සහතික කරගෙන අපිට එවන්න පුළුවන්. මොකද මෙහේ ඉන්න ලියාපදිංචි අවසරලත් සාමදාන විනිශ්චකාරවරුන්ගේ ලැයිස්තුව අපි ළඟ තියෙනවා. අපි ඉංග්‍රීසින් කියන්නේ Precaution කියලා. තමන් හොඳ අවබෝධයකින් තමන්ගෙ කටයුත්ත දිහා හරියට බලලා ඉන්න ඕනේ. අපි ප්‍රජාවකින් බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සේම තමන්ටත් අපහසුවක් නොවෙන්න, අපිටත් අපහසුවක් නොවෙන්න සහ බොහොම කාර්යක්ෂමව සහ කාලයට අනුව බොහොම ඉක්මනින්ම කාර්ය කර ගන්න නම් උපදෙස් හරියට පිළිපදින්න. මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරලා තියෙන නිසා මම දන්නවා නවසීලන්තය වගේ රටවල්වල ඉතා ඉහළ සාක්ෂරතාවයක් තියෙනවා සහ විශාල දැනුමක් තියෙන අය ඉන්නේ. ඒ නිසා අපිට තියෙන කරදර ප්‍රමාණය ඉතාම අවමයි.

අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා වට කිහිපයක්ම කොමසාරිස් කාර්යාලය සමග කරන්න. ශ්‍රී ලාංකිකයින්ට පොදුවේ වැදගත් වන කාරණා තමයි මෙවර සාකච්ඡා කළේ. ඔබට පුළුවන් ඔබට යම්කිසි දෙයක් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රි ලංකන්ස් පුවත්පත සමග සම්බන්ධ වෙන්න.

ඔබතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා අපිට ප්‍රයෝජනවත් වෙන කරුණු පිළිබඳව දැනුවත් කළාට.

සාකච්ඡාව:- ඩිල්හාන් අතපත්තු
සටහන:- දිමුතු විජේසූරිය – වෙලින්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.