ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසදයේ නියෝජිතවරියන් අධ්‍යන සංචාරයක් සඳහා නවසීලන්තයට පැමිණි අවස්ථාවක දී ජාතික ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීණි ආචාර්ය හරිණි අමරසූරිය ‘ශ්‍රී ලන්කන්ස්’ සමඟ සාකච්ඡාවකට සම්බන්ධ වූවාය.
ඔබ නවසීලන්ත සංචාරයක් සඳහා පැමිණියේ ඇයි?
අවුරුද්දක පමණ සැලැස්මක ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ සිටින මන්ත්‍රීවරියන් දොලොස් දෙනාගෙන් මාත් ඇතුළු එකොලොස් දෙනෙක් USAID හා National Democratic Institute මගින් නවසීලන්ත රජය සමඟ සාකච්ඡා කරලා නවසීලන්ත අධ්‍යයන සංචාරයට ආවා.
නවසීලන්ත පාර්ලිමේන්තුවේ 50% වැඩියෙනුත් කැබිනට්ටුවේ 50% කුත් කාන්තා නියෝජනය තියනවා. ඒත් ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියොජනය 5%කටත් වඩා අඩුයි. මෙරට පක්ෂවල (විශේෂයෙන් labour party) ව්‍යවස්ථාවන් අනුවත් සාර්ථකව සහ ක්‍රමානුකූලව කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය වැඩි කරපු රටක්. ඒ නිසා මේ සංචාරයට අපි නවසීලන්තය තෝරා ගත්තා. මෙහේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන්, කාන්තා අමාත්‍යාංශය, තවත් අමාත්‍යාංශ ප්‍රධානින් හා හිටපු අග්‍රාමාත්‍ය හෙලන් ක්ලාක් සහ ජසින්ඩා අර්ඩ්න් මහත්මීන් මුණගැසීමට අවස්ථාව ලැබුණා.
අප දෙරටේ දේශපාලනික සම්බන්ධතා ගැන කතා කරන විට කොළඹ ක්‍රමය වැදගත්. මේ සංචාරය සමග ඒ සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙනවා. මෙම සහයෝගීතාව උපයෝගී කරගනිමින් අඛණ්ඩවම දෙරට අතර දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි ද?
රටවල් දෙක අතර සමාන අසමානතා තිබුණත් එවැනි අවස්ථාවන් සදාගෙන අපිට එකිනෙකාගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ නිසා මේ සංචාරය හරහා ඇති කරගත් සම්බන්ධතා තුළින් ඉදිරියට හුවමාරු වැඩසටහන් අනිවාර්යෙන්ම එනවා. විශේෂයෙන්ම නවසීලන්ත පාර්ලිමේන්තු නියෝජිතවරියක් වන වනුෂි වෝල්ටර්ට මහත්මිය ඇතුළු අනෙක් මන්ත්‍රීවරියන් කිහිපදෙනෙක්ම ඊට උනන්දු වුණා.
Colombo Plan යටතේ හෙද පුහුණු වැඩසටහනට පැමිණි කණ්ඩායමට පසුව පුහුණු වැඩසටහනක් සඳහා පැමිණියේ ඔබ කණ්ඩායම ද?
කිරි නිෂ්පාදන කටයුතු පැත්තෙන් ගනුදෙනු පැවතුණත් මෙවැනි අධ්‍යයන වැඩ සටහනකට පැමිණි කණ්ඩායම අපි වෙන්න ඇති. දීර්ඝකාලීන වැඩක් වෙනුවෙන් ආරම්භයක් ගත් පළමු කණ්ඩායම වගේම එය කාන්තාවන් පමණක් වීමත් විශේෂත්වයක්.
ඔබ විවිධ සංවිධාන, අමාත්‍යාංශ ප්‍රධානීන්, පුද්ගලයින් මුණගැසුණ බව ප්‍රකාශ කළා. ඉන් ලැබූ අත්දැකීම් තුළින් නවසීලන්තයේ කාන්තා සහභාගිත්වය පිළිබඳව ඔබ හිතන්නේ මොකක්ද ?
මේ රට තුළ විවධත්වය සාමාන්‍ය දෙයක්. අපි ගිය හැම තැනකම, හැම රැස්වීමකම මේ විවිධත්වය ප්‍රදර්ශනය වෙනවා.ඔවුන් ඊට උත්සාහයකුත් ගන්නවා. රැස්වීම් ආරම්භ කරන විදිය, අමාත්‍යංශයකට දෙපාර්තමේන්තුවකට ගිය විට පිළිගන්නා විදිහ, පින්තූරයකින් හෝ ඔවුන් උත්සාහ ගන්නවා නවසීලන්ත සමාජ සංස්කෘතිය තුළ තියෙන විවිධත්වය පෙන්නන්න. මෙරට මුල් පුරවැසියන් වන Maori ජාතිකයන්ට ගරුත්වය ලබා දීම ගැන ඔවුන් ඉතාමත් සංවේදී.
ඒ වගේම ඉතිහාසය තුළ සිදුවුණු අසාධාරණකම් නොසඟවා පිළිගෙන ඉදිරියට එවැන්නක් නොවෙන්න මොනවද කරන්න ඕනේ, වුණු වැරදි නිවදි කරන්නේ කොහොමද කියන එක ගැන විවෘතව සංවාදයනට සූදානමක් තියෙනවා. ඒ වගේම සියලුම දේ සර්වසම්පූර්ණ හෝ දැන් සියලු ප්‍රශ්න විසඳිලා කියලා හිතන්නේ නෑ. මම දැක්ක විශේෂම දේ තමා ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්ම පැත්තෙන් තමා හිතන්නේ. ඒක අපි ගොඩක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්. හැම වෙලාවෙම ඔවුන් තීන්දු තීරණ ගන්න විටත් කතා කරන විටත් හිටගන්නේ ජනතාවගේ පැත්තෙන්.
අද ලංකාවේ කුමන පසුබිමක් ද සැකසිලා තියෙන්නේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා?
අපේ රටේ කාන්තා සහභාගිත්වයට වටිනාකමක් ලැබී නෑ. ආර්ථිකය ගත්තත් නිල දත්ත ගත්තත් කාන්තා සහභාගීත්වයක් නැහැ. විධිමත් ක්ෂෙත්‍රයේ කාන්තා සහභාගිත්වය තියෙන්නෙ 35% යි. නමුත් යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඊට හේතුව කාන්තාවන් වැඩිපුරම වැඩ කරන්නේ දත්තවල පෙන්නුම් නොකරන අවිධිමත් ක්ෂේත්‍ර තුළ.
ඊට වඩා බරපතල දේ තමා (මට ඒ ගැන මේ මෙහෙත් කතා කරන්න අවස්ථාව ලැබුණා) බොහෝ විට කාන්තාවන් කරන වැඩවලට වැටුපක් නොලැබීම. කාන්තාව විශාල කාර්යභාරයක් කළත් ඒවා වැඩ විදියට ගණන් ගන්නෙත් නෑ. වටිනාකමක් දෙන්නේ නෑ. ඒ් සහභාගිත්වය නොමැතිවා නොව ඊට වටිනාකමක් නොදීමක්.ලොව පුරා ඇති මේ ප්‍රශ්නය පිළිඅරගෙන නිවැරදි කිරීමට නවසීලන්තයේ උත්සහ කරනවා. හැබැයි තාම ප්‍රතිපත්තියක් විදිහට ලංකාවේ ඒක පිළිඅරන් නෑ.
මේ සම්බන්ධව ලංකාව තුළ ධනාත්මක සංවාදයක්වත් ආරම්භ වෙලා තියෙනවද?
ඒ සාකච්ඡාව දැන් මතුවෙමින් යනවා. අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුව තුළ දී මටත් අපේ අනෙක් මන්ත්‍රීවරියන්ටත් එය මතු කරන්නට හැකි වුණා. අද එය සමාජයෙත් මාතෘකාවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වැටුප් නොලබා කරන සුරකුම් වැඩ පිළිබඳ සාකච්ඡාවක්, ආරම්භයක් සමාජය තුළ හැදෙමින් යනවා. ඒක ප්‍රමාණවත් නෑ. අපිට ඒ සඳහා ගොඩක් වැඩ කරන්න තියෙනවා.
මෙම පුහුණු වැඩසටහන තුළින් ලබාගත් දැනුම ශ්‍රී ලංකා සමාජය තුළ හෝ සංස්කෘතිය තුළ ක්‍රියාත්මක කිරීමේදී ගැටළු හෝ අභියෝග පවතිනවා යැයි ඔබ සිතනවාද?
එවැනි ගැටළු ඇති විය යුතු නැහැ. මම හිතන්නේ කුමන සංස්කෘතියක් තුළ හෝ සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ විවිධත්වය පිළිගන්නේ නැත්නම් එම සංස්කෘතිය වෙනස් විය යුතුයි. දියුණු සංස්කෘතියක් කියන්නේ මානුෂීය පැත්තට වර්ධනය විය යුතු දෙයක්. අමානුෂීය සංස්කෘතියක් ආරක්ෂා කිරීමේ තේරුමක් නෑ.
ලංකාවේ අමානුෂික සංස්කෘතියක් නැහැ. අපේ සංස්කෘතියේ පදනම ගත්විට පිළිගැනීම, ගරුත්වය, මනුෂ්‍යත්වය, කරුණාව, මෛත්‍රිය වැනි මානුෂීය දේවල් තියෙනවා. හැබැයි ඒවා යටපත් වෙලා හෝ ප්‍රතික්ෂේප වෙලා තියනවද කියන එක වෙනම කතාවක්. ඒ නිසා මේ දේවල් අපේ සංස්කෘතියට අලුත් හෝ අමුතු දේවල් නෙවෙයි. ඒ නිසා මම දකින්නෙ නෑ අපි කරන්න හදන වෙනස බාහිරින් එන බලපෑමක් හෝ අලුත් අදහසක් කියලා.
කාන්තා සමානාත්මතාවයේ ලෙස ඔබ දකින්නේ කුමක්ද?
මනුෂ්‍යයන් විදිහට ලැබිය යුතු දේවල් කාන්තාවක් වීම නිසා අඩුවෙන් ලැබිය යුතු නැහැ. අපි ගොඩක් වෙලාවට සමානාත්මතාවය වරද්ද ගන්න තැන තමයි “එක වගේ විය යුතුයි. විවිධත්වයක් නැහැ, ” කියන එක. එය නෙමේ විය යුත්තේ. විවිධත්වය තුළ එකිනෙකාට දෙන ගෞරවය සහ සමාන අවස්ථාවන් ලැබිය යුතුයි.
එයින් කිසිසේත්ම කියන්නේ නැහැ කාන්තාවන්-කාන්තාවන් අතර වගේම කාන්තාවන්- පිරිමින් අතර විවිධත්වයක් නෑ කියල. කාන්තාවන් වූ පමණින් හැම කාන්තාවක්ම එක වගේ නැහැ. අවශ්‍යතාවයන්, අත්දැකීම්, ලිංගිකත්වයත් වෙනස් වෙන්න පුළුවන්. ලිංගිකත්වය කියන දෙයත් කළු, සුදු දෙයක් නෙවෙයි. ඒකත් විවිධයි. කියන දේ සමාජයේ හැම තැනම තියෙන විවිධත්වය පදනම් කරගෙන අසමානතා තියෙන්න බෑ. සියලුම විවිධත්වයන් තුළ මනුෂ්‍යයන් ලෙසින් කාන්තාවට ලැබිය යුතු අවස්ථා සමාන විය යුතුයි.
වර්තමාන මාධ්‍ය භාවිතාව තුළ කාන්තාව හිංසනයට හෝ පීඩාවට පත්වෙනවා යැයි ඔබ හිතනවද?
ඔව්. සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ කාන්තාව. එය කිසියම් ක්ෂේත්‍රයක ප්‍රසිද්ධ කාන්තා චරිතවලට සිදුවන්නක්. විරුද්ධ පාර්ශ්වයෙන් බොහෝවිට ප්‍රහාරය එල්ල වෙන්නේ කාන්තාවගේ ලිංගිකත්වය අරමුණු කරගෙන. පිරිමින්ට එල්ලන නොවන චෝදනා සහ ප්‍රතිචාර ගැහැනියට ලැබෙනවා.
එවැනි හිංසනයට ලක්වන කාන්තාවන්ට නීතියෙන් රැකවරණයක් ලැබෙනවා ද?
ඇත්තටම නැහැ.
පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය නිසා හිංසනයට ලක්වෙන කාන්තාවන් වෙනුවෙන් නීති සම්පාදනය වෙලා තියෙනවද?
නීති වෙනස් විය යුතුයි කියන සංවාදයක් තියනවා. සයිබර් අවකාශයේ සිදුවන හිංසාවන් වෙනුවෙන් තවමත් නීති සම්පාදනය වෙලා නෑ. මේකේ දෙපැත්තකුත් තියෙනවා. සමාජ මාධ්‍ය සහ මාධ්‍ය පාලනය නොකර, නිදහස් අවකාශයක් ලෙස තියෙන්න ඕන. නමුත් මාධ්‍ය නිදහස අවභාවිතා කරන්න දෙන්නත් බැහැ. ඒ නිසා මේක නීතියෙන් පමණක් හදන්න අමාරුයි. ඇත්තටම ඒ වෙනස එන්න ඕනේ සමාජය තුළ ඇති අන්‍යෝන්‍ය ගරුත්වය, සැලකීම, වටිනාකම්, ආකල්ප, සංවේදීත්වය ආදිය හරහා. මාධ්‍ය අවභාවිතාවය පාලනය කිරීමට නීතියක් අවශ්‍යයි. එයින් සිදුවන කාන්තා හිංසනය අවම කිරීමට නම් නීති සකස් කරනවාටත් වඩා පුද්ගල අන්තර් සම්බන්ධතා මීට වඩා දියුණු තැනකට ගෙන එන්නේ කොහොමද කියන එක බැලිය යුතුයි .
ජාතික ජන බලවේග ව්‍යාපාරය තුළ කාන්තාව නායකත්වයට ගෙන ඒමට වැඩපිළිවෙළක් සකස් කර තියෙනවද?
අපේ ව්‍යාපාරය තුළ සමානාත්මතාවය, විවිධත්වය, පිළිගැනීම සහ ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාම නියෝජනය වන ව්‍යාපාරයක් ලෙස පෙනී ඉන්නේ කොහොමද කියන එක ගැන හිතෙනවා. ඒ වෙනුවෙන් තීන්දු, තීරණ ගන්නවා.
මුල සිටම අපි කාන්තා සහභාගීත්වය වැඩි කරන්නේ කොහොමද කියන එකට මූලිකත්වය දුන්නා. මුලින්ම එය අපේ ව්‍යාපාරය තුළ සිදු කළ යුතුයි කියන තැන තමයි අපි හිටියේ. පොඩි පොඩි දේවල්වලින් අපි ඒ වෙනස කිරීමට පටන් ගත්තා. ව්‍යාපාරයක් ඇතුලෙත් වෙනසක් සිදු කිරීම ලේසි නෑ. ඒ සඳහා සංවාදය අවශ්‍යයි. අපි සතුටු වෙනවා වෙනස සඳහා අවශ්‍ය සංවාදය කිරීමට අපේ ව්‍යාපාරය තුළ කිරීමට හැකි වීම ගැන. විශේෂයෙන්ම අපේ සහෝදරවරු ඒ සංවාදයට ඇහුම්කන් දීමද සුවිශේෂී දෙයක්.
මේ සංවාදයේ ප්‍රතිඵලයක් විදියට තමා මමත් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ වගේම අපේ කුඩා කමිටුවේ සිට ඉහළම කමිටුව දක්වා කාන්තා නියෝජනයක් තිබිය යුතුයි කියන එක පිළිගෙන ආරම්භ කරලා තියෙනවා. රැස්වීමක දී කාන්තා කථිකයන් සිටීම, වේදිකාවේ ආසනවල කාන්තාවන් සිටීම සාමාන්‍ය දෙයක් බවට අද වන විට පත්වෙලා තියෙනවා.
අපේ ව්‍යාපාරය කාන්තා නායිකාවන් ගොඩනංවන වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. කාන්තාවන් හඳුනා ගැනීම, නායකත්වයට අවශ්‍ය අධ්‍යාපනය, දැනුම, පුහුණුව සහ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඇයගේ සුරක්ෂිතතාවය ඇති කිරීමටත් ඇගේ හඬට අවස්ථාවක් ලබා දීම වැනි දේ සිදු කරනවා. කාන්තාවන් වෙනම මුණ ගැහෙනවා. ඔවුන්ට පහසු වෙලාවන්වල දී රැස්වීම් පවත්වනවා, රැස්වීමට දරුවන් රැගෙන ඒමට නිදහස දීලා තියෙනවා, ඇයට රැස්වීම් තියෙන දිනයට අපේ සහෝදරවරු ගේදොර වැඩ බලා ගන්නවා. ඒ වගේ වෙනසක් සිදු නොකර කාන්තා සහභාගීත්වය වැඩි කරන්න බැහැ.
කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය වැඩි කිරීමේ දී කාන්තාව කැමැත්තෙන් ඒ සඳහා දායක වෙනවද?
කාන්තාවට ඒ ගැන අකමැත්තක් නෑ. ඊට අවස්ථාව අවශ්‍යයි. අපි පුරුදු වෙලා ඉන්නේ පීතෘ-මූලික දේශපාලනික සංස්කෘතියකට. ඒ දේශපාලනික සංස්කෘතිය තුළ බොහෝ අය කියන්නේ අපිට ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙකුට රැස්වීමකට එන්න පුළුවන්. ඒ වුණාට රැස්වීම තියෙන්නේ රෑට. කාන්තාවන් එන්නේ නෑ. එහෙමත් නැත්නම් දරුවෙක් ඉන්න කාන්තාවකටරැස්වීමනට, පුහුණු වැඩසටහනකට දරුවන් රැගෙන එන්නත් බෑ. ගෙදර තියලා එන්නත් බැ.
ඒත් අපේ ව්‍යාපාරය තුළ දැකලා තියෙනවා අපේ සහෝදරවරුන්ට දේශපාලනය කිරීමට කාන්තාවන් කරන කැප කිරීම. ඒ නිසා කාන්තාවගේ සහභාගිත්වය නැතුව නොවේ. ඒ තුළින් තමා රටේ දේශපාලනය හැදිලා තියෙන්නේ. හැබැයි කාන්තාව ඉන්නේ ඉස්සරහ නෙවෙයි. දැන් අපි හිතනවා කාන්තාව ඉදිරියට ගෙන එන්න නම් අපේ ව්‍යුහයත් අපේ දේශපාලන සංස්කෘතියත් වෙනස් විය යුතුයි කියන එක.
ලංකාවේ ඡන්දදායකයින්ගෙන් 50%ටත් වඩා ඉන්නේ කාන්තාවන්. නමුත් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 5%ටත් වඩා අඩුයි. එහෙම වෙන්න හේතුව කුමක්ද? කාන්තාවට ඡන්දය දිය යුතුයි යන ආකල්පය සමාජය තුළ නැද්ද?
මෙය ඊට වඩා එහා ගිය දෙයක්. අපි නායකත්වය විදිහට දකින්නේ පුරුෂාධිපත්‍ය හරහා හැදෙන නායකත්වයකට. වෙනස් විදිහේ නායකත්වයක් සංවේදී නායකයෙක් නොවේ අවශ්‍ය. දරදඬු, ප්‍රචණ්ඩ, හයියෙන් කෑ ගහන එක තමා නායකත්වය ලෙස දකින්නේ. ඊට වඩා වෙනස් නායකත්වයක් තිබිය හැකියි කියන එක අපි දකින්නේ නෑ. අපි හිතෙනවා ඒ වගේ දේශපාලන නායකත්වයක් කාන්තාවකට කරන්න බැහැ. සුදුසු නැහැ කියලා.
ඒ වගේම අපේ රටේ දේශපාලනය ප්‍රචණ්ඩයි. ඒ ප්‍රචණ්ඩත්වයත් එක්ක එන දේශපාලන සංස්කෘතිය ගැන බොහෝ ගැහැනුන්ට හිතෙනවා මේක ඒ අයට අදාළ නැහැ කියලා. අපේ ප්‍රශ්න නෙවෙයි කතා වෙන්නේ, අපිට අදාළ කිසිවක් මෙතන සාකච්ඡා වෙන්නේ නැහැ, අපිට මේක නරඹන්නත් හරිම අපහසුයි. ඒ නිසාම කාන්තාව මේ දේශපාලනයෙන් ඈත් වෙනවා. රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් වන්නේ නැතුව අපිට බලාපොරොත්තු වෙන්න බැහැ ඡන්දදායකයින් ලෙස හෝ දේශපාලන ක්‍රියාධරයන් ලෙස කාන්තාවන් පෙරට එයි කියලා.
ලංකාවේ දැනට පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුත්තේ කෙසේද?
අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ ඒ වෙනස. ඒ වෙනස තේරුම් ගන්න දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලන නායකයින් තමා ඉදිරියේ ලංකාවේ ඉතුරු වෙන්නේ. ඒ වෙනස කරන්න බැරි අය ඩයිනසෝර්ලා වගේ ඉවර වෙලා යනවා.
By Dimuthu Wijesooriya – Wellington