කම්මැලි අයකු වූ ඔහු තම පවුල උපයන දෙයක් කා කඩ පොළේ රස්තියාදු වෙන අයෙකි. නමුත් විරේක බෙහෙතක් වන අරළු බුළු නෙල්ලි කසාය ගැන දැන සිටියේය. මෙම කසායට කියනුයේ ත්‍රිපල් කසාය කියාය. ඔහු ගැන රසවත් කතා රාශියක් ඇති අතර, එකක් කෂායක් මගින් නැති වූ හරක් බානක් සොයා දීම ගැනය.
01. නැතිවුන හරක් බාන.
දිනක් එහා ගමේ මිනිසෙක් නැතිවුණ හරක් බානක් සොයමින් ත්‍රිපල් වෙද මහත්තයාගේ ගමට ආවේය. ඔහු ත්‍රිපල් වෙද මහත්තයා හමු වී තමාගේ හරක් බාන දුටුවේදැයි ඇසුවේය. ත්‍රිපල් වෙද මහතා, “මම හරක් බානක් නම් දැක්කේ නෑ. නමුත් හරක් බාන හොයාගන්න බෙහෙත්නං කියන්නම්,” යැයි කිව්වේය. “හානේ, කොච්චර එකක්ද හරක් බාන හම්බ වෙනවානවෙනවා නම් බෙහෙත කියන්න වෙද මහත්තයා,” යැයි ගැමියා කීවේය.
ඕං එහෙනං මේ ත්‍රිපල් කසාය පතඅට එකට හිඳවා බොන්න යැයි කීවේය. එහා ගමේ මිනිසා ඉතා සතුටුව, “එහෙනම් හරක් බාන හමු උනහම තෑගි අරන් එන්නං ආයුබෝං,” කීවේය. ත්‍රිපල් වෙද මහතාත් “අනේ ඕකට තෑගි ඔනෙ නෑ. හැබැයි කැවුම් ටිකක් තිබුණ නං හොදා,” යැයි කීවේය. ගැමියා, “හොඳයි මම කැවුම් අරන් එන්නම්,” කියා වෙද මහතාගෙන් සමුගෙන ගෙදර ගියේය.
හරක් නැතිවුණ මිනිසා ගෙදර ගොස් ත්‍රිපල් කසාය සාදා පානය කර හරක් සොයන අටියෙන් දොළපාරක් අසල පාරකින් යන්න වුනි. ටික දුරක් යනවිට වැසිකිලි යන්නට ඕනෑ විය. ඔහු බට පඳුරක් අසලින් ඇළ ඉවුරට බැසීය. වැසිකිලි හමාර වී අවට බැලීය. එවිට හරක් බාන බට පඳුරේ පැටලී සිටිනු දුටීය. ඉතා සතුටින් හරක් බාන පඳුරෙන් ගලවා ගෙන ඔහු ගෙදර ගියේය.
ගෙදර ගොස් පවුලට කැවුම් පිසින ලෙස කීය. පවුල, “අර මක්කටැයි මේ කැවුම් පිසින්න කියන්නේ,” ඇය ඇසුවාය. එවිට ඔහු, “එහා ගමේ සිටින ත්‍රිපල් වෙද මහත්තයා දුන් කසාය නිසයි මට හරක් බාන හම්බ උනේ. උන්නැහෙට කෙළහි ගුණ සලකන්න එපායැ,” යැයි කීය. “එහෙමයි,” කියා පවුල ඉතා රසවත් ලෙස කැවුම් පිස මුලක් බැඳ දුන්නාය. ගැමියා කැවුම් මල්ලත් රැගෙන ත්‍රිපල් වෙද මහතාගේ නිවසට ආවේය. වෙද මහතාගේ පවුලත් නිවසේ නිවෙසේ සිටියාය. ගැමියා වෙදමහතාට වැඳ ආචාර කර කැවුම් මල්ල පිදීය. වෙද මහතාගේ පවුල, “අහවල් එකකටද අපේ මනුස්සයට තෑගි දෙන්නේ,” යැයි ඇසුවාය. ගැමියා ද මහත් හරසරින්, “වෙද මහත්තයා දුන් කසාය නිසයි මගේ නැතිවුන හරක් බාන හම්බුණේ,” යැයි කීය. වෙද මහතාගේ පවුල මුවින් නොබැන ගෙට ගියාය.
ගැමියා යන ගමන් වෙද මහතාගේ වික්‍රමය ගැන කඩපල අසල සිටි අනිත් ගැමියන්ටත් දැන්වීය.