මෙහි පළවන ලිපි ලේඛන හා පුවත්පත ගැන ඔබ එවන ලිපි, අදහස් හා යෝජනා ආදිය මෙම පිටුවේ පළකරනු ඇත. කාරුණිකව පුවත්පත සම්බන්ධව හෝ පළවන ලිපි ලේඛන ගැන හෝ ඔබගේ අදහස් හා යෝජනා අප වෙත එවන්න.
-කතෘ-
*****
ශ්‍රී ලංකන්ස් පුවත්පත බුදුදහමට සම්බන්ධ ලිපිවලට ඉඩ සලසාදීම අප කාගෙත් පැසසුමට හේතුවේ. මෙසේ ලියැවෙන සමහර ලිපිවල අන්තර්ගතය ඇත්තෙන්ම බුදු දහම ද නැත්නම් බුදු දහම යැයි ඒ ඒ ලිපි ලියන කර්තෘන් විසින් සිතා සිටින යම් මතවාදයක්ද යයි සැක හිතෙන අවස්ථාද ඇත. පුවත්පතේ පසුගිය 26 වෙනි කලාපයේ සමාධී යටතේ පළ වූ ‘ගතිපුරුදු හා හුරුපුරුදු -02 වැනි කොටස’ නමැති ලිපිය සහ බුද්ධ දේශනා 01 යටතේ පළ වූ ‘අනිත්‍යයභාවය’ නමැති ලිපි දෙක ගැන මෙහි සඳහන් කරන්නේ මෙයට උදාහරණ වශයෙනි.
බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරන ලද ධර්මයේ අඩු තැන් පිරවීමට ඉඩක් තබා නැත. ධර්ම දේශකයෙකුට හෝ ලේඛකයකුට කළ හැක්කේ බුදුරජාණන් දේශනා කළ ධර්මය ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීම පමණි. අවශ්‍ය නම් එහිදී සුදුසු උදාහරණ දිය හැක. මේ සඳහා ත්‍රිපිටකය, අටුවා, ටීකා, සහ ටිප්පනි ආදියත් අවශ්‍ය දැනුම සපයයි.
ඉහත කී ලිපියේ සදහන්වන ගතිපුරුදු හා හුරුපුරුදු යන මේවා බුදුදහමේ කිසිම තැනක සඳහන් ධර්ම කරුණු නොවේ. ලිපියේ කර්තෘ විසින්ම අර්ථ දක්වා උදාහරණ දක්වමින් මේ පුරුදු දෙක විස්තර කරයි. එය ඔහුගේම ඉදිරිපත් කිරීමක් පමණක් බව පෙනෙන්නේ බුදුදහමේ දැක්වෙන ‘සසර පුරුදු නොහොත් වාසනා ගුණ’ ගැන කිසිම සඳහනක් කර නැති නිසාය.
මෙම ලිපියට අනුව හුරුපුරුදු යනු එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යාමට උපකාරී වන පුරුදුය. එහිදී ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලිවලින් තොරව අව්‍යාකෘතව ඒවා කෙරෙන බවද කියයි. ‘අව්‍යාකෘත’ යන පාලි පදයේ අර්ථය පමණක් නොව අභිධර්මයේ ‘විපාක සහ ක්‍රියා සිත්’ පිළිබඳවත් ඇති නොදැනුවත්කම මෙයින් මොනවට ප්‍රකාශ වේ.
ලිපියට අනුව ගතිපුරුදු යනු ලෝභ, ද්වේශ, මෝහ යන ‘ගති’ සහිත පුරුදුය. අකුසල හේතු වශයෙන් අභිධර්මයේ දක්වන මේ ලෝභ, ද්වේශ සහ මෝහ චෛතසික කිසිවිටක ගති වශයෙන් හදුන්වන්නේ නැත. නමුත් තම මතය සනාථ කිරීමට අප කර්තෘ පාලි පද කීපයක් වන ‘තින්නං සංගති’ යන්නට ‘කෙලෙස් ගති තුන’ යන තවත් විකෘති අදහසක් ගෙනෙයි. නමුත් මධුපිණ්ඩික සූත්‍රයෙහි දක්වා තිබෙන ‘තිණ්ණං සඞ්ගති ඵස්සො’ යන්නෙහි නිවැරදි අර්ථය වන්නේ ‘මේ තුනෙහි එකතුවෙන් ස්පර්ශය වේ’ යන්නය.
කර්තෘගේ පාලි දැනුමේ විකෘතිය මුලින්ම තහවුරු වූයේ පුවත්පතේ 25 වැනි කලාපයේ පළවූ මෙම ‘පුරුදු’ පිළිබඳ මුල් ලිපියේ ‘තේසං හේතුං’ යනු ‘කෙලෙස් ගති තුනක්’ ලෙස වරද්දාගෙන තිබීමෙන්ය. එම ලිපියේම ‘තේසං ගති’ වශයෙන්ද නැවතත් වරද්දාගෙන තිබුණි. ‘තේසං හේතුං’ යන්නෙහි නිවැරදි අර්ථය නම් ‘ඒවායේ හේතු’ යන්නය. විමසිලිමත්ව කියවන කෙනෙකුට වැටහෙන්නේ මෙම ලිපිය ‘ගතිපුරුදු හා හුරුපුරුදු’යයි පුරුදු දෙවර්ගයක් බුදුදහමට පුරුද්දන්නට යන නිරර්ථක උත්සාහයක් බවකි.
අප විසින් සඳහන් කළ දෙවැන්න අනිත්‍යයභාවය නමැති ලිපියයි. ‘සබ්බේ සංඛාරා අනිච්චාති නැතහොත් සියලු සංස්කාරයන් අනිත්‍යය’ යන්න බුදුදහමේ මූලික ඉගැන්වීමක් මෙන්ම ඒ බව ප්‍රඥාවෙන් දැකීම දුකෙහි කලකිරීමටත් ඒ අනුසාරෙන් සසරින් නිදහස් වීමටත් හේතුවන බව දහමේ සඳහන්වේ. බුද්ධ දේශනාවක්ය යයි කියා පටන්ගන්නා ‘අනිත්‍යභාවය’, එම කර්තෘ විසින් තේරුම් කරන්නේ තිරස්චීන විද්‍යාවක් වශයෙන් බුදු දහමට අනුව හැඳින්විය හැකි නවීන විද්‍යාව හරහාය. ඔහු දන්නා විද්‍යාත්මක යැයි සිතිය හැකි කරුණු රාශියක් දිගින් දිගටම අභිරුචියෙන් විස්තර කරමින් යන්නේ බුදු දහමට සම්බන්ධ වචන පමණක් භාවිතා කරමින් මිස දහමට අනුකූලව නොවේ. ඉන්පසු ‘දුක, සැප ආදී වේදනා තීරණය කිරීම මෙන්ම ඕනෑම ක්‍රියාවක් සඳහා මොළය මිස මනසේ කිසිදු දායකත්වයක් ඇතැයි සලකනු නොලැබේ’ යැයි සඳහන් කරයි. මෙය ධර්මයට අනුව වැරදි වන්නේ මනස මිස ‘මොළයේ දායකත්වයක්’ ගැන ධර්මයේ කිසිම තැනක සදහන් නොවන නිසාමය.
මෙසේ මෙම ලිපිය පුරාම තමා දන්නා යම් විද්‍යාවකට මූලික තැන ලබා දෙමින් ජීවිතයේ නොයෙකුත් අවස්ථා විස්තර කිරීමට උත්සාහ දරයි. අවසානයේදී කාලයත් සමග වෙනස්වන අනිත්‍යතාවයක් ගැනද සඳහන් කරන එම ලේඛකයා මේ දක්වා මහත් ආයාසයෙන් විස්තර කළ ඔහුගේ විද්‍යා මතයන් ද අවිද්‍යාවක් බවත් පවසයි. අන්තිම පරිච්ඡේදයේදී විද්‍යාව විෂයයෙන් බැහැර වන කර්තෘ ‘මහාචත්තාරිස්සක සූත්‍රයේ අංග විස්සක මිත්‍යාදෘෂ්ටිය සහ දස වස්තුක සම්මා දිට්ඨිය’ ගැන කෙටියෙන් සදහන් කරන්නේ ඔහුගේ ඊළග ලිපියකට තබන දිගුවක් වශයෙන් වියහැක.
ලේඛකයා විද්‍යාව හරහා තේරුම් කරන්නට වෙහෙසුනු අනිත්‍යතාව පිළිබඳව මෙන්ම ලිපියේ මාතෘකාවට අනුව යමින් බුදුදහමෙන් පාඨකයාට ලබාදිය යුතු අනිත්‍යභාවය පිළිබඳවද යම් නිශ්චිත දැනුමක් ලබා දිය නොහැකිව යම් නිරර්ථක උත්සාහයක පමණක් යෙදීම සිදුවූ බව නම් කිව හැක.
ජගත්සිරි පුෂ්පකුමාර – ඕක්ලන්ඩ්






