fbpx
8.7 C
New Zealand
Tuesday, May 24, 2022
spot_img

තුරු සෙවණැලි අතරින්, සුනිල අඹරේ මතුවූ – සරා සඳ සැරදේ |  ආචාර්ය ගාමිණි කාරියවසම්

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

රුත්බර ප‍්‍රසාද ගුණයෙන් අනූන සුභාවිත ගී සමුදායකින් දැයේ අධ්‍යාත්මය භාව පුර්ණ රසඥතාවයෙන්  පුබුදු කළ  සාහිත්‍යධරයෙක්  මාර්තු 05 වන  දින සිය ජීවන වන්දනාවේ 78 වන ස්මරණීය ඉසව්ව කරා සමීප වේ. හේ සුනිල් සරත් පෙරේරා ශූරීන්ය. 1943 මාර්තු මස 05 වන දින කොලොම් තොටට ආසන්න කිරුළපන ග‍්‍රාමය ඔහුගේ නිජ බිමය. ඇම්. ඇල්බට් පෙරේරා සහ සුසියන් ද අල්විස් වෛද්‍යරත්න යුවළ මෙම සුපින්වත් කුමරුවාගේ මව්පියන් වීමට වරම් ලදහ.

 හේ, මුලින් ම අකුරු කළේ වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් සිප්හලෙහිය. අනතුරුව අර්තුසා විදුහලෙන්, හැව්ලොක් ටවුමේ ලූම්බිණි විදුහල්ලෙන් සහ මරදාන ශ්‍රි ලංකා විදුහලෙන්  නැණ  යහගුණ වඩා ගති.බාල අවදියේ පද්මිණිය හා නන්දාවන්  යන  දෙසොහොයුරියන් ද සමඟ තරඟයට ළමා ගී ගැයූ ඔහු , පසුකලෙක ළමා සාහිත්‍යයක් ගොඩනගන්නට පුරෝගාමී විය. සුනිල්  නිර්මාණය කළ ‘රටට පිපෙන මල්’ ගුවන් විදුලි ළමා මණ්ඩපයේ තේමා ගීතය සවන් වැකෙන සඳ නිරතුරුවම අප සිහියට නැගෙන්නේ ළමා සාහිත්‍ය පෝෂණය උදෙසා ඔහු  වෙතින් ඉටු වූ අමර මෙහෙවරයි.

සුනිල් සරත් ජන්ම දින යෙදෙන  මෙම අනුස්මරණීය අවස්ථාව පාදක කරගෙන, ඔහු  වෙතින් සාහිත්‍ය ක්ෂේත‍්‍රයට සහ විද්‍යුත් මාධ්‍ය ධාරාවට සිදු වූ අමිල මෙහෙවර විමසා බැලීම බෙහෙවින් ම කාලෝචිත වන බව නිසැක.

 ළබැඳි සුනිල් සරත් පෙරේරා ඉසව් රැසක වෙසෙසි ප‍්‍රතිභාපූර්ණ කුසලතා පැතිර වූ අද්විතීය විද්වතකු ලෙසින් ජන ඇගැයුමට, ජන සම්භාවනාවට පාත‍්‍ර වේ. මෙතෙක් ඔහු වෙතින් අප දේශයට ඉටු වූ සුවිසල් මෙහෙවර මෙබඳු කෙටි ලිපිකින් හකුළුවා දැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දිග් විජය කරමින් ඔහු පෑ අසිරිමත් පෙළෙහර මෙහිදී සංක්ෂිප්ත ව විමසා බැලීමට මම අදහස් කළෙමි. ඔහු කේන්ද්‍රීය ගමන් මග සාහිත්‍යය, විද්‍යුත් මාධ්‍ය හා පරිපාලනය යන තුංමංසල ඔස්සේ විහිදී පැතිරී පවතී.

සාහිත්‍යවේදී සුනිල්

 සුනිල්ගේ  සාහිත්‍ය මෙහෙවරේ  ප‍්‍රමුඛතාව හිමිවන්නේ ගීත නිබන්ධන විෂය ක්ෂේත‍්‍රය කෙරෙහිය. විවිධ අනුභූතීන් සහ තේමා ඔස්සේ සුභාවිත ගීත රාශියක් හෙතෙම සිංහල ගීත සාහිත්‍යයට දායාද කළේය. සුනිල් අමරදේව සුසංයෝගයෙන් උපන් සුභාවිත ගීත සාහිත්‍යය නිරතුරු සහෘදයන් සන්තානයෙහි යුග යුග රාව ප‍්‍රතිරාව නංවනු නිසැක. සුනිල් සරත් ගීතාවලියේ සුවිශේෂී තැනක් හිමි වන්නේ පේ‍්‍රමයේ විරහව පාදක කොට ගත් විප‍්‍රලම්භ ශෘංගාර රස නිශ්පත්තිය දනවන ගී සමුදාය වෙතය. පේ‍්‍රමය වැනි අති සුලභ වස්තු විෂයයක් වින්දනීය මූලය කර ගනිමින් ගී පද නිර්මාණය කිරීමේ දී, ඒකාකාරීත්වයෙන් තොරව මධුරතාව හා කාව්‍යමය ගුණ ලාවණ්‍යයෙන් සුසැදි නිර්මාණයක් ගෙත්තම් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එනමුදු සුනිල් සරත් තමන්ට නිසඟයෙන් උරුම වූ කුසලතා පූර්ණ අත්දැකීම් තුළින් පේ‍්‍රමයේ ගතික වූ මනෝභාවයන් මැනවින් පසක් කර ගෙන, මහත්ම වූ සංයමයකින් පේ‍්‍රමයේ උත්තරීතර ගතික ස්වභාවය මූර්තිමත් කිරීමට දක්වා ඇති සාමාර්ථය විශ්මය දනවනසුළුය. ගීතයක ආකෘතිය වින්දන මූලයකින් උපන් ශබ්ද රටාවක් බව වරක් සුනිල් අප සමග පැවසීය. හෙතෙම ගීත නිර්මාණය යථාර්තවත් සුගායනීය, රස නිෂ්පත්තිය කුළු ගන්වනසුළු  භාෂණයක් බවට පත් කළේය. ගීත නිර්මාණයේ දී නාම හා ක‍්‍රියා එකතුවෙන් රූපක අලංකාරය හඳුන්වා දීමේ ගෞරවය නිතැතින් ම ඔහු වෙත හිමිවේ.

 ළබැඳි සිත් මල් මිලිනව යන සඳ, ලොව අනියතතාව, වෙනස්වන සුළු බව තිව්‍රර ලෙසින් හදවතට ස්පර්ශ වේ. සිතට  හැඟේ.  එම සනාතන දහම මැනවින් පසක් කරගත් සුනිල් සරත් පෑන් තුඩින් යථාර්තය මහත් සංයමයකින් සිත්තම් වන අපූර්වතාව කෙතරම් අසිරිමත් ද.

‘ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා.’

පේ‍්‍රමයේ ආත්මීය උණුසුමින් ප‍්‍රමුදිත ව ඔවුන් ගත කළ ඒ සොඳුරු නිමේෂය දෘශ්‍ය ගෝචර ආකෘතියකින් කාව්‍යමය පරිකල්පනයකින් ඉදිරිපත් කිරීමට රචකයා දක්වා ඇති සමාර්ථය අති වෙසෙස්ය. ගීතයේ අර්ථය උද්දීපනය පිණිස ස්වර රචනයෙන් එච්.එම්. ජයවර්ධන සංගීතඥයා සහ සුගායනයෙන් අමරසිරි පීරිස් ගාන්ධර්වයා  දක්වා ඇති ප්‍රශංසා’ගර්භ උත්සාහය අගනේය.

‘පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම සළුවෙන් මුහුණ වසා.’

සිය සොඳුරියගේ සදාතනික වියෝව මූර්තිමත් කරන්නට රචකයා අවැසි සංකේත ඉතා තීක්ෂණ අන්දමින් සොබා පරිසරයෙන් උකහා ගනී.

‘යළිි කවදාවත් හමු නොවනා බව
මඳ පවනින් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර.’

පේ‍්‍රමවන්තයා සිය හිස පිස හමා ගිය මඳ පවන දකින්නේ සිය ප‍්‍රියාදරිය යළි කිසිදා හමු නොවන බව සිය හිස අතගාමින් සපථ කළ බවය. ගිම්හානය යුග දිවියේ සැඳෑ සමය සිහි ගන්වයි. දිවියේ සැඳෑව එළඹෙන වියපත් සමය යුවතිපති දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි කාල වකවානුවකි. එනමුදු ඇය ගිම්හානයට කළින් තමා වෙත සපැමිණෙතැයි අදහා ගනු අසීරුය. ගීතයේ අවසන් පද කීපය විප‍්‍රලම්භ ශෘංගාරය සහෘදයා සිත් හි ප‍්‍රබල ලෙස ප‍්‍රකම්පනයට පත් කරන සුළුය. ගීතය හා දැවටුණු සංගීතය පාළුව, විරහව, වේදනාව උද්දීපනය කිරීමට සමත් ය. සංකල්ප රූප, රූපක භාවිතයෙහි ලා මෙහි දී රචකයා අති සියුම් ප‍්‍රාගුණ්‍යතාවක් ප‍්‍රකට කරවයි.

මැතක දී  මහාචාර්ය විමල් දිසානායක මහතා  ‘ඇය යන්න ගියා මැකිලා…’ ගීතය තුළින්  රචකයා කදිම භාෂාත්මක වික්‍රමයක් දක්වා ඇති බැව් පැහැදිළි  කළ අයුරු මගේ මතකයට නැගේ.

එක් වචන මාලාවක් තුළින් එකිනෙකට වෙනස්  අර්ථ දෙකක් අර්ථ තල දෙකක උද්දීපනය වීම මෙහි වෙසෙසි භාෂාත්මක ප්‍රයෝගයක් ලෙස ඔහු දක්වයි. එය ඔහු හදුන්වන්නේ  ශ්ලේශාර්ථ ලක්ෂණය ලෙසිනි.  කාන්තාව සහ  සොබාදහම පිළිබදව  එක්වර එකවිට වින්දනයක් ගෙන දීම මෙම පද රචනයේ සුවිශේෂත්ව යයි

‘සෙනෙහස විලෙන් දිය දෝතක් පෙව්වාය
ළඟ හිඳ ලෙඩ දුකට උවැටන් කෙරුවාය
දරුවන් රැකබලා යහ මග යැව්වාය
අම්මා මළ පසුව ඔබ මට අම්මාය.’

 2012 වසර එළඹියේ සුනිලූන් හදවත  තත්‍ය  ලෙසින්ම වියෝ දුක්ඛ දෝමනස්සයන් ස්පර්ශ කරවමිනි. ඔහු ප‍්‍රියාදර බිරින්දෑ සරෝජිනිය ගිලන්ව රෝහල් ගතවෙයි. රෝගී සරෝජනිය අසළ රැඳි සුනිලූන් මනසෙහි සිය දයාවන්තිය වෙනුවෙන් පිළිසිඳී හෘදයාංගම ලෙන්ගතුකම පාදකව තත් ගීතය ඔහු අතින් නිර්මාණයවේ. 2012 පෙබරවාරි 15 වන දින සරෝජිනිය මෙලොවින් සමුගන්නේ සුනිල් සහ සංජීවී – උවිණි – උදාරා – සුසංගතා දෝණියන් සිවුදෙනා ද ඉමහත් සංවේගයට පත් කරමිනි.

ඉතාමත් සංවේදී කලාකරුවකු වූ සුනිල්, සිය බිරිඳ ගේ වියෝවින් සිය හදවතෙහි ඇතිවූ කම්පනය ඇසුරෙන් භාව පූර්ණ කාව්‍යයෝක්ති රැසක් ගීත සාහිත්‍යයට දායාද කළේය.

‘අවදිව ඇසැර ලොව දකිනා වෙලාවේ
උදයෙම මවෙත තේ උගුරක් ගෙනාවේ
ඔබ ගැන නිබඳ සිහිවන කල්පනාවේ
මොහොතින් මොහොත ළතැවෙමි හුදකලාවේ.’

සුනිල් තත්‍ය ජීවිතයේ දී අනපේක්ෂිත මොහොතක මුහුණ දුන් වේදනීය විරහ දුක්ඛ දෝමනස්සය ආශ‍්‍රයෙන් මෙම භාවාත්මක ගීතය උපන්නේය.

‘පුන් සඳානෙනි රාත‍්‍රියේ
මන්ද ලතැවුල මට පෙනෙන්නේ.’

පූර්ණ චන්ද්‍රයා මිනිස් සිත චමත්කාරයෙන් ආලෝලනය කෙරෙන සොඳුරු සොබා දසුනකි. පැරණි කවීහු බොහෝ විට නිලබර මෝදුවන පුන්සඳ පියකරු යුවතියක ගේ මුවකමලට උපමා කළහ.

එනමුදු නිශායාමයේ නැගෙන පුන්සඳ සුනිල් සරත් නමැති ප‍්‍රතිභාපූර්ණ කවියාගේ සිතට ගෙන එන්නේ ළතැවුලකි. ඔහු පුන්සඳ දකින්නේ, තම සිත් පාරවන, පාළුව, සාංකාව, විරහව ආශ්‍රිත මනෝභාවයන් තුළිනි..

ගීතයෙහි ප‍්‍රවේශයේදී ම ඔහු සිය සෙනෙහෙවන්තියගේ වියෝව නිසා සිය සන්තානයෙහි තෙරෙපෙමින් පවත්නා ශෝක සාංකාවන් තීව්‍රර ලෙස සිතුවම් කරන්නට ගත් උත්සාහය කුසලතාව ප්‍රශස්තය .

 ශුන්‍ය වූ හිස් වූ පේ‍්‍රමයේ අවසන් ඵලය විරහව වේදනාව බව සුනිර්මිත ගීතය කදිමට ප‍්‍රකට කරවයි. පේ‍්‍රමය කොතරම් රම්‍යතර වුවද සොබාදහම කෙතරම් මිහිරිතර වුවද ඒ සියල්ල සදාකාලික නොවන බවත් වෙනස්වන සුළු බවත් අවබෝධ කර ගත යුතුය යන සනාතනික දහම ඔහු ලොවට සිහිපත් කරවයි.

සුනිල් සරත් පෙරේරා ගේ නිර්මාණ හැදෑරීමෙන්,  මී ළඟ පරපුරට තමන්  යා යුතු නිවැරදි  මග පසක් කරගැනීමට ලද හැකි ආලෝකය ඉමහත්. 

‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය’ අමරදේව අමර ස්වරයෙන් අප සන්තානයෙහි සිත්තම් කළ සුනිල්, ඇය වෙතින් ‘නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙන’ සෙයක් දකින්නේ භව සසර අනියතතාව වෙනස් වන සුළු බව ප‍්‍රත්‍යක්ෂ කරලමිනි. සියුම් ප‍්‍රකම්පනයකින් අප හදවත් සසල කරලමිනි. මෙම ගීත දැහැනින් කාලය හා අනිත්‍යතාව ඒකාත්මිකව, සුන්දරත්වය මිලින කරලන අයුරු ද්වනිත කරන්නට ඔහු  උපයෝගී කරගන්නේ සුගම සුමට පද සංයෝජන රටාවකි. එමගින් ඔහුගේ  පරිකල්පන ශක්තියේ තීව්‍රරතාවය හා අපූර්වත්වය මොනවට විශදවේ.

ගීත නිර්මානනීය වපසරිය තුළ  පරිසර ගීත  සාහිත්‍යයක් බිහිකරලන්නට සුනිලුන් පුරෝගාමීවූ සෙයකි. පරිසරය වෙනුවෙන් සුනිල් සරත් පෙරේරා කළ නිර්මාණ මෙහෙවර මෙතෙක් ප්‍රමාණාත්මකව  ඇගයුමට බදුන් වු සෙයක් දිස් නොවේ. ඔහුගේ පරිසර  සබැදි ගීතාවලිය  ඇගයීම සංස්කෘතික අධ්‍යයනයක් ද වනවා මෙන්ම සුනිල් සරත් පෙරේරා කියවීමක් ලෙසින් ද හැගේ.   ගීත සාහිත්‍යය පිළිබඳව සාකච්ජා කිරිමේ දී ඔහුගේ නිර්මාණ ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි. ඔහු කළ භාෂාත්මත ගවේෂණය හා පෙරළිය  විචාරක අවධානයට යොමු කළ යුත්තකි. රූපකය යනුවෙන් හඳුන්වන භාෂාත්මක ක්‍රමය මෙන්ම විශ්ලේෂාර්ථය කේන්ද්‍ර කරගෙන ඔහු කළ වික්‍රම මහාචාර්ය විමල් දිසානායක යන්න්ගේ  නොමද අවධානයට, පැසසුමට, හුවා දැක්වීමට පාත්‍රවිය

මෙහිදී රූපකය නම්  ප්‍රයෝගය විශේෂයෙන් නාමපද හා ක්‍රියාපද සම්බන්ධ කෙරෙමින් කෙරෙන රූපක සම්මිශ්‍රන වික්‍රමය නූතන සිංහල ගීත සාහිත්‍යයට හඳුන්වාදුන්නේ සුනිලුන්ය. නූතන සිංහල ගීත සාහිත්‍යයට නාමපද හා ක්‍රියාපද බද්ධ වී කෙරෙන රූපක අත්හදාබැලීමයි. මෙයට හොඳම උදාහරණය ‘සැන්දෑකළුවර ගලාහැලෙන විට…’ සනත් නන්දසිරි ගයන ගීතය යි. එහි කළුවර ගලාහැලෙනවා, සෙනෙහස දැල්වෙනවා යන රූපක නාමපද හා ක්‍රියාපද සම්මිශ්‍රිත  නිර්මාණයන්ට නිදසුන් ලෙස සැලකිය හැකිය.  සුනිල් සරත් පෙරේරා පරිසර සාහිත්‍යයට  සෘජුවම  කළ   දායකත්වයට අමතරව ඔහු කළ ගීත නිර්මාණ තුළින් වක්‍රව පරිසර වින්දනීය සහ සංරක්ෂණීය  උපාය මාර්ගයන් දුට හැකිය. පරිසරය යන්න දේශානුරාගය සහ භාෂානුරාගය දැනවීමටද උපයෝගී කරගැනීම ඔහුගේ නිර්මාණ කෞශල්‍යයේ   හෘදයාංගම ගති  ලක්ෂණයකි

අමරද්ව ශූරින් ගායනා කරන

‘පියාසර කර ආමි  දේශයෙන් දේශයට
මගේ රට මට අගෙයි මට තව්තිසාවට වැඩිය …’
‘ සුමුදු සුදු වළාවෙන් මිදෙත දළදා මැදුැර
ඇසෙයි අළුයම් දුරේ තේවාවේ හේවිසිය…’

ගීතයන්ගෙන්, දේශානුරාගය, භාෂානුරාගය මෙන්ම පරිසර සංවේදීතාව ගැනද ඔහුගේ කුසලතා මොනවට ප්‍රකට කෙරේ..

‘කන්දෙන් ලන්දෙන්බැස දිව එන්නේ
මාදංබෝවිටියා රස දන්නේ
නින්දේ දුටු  සිහිනය එළිවෙන්නේ …’‍

සුනිල් ගේ  පෑන් තුඩින් සිත්තම් වු තත් ගීතයෙන්, දඟකාර යුවතියකගේ ගමන් විලාසය මෙන්ම පරිසර චමත්කාරය ද සජීවීමත් කෙරේ.

ගීත විචාර කලාව නැවුම් මගකට යොමු කරලීමේ මූලික ප්‍රයත්නයක් දැරූ සාහිත්‍යධරයෙක් ලෙසින් ද සුනිලුන් ගමන් මග ඇගයුමට බදුන්වේ. ඔහු ලියූ ‘ගීත රචනා විමර්ශන ‘ග්‍රන්ථය මීට කදිම නිදසුන්ය. ඉන් අනතුරුව කලාත්මක ගීතයේ  මුහුණුවර හඳුන්වා පුවත්පත්වලට ලියා ඇති ලිපි සංඛ්‍යාවද මෙහිලා සිහිපත්  කිරීම වැදගත්.

සිංහල සාහිත්‍ය වංශයට සුනිල්  එක් කළ ග‍්‍රන්ථ රාශියකි. හුදකලා මතකය, තුන්පත් රටා, මායා මාවත, සඳකත් මිණ ඒ අතරින් පාඨක ප‍්‍රජාව ආකර්ෂණය කිරීමට සමත් විය. 1996 දී ඔහු පෑන් තුඩින් ලියැවුණු ‘මහ කන්ද’ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමිණි. සුනිල් රූපවාහිනී නිල සඟරාවේ නිර්මාතෘවරයා ලෙසින් ද එම ආයතනයේ  කාර්යය භාර්යය ජනතාව අතරට ගෙන යෑමට ගනු ලැබූ ප‍්‍රයත්නය පැසසුම් කටයුතුය.  මේ රටේ පළමු  පරිසර සඟරාව.’සොබා’ යන නමින් දොරට වැඩමවීමට හේ පුරෝගාමී විය.  පරිසර සාහිත්‍ය පතපොත රාශියක් ඔහු දැය හමුවේ තැබුවේ, ඔහු තුළ නිසගයෙන් ම පැවති  පරිසර ලෝලීත්වය නිසා බව හැගේ.

පරිපාලන සහ  විද්‍යුත්වේදී සුනිල්.

 සාහිත්‍යධරයකු පමණක් නොව සුනිල් පරිපාලනවේදියෙකු සහ විද්‍යුත් විශාරදයෙක්  ලෙසින් පෑ විකුම් අසිරිමත්ය. පරිපාලනය සහ පරිකල්පනය එක්තැනව ඵල ලද අවස්ථාවක් ලෙස එම යුගය  හුවා දැක්විය හැකිය.

 ඔහු අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙසින් ද ඉටු කළ මෙහෙවර ජනතා ඇගැයුමට බඳුන්වේ. වරක් හේ මැද පෙරදිග තානාපති කාර්යාලයක සේවයෙහි නිරතව සිටිමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය එරට නංවාලීම පිණිස ඉටු කළ සේවය ප‍්‍රශස්තය.

1993 ජුලි මස සුනිල් සරත් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් ධුරය භාර ගත් අවදියේ මම ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවමින් සිටියෙමි. පුද්ගලයින් වශයෙන් අප දෙදෙනා අතර පැවති දැඩි සුහදතාව ආයතන දෙක අතර ද ගොඩනැංවීමට සුනිල් මූලිකව ක‍්‍රියා කළ අයුරු මෙම අවස්ථාවේදී මට සිහිපත් වේ. රූපවාහිනී ගුවන් විදුලි ආයතන දෙක අතර හේ සේතුවක් නිර්මාණය කිරීමට සමත් විය. අපි දෙදෙනා  ආයතන ද්වයෙහි වැඩසටහන්, ශිල්පීන් මෙන්ම කාර්ය මණ්ඩල අතර සුහදතාව ගොඩනැංවීමට උරෙනුර ගැටෙමින්  නව්‍ය උපාය මාර්ග සැලසුම් කළෙමු. එහි එක් පියවරක් ලෙසින් ඔහු දෛනික ගුවන් විදුලි වැඩසටහන් පිළිබඳව පූර්ව ප‍්‍රචාරයක් රූපවහිනියෙන් ලබා දීමට මඟ සැලසීය. ඇතැම් ජනප‍්‍රිය වැඩසටහන් රූපවාහිනියෙන් විකාශනය වන අවස්ථාවල ඊට සමගාමීව එම වැඩසටහන් ගුවන් විදුලි තරංග ඔස්සේ ද විකාශනය කිරීමට මම පියවර ගතිමි. වර්තමානයේ මෙන් ඈත එපිට ගම්මානවල එවකට රූපවාහිනී යන්ත‍්‍ර බහුල නොවීය. එබැවින්  ග‍්‍රාමීය ජනතාව වෙත රූපවාහිනී වැඩසටහන් හා සබැදි දෙබස්,ගී සහ සංගීතය  සවන් පත් වෙත ගුවන් තරංග ඔස්සේ  සමීප  කිරීමට ගුවන් විදුලියට මෙයින් කදිම  අවස්ථාවක් සැලසිණි.

රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සුනිල් සරත් රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් වෙත තිළිණ කළ ජනප‍්‍රිය වැඩසටහන් සමුදාය අතරින් ‘මනෝහාරී’ ගී ප‍්‍රසංගයට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. දඹදිව බුදුන් වහන්සේ උපන් බිම සිට වෙසක් උත්සව දිනයේ සජීවී ලෙස ප‍්‍රචාරය කළ ‘බුද්ධ පූර්ණිමා’’ වැඩසටහන සුනිල් සරත් ශූරීන් ගේ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

 2005 නොවැම්බර් මස 24 වන දින සුනිල් සරත් වෙත ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය හිමි වන්නේ දෛවෝපගත සිදුවීමක් ලෙසිනි. ඔහු සිය ධූර කාලය තුළ ගුවන් විදුලිය ප‍්‍රතිඵලදායි නව දිශානතියකට යොමු කිරීමේ මෙහෙවරක නිරත  විය. එම කාල වකවානුව තුළ සුනිල් ළමා පරපුර වෙනුවෙන් ‘විදුළ’ ළමා ගුවන් විදුලිය ළමා පරපුරට දායාද කළේය.

සුනිල් සරත් පෙරේරා ළබැදි සාහිත්‍ය ධරයාණන්  සිය 77 වන ජන්ම  දිනය සමරණ මොහොතේ, ඔහු ඉටුකළ  සුවිසල්  සාහිත මෙහෙවර, කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමින්   ඔහුට    චිර ජීවනය ප්‍රාර්ථනා කරමු..

By Dr. Gamini Kariyawasam

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.