මේ ලෝකයේ මිනිසෙකු ලෙස ඉපදීම ඉතාම දුර්ලභයි. ‘දුල්ලභංච මනුස්සත්තං.‘ බුද්ධ දේශනාව තුළ ඒ බව පැහැදිලි කරන්නේ එලෙසයි. මිනිසෙකු ලෙස ඉපදුනත් සැබෑ මිනිසෙකු ලෙස ජීවත් වීම ඊටත් වඩා දුර්ලභයි. ‘මනං උස්සතීති මනුස්සා.‘ මනසින් උසස් නිසා මිනිසා යැයි කියනු ලැබේ.
මිනිස් මනස ඉතා උසස් බව අප අසා තිබෙනවා. ඒ උසස් මනසින් කළ නොහැකි දෙයක් නොමැත. ලෝකයේ යම් තාක්ෂණික මෙවලම් සකස් වී ඇත්නම් ඒ සෑම භෞතික මෙවලමක්ම සකස් වුණේ මිනිසාගේ මනසේ ආනුභාවයෙනි. පොළවෙන් උඩ සහ යට සෑම තැනකම ඇති පදාර්ථයන් සහ ඒ පදාර්ථයන්ගේ ස්වභාවය සොයා ගැනීම සඳහා ඒ වටිනා මිනිස් මොළයෙන් සැදූනු මනසින් සොයාගත් තාක්ෂණික මෙවලම් උපකාරි වී තිබේ.
එපමණක් ද නොව ලෝකෝත්තරව ගත් කළ මිනිසාගේ අධ්‍යාත්මය සොයා ගැනීම සඳහා මිනිස් මොළයෙන් සෑදුනු මනස ඉතා වැදගත්ම අංගයක් බවට පත් වෙනවා. මනස තුළ ඇතිවෙන වෙනස් වීම් මිනිසාගේ එදිනෙදා චර්යාවන් හා බද්ධ වී පවතින බව අප දන්නා කාරණයකි. මනස තුළ ඇතිවෙන වෙනස් වීම් මිනිසාගේ චර්යාවන් ඔස්සේ යම් කිසි ඉලක්ක ගත පරමාර්ථයකට ඔහුව සකසනවා. එය දැනුවත්ව හෝ නොදැනුවත්ව විය හැකිය.
එම චර්යාවන් කුසල, අකුසල, පිං, පව්, හොද, නරක, පිරිසිදු, අපිරිසිදු වශයෙන් මිනිස් මනස හා සම්බන්ධව ක්‍රියාත්මක වේ.
‘පභස්සර මිදං භික්ඛවේ චිත්තං.‘ මහණෙනි, ඉපදෙන විට සිත ඉතාම පිරිසිදුයි. ප්‍රභාෂ්වරයි. ආගන්තුකෙහි උපක්කිලිට්ඨෙහි උපක්කිලිට්ඨං.‘ පසුව ආගන්තුකව පිටතින් පැමිණෙන උපක්ලේෂ හේතුවෙන් මේ සිත කිලිටි වෙයි. ඇසෙන් රූපත් කණෙන් ශබ්දත් නාසයෙන් ගඳ සුවදත් දිවෙන් රසයත් ශරීරයෙන් ස්පර්ශයත් යන ඒ ඒ ඉන්ද්‍රියන් හරහා එන අරමුණු නිසා මනස වෙනස් වීමට ලක්වේ. මේ නිසා මනස නොහොත් සිත නොයෙක් අරමුණු ඔස්සේ ගමන් කරයි. බැඳුනු තැන්හි ඇද බැද තබා ගනී. ගලවා ගැනීමට අපහසු ආශ්‍රවයන් හා බැදීම් ඇතිකර ගනී. මේ නිසාම මනස තේරුම් ගැනීමට අපහසු ශක්තියක් බවට නිතැනින්ම පත්වේ.
මේ වෙනස් වීම තේරුම් ගැනීමයි අවබෝධයෙන් සිටින මිනිසා විසින් කළ යුතු වන්නේ. එය සාක්ෂාත් කළ ලොව උතුම්ම මිනිසුන් වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාය. උන්වහන්සේලා එය අවබෝධ කර ගත්තා පමණක් නොව ‘ඒහි පස්සිකෝ,‘ ඇවිත් බලන්න ඔබට එය ගැළපේ නම්, කැමති නම්, පිළිගන්න, නැති නම් නොපිළිගන්න, යනුවෙන් මේ ලෝකයේ ගුරුවරුන් වශයෙන් දිය යුතු වූ මහා ස්වාධීන අයිතියෙන් එම ධර්මය සමාජ ගත කළහ. ඒ තුළ බලහත්කාරකමක්, බලපෑමක්, දඩුවම් කිරීමක් දකින්නට ලැබුණේ නැත. ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය තහවුරු කළහ.
එය පුද්ගල මනසට අමා වැස්සක් බවට පත් වුණා. ජාති, කුල, ආගම් භේදයකින් තොරව මේ අමා වැස්ස මිනිස් මනසවල් දොවාලමින් මිනිස් චිත්ත සන්තානයන්හි ස්වභාවිකව ජාතක වන කෙලෙස් මූලයන් පිරිසිදු කරන්නට තරම් සෞම්‍ය ජල ධාරාවක් බවට පත් වුණා.
අද ලෝකයේ පවතින සෑම යුද්ධයකටම පීඩනයකටම ගැටළුවකටම වේදනාවකටම ගින්නකටම සරල මෙන්ම ගැඹුරු විසදුම් ඒ සෞම්‍ය වූත් ගැඹුරු වූත් ධර්මය තුළ ගැබ්වුණා. එය කුමක් නිසාවත් නොව අධ්‍යාත්මික ගුණ වගාව තුළින් පෝෂණය වුණු යහපත, අයහපත, පින, පව, කුසලය, අකුසලය කුමක් ද යන්න අවබෝධ කර ගත් මිනිසාගේ මනස නිසාමමයි.
By Honorary Master of Arts Panditha Ven. Mathurata Pannaratana Thero
Sri Wijayasundarama Ancient Temple, Asgiriya, Kandy.