‘You Have Gone’-From the Novel ‘Potiki’, by Patricia Grace.
ඔබත් ගියෙහිය යන්නට – පැට්‍රිසියා ග්‍රේස්ගේ ‘පොටිකි’ නවකතා පොතෙනි.
‘ගී ගයන විහඟෙක්
යන මෙන් ඉගිල ඉවතට
ඔබත් ගියෙහිය යන්නට
අතැ’ර මා අනෙක් අතකට
මල් ගසෙහි ඔබ සිටි
මුල් ඇත මගෙ දෙපා සිරකර
යා නොහැක කිසි අහ
සිටිමි තනි වී මෙතනම
පිපෙන මල් පර වී
වැටෙන වැහිබිඳු විලස මිහිමත.’
මුහුදු බඩ ‘හොන්ගොයිකා’ වල මාඕරි ප්‍රජාව පසුබිම් කරගනෙ ලියවුණ ‘පොටිකි’ නවකතාවෙන් කියැවෙන්නේ තම මුතුන් මිත්තන්ගෙන් මෙම ප්‍රජාවට උරුම වු ඉඩම් සංවර්ධන ව්‍යාපාරයකට අත්පත් කරගන්නට නොදී බේරාගැනීමට ගත් උත්සාහයකි.
මාඕරි බසින් පොටිකි යනු පවුලක ‘බාලයා’ ය. මෙම කතාවේ එන බාලයා ටෝකෝය. ඔහු ගේ මව මානසික ආබාධිත කාන්තාවකි. පියා කවුදැයි නොදනී. ටෝකෝ ද විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකි. ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපාරයක් විසින් කරගෙන යන ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය හා ඊට නැගෙන ප්‍රජා විරෝධය ටෝකෝ කල්තියා අවබෝධ කරගත් බව කතාවේ කියැවේ. මාඕරි ප්‍රජාව මෙම ව්‍යාපාරයට විරෝධය පළ කළ අතර ව්‍යාපාරික ආයතනය වැසියන්ගේ නිවාස පුළුස්සා දමා මාඕරි මරායේ ගොඩනැගිල්ල ද විනාශ කළේ ය. ගැටුමේදී ටෝකෝ මරණයට පත් විය.
වැනසුණූ මරායේ ගොඩනැගිල්ලේ සිට බලගැන්වුණ මියගිය ටෝකෝගේ ශක්තිය (ආත්මය) මගින් දෙන කරුණූ අනුව එම මාඕරි ප්‍රජාව යළි හිස එසවීම කතාව අවසානයේ දැක්වේ. මෙය ආදරයක් හා විරහවක් සම්බන්ධ පැදි පෙළකි. මෙකී පසුබිම මගින් ඒ කවරාකාර ආදරයක් දැයි කියවන්නාට සිතා ගත හැකිය.

———————————————–
The Ballad of the Blind by Joy Cowley.
‘අන්ධයකුගේ ගීතයක් – ජෝ කව්ලි
මීදුම් කැටි වන්
ගායනය අතරින්
වචන පිබිදී වැඩෙන විට
මට දෙන්න එක ඉඩක්
ඔබට ගයන්නට
අන්ධයකුගේ ගීතයක්.
නැත ඊට නාමයක්
එහෙත් දනිමි මම
හදවතකට පෙනී යන
වෙනත් මං ඇති බව.
ජෝ කව්ලි නවසීලන්තයේ විශිෂ්ඨ ගණයේ ලේඛිකාවකි. ඇය නවකතා, කෙටිකතා, ළමාකතා හා ඉගෙනිමට අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් පොතපත රාශියක් ලියා ඇත. දේශීය හා විදේශීය සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඇයට නවසීලන්ත මැසේ සරසවිය සම්මාන ආචාරියය උපාධියක් ද පිරිනැමුවේය. පසුකාලීනව Macular Degeneration නිසා දෑස පෙනීම දුර්වල වුව ඇය පොත පත ලිවීම අත් නොහැරියාය. මෙකී අවසාන තොරතුර හා මේ කවිය අතර අප ශෝකයට පත් කරවන සම්බන්ධතාවයක් ඇත.

Sri LankaNZ






