‘මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා. ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා
ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ. වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවණේ.’
ලස්සණ අත්දැකීමක්. වචන එකතුවක්. ගීතයක්. අතීතාවර්ජනයක්. ලූෂන් බුලත් සිංහල , සුරංග දසනායක සමග යෙදුණ කතා බහකින්…
දවස පුරා තිබුණු වැහි කළුවර හීන් සිරි පොදයක් බවට පත්වුණු හැන්දෑවේ උණුසුම් කෝපි කෝප්පයක් තොලගාමින් ලුෂන් බුලත්සිංහලයන් සමග කතාවකට වැටුනේ තවත් ගීතයක රසබර තොරතුරු දැනගන්න.
‘මේ වැස්ස දකිනකොට මට මම ලියපු ගීත දෙකක් මතක්වෙනවා. ඒ දෙක ගැනම කතා කරමු. මොකද ඒ ගීත දෙකටම තිබෙන්නේ එකම පසුබිම් කතාවක්.‘. බුලත්සිංහලයන්ම කතාව පටන්ගත්තා.
‘මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා, ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා’. මේ ගීය ගැන කියන්නම් මුලින්ම’.
‘මේ අත්දැකීම මම ලබන්නේ නුවරදී. ඒ කාලේ මගේ පෙම්වතිය හිටියේ නුවර.මම වැඩකළේ නුවරඑළියේ. පෙම්වතියගේ නැන්දා කෙනෙකුගේ විවාහ මංගලෝත්සවය යෙදිලා තිබුණා පහුවෙනිදට. ඒකට සහභාගී වෙන්න්නයි මම එදා නුවර ආවේ. නුවර මට නුහුරු පළාතක්. ඉතින් යෞවනයේ ප්‍රේමයත් බොහොම නැවුම්. උඩරට පළාතට, දේශගුණයට මම අලුත්. මම නුවරින් ලේවැල්ල බස් එකේ නැගලා ගිහිල්ලා පෙම්වතියගේ ගෙදරට යන පාර පටන්ගන්න හන්දියෙන් බැස්සා. එදා ඔන්න ඔය සිරිපොද වැස්ස. පරිසරය අඳුරුයි, නුහුරුයි. වහින නිසා මාව ගෙදරට එක්කගෙන යන්න මගේ පෙම්වතිය ඇවිල්ලා හිටිය හන්දියට. ඉතින් ඒ වැස්සේ කුඩයක් ඉහලාගෙන ඇය මාව ගෙදර එක්කගෙන ගියා. ඔන්න ඕක තමයි මේ ගීතයේ මූල බීජය.’ බුලත්සිංහලයන් වැස්ස දෙස බලාගෙනම ඒ සොඳුරු මොහොත මගේ හිතේ විචිත්‍රවත් කළා.
‘ඉතින් ගීතය ලියවුණේ ඔය සිද්ධියට ආසන්න දවසකද?’
‘නෑ. මේ ගීතයේ විරහවක්නේ කියවෙන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ ඉතින් කාලය ගෙවිල ගියා. පෙම්වතුන් වෙන් වුණා. හැත්තෑව දශකයේ මම ගුවන් විදුලියේ වැඩකරන කාලේ, නිරංජලා සරෝජනී මට කිව්වා සරල ගී වැඩසටහනකට ගීතයක් ලියල දෙන්න කියලා.
‘මේ ගීතයේ පද හරි සරලයි. ගීතයේ පිවිසුම් කොටසේ තියෙන්නේ එක වාක්‍යයයි. ස්ථායී කොටස් දෙකේ තියෙන්නේ වාක්‍ය හතරයි. මේ ලක්ෂණය ඔබේ බොහෝ ගීතවල තියෙනවා.’

‘ඔව්, ගීතයේ වචන සරලයි. මගේ බෝහෝ ගී ඒ වගේ. ඒකට හේතුව තමයි බොහොමයක් ගී ලිව්වේ සරල ගීවලට. ඉතින් ගීත සරල වෙන්න එපැයි’. බුලත්සිංහලයන් කිව්වේ සිනහවෙමින්. ‘මේ සරල ගී ලියන කාලේ එවක ගීත රචකයෝ, මේ රීතිය අනුගමනය කළා. සරල වචන භාවිත කරන්නත් ඉතාම කෙටියෙන් අදහස් ඉදිරිපත් කරන්නත්. ගීතය නිතරම විනාඩි තුනකට සීමාකරන්න නිෂ්පාදකවරු, සංගීතඥයෝ එහෙමත් කියල තිබුණා. ඒ නිසා තමයි හැත්තෑව අසූව දශකවල ලියවුණු සරල ගීත ඔය මුහුණුවර ගත්තේ.’
‘ඊට පස්සේ මොකද වුණේ? ගීතය දුන්නේ කාටද’?
‘නිරන්ජලාට. ඊටපස්සේ දවසක ගීතය රෙකොර්ඩ් කරන දවසේ තමයි මම දැනගත්තේ ගීතයේ වැඩ ඉවරයි කියලා. මම දැනගෙන හිටියේ නැහැ සංගීතය යෙදුවේ එච්.එම්. කියලවත්. මගේ කෙටි පැනයට උත්තරය ලැබුනේත් සිනහවකින්.
‘ඔබ මුදලට ගීත ලියපු කෙනෙක් නෙමෙයි….?’
‘මම ලියපු චිත්‍රපට ගීතයකට හැරුනාහම ගීත ලියන්න මුදල් ගත්තේ නැහැ. අනික සරල ගීතවලට මුදල් ගන්නත් බැහැ. ශිල්පියා බොහොම අමාරුවෙන් තමයි සරල ගීතයක් කරන්නේ. මගේ ජේෂ්ඨයන්ට, සමකාලීනයන්ට සාපේක්ෂව මම ගීත ලියලා තියෙන්නෙත් අඩුවෙන්. කොහොම නමුත් මම වෘත්තියක් විදියට ගීත ලිව්වේ නැහැ. ඒවගේම මම අබේවර්ධන බාලසූරිය හොඳට අඳුරනවා. ඉතින් ඒ ඇඳුරුම්කම මත තමයි මේ ගීතයත් ලිව්වේ.
‘ගීතයේ අරුත විග්‍රහ කළොත්.’
‘මේක විග්‍රහ කරන තරම් ගැඹුරු ගීතයක් නෙමෙයි. බොහොම සරල ගීතයක්. ගීතයට පාදක වුණේ අපි මුලින් කතා කරපු සිද්ධිය. නමුත් ගීතය ලියවෙන්නේ පෙම්වතියගේ කෝණයෙන්. ඇය බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා සියලු දෙනාගේ ආශීර්වාද මැද එක්වෙන්න. නමුත් පෙම්වතා ඇය හැරගොස්. ඔවුන් පෙම්වතුන් ලෙස ගතකළ අවදියේදී සොබාදහමේ ඇතිවුණු සංසිද්ධියක්. සිරිපොද වැස්සක් හරියට මුතුකැට වැටෙනවා වගේ. ඒ සංසිද්ධිය සිදුවන විටෙක මතකයන් අවදිවෙනවා. ඔහු නැති විරහව දැනෙනවා’.
‘මේ හා ඈදුණු අනිත් ගීතය. ඒත් වරුසාවක් ගැනමයි. කුඩයක් යටින් යන රූපයකුත් මැවෙන. මේත් ඒ වරුසාවමද?’
‘ඔව්, ඒ නිමිත්තම තමයි, පෙම්වතාගේ පැත්තෙන්. පළමු ගීතයේ නුවර ගැන කියවෙන්නේ නැහැ. නමුත් මේකෙදි නම් නුවර ගැනත් කියවෙනවා’.
‘ගීතයේ තවත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා, ‘නහවයි මා රියසක මඩ වතුරේ, කියන තැන’, එහෙම නේද?’.
තවමත් නොනැවතී වැටෙන වරුසාව දිහා බලාගෙන මොහොතක් නිහඬව සිටි බුලත්සිංහලයන් නැවතත් මතකය අවදි කළා.
‘මඩ වතුර නාපු සිද්ධිය වුණේ කොළඹදී. එදා වැස්සක් වැහැලා පායලා තිබුණේ. කිරුළපන හරියේ මම පාර අයිනෙන් මගේ දුවත් එක්ක ඇවිදගෙන එනවා දුවට බෙහෙත් ගන්න ගිහින්. එතකොට ඇයට අවුරුදු හතරක් විතර ඇති. දන්නවනේ ඉතින් අපේ මහාමාර්ග, වැස්සහම වාරිමාර්ග වෙනවනේ. පාරේ මඩ වලවල් තිබුණා වතුර පිරුණු. ඔය අතරේ මම දැක්ක අර මගේ පරණ පෙම්වතිය. එදා කුඩේ යටින් උණුහුමට මාත් එක්ක ගිය කෙනා , කාරෙකක යනවා. එකපාරටම කාරෙක අපි ගමන්කරමින් හිටිය තැන තිබුණු මඩවල උඩින් ගියා’.
‘ඊට පස්සේ …?’
‘ඊට පස්සේ ඉතින් රියසක මාව මඩ වතුරෙන් නෑව්වා, ගීතයේ කියන විදියටම. හැබැයි ඉතින් රියසක නම් එහෙම කරන්නේ නෑ. මොකද අපේ සබඳකම් දන්නේ නැහැනේ. අර සුක්කානම දරපු මගේ පෙම්වතියගේ ස්වාමියා ඒ සබඳකම දන්නවා. ඉතින් මාව නෑව්වා හිතලම’. බුලත්සිංහලයන් කිව්වේ කොක් හඬලා සිනාසෙමින්.
‘ගීතය පටන් ගන්නේ නුවර මන්දාරම් අඳුර ඒවගේම ඒ හා බැඳුනු සිරිපොද වැස්ස ගැන කියමින්. එතැන් පටන් මේ ගීතයේත් ගැඹුරින් විස්තර කරන්න දෙයක් නැහැ. හරි අපූරුවට චිත්‍රය මැවෙනවා’.
‘ඔව්, මේකත් ලිව්වේ සරල ගීතයක් විදියට රෝහණ වීරසිංහට. ඔහුගේ සරල ගී වැඩසටහනකට. ඉතින් අර සරල ගී න්‍යාය මෙතනදීත් අනුගමනය කළා. රෝහණ ගීතය අරගෙන සංගීතය යොදල ගායනා කළා. තනුව පුණ්සිරි මහවත්තගේ.’
මේ ගීතය ලිව්වෙත් ‘මිණි මිණි පොදේ’ ලිව්ව කාලෙදීමද?
නෑ , ඊට ටික කාලෙකට පස්සේ. ඇත්තටම තවත් ගීතයක් ලිව්වා මේ සිද්ධිය සම්බන්ධව ඩබ්ලිව්. ඩී. ආරියසිංහට. වර්ෂාව ඔබ මට හිංසාවකි කියලා. නමුත් ඒ ගීතය අනිත් ගීත දෙක තරම් ජනප්‍රිය වුණේ නැහැ. කොහොම නමුත් ඔය ‘වරුසාවට’ ඈඳුණු ගීත තුනක් තියෙනවා. බුලත්සින්හලයන් කිව්වේ නැවතත් සිනහවෙමින්.
වැස්ස දෙස බලාගෙන, නැවත නැවතත් මේ ගීත තුළින් ඇඳෙන සිතුවම බලාගෙනම මම බුලත්සිංහල යන්ට සමුදුන්නා.
මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා
ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවණේ
මා හෙලු කඳුළැලි පුරවා වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී …
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ
සුරංග දසනායක – ඩෙනිඩීන්







