ආචාර්යය ඩබ්. ඒ. අබයසිංහ මහතාගේ ‘නවසීලන්ත මාඕරි ජනකතා’ පොතෙනි.
ටේ අරවා නෞකාවෙන් අඔටෙආරෝවා (Land of White Cloud-New Zealand) වෙත පැමිණි ඉතා ප්‍රසිද්ධ පූජකවරයෙකි, නටොරොරන්ගි. ඔහුගේ මේ ගමන කොතරම් අත්දැකීම් බහුල එකක්ද කියනවා නම් යාත්‍රාව ගැන සම්පුර්ණයෙන්ම අමතකව ගියා. කාගෙත් මතකයේ තැන්පත් වුණේ පරාටා නමැති යෝධ තනිෆා (Taniwha) නමැති බිහිසුණු සත්වයා. ඔහු තනිෆාට අණ කළා ටේ අරවා යාත්‍රාව ගිලදමන්ට කියා. මොකද දන්නවද ? ඔහුට සැකයක් ඇති වෙලා තිබුණා තමාගේ බිරිඳ වන ෆකටිරංගි (Whakaotirangi) යාත්‍රාවෙ කපිතාන්වරයා වන ටම ටේ කපුවා (Tamatekapua) සමග එකට නිදාගන්නා බවට. වාසනාවකට වගේ අන්තිම මිනිත්තුවේදි නටොරොරන්ගි පරාටාට කිව්වා යාත්‍රාව අතහැර දමන්ට කියලා. ඒ නිසා මුහුද ආයෙත් සන්සුන් වුණා.
අන්තිමේදි ටේ අරවා යාත්‍රාව අඔටෙආරෝවා වෙත සම්ප්‍රාප්ත වුණා. එහි සිටි පිරිස අලුත් දිවයින ගැන කරුණු සොයාබලන්ට පටන් ගත්තා. නටොරොරන්ගි ගමන් කළේ දිවයිනේ ඇතුළට. ඔහුගේ ගමන නැවතුණේ උතුරු දූපතේ මධ්‍යම ප්‍රදේශයෙන්. එහිදී ඔහුට හැකි වුණා, කඳුකරයට එහා පිහිටි තවුපෝ – නුයි – ආ – ටියා (Taupo) හොයාගන්ඩ.
අද දවසේ නවුරුහෝයි යන නමින් හඳුන්වනු ලබන කන්දේ මුදුනට නගින්ට නටොරොරන්ගි තීරණය කළා. ඔහුට අවශ්‍ය වුණේ ඒ මගින් මුළු භූමි භාගයේම තම බලය ප්‍රකාශ කරන්ට. මේ කන්ද මුදුනේ දැඩි සීතලක් තිබෙන නිසා එහි යාම අනතුරුදායක බව පිරිස ඔහුට පැවසුවා. ඒ අනතුරු ඇඟවීමට සවන් නොදුන් ඔහු තම වහලාත් කැටුව කන්ද නගින්ට පටන් ගත්තා. කඳු මුදුනට සමීප වන විට හොඳටම සීතල දැනෙන්ට වුණා. වහලා දුර්වල තත්වයකට පත් වුණා. නමුත් නටොරොරන්ගි කඳු මුදුන දිසාවටම ගමන් කළා. දැන් ඔහුටත් හොඳටම සීතල දැනෙනවා. ඊට පසු ඔහු තමාගේ සහෝදරියන් වන ටේ පුපු සහ ටේ හොආටා සිහි කරමින් ඔවුන්ගේ උදව් ඉල්ලමින් මතුරන්ට පටන් ගත්තා. ඒ වන විටත් මේ සහෝදරියන් දෙදෙනා හවායිකි ප්‍රදේශයේ පදිංචිව සිටියා.
තම සහෝදරයාගේ යාඥාවන් වළාකුළු පීරාගෙන ඔවුන්ගේ කණ්වලට ගලාගෙන ආවා. සහෝදරියන් දෙදෙනා වහාම තම ගමේ ගිනි කන්දකින් අර කන්ද දෙසට ගිනි ජාලා යැව්වා. ඒ ගිනි දළු පොළොව යටින් විහිදීගෙන ගොස් නටොරොරන්ගි සිටි කන්ද පුපුරුවා හරින්ට සමත් වුණා. ඒ ගින්දරෙන් ඔහුගේ සිරුර උණුසුම් වෙන්ඩ පටන්ගත්තා. ඒ නිසා ඔහු කඳු මුදුනටම නැගලා තමාගේ බලය ඒ ප්‍රදේශය පුරාම පැතිර යන ආකාරයට එහි අයිතිය තමා යටතට ගත්තා. ඔහු පහළට බැස එහි සිටි තම පිරිසට එකතු වෙන්ට සමත් වුණත් අවාසනාවකට මෙන් ඔහුගේ වහලා හිම පතනයට හසු වී මරණයට පත් වුණු බව ඔහුට දැනගන්ට ලැබුණා.
අද වුණත් ටේ පුපු සහ යන ටේ හොආටා කඳු මුදුන්වලින් ඇතැම් අවස්ථාවල දි ගින්දර පිට වන ආකාරය දැකගන්ට පුළුවනි.