රුබයියාට් හී විසි වෙනි පැදි පෙළ මෙයයි. මා කලින් කියූ ලෙසින් ‘ඉඳුරන් පිනවීම‘ ජීවිතයේ පරමාදර්ශය කරගත් Hedonistic ජීවන රටාව මේ කවි පෙළින් මැනවින් පිළිබිඹුවේ. සියලු දුක් දොම්නස් මධු විතක දිය කර හරින හෝ එසේ කළ හැකියි සිතන හුදී ජන පහන් සංවේගය උදෙසාම ලියු කවක්දෝ,‘යි මෙය කියවද්දී මට සිතුණි.
ඊයේ සිදුවූ දේ ගැන සිතා පසුතැවිලි වීමෙන් පලක් නැත. හෙට සිදුවිය හැකි දේ ගැන සිතා බියවීමෙන්ද පලක් නැත. ඒ සියලු දෑ මධු විතක දිය කර හරින්නට… සොඳුර,… මධු බඳුන පුරවන්න… ඒ මන්දයත්, හෙට දිනයේ මා ලොවට ‘මතකයක්’ පමණක් විය හැකි බැවිනි.
Verse 20.
Ah! my Beloved, fill the Cup that clears
TO-DAY of past Regrets and future Fears –
To-morrow? – Why, To-morrow I may be
Myself with Yesterday’s Sev’n Thousand Years.
රුබයියාට් හී quatrains හෙවත් පේළි හතරේ පැදි බොහෝ විට අවසාන පදය එකම රිද්මයකට අවසන් වුවද මේ පැදි පෙළ හා තවත් සමහර පැදිවල තුන්වන පේළිය පමණක් වෙනත් රිද්ම රටාවකින් අවසන් වන අයුරු පැහැදිලිය. මෙය පේළි හතරේ කව් පැදිවල සුලභව දැකිය හැකි අංගයකි.
මෙය කියවද්දී ‘දහසක් සිතුවිලි‘ (1968) චිත්‍රපටයේ එන දේවානන්ද වෛද්‍යසේකර ගායනා කරන ‘සතුට විලයි, සැපත මලයි‘ ගීතයද මතකයට නැඟේ. විශේෂයෙන්, ‘මළ ඊයෙට ඇයි අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ’ කොටස ඇසූ විට, මෙය ලියූ නිමල් වික්‍රමසේකරයන් රුබයියාට් කියවා තිබෙන්නට ඇතැයි මට හිතේ. ‘ඉන්න ටිකේ ජොලියේ ඉඳිමු සුදිය දමාලා,‘ යන කියමනත් මෙවැනි සිතුවිල්ලක මූලාශ්‍රය විය හැක.
මේ, ඒ කවිය මට දැනුණු හැටියි…
අතීතය වළලන්න, හෙටක් ගැන නොතැවෙන්න,
හිරු උදාවී තියේ අද දවසෙ හිනැහෙන්න,
මා සොඳුර! මෙහි එන්න, මධු බඳුන පුරවන්න,
හෙට දිනේ මා තවත් මතකයකි සමරන්න.
Chrishantha Wevita – Wellington