එය (කවිය) පුබුදු කළ පාද තුන වූයේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ සහ බුද්ධදාස ගලප්පත්ති යන තුන් කට්ටුව බව බොහෝ තැන්වල දී මා අසා තිබේ. එසේ කීමට හේතු සොයා බැලීම අද සටහනේ අරමුණයි.
කනප්පුව යන වචනය මට මතකයට ආවේ අපේ තාත්තගේ මහ ගෙදර කනප්පුවක් තිබූ නිසාය. කනප්පුව යනු රවුම් කරන ලද ලී ආධාරයෙක් රබානක් වන් වෘතාකාර කුඩා මේස හැඩයක් නිර්මාණය කළ ටීපෝවක් වැනි උපකරණයකට. මේ වචනය සිංහල වචනයක් නොවන බව නම් පැහැදිලිය. කනප්පුව ලන්දේසි බසෙහි කැන්ප්‍රෝ යන පදයෙහි සිංහල තද්භවය ලෙස කේ.පී.ඩී.කරුණානායක මහතාගෙන් අසා දැනගන්න ලැබුණි. කනප්පුව මත නොයෙක් දේ තබා යා හැකිය. අපේ මහ ගෙදර බොහෝ විට තැබුණේ බුලත් වට්ටිය හෝ හෙප්පුවයි.
කනප්පුවේ ආධාරක තුනක් ඇති අවස්ථාවද ඉඳහිට තිබේ. මහගමසේකරයන් ගීත කලාව හැදින්වූයේ ද තුන් පාද කනප්පුවක් ලෙසයි. ගී පද, සංගීතය සහ ගායනය එයට අන්තර්ගත වීම එසේ නම් තැබීමට හේතුව වන්නට ඇත.
කවිය විවිධ හැඩයෙන් මතුව ආවද කොළඹ කවියෙන් පසු 60-70 දශකවලට එළඹෙන විට කවිය එතරම් ප්‍රාණී කලාවක් නොවේ. එය පුබුදු කළ පාද තුන වූයේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ සහ බුද්ධදාස ගලප්පත්ති යන තුන් කට්ටුව බව බොහෝ තැන්වල දී මා අසා තිබේ. එසේ කීමට හේතු සොයා බැලීම අද සටහනේ අරමුණයි.
කවිය යනු හදවත සොයා වචන උණ්ඩ රැගෙන යන ගිණි අවියකි. එයින් මරණීය නොවන රමණීය තුවාල ඇති කරයි. ගැඹුරු නින්දක ඉන්නා මිනිසුන් ඉසිඹුවකින් අවදි කර පියවි ලෝකයට රැගෙන ඒම කවියාගේ වගකීමයි. ඔහු කොටන තුවක්කුවට උණ්ඩ යොදන්නා සේ මනා සැලැස්මකට වචන ගලපයි. කියවා අවසානයේ එය මහා පිපිරුමකි.
පරාක්‍රම කොඩිය තුවක්කුවක් ලෙස පත්තු වුණේ ද කවි අවි සේ භාවිතා කළ හේතුවෙනි. 1973 පළ කළ ‘පොඩි මල්ලියේ’, 1974 දී එළි කළ ‘අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය’ සහ 1975 දී පළ කළ ‘අලුත් මිනිහෙක් ඇවිත්’ කවි පොත් තුන යනු කවි කරලියේ මහා කම්පනයකි.

‘එක පාරට ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලංට ඉඩ දීපං
එක කරලක් ඇදං යන්න.’
ගල් දුන්නක් මානාගෙන සත පනහේ කුලියට කුරුල්ලන් අඹවන පොඩි මල්ලීගෙන් ඔහු ඉල්ලන ඉල්ලීම කණ් ඇස් අස්සෙන් කණට පහර ගසන්නකි.
‘මලේ – මලේ නින්දට පෙර
ඩිංගක් මේ ගැන හිතපන්
මේ සේරම තැගි ලැබුණේ ලොවින් නුඹට
මොනවද මල්ලියේ දෙන්නේ නුඹෙන් ලොවට.’
මේ 1970 පසු කර එන විප්ලවීය අදහස් සමාජ ගත වෙන සමයයි. ගල් දුන්නක් අරගෙන සත වෙනුවෙන් කුරුල්ලන්ට කැට විදින අයට ඔහු කවියෙන් කස පහර තැනූ අයුරු කොතරම් මනරම්ද.

‘පිසින ලද බත් ඇත්තෙමි
දොවා ගන්නා ලද කිරි ඇත්තෙමි
නදී තෙර අසල පිරිවර හා වසමි
ගින්නද දල්වා ඇත
මගේ කුටිය නොතෙමේ
මේඝය – දැන් කැමති නම් වහින්න.’
මෙහෙම ලියා ඉඟි කර ඔහු ඊළඟ පේලියට ගෙන එන වචන පේලි හරහා කිරි බර්ටිලා පිරුණ හයිය පැලැන්තියට කවියෙන් වෙඩි තබන්නේ මෙලෙසය.
‘ධනීය ගෝපාල තොප
කුරිරු ධනවාදියෙකි.’
එසේ ලියා කිරි කපන අම්මලා, කුලී වැඩ කරන තාත්තලා, දොළ පාරෙන් එගොඩ වෙලා අමාරුවෙන් ඉස්කෝලෙ යන අහිංසක දරුවන් වෙනුවෙන් පෙනී සිටිමින්
‘කන්ද උඩ මාළිගයේ සිටි ඔබව
කන්ද යට අපේ පැල නොපෙනේය.’
යනුවෙන් ලියා වැස්සට පමා වෙන්න ඉල්ලීමක් කරන්නේය. මෙවැනි ඉල්ලීම් ඔහු විසින් කරන්නේ සමාජයේ පෙලෙන දනන් වෙනුවෙන් බව ඔහුගේ කවි මග දෙස විමසුම්ව බලන්නෙකුට නිසැකවම පෙනේ.
පරාක්‍රම කවියානෝ, කවිය සමග නවලොවක් ප්‍රාර්ථනා කළ කවියෙකි. ඔහුට ඕනෑ වූයේ 70 තරුණයන් අවියෙන් ඉල්ලා සිටි සමාජය කවියෙන් ඉල්ලා සිටීමටයි. ඒ සදහා ඔහු භාවිතා කළ බර අවියේ අකුරු ඇමුණුම අපි ඇමතුවේ බලා නොසිට නැගී සිටිය යුතු මිනිසෙකු වීම අවධාරණය කරමිනි.

‘සිතිජ ඉමෙන් නැමී ගොහින්
අඩිය තියන අලුත් ලොවක්
වංගු සීය පිමි පැනලා
බිමට බසින අලුත් ලොවක්
සත් සමුදුර පතුළ ගිලී
වෙරළ දකින අලුත් ලොවක්
අපි යන්නේ අලුත් ලොවට
මෙන්න ඔබට ටිකට් එකක්.’
එකී කවියේ බස් කොන්දොස්තර හරහා අපට විවිධ චරිත ඔහු මුනගස්වයි. ළමිස්සියක්, පුංචි ඉස්කෝලෙ හාමිනේ, ග්‍රාම සේවක රාළහාමි, යසෝ හාමි, පී.එච්.අයි මහත්තය වැනි චරිත හරහා ඔහු සමාජය කියවාගන්නට අපට ඇරයුම් කරන්නේ වින්දනීය ලෙසිනි.
පරාක්‍රම කවිත්වයේ මා පෞද්ගලිකව කැමතිම කවිය අකීකරු පුත්‍රයකුගේ ලෝකය කවි පොතේ විප්ලවවාදියෙකුගේ නඩු විභාගය කවියටයි. එහි පාසලෙන්, පන්සලෙන්, උසාවියෙන්, දොස්තරගෙන් අසම්මතයැයි කියූ දරුවෙකු ගැනයි දරුවාගේ හෙවත් විත්තිකරුගේ ප්‍රකාශය පමණක් මෙහි සටහන් කරනු කැමැත්තෙනි.

‘ගොළු බෙල්ලෙක් නොකරව් මා
ශයිලයන් කපා දා
බියගුල්ලෙක් නොකරව් මා
දේව ධර්මය දෙසා
මී හරකෙක් නොකරව් මා
මුසා දම් කර ගසා
හොඳ ළමයෙකු නොකරව් මා
දෑත කට බැද දමා.
සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නගන්නට ඉඩ දියෝ
ඩෙකාට්ස් වගේ සැක කරන්නට ඉඩ දියෝ
ගඟක් මෙන් ගසා ගෙන යන්ට මට ඉඩ දියෝ
පිහියක් මෙන් පලාගෙන යන්ට මට ඉඩ දියෝ.
පුරුෂ ලිංගයක් සේ
මතුවෙන්නට ඉඩ දියෝ!
ඒ කවිය කියවා ආ හැඟීම නිසාම චරණ ළමා වැඩසටහනකට ‘දඩබ්බරයි හපන්නු’ ලෙස නම් තැබීමි. එයට බොහෝ විරෝධතා පැමිණිය ද හැකියාව යනු දඩබ්බරකමක්ම බව මම ඔවුනට පහදා දුන්නේ පරාක්‍රමයන්ගේ කවි පැරකුම් සිහියට රැගෙනය. මේ කවියා එලෙස පුබුදු කළ හැත්තෑවේ කවි යුගය තුන් පාදයේ ප්‍රබල එක පාදයකි. මිතුරනි ඔබ ඔහුගේ කවි පොත් සියල්ලම පාහේ කියවිය යුතුය. ඒවායෙන් ඔබ විප්ලවීය මිනිසෙකු වීමට ප්‍රේරණය වනු ඇත.
අපි දෙවෙනි පියවරට යමු. ඇය ගැහැනියකි. දොළළොස් මහා කවියන් සිටි සමයේ කවි සභාවේ රාජකීය වරම් ලද දළ කවි කාරියන් දෙදෙනාටද, මාතර යුගයේ කවියේ මිත්තනිය වූ ගජමන් නෝනාටද පසු 70 කවියේ මව් පදවිය උසුලන්නේ මොනිකා රුවන්පතිරණ කිවිඳියයි. ඇය ගැන අපි ඊළග කලාපයෙන් කියවමු.
වජිර ජයවර්ධන – ඕක්ලන්ඩ්







