fbpx
14 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්ත භූතාපජ: සොබාදහමෙහි අපූර්වතා – New Zealand Geo-Thermals: Nature-Made Wonders | චන්න ගුණසේකර | ක්‍රයිස්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අද කලාපයේ සිංහල ලිපි ශීර්ෂය දුටු සැනින් ඇතැම් විට ඔබේ සිතේ කුකුසක් හට ගන්නට ඇත. ඔබට ශ්‍රී ලංකාවේ ඇති ඉතා ප්‍රසිද්ධ කන්නියා උණු දිය ළිං සිහිවන්නට ඇත. කන්නියා උණු දිය ළිංවලට අමතරව සෙල්සියස් අංශක 39ත් 70ත් අතර පවතින උණු දිය උල්පත් රන්කිහිරිය, නෙලුම්වැව, කපුරැල්ල, සහ මහඔය යන ස්ථානවලින්ද දැක ගත හැක. පෘථිවියේ ගැඹුර සමඟ උෂ්ණත්වය වැඩි වීමෙන් රත් වන ජලය පෘථිවිය මතුපිටට පැමිණීමෙන් මෙම උණු දිය උල්පත් හටගනී. එය එසේ වුවද උණු දිය උල්පත් වලින් ඔබ්බට ගිය සංකීර්ණ භූතාපජ ක්‍රියාවලි සිදුවන පරිසර පද්ධති ශ්‍රී ලංකාව තුළ දකින්නට නොමැති තරම්ය.

නවසීලන්තය මූලිකවම පෘථිවියේ ශිලා ගෝලයේ ඉන්දු ඕස්ට්‍රේලියානු හා පැසිපික් තැටි දෙකේ මායිමේ පිහිටීමත්, ‘පැසිපික් ගිනි  වළල්ල’ ලෙස හඳුන්වන යම්හල් (ගිනි කඳු) ව්‍යාප්ත කලාපයක පිහිටීමත් නිසා මෙහි විවිධාකාරයේ භූතාපජ ක්‍රියාකාරකම් දැක ගත හැකි වේ. භූගෝල විද්‍යාවට අනුව නවසීලන්තයේ ‘නීෂ්ක්‍රාන්ත යම්කම් භූ රූප’ (Extrusive Volcanism) දක්නට ලැබේ. සරලව කිවහොත් ගිනි කඳු පිපිරීම් හෝ අධික ලෙස රත්වී උණු වූ පාෂාණ  පෘථිවියේ මතුපිටට පැමිණීමෙන් මෙම භූ රූප සෑදී ඇත.

වයි-ඕ-ටපු (Wai-O-Tapu) භූතාපජ උද්‍යානය.

‘තර්මල් එක්ස්ප්ලෝර්ර හයිවේ’ (Thermal Explorer Highway) ලෙස හදුන්වන SH5 මහාමාර්ගයේ රොටොරුආ (Rotorua) සිට නම් කිලෝමීටර 27ක දුරකින්ද, තව්පෝ (Taupo) සිට නම් කිලෝමීටර 53ක දුරක් ගමන් කිරීමෙන්, වයි- ඕ- ටපු  (Wai – O – Tapu) නමැති භූතාපජ උද්‍යානයයේදී ඔබට මෙම පරිසරය මනා ලෙස ගවේෂණය කිරීමට අනගි අවස්ථාවක් ලැබේ. Māori බසින් වයි- ඕ- ටපු  යනු පූජනීය ජලය යන්නයි. මෙම උද්‍යානයයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ඇති ස්ථාන කිහිපයක් ඔබ වෙත පෙළ ගැස්වීමට මට බොහෝ කාලයක් ගත වුයේ මෙහි එකිනෙකට වෙනස් භූ රූප විශාල ප්‍රමාණයක් ඇති නිසාය.

ලේඩි නොක්ස් ගීසරය (Lady Knox Geyser)ගීසර යනු උණු දිය උල්පතක ඇති හුමාලය හා එක්වූ රත් වූ ජලය පොළොවේ ඇති කුඩා විවරයක් තුලින් ඉහළට විදින ස්ථානයකි. මෙහෙදී හුමාලය පිටවන විට නැගෙන ශබ්දය මෙන්ම මෙය පොළොවේ සිට මීටර 20ක් පමණ ඉහළට විදින ජල කදම්බය ස්වාභාවිකව සිදුවන විරල සිදුවීමකි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම ගීසරය ස්වාභාවිකව සක්‍රීය නොවන නිසා වයි- ඕ- ටපු   උද්‍යාන පාලකයෝ උදෑසන 10-15ට විශේෂ සංයෝගයක් ගීසරයේ විවරයට දමමින් මෙය සක්‍රීය කරති. (ඡායාරූප 1)

නවසීලන්තයට අමතරව ලොව ඇති ගීසර දහසම ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චිලී, සහ අයිස්ලන්තය යන රටවලය. ඉන් අඩකට වඩා සහ විශාලතම ගීසරය ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය. යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ ඇති ඕල්ඩ් ෆේත්ෆුල් (Old Faithful) නම් ගීසරය ලොව විශාලතම ගීසරයවේ.  

මඩ තටාක (Mud Pools) – ඔබ ඕනෑ තරම් මඩ වලවල් දැක තිබීමට පුළුවන්, එහෙත් විචිත්‍රවත් රැළි මවමින්, වතුර නටන උෂ්ණත්වය හෝ ඊටත් වැඩි උෂ්ණත්වයෙන් යුතුව දුම් දමමින්, ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස බුබුළු දමමින් නටන මඩ තටාකයක් අසලින් ඇවිද යා හැක්කේ වයි- ඕ- ටපු භූතාපජ උද්‍යානයයේදී ය. වැසි ජලය රැස්වූ පොකුණු යට හුමාලය හා ආම්ලික වායු නිසා මඩ බවට හැරුණු මතුපිට පාෂාණ ස්ථරය මෙලෙස බියකරු මඩ තටාකයක් නිර්මාණය කරයි.

ආවාට (Craters)වර්ග කිලෝමීටර 18 ක ඇති මේ උද්‍යානයේ ආවාට විස්සකට වඩා ඇත. මේවා භූගත හුමාලය අධික පීඩනය නිසා පුපුරා යාමේදී හටගත් ඒවා හෝ  ආම්ලික වායු නිසා අස්ථාවර වූ භූගත ස්ථර කඩා වැටීමෙන් හටගත් ඒවාය. ජලයෙන් පිරුණු ඩෙවිල්ස් බාත් (Devil’s Bath) නම් ආවාටය කොළ හෝ කහ වර්ණයෙන් දිස්වන්නේ එහි ඇති සල්ෆර් සහ ෆෙරස් ලවණ නිසාය. (ඡායාරූප 2) ඉන්ෆර්නෝ (Inferno) නම් ආවාටය පතුලේ ඇත්තේ රත්වූ නටන මඩය.  

ෂැම්පේන් පූල් (Champagne Pool)අක්කර භාගයකට ආසන්න භූමියක් වසාගත්, මීටර 62ක් ගැඹුරු, මීටර 65ක විෂ්කම්බයක් ඇති, සෙල්සියස් 74ක මතුපිට උෂ්ණත්වයක් ඇති, බුබුළු දමමින්, දුම් වලා අහසට නගිමින්, ඉතා පැහැදිලි ගල් ස්තරයකින් හා ඕකර් වර්ණයෙන් (දුඹුරු හා තැඹිලි) මායිම් වූ, මෙම ප්‍රදේශයේ ඇති විශාලතම උණු දිය පොකුණ ලෙස මෙය හඳුන්වනු ලබයි. (ඡායාරූප 3) රන්, රිදී, රසදිය, සල්ෆර්, ආසනික්, තැලියම්, ඇන්ටිමනි වැනි ලෝහ අඩංගු ඛනිජ මෙහි තැන්පත් වී ඇත. 

ආටිස්ට්ස් පැලට් (Artist’s Palette) – ෂැම්පේන් පූල් සිට පිටාර ගලන ජලය සිසිල් වීමේදී, මතුපිට පෘෂ්ටයට පැමිණි ඛනිජ වායුගෝලයට නිරාවරණය වීමත්, ජල ප්‍රවාහවල දිශාවත්, ජල මට්ටමත් අනුවත්, පසෙකින් ඇති ගීසරයකුත් නිසා, සිසිල් මෙන්ම, උණුසුම් ජලය සහිත මෙම තටාකය යමෙකුට දිස්වන්නේ චිත්‍ර ශිල්පියෙකු වර්ණ මිශ්‍ර කරන පැලට් එකක් ලෙසය. කලිල සල්ෆ/ෆෙරස් ලවණ කොළ පැහැයත්; ඇන්ටිමනි, තැඹිලි පැහැයත්; මැන්ගනීස්, දම් පාටත්; සිලිකා, සුදු පැහැයත්; සල්ෆ, කහ-ප්‍රිම්රෝස් වර්ණයත්; අයන්ඔක්සයිඩ්, රතු-දුඹුරු වර්ණයත්; සල්ෆ සහ කාබන්, කළු පැහැයත් ගෙන දෙන නිසා මට සිතෙන්නේ සිත්තරෙක් තම වර්ණ මිශ්‍ර කරන පැලට් එක මෙන් විවිධ වර්ණ ඒ මේ අත කලවම් වූ සොබා දහමේ විස්මිත පැලට් එක මෙයයි. 

ප්‍රිම්රෝස් ටෙරස් (Primrose Terrace) – අක්කර තුනක පමණ භූමියක් සම්පුර්ණයෙන්ම සිලිකා අවසාධිත තැන්පත් වී ‘සින්ට’ (sinter) නම් භූ රූපය මෙහි දැක ගත හැක. රෝස-ප්‍රිම්රෝස් වර්ණයෙන් දිලිසෙන නවසීලන්තයේ ඇති විශාලතම සින්ට ටෙරස වලින් එකක් වන මෙය අසලින් ඇවිද යාමේදී ලැබෙන අත්දැකීම වචන වලට හෝ කැමරා කාචයට හසු කරගැනීම ඉතා අසීරුය. 

වයි- ඕ- ටපු භූතාපජ උද්‍යානය මේ දිනවල සංචාරකයන්ට වසා ඇත්තේ කෝවිඩ් වසංගතය හේතුවෙනි. මීට අමතරව ඉහත සඳහන් කළ මෙන්ම නොකළ භූරූප පිහිටා ඇති භූතාපජ උද්‍යාන කිහිපයක් සටහන් නොකරම බැරිය. නවසීලන්තයේ විශාලතම මෙන්ම දිනකට විසි වතාවක් පමණ සක්‍රිය වන, මීටර 30ක උසකට ජලය විදින, පොහුටු (Pōhutu) ගීසරය පිහිටා ඇති Te Puia භූතාපජ උද්‍යානය සංචාරකයන්ගේ තවත් ප්‍රමුඛ තේරීමක් වේ. Orakei Korako උද්‍යානය ප්‍රකට වන්නේ එහි ඇති අති විශාල සින්ට ටෙරස සහ වැඩිම සක්‍රිය ගීසර ගණනක් (ගීසර 23ක්) පිහිටා ඇති නිසාය. හෙල්ස් ගේට් (Hell’s Gate) භූතාපජ උද්‍යානය අපායේ දොරටුවද කියා සිතෙන තරමේ අතිශය සක්‍රිය භූතාපජ ක්‍රියාකාරකම් වලින් ගහන පරිසර පද්ධතියක් ලෙස ප්‍රසිද්ධය. මීට අමතරව මෙහි ඇති මඩ ස්පා (Mud spa) අත්දැකීම යමෙකුට පුනර්ජීවය ගෙන දෙන ශරීර සුවතාවය දියුණු කරන ප්‍රතිකාර ක්‍රම අද පමණක් නොව අතීතයේ සිටි Māori රණශූරයන්ටද උපයෝගී වූ බව සඳහන් වේ. Waimangu Volcanic නිම්නයේ ඇති අක්කර නවයක භූමියක් වසා ගත් Frying Pan Lake නම් උණු දිය උල්පත ලොව විශාලතම උණු දිය පොකුණ ලෙස හඳුන්වනු ලබයි. 

මෙම භූතාපජ ස්ථාන බොහොමයක් රොටොරුආ නගරය අවට පිහිටා ඇත. රොටොරුආ නගරය, ‘Sulphur City’ ලෙසත්, එහි වහනය වන නරක්වූ බිත්තර ගඳටත් හේතු වන්නේ භූතාපජ ස්ථානවලදී සිදුවන හයිඩ්රජන් සල්ෆයිඩ් විමෝචනයයි. මෙම නගරයේ තවත් භූතාපජ අත්දැකීමක් වන්නේ උණුසුම්, ඛනිජ සාන්ද්‍රණය වැඩි ජලය සහිත ස්පා තටාක වල පිහිනීමට හෝ නෑමට ඇති අවස්ථාවයි. Polynesian Spa යන ස්ථානය මේ අතරින් ඉතා ප්‍රසිද්ධ වාණිජ සේවා සපයන ස්ථානයකි. මීට අමතරව ඔබට නොමිලේ උණු දිය පහරක පහස ලැබීමට නම් Kerosene Creek ස්ථානයට යා හැක. 

භූතාපජ ස්ථාන ගැන උනන්දුවක් ඇති සංචාරකයන්ට Mount Ngauruhoe, Mount Ruapehu සහ Mount Tongariro යන ගිනි කඳු ත්‍රිත්වය පිහිටා ඇති ටොන්ගරිරෝ ජාතික උද්‍යානය සංචාරය සඳහා කදිම ප්‍රදේශයකි. අප කාගේත් මතකයේ ඇති ඇන්කර් කිරි පිටි පැකට්ටුවේ මුද්‍රණය කර තිබු කන්දද ගිනි කන්දකි. එය Egmont ජාතික උද්‍යානයේ ඇති Mount Taranaki වේ. (ඡායාරූපය 4)

මවුන්ට් කුක් ජාතික උද්‍යානය, මිල්ෆඩ් සව්න්ඩ්, ග්ලැසියර් දේශය, ග්ලොව(ර්)ම් ගුහා, විස්මිත ගල් පර්වත ගැන මම පෙර කලාප පහකදී සංචාරක අත්දැකීම් ඔබහට ගෙන දැක්වුවෙමි.

මීට අමතරව දර්ශනීය දිය ඇලි (200කට වඩා), පරතෙරක් නොපෙනෙන මනස්කාන්ත විල් (lakes), අද්විතීය මුහුද ආශ්‍රිත භූ රූප සහිත වෙරළබඩ ස්ථාන, දැකුම්කලු කඳු, ගංඟා නිම්න, මීටර 15ක වට ප්‍රමාණයක් ඇති අති විශාල ගස්, වැලි කඳු (sand dunes) සහ බන්ජි පැනීම (bungy jumping) වැනි ත්‍රාසජනක ක්‍රීඩා, නවසීලන්තයේදී ඔබට ජීවිතයේ අමතක නොවන මතක එකතු කරන සංචාරක අත්දැකීම් විදගත හැකි අවස්ථා නිර්මාණය කරයි.

By Channa Gunasekara – Christchurch

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.